වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ මුහුණ සඳ වගේ කියලා නම වෙනස් කළා

මගේ මුහුණ සඳ වගේ කියලා නම වෙනස් කළා

එදා රැඟුමෙන් මෝහනය කළ චන්ද්‍රකලා අද රෝද පුටුවේ

හැටේ දශකයේ සිංහල සිනමාව ඔපවත් කිරීම ඇරැඹි ඈ සිය රංගනයෙන්, නර්තනයෙන් ලාංකික දෙමළ සිනමාව ද ඔපවත් කරනු ලැබුවේ සිංහල දෙමළ චිත්‍රපට රැසක රංගනයේ නියැළෙමිනි. සම්මානනීය ඇගැයුමට ලක් වූ ඇය දෙස් විදෙස්හි සිය රංග ප්‍රතිභාව ප්‍රකට කරනු ලැබුවේ සිය අනන්‍ය වූ රංගනයන් ඔස්සේය. චන්ද්‍රකලා නම් වූ ඇයව සොයා අප ගියේ 144/සී 2, ජයපුර, බණ්ඩාරගම ලිපිනය සඳහන් නිවහන වෙතය. අපගේ පැමිණීම බලාපොරොත්තුව සිටි චන්ද්‍රකලා දෙඅත් ඔසවා සිනාමුසු මුහුණින් අපව පිළිගත්තේ ආයුබෝවන් කියාය. නර්තන ශිල්පිනියක ලෙසින් නමක් දිනා සිටි ඈ අද වන විට කලා ක්ෂේත්‍රයෙන් සමුගෙන ඇත. දියවැඩියා රෝගයෙන් පෙලීම නිසාම ඇගේ දකුණු පාදය කපා ඉවත් කිරීමට පවා සිදු විය. ඒ නිසාම ඇගේ රංගන, නර්තන ජීවිතයට ඇයට අකමැත්තෙන්ම සමුදීමට සිදු වූවාය. එදා නර්තනයෙන් ප්‍රේක්ෂක නෙත පින වූ ඇය අද කල් ගෙවනුයේ රෝද පුටුවට සීමා වීය. මේ කතාබහ ඈ හා සමඟය.

අලුත් තොරතුරු කොහොමද?

අද වෙන කොට මම කලා ක්ෂ්ත්‍රයෙන් සමුගෙන කිව්වොත් හරි. මට අකමැත්තෙන් වුණත් එයින් සමුගන්න සිද්ධ වුණේ කැමැත්තකින් නොවෙයි. දියවැඩියා රෝගය උත්සන්න වීම නිසාම මගේ දකුණු පාදයේ ඇති වූ තුවාලයක් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත මගේ දකුණු පාදය ඉවත් කරන්න සිද්ධ වුණා. ගිය අවුරුද්දේ තමයි ඔපරේෂන් එක කළේ. මේ මාසයට හරියටම කකුල ඉවත් කරලා අවුරුද්දක්. දැනට මම කෘත්‍රිම පාදයක් ඒ වෙනුවට භාවිත කරනවා. ඒත් වැඩිපුර රෝද පුටුවෙ තමයි මගේ දවස ගෙවෙන්නේ.

එදා තිරයේ අපි දැක්ක රූමත්කම අදත් ඔබ තුළින් වියැකිලා ගිහින් නෑ වගේ?

දැන් නම් මමත් වයසට ගිහින්, දැන් ඉතිං හැටත් පැනලා.

නර්තන කණ්ඩායම

ගෙදරට වෙලා ගෙවන ජීවිතය ඒකාකාරී වෙලා නැද්ද?

මට සිංහල, දෙමළ, ඉංග්‍රීසි, මැලේ භාෂා චතුර ලෙස කතා කරන්න පුළුවන්. මම උපතින් මැලේ ජාතික කාන්තාවක්. අදටත් මම ගෙදරට වෙලා සතියකට දින දෙකක් දරුවන්ට දෙමළ භාෂාව උගන්වන පන්ති කරනවා. මේ දරුවොත් එක්ක ඒ අයුරින් ගෙවා දමන කාලය තුළ මට එච්චර පාළුවක් දැනෙන්නේ නෑ.

අද ඔබේ පවුලේ තොරතුරු කොහොමද?

මට පුතාල දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා නවීන්ද්‍ර පනංගල දෝහ කටාර්වල රැකියාව කරමින් එහි පදිංචිව සිටිනවා. එයා විවාහකයි. පොඩි පුතා දහම් පනංගල. එයා ළඟ තමයි මම ඉන්නේ. දහම් පුතා බෙන්තර හෝටලයක මැනේජර් කෙනෙක් ලෙස රැකියාව කරනවා. එයා නම් විවාහ වෙලා නැහැ. මගේ තනියට මාව බලාගන්න කාන්තාවක් මාත් සමඟ ඉන්නවා.

වහල් දූපත චිත්‍රපටයෙන්

එතකොට ඔබේ සැමියා?

එයා කුමාරතිලක පනංගල. ඉංජිනේරුවෙක්. අද එයා මාත් එක්ක නැහැ. මමත් එයත් දරුවොත් ඉන්දියාවේ සංචාරයකට ගියා. ඒ ගිය අතරතුර එයා කාන්තාවක් සමඟ ඇති කර ගත් සම්බන්ධතාවයක් මත මාවත් දරුවො දෙන්නත් අතහැර ගියා. මම දරුවොත් සමඟ ලංකාවට ඇවිත් ඒ දෙන්නවත් රැක බලාගෙන ජීවත් වුණා. මට ආරංචියි එයා මඩකලපුව ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්නවා කියලා.

කොහොමද ඔබට සැමියා මුණ ගැහුණේ?

ආදර සම්බන්ධයකින් තමයි අපි හඳුන ගත්තේ. මමත් නංගිත් තාත්තාත් අම්මාත් කතරගම දේවාලයේ පූජාවකට ගියා. ඒ ගිය අතරතුර ඇති වූ මිත්‍රකමක් තමයි අවසානයේ විවාහයෙන් කෙළවර වුණේ?

ඔබ මැලේ ජාතික කාන්තාවක්?

ඔව්. මගේ තාත්තා තජුඩීන්. අම්මා සුමාරි. තාත්තා ගිනි නිවන හමුදාවේ ඔෆිසර් කෙනෙක් ලෙස වැඩ කළේ. මගේ උපන් ගම නුවර කටුගස්තොට. මම ඉස්කෝලේ යන කාලේ තාත්තාට කොළඹට මාරුවක් ලැබුණා. ඒ අනුව අපි කොළඹ කොටහේනේ පදිංචියට ආවා.

ඔබ ඉගෙන ගත්තේ?

කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ.

එතකොට කලාවට යොමු වුණේ කොහොමද?

ඉස්කෝලේ යන කාලේ ඉඳලම මම වැඩිපුර කලාවට ඇල්මක් දැක් වූවා. නැටුම්වලට තමයි මගේ වැඩි කැමැත්ත තිබුණේ. බ්ලූමැන්ඩල් පාරේ තිබුණා හෙළ කලා පෙළ කියලා කලා ආයතනයක්. මම මේ ආයතනයට ගියා නැටුම් ඉගෙන ගන්න. නංගිත් මගේ තනියට ආවා. උඩරට නැටුම් තමයි මම එතනදි ඉගෙන ගත්තේ. මංගලිකා ගුරුතුමිය තමයි මට මුලින්ම නැටුම් ඉගැන්නුවේ.

ඉස්කෝලේ යන කාලයේ මට ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න ලැබුණා නාට්‍ය ශිල්පිනියක් විදියට. මෙතනදි මට ගොඩක් කලාකරුවන් හඳුනා ගන්න ලැබුණා. ගුවන් විදුලියේ මගේ රැකියාව මට සිනමාවට එන්න මඟ පෑදුවා. ඒ කාලේ කලා ක්ෂේත්‍රයේ කවුරු කවුරුත් ගුවන් විදුලියට ආවා ගියා.

ඔබේ මුල්ම චිත්‍රපටය වුණේ?

චන්ද්‍රකලා නැඟණිය ඇන්ජලා සමඟ නර්තනයකදී

ධීවරයෝ. ඔය චිත්‍රපටයේ රඟපාන කොට මට වයස අවුරුදු දහසයයි. මම දන්න හඳුණන වේශ නිරූපණ ශිල්පියෙක් හිටියා සුබයියා කියා. එයා තමයි මාව එහි අධ්‍යක්ෂ එම්. මස්තාන් ළඟට එක්ක ගියේ. ඔහු මට කිව්වා නටල පෙන්වන්න කියලා. මම නැටුවා. එයා කැමැති වුණා චිත්‍රපටයට මාව ගන්න. ඒ චිත්‍රපටයේ පද්මිණී දහනායක තමයි නැටුම් අධ්‍යක්ෂණය කළේ. සන්ධ්‍යා කුමාරි, විජිත මල්ලිකා සමඟ එහිදී මම වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා ගීතයට අනුව නැටුමක් ඉදිරිපත් කළා. ඒ දර්ශනය රූපගත කළේ විජය චිත්‍රාගාරයේ විශාල වැලි තලාවක් හදලා. මම හරිම ආශාවෙන් එදා ඒ ජවනිකාවට පෙනී හිටිය හැටි මට අද වගේ මතකයි

ඔබ සිංහල චිත්‍රපට මෙන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ද්‍රවිඩ චිත්‍රපට බොහොමයකත් එදා රංගනයේ නියැළි නිළියක්?

කළ කළ දේ පල පල දේ, ධීවරයෝ, අල්ලපු ගෙදර, සම්පත, ඔබ දුටු දා, ටැක්සි ඩ්‍රයිවර්, ඔක්කොම හරි, මාතෘභූමි, නිර්මලා, වහල් දූපත, ඔහොම හොඳද, බිඳුණු හදවත්, රත්තරන් අම්මා, පුදියකාට්ටු, සධානා, හුලවාලි, සකුන්තලා, වාඩෙ කාට්රු, මගේ රන් පුතා, තෙන්රලුම් පුයලුම්, කුණ්ඩලකේශී, අනුරාගම්, ගැහැනියක්, රෝස මල් තුනක්, නොන්ජුක්කුනීදි, අවල් ඔරු ජීවනදී, ඉවලුම් ඔරු පෙන්, බෝනික්කි, නාන් උංගලා තෝලන් ආදී චිත්‍රපට පනහකට ආසන්න ප්‍රමාණයක මම රඟපෑවා.

ඔබ ප්‍රධාන චරිත නිරූපණයට පිවිසෙන්නේ මාතෘභූමි චිත්‍රපටය හරහා?

මට ගුවන් විදුලියේදී විමලනාත් දිසානායක හමු වුණා. ඒ වන විට ඔහු මේ චිත්‍රපටය කරන්න සූදානම් වෙමින් හිටියේ. මමත් එක්ක කතා කරලා මේ චිත්‍රපටයේ සිංහල හමුදා නිලධාරියෙකුට ආදරය කරන ද්‍රවිඩ තරුණියකගේ චරිතය මට දුන්නා. එදා මාත් එක්ක හමුදා නිලධාරියට රඟපෑවේ අශෝක හේවාවිතාරණ, පුත්තලම, ත්‍රිකුණාමලය ප්‍රදේශවල රූපගත කිරීම් සිද්ධ කළා.

චිත්‍රපටය තිරගත වෙද්දී මට ලොකු ප්‍රතිචාරයක් ලැබුණා. සුබපැතුම් ගලා ආවා. බොහෝ අය කියන්න ගත්තා චන්ද්‍රකලාට හොඳට නටන්න විතරක් නෙමේ, හොඳට රඟපාන්නත් පුළුවන් කියලා. ඒ වගේ දිරිගැන්වීම් මට ලොකු ධෛර්යයක් ගෙනාවා.

සම්මානයට පාත්‍ර වෙමින්

වහල් දූපත චිත‍්‍රපටයේ රංගනය උදෙසා ඔබ එදා සරසවිය සම්මානයට පාත්‍ර වෙනවා?

මගේ රඟපෑම් දැකලා වහල් දූපත අධ්‍යක්ෂ ශාන්ති අබේසේකර මාව ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝර ගත්තා. මට ඒ චිත්‍රපටයෙත් රඟපාන්න තිබුණේ දෙමළ තරුණියක ලෙස. එහි අධ්‍යක්ෂ ශාන්ති අබේසේකර සමඟ මට ප්‍රධාන චරිය රඟපාන්න වුණා. මේ රංගනය උදෙසා එදා මට සරසවිය සම්මාන උළෙලේ කුසලතා සම්මානය හිමි වුණා. ඒ කාලයේ සරසවිය සම්මානය ලැබෙනවා කියන්නේ නිළියකට ලොකු දෙයක්, ලොකු වටිනාකමක්. මේ සම්මානය ලැබුණට පස්සේ මට තව තව චිත්‍රපට ගලාගෙන ආවා.

එදා ඔබ අතට සරසවිය සම්මනය ලැබුණේ කොහේදීද?

මට මතක හැටියට 1969 හයවැනි සරසවිය සම්මාන උළෙලේදී. චිත්‍රපට සතිය පැවතියේ වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේ. කොළඹ කාන්තා විද්‍යාලයේ පැවැති සම්මාන උළෙලට එදා ප්‍රධාන අමුත්තා වුණේ විලියම් ගොපල්ලව මහතා.

ඔබ වඩාත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වී සිටියේ රංගන ශිල්පිනියක් විදියටද?

මම හිතන්නේ මම වඩාත් ප්‍රේක්ෂකයෝ අතර රැඳිලා හිටියේ ප්‍රසිද්ධ වෙලා හිටියේ නර්තන ශිල්පිනියක් විදියට.

චන්ද්‍රකලා ඔබේ මුල් නමද?

අපෝ නැහැ. මේ නම මට කලාව වෙනුවෙන් ලැබුණ නමක්. මගේ උප්පැන්නේ තියෙන්නේ ෆරිරා ටජුඩීන් කියලා. මම දෙමළ වේදිකා නාට්‍ය බොහොමයක රඟපෑවා. දවසක් නාට්‍ය අධ්‍යක්ෂවරයකු වූ ලැඩිස් වීරමනී ගුරුතුමන් මට කිව්වා ඔයාගේ ඔය තියෙන නමින් කලාව කරන්න බෑ. ඒක කලාවට ගැළපෙන්නේ නැහැ කියලා. ඒ සර් මා වෙනුවෙන් පූජාවක් එහෙම තියලා චන්ද්‍රකලා කියලා නමක් දැම්මා.

චන්ද්‍රකලා කියලා දාන්න විශේෂ හේතුවක් තිබුණාද?

භාරතයේ වෛජයන්ති මාලා වගේ මමත් ඉන්නවා කියලා කවුරුත් මට විහිළු කරනවා. කොහොම හරි අපේ වෛජයන්ති මාලා මමයි කියලා තමයි කවුරුත් කිව්වේ. කොහොම හරි ඔය කතා අතරේ මගේ මුහුණ හඳ වගේ කියලා ලැඩීස් සර් ඔය නම යෝජනා කළා.

අම්මා තාත්තා ඔය නමට කැමැති වුණාද?

අකැමැත්තක් පෙන්නුවේ නැහැ. කලාව එක්ක යන කොට ඒ හා සමාන නමක් තියෙන්නත් එපායැ. කොහොම හරි මට චන්ද්‍රකලා නම වාසනාව ගෙනාවා.

ඔබෙත් නැටුම් කණ්ඩායමක් තිබුණා නේද?

මුලින්ම මම මොහිදීන් බෙග් මාස්ටර් සමඟ මාසෙට සැරයක් නුවර කැන්ඩි ලේක් ක්ලබ් එකේ ඩාන්සින්වලට යනවා. බෙග් මාස්ටර් ගෲප් එකක් අරන් ගිහින් එහි සිං කරනවා. මම ඒ ඒ අයිටම්ස්වලට ඩාන්ස් කරනවා. මාසෙකට සැරයක් මෙතනදි කරන ඩාන්ස් එක දැකලා මට ගොඩක් ආරාධනා ගලාගෙන ආවා හෝටල්වලින්. ධන කුවේරයෝ එනවා මෙතනට නැටුම් සංදර්ශන බලන්න. මම ලෝකයේ රටවල් ගණනාවකට ගිහින් තියෙනවා. ජපානය, සයිප්‍රස්, ඉරාකය, ඉරානය, බෙල්ජියම ඔය වගේ රටවල් ගණනාවක මම නැටුම් සංදර්ශන කරලා තියෙනවා මාස පහ හය නතර වෙලා.

එදා ඔබේ නැටුම් කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වුණේ කවුද?

මගේ නංගි, ඇන්ජලා වනිගසේකර ඊට අමතරව සුනීතා, චන්දියා, නිර්මලා කියලා තව සාමාජිකාවන් තුන් දෙනෙක් හිටියා. අපි ඔක්කොම පස් දෙනෙක්. මම වඩාත් ඩාන්සින් පැත්තෙන් ජනප්‍රිය වුණේ මම ඉදිරිපත් කළ ඇරබික් නැටුම්වලින්.

අන්තිමට රඟපෑ චිත්‍රපටය මතකද?

මට මතක හැටියට ගුඩ් බායි ටෝකියෝ.

ටෙලි නාට්‍යවල රඟපෑවේ නැද්ද?

එක ටෙලි නාට්‍යයක රඟපෑවා. මට නම මතක නැහැ.

ඔබ වඩාත් ජනප්‍රිය වූ නර්තන කණ්ඩායමට සමු දුන්නේ ඇයි?

මගේ නංගිත් අමෙරිකාවේ පදිංචියට ගියා. මගේ පුතාලත් මට කිව්වා දැන් අම්මේ ඔය වැඩේ නතර කරමු කියලා. ඒ හින්දම මම හෝටල්වල නර්තන ඉදිරිපත් කිරීම නතර කළා. ඊට පස්සේ මා පුද්ගලික ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක් ලෙස කාලයක් රැකියාව කළා.

චන්ද්‍රකලා එදා

අපේ ජනකාන්ත නළු නිළියන් සමඟත් ඔබට රඟපාන්න වාසනාව ලැබුණා?

ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, විජය කුමාරතුංග, අනෝජා වීරසිංහ, රෝයි ද සිල්වා ඔය වගේ ගොඩක් අය සමඟ මම රඟපෑවා.

එදා රඟපෑ චිත්‍රපට අද සමහර අවස්ථාවල රූපවාහිනි මාධ්‍යයෙන් විකාශය වෙනවා නේද?

ඔව්. ඒ වෙලාවට මම ඒ චිත්‍රපට නරඹනවා. ඒවා බලන කොට හිතට ලොකු සතුටකුත් ඇති වෙනවා. මාලිනී ෆොන්සේකා මහත්මිය සමඟ රඟපෑ කුණ්ඩලකේෂී චිත්‍රපටය නම් බොහෝ විට වෙසක් දවස්වලට පෙන්වනවාමයි.

එදා කළ කී දෑ ගැන ඔබ තෘප්තිමත්ද?

මගේ රංගනයන්, නර්තනයන් ගැන මම තෘප්තිමත්. ඒ කාලය ගැන අද මතක් වෙන කොට අද මම ඉන්න තත්ත්වය ගැන නම් හිතට දුකක් නැත්තෙත් නැහැ.

ඔබ රඟපෑ චිත්‍රපට අතරින් වඩාත් කැමැති චරිත?

මට සරසවිය සම්මානය ලැබූ ශාන්ති අබේසේකරගේ වහල් දූපත චිත්‍රපටයේ චරිතයටත්, යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කළ අනුරාගම් දෙමළ චිත්‍රපටයේ චරිතයටත් මම ගොඩාක් කැමැතියි.

චිත්‍රපටවල නැටුම් ජවනිකා ඔබේම නිර්මාණ ද?

මුල් කාලයේ මම චිත්‍රපටයේ නැටුම් අධ්‍යක්ෂවරු කියා දුන් පරිදි ඉදිරිපත් කළා. සමහර චිත්‍රපටවල නැටුම් මම නිර්මාණය කළා. රොනල්ඩ් ප්‍රනාන්දු මහත්තයා මට චිත්‍රපට නැටුම් නිර්මාණයේදී අමතක කරන්න බැරි හොඳ නැටුම් නිර්මාණකරුවෙක්.

එදා නර්තනයෙන් රසික සිත් වසඟ කළ ඔබ ඒ ගැන දකින්නේ කොහොමද?

අපි නටනවා කියන කොට සමහරු වපර ඇහින් බැලුව අවස්ථා තිබුණා. මම කළෙත් කලාව. කලාවෙන් කරන්නේ මිනිස් සිත් සතුටු කිරීම. නැටුමෙන් කරන්නෙත් මිනිස් සිත් සතුටු කිරීම. විවිධ නැටුම් වර්ග තියෙනවා. ඒවායේ රසයත් එකිනෙකට වෙනස්. මගේ වෘත්තිය වුණේ නැටුම්. මම තරු පහේ හෝටල්වලත් රැඟුම් ඉදිරිපත් කළා මගේ වගේම වෘත්තියේ ගෞරවයත් ආරක්ෂා කරගෙන.