වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




මේ ගින්දරී ඔබේ ගෙදර නැද්ද?

මේ ගින්දරී ඔබේ ගෙදර නැද්ද?

පබෝදා අසයි

අවුරුදු දොළහකට පස්සේත් ඒ රූපය ඒ විධියටම තියා ගත්තේ කොහොමද?

අසීමිත පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ලද “කොස්තාපල් පුඤ්ඤසෝම” චිත්‍රපටයෙන් පසු ජනකාන්ත සිනමාවේදී උදයකාන්ත වර්ණසූරිය යළි අප හමුවට එන්නේ “ගින්දරී” - බහුබූතයෝ 02 සමඟිනි. එය හෙට (24) සිට රීගල් ඇතුළු සිනමාහල් රැසක ප්‍රදර්ශනයට නියමිතය.

මෙයින් දොළොස් වසරකට පෙරාතුව “බහුබූතයෝ 01” චිත්‍රපටය නැරඹූ කිසිදු පේ‍්‍රක්ෂකයකුට තවමත් ඒ සොඳුරු ලලනාව අමතක නැති වග මට විශ්වාසය. “ටිකිරි” නම් වූ ඇය “බන්ටි” සහ “ලැන්ටි” සමඟ එක්ව අප වෙත ගෙන ආවේ අපූරු ආශ්වාදයකි.

එදා ටිකිරි, මෙදා ගින්දරී වුවද පබෝදා සංදීපනි වෙතින් නිරතුරුව දිස් වන්නේ තාරුණ්‍යයේ සුන්දරත්වය උතුරා යන ඇගේ නොවෙනස් වූ රූ සපුවමය.

බක්මහේ අසිරිය සමඟින් රිදී තිරයට යළි පායා එන මේ සඳවතිය “සරසවිය” හා ආදරණීය කතාබහකට එක් වන්නේ මෙලෙසිනි.

ඉතින්, ඉතින් කොහොමද, “ටිකිරි” අවුරුදු දොළහකට පස්සේ “ගින්දරී” වෙලා...?

ඔව්... ඇත්තටම මම “බහුබූතයෝ” මුල් චිත්‍රපටයේ රඟපැවේ අවුරුදු දොළහකට කලින්. එතකොට මම ටිකක් පුංචියි. අද මම බිරියක්, මවක්. ජීවිතයේ ගොඩක් දේවල් වෙනස් වෙලා. හැබැයි ඒ චරිතයට මම ආයේ රඟපෑවා. හීනයක් වගේ.

ඔයාගේ රූපය, රංගනය එදා වගේමයි. එදා හිටපු සුන්දර යුවතියම අපි අදත් දකිනවා මේ චිත්‍රපටයෙන්...?

මම හිතන්නේ ඒක මට අම්මගෙන් ලැබිච්ච දෙයක්. උපතින් අරන් ආපු දෙයක්. මේ චිත්‍රපටයේ වැඩ කරද්දී මගේ මහත්තයගෙන් වගේම එයාගේ ගෙදර අයගෙනුත් මට ලොකු නිදහසක්, සහයෝගයක් ලැබුණා. නැතිනම් මේ වගේ දෙයක් කරන්න ලැබෙන්නේ නෑ.

මේක මම හිතන්නේ අපේ සිනමාවේ නම් හරිම විරල අවස්ථාවක්...?

ඔව්... මම හිතන්නේ අවුරුදු දොළහකට පස්සේ නිළියක් චිත්‍රපටයේ දෙවනි කොටසේ ඒ විදිහටම චරිතයක් නිරූපණය කරපු පළමු අවස්ථාව ද දන්නෙත් නෑ මේක. මම හිතනවා ලංකාවේ එහෙම දෙයක් වුණ ප්‍රථම වතාව මේක කියලා. පුණ්‍ය හීන්දෙණිය යළි කලියුගයේ රඟපෑවේ තලතුනා නන්දා හැටියට.

පබෝදා, මම හිතන්නේ ලොකු වෙහෙසක් දරන්න ඇති අර කලින් තිබුණ තත්ත්වයටම ඔයාගේ රූපය හැඩ ගස්ස ගන්න...?

ගිය අවුරුද්දේ සැප්තැම්බර්වල තමයි මේ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කළේ. උදය අයියා මේ චිත්‍රපටයට කතා කළාට පස්සේ තමයි ඒ විදිහට මම ඇඟ හදා ගත්තේ. ජිම් ගිහිල්ලා එහෙම නෙවෙයි. ගෙදරම ඉඳලා තමයි මම හැමදේම කර ගත්තේ. මොකද පුතා දාලා එහෙ මෙහෙ යන්නත් බෑනේ නිතරම....

විශේෂ ආහාර වට්ටෝරුවක් එහෙම තියෙන්නැති ඒ කාලේ...?

එහෙම විශේෂ ආහාර වට්ටෝරුවක් නම් ඇත්තටම තිබුණේ නෑ. කෑම කන ප්‍රමාණය අඩු කළා. ව්‍යායාම කළා. ඒ කැපවීම තමයි ගොඩක්ම හේතු වුණේ ඇඟේ හැඩය, පෙනුම නැවත පෙර විදිහටම ඇතිකර ගන්න.

මෙච්චර කාලෙකට පස්සේ ඒ චරිතයම නැවත රඟපාද්දී මොකද ඔයාට හිතුණේ...?

මුල් චිත්‍රපටයේ වගේම මේ චිත්‍රපටයේත් මගේ ආධුනිකත්වය ඒ වගේම තිබුණා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ උදය අයියගේ උපදෙස් මත තමයි සියල්ල කළේ.

ආ... මේ මම කළින් රඟපාපු චරිතයමනේ කියලා හිතුණේ නෑ...?

මේක අලුත්ම චරිතයක් විදිහටයි මට දැනුණේ. ඒ නිසා එදා තිබුණ බය ඒ විදිහටම තිබුණා. ඒ ඇවිදින විදිහ, බලන බැල්ම, හැරෙන විදිහ සියලු දේවල් කළේ අධ්‍යක්ෂවරයා කියපු විදිහට තමයි.

කොහොම වුණත් එදා “බහුබූතයෝ” රංගනය ඔයාගේ සිනමා ගමනට ලොකු අත්වැලක් වුණා...?

2003 වසරේ සරසවිය සම්මාන උළෙලේ හොඳම නැගී එන නිළිය සම්මානයත් මට හිමි වුණා ඒ චරිතයට. මම හිතන්නේ දවසින්, දවස ජනපි‍්‍රයත්වය වැඩිවන චිත්‍රපටයක් ඒක. මොකද එදා චිත්‍රපටය නොබලපු අය අදටත් හොය හොයා මේ චිත්‍රපටය නරඹනවා.

ගින්දරී මනඞකල්පිත චරිතයක්?

ඒත් අපේ රටට ආවේණික දෙයක් නේ මේ කතා කරන්නේ. යක්කු මේ රටේ හිටියා කියනවනේ. යක්කු බැඳ ගෙන වැඩ ගත්ත මිනිස්සු ගැන අපේ ජනප්‍රවාදවල තියෙනවා. කතන්දරවල අපි අහලා තියෙනවා. “බහුබූතයෝ” මේ තරම් අපේ පේ‍්‍රක්ෂකයෝ වැළඳ ගත්තේ මේ අද්භූත කතා අහන්න ඔවුන් තුළ තිබෙන කැමැත්ත නිසයි.

විදෙස් රටවල පවා මෙවැනි චිත්‍රපට ජනපි‍්‍රයයි...?

ඒත් අපිට ඩ්‍රැකියුලා වෙන්න බෑනේ. ඩ්‍රැකියුලා ඉන්නේ පිටරට. අපේ යක්කු විදිහටනේ අපි ඉන්න ඕනෑ.

ඇත්තටම ඒක හරිම අභියෝගාත්මකයි. “බහුබූතයෝ” චිත්‍රපටය කරද්දී උදය අයියා මට කිව්වේ “කොමඩි තියෙන්නේ අනෙක් අයගේ. ඔයාට තියෙන්නේ සිරියස් කැරැක්ටර් එකක්” කියලා. අද වෙනකොට අර පරණ කතාව ඊට වඩා ඇඩ්වාන්ස්. පැරණි ජන කතාවක් ඇසුරෙන් තමයි උදය අයියා බහුබූතයෝ මුල් චිත්‍රපටය කළේ.

“ගින්දරී” - බහුබූතයෝ 02 චිත්‍රපටයේ මම හිතන්නේ වත්මන් දේශපාලන සංස්කෘතිය පවා කිසියම් උපහාසයකට ලක් කරන ස්වභාවයක් තියෙනවා. ඔයා කිව්වා වගේ අද කාලෙට ගැළපෙන චිත්‍රපටයක්...?

උදය අයියා හරි අපූරුවට, ඒ දේශපාලන ප්‍රහසනය මේ චිත්‍රපටයේ මතු කරලා පෙන්වනවා. අනෙක මතුපිටින් පෙනෙන හාස්‍ය රසයට වඩා එහි තිබෙන්නේ ගැඹුරු අරුතක්. මට හිතෙන්නේ උදය අයියගේ සිනමා ජීවිතයේ සුවිශේෂී සලකුණක් මේ චිත්‍රපටය. අපිට ආවේනික කතාවක් තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ.

මේ “ගින්දරී” එක වෙලාවකට බොහොම සුන්දර, ආදරණීය චරිතයක්. හැබැයි තව වෙලාවකට ඇත්තටම මාර යකින්නක්. සැබෑ ජීවිතයේ ඔයත් ඒ වගේද...?

ඔයාගේ ගෙදර එහෙම “ගින්දරී” කෙනෙක් නැද්ද...? අපි සාමාන්‍යයෙන් ඕනෑම කාන්තාවක් ගත්තම වෙලාවකට හරිම සුන්දරයිනේ. බොහොම ආදරෙන් බැඳිලා ඉන්නවා. හැබැයි මේ චිත්‍රපටයේ “ටිකිරි” තමන්ට ආසාධාරනයක් වුණාම, තමයි “යකා” වෙන්නේ. නැතිනම් එයා හොඳට ඉන්නවා.

සැබෑ ජීවිතයේදීත් ඕක අපට පොදු දෙයක්නේ නේද...?

අනිවාර්යයෙන්ම. ඒකයි මම ඇහුවේ අයියලාගේ ගෙදරත් “ගින්දරී” කෙනෙක් නැද්ද කියලා. එකම දේ අද අපේ කාන්තාවෝ වැඩ කරන්න ටිකක් කම්මැලියිනේ. ඒත් ගින්දරී යකා වගේ වැඩ කරනවා.

මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, තව පැත්තකින් ශි‍්‍රයන්ත මෙන්ඩිස්. මේ වගේ ප්‍රවීණ නළුවන්ට මැදිවෙලා නේ ඔයාට රඟපාන්න තිබුණේ...?

ඔව්... ඔව්...

බොහොම සුන්දර මතකයන් එහෙම ඇති...?

අයියෝ... ඒ ගැනනම් කියලා වැඩක් නෑ. අපි හිනා නොවුණ දවසක් නැතිව ඇති. ඔයාටත් මතක ඇතිනේ. ඇත්තටම අපිට නිදහසේ ඒ රඟපෑම් කටයුතු කරගෙන යන්න වටපිටාව හදලා දුන්නේ උදය අයියා. හැම දවසකම ඉතින් මොන මොනවා හරි. බොහෝම සතුටෙන් අපි ඩොනල්ඩ් අයියා ඇතුළු සියලුම දෙනා කාලය ගත කළේ. ඇත්තටම ඔවුන් ප්‍රවීනයෝ නිසා පොඩි ළමයි වගේ බොහොම සැහැල්ලුයි. ඒගොල්ලො එක්ක වැඩ කරන්න කොච්චර ලේසිද කියන එක මට දැනුණා.

කොහොමද බන්ටියි, ලැන්ටියි...?

ඒ වගේම තමයි. එදා “බහුබූතයෝ” චිත්‍රපටයේ දී වගේම රොඩ්නි අයියයි, මහේන්ද්‍ර අයියයි හරිම විනෝදෙන්, සැහැල්ලුවෙන් තමයි මේ චිත්‍රපටයේ වැඩ කළේ.

ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයේ ඔයාට ලැබුණ අවස්ථාවන්ට සාපේක්ෂව බලද්දී සිනමාවේ ලැබුණ අවස්ථා අඩුයි. පබෝදා සංදීපනිගේ රංගන හැකියාව අපේ සිනමා අධ්‍යක්ෂකවරුන් වටහා නොගත්තාදෝ කියලා මට හිතෙනවා...?

ඇත්තටම මම දන්නේ නෑ තේරුම් නොගත්තාද එහෙම මොකක්ද කියලා. මම සිනමාවට ගොඩක් ආදරෙයි. සිනමාවේ වැඩ කරන්න ලැබුණා නම් මට ගොඩක් ආසයි. නමුත් ලැබෙන ප්‍රමාණයක් තියෙනවානේ. ලැබෙන්න දෙයක් තියෙනවා නම් ලැබෙනවා. නැතිනම් නෑ කියන තැන තමා මම ඉන්නේ. මම ලෙස්ටර් ජේමිස් පීරිස් මහත්මයා එක්ක වැඩ කළා. උදය අයියා සමඟ වැඩ කළා. චිත්‍රපට සීයක් කළා වගේ සතුටක් මට තියෙනවා.

කලාත්මක සිනමාවේ ඔයාට මීට වඩා අවස්ථාවක් ලැබුණා නම් විශිෂ්ටතම රංගන ශිල්පිනියක් වෙන්න ඉඩ තිබුණා නේද කියලා හිතුණු නිසයි මම එහෙම ඇහුවේ?

ඒක ඇත්ත. ඒත් මම දන්නේ නෑ ඒකට හේතුව මොකක්ද කියලා. පහුගිය කාලේ කොමර්ෂල් ෆිල්ම්ස් හැඳුණා අඩුයි. ඒ කියන්නේ හොඳ වානිජ චිත්‍රපට. දැන් මාලිනී ෆොන්සේකා මහත්මියගේ කාලේ එහෙම චිත්‍රපට හැදුණනේ. ඇත්තටම ඒ යුගය අපට අහිමි වුණා. ඒක ඉතින් කාලයේ වැරැද්ද...?

පබෝදා මම මෙහෙම ඇහුවොත්...?

කියන්නකෝ...

ඔයා “තරුවක්” ද...?

නෑ... මම එහෙම ඇත්තටම ආසා නෑ තරුවක් කියනවාට. ඊට වඩා, හොඳ රංගන ශිල්පිනියක් කියනවාට මම ආසයි.

මම මේ අහන්නේ ටෙලි නාට්‍යය සම්බන්ධයෙන්. ඔයාට සම්මාන ලැබිලා තියෙනවා. ඒ වගේම ලැබිය යුතු සම්මාන නොලැබී ගිහිනුත් තියෙනවා. මේ රටේ සම්මාන උළෙල ගැන නිළියක් විදිහට ඔයාගේ ආකල්පය මොකක්ද...?

මෙහෙමයි අයියේ, මම මට ලැබෙන දෙයින් ගොඩක් සතුටු වෙන කෙනෙක්. සම්මාන බලාගෙන මම රඟපාලා නෑ. මාර ආදරෙන් මම ඒ වැඩේ කරනවා. සම්මාන උළෙලවල ඉන්නේ විවිධ අදහස්, උදහස්, රුචි අරුචිකම් තියෙන අයනේ. ඉතින් කෙනෙකුට මාව හොඳ වෙන කොට තව කෙනකුට මාව නරක වෙන්න පුළුවන්. සම්මානයක් ලැබුණොත් මම සතුටු වෙනවා. හැබැයි නොලැබුණා කියලා ඒ ගැන එච්චර දුරට හිතන්නෙත් නෑ.

තව කෙනකුට සම්මානයක් ලැබුණොත් සතුටු වෙන්න පුළුවන් හදවතක් ඔයාට තියෙනවාද...?

ඇත්තටම, කෙනකු සම්මානයක් ගත්තොත් අත් පොළසන් දීලා, ඔහුට, හෝ ඇයට අවංකවම සුබ පතන්න මට පුළුවන්.

පබෝදා සංදීපනී කියන ජනපි‍්‍රය නිළිය ගැන මුළු රටම දන්නවා. ඒත් සැඟවෙච්ච දක්ෂ ගායිකාවකුත් ඈ තුළ ඉන්නවා. අපි ඒ ගැයනා රස විඳලා තියෙනවා. ඇයි ඒ හැකියාවෙන් ප්‍රයෝජන නොගන්නේ...?

මම ඇත්තටම බයයි. මොකද මම ථභඵඪජ ඉගෙන ගෙන නෑ. රංගනයත් මම ඉගෙන ගෙන නෑ. ඒක හරි.

නමුත් ඔය දෙකම ඔයාගේ ජානවල තියෙනවා?

බයක් තිබුණාට ආසාවකුත් තියෙනවා. අම්මාත් මට නිතරම කියනවා සිංදුවක් අලුතෙන් කරන්න කියලා. සමහර විට එහෙම කරන්නත් ඉඩ තියෙනවා. බලමු නේද ඉදිරියට.

කොහොමද තිරයෙන් පිටුපස ඔයාගේ ජීවිතය. ඒ කියන්නේ පෞද්ගලික ජීවිතය...?

අපි ඉතින් හොඳින් ඉන්නවා. මගේ සැමියා සිදත් හරීන්ද්‍රගෙන් ඇත්තටම ලොකු සහයක් ලැබෙනවා. පුතා සවේන්ට දැන් අවුරුද්දයි, මාස නවයයි. ඉතින් හරිම දඟයි. ඒ වගේම හරිම සැරයි.

අම්මගේ ගතිගුණද, තාත්තාගේ ගති ගුණද පුතාට තියෙන්නේ...?

අනේ මන්දා කවුරු වගේද කියලා. සිදත්ගේ අම්මයි, අපේ අම්මයි දෙන්නම කියනවා අපි පොඩි කාලේ මෙච්චර දඟ නෑ කියලා. ඉදිරියේ දී කවුරු වගේ වෙයිද දන්නේ නෑ. දැනට නම් දඟයි.

කොහොම වුණත් ජීවිතේ සුන්දරයි නේ...?

හොඳින් ඉන්න උත්සහ කරනවා ඉතිං අයියේ.