වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




මම ආයෙත් ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය කරන්නෙ නෑ...

මම ආයෙත් ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය කරන්නෙ නෑ...

සුමිත් රෝහණ තිත්තවැල්ගල මුල්වරට සරසවියට කියයි

ඒ කාලෙ ඉඳලම සුමිත්ට තිබුණේ පික්චර් පිස්සුව. ඒ තිබුණු පික්චර් පිස්සුව කොයිතරම් ද කිව්වොත් ඉස්කෝලෙ කට් කරලත් ඔහු දිව්වෙ පික්චර් බලන්න. එතකොට සුමිත් හිටියෙ හතේ පන්තියේ. පාසල් වාරය ආරම්භ වුණා විතරයි. පාසලේ ළමයි හැමෝම ගජරාමෙට අස්පස් කරන වැඩවල. සුමිත්ටත්, සුමිත්ගෙ යාළුවා ජයලාල්ටත් තිබුණෙ බොහොම කම්මැළිකමක්.

ඒ නිසාම දෙන්නත් එක්ක පාසලෙන් පැන්නෙ පික්චර් එකක් බලන්න හිතාගෙන. ඒත් හෝමාගම ‘අප්සරා’ හෝල් එකේ දහයයි තිහ දර්ශනය ආරම්භ කරලා ටිකක් වෙලා. කොහොම හරි 1.50 ගණනේ ටිකට් දෙකක් ගත්ත දෙන්නා ඊළඟ දර්ශන වාරය එනතුරු අයිස් ක්‍රීම් කෑවෙ තරගයට වගේ. එදා 2. 30 ෂෝ එක බලලා ඊළඟ දවසේ ඉස්කෝලෙට ගියෙ කිසිම දෙයක් නොවුණු ගානට. ඒත් ඒක එහෙම වෙලා තිබුණේ නැහැ. පසුදා උදේ රැස්වීමෙදි විදුහල්පතිතුමා ඔවුන්ට කතා කළා. කෝ ඊයෙ පික්චර් බැලුව දෙන්නා කියලා.

ඒ විතරක් නෙමෙයි දෙන්නටම හොඳ වේවැල් කසායකුත් ලැබුණා. එදා තමයි සුමිත් මුලින්ම තීරණයකට ආවේ මම කවදාහරි පික්චර් තනන්නෙක් වන බවට. ඒ හීනය හැබෑ වුණේ කාලෙකට පස්සෙ. ‘ස්තුතියි නැවත එන්න’ චිත්‍රපටය වගේම ජාතික රූපවාහිනියේ ‘මුල්’ අරගෙන ආව සුමිත් කුමාර තිත්තවැල්ගල කියන අධ්‍යක්‍ෂවරයා ඒ අතීතය ගෙනහැර පෑවේ මේ ආකාරයෙන්.

“ඉස්සර මට මතකයි සමහර වෙලාවට මම එකම චිත්‍රපටය මහරගම හෝල් එකෙන් රාත්‍රි 9. 30 දර්ශනයත්, 12. 30 දර්ශනයත් නරඹලා පයින්ම හෝමගම තිබුණු අපේ ගෙදරට එන විදිහ. මගේ ගමනට ඒ කාලයේ යාළුවො දෙන්නෙකුත් එකතු වෙලා හිටියා. ඒ විදිහට තිබුණු චිත්‍රපට පිස්සුව අර්ථවත් වෙන්න මග පෑදෙන්නේ අපේ බාප්පා නිසා. ඔහු කොයි තරම් කලාවට ආදරය කළාද කිව්වොත් නිතරම වගේ ‘සරසවිය’ පුවත්පත ගන්න පෙලඹිලා සිටියා. ඔහු ඒ කාලයේ වැඩ කළේ වීරවිල ගාමිණී ෆොන්සේකා මහත්තයට අයිති වත්තක වග මට මතකයි.

ඒ නිසා ඔහු නළු නිළියන්ට බොහොම ආදරය කළ කෙනෙක්. කලා ලොවේ තොරතුරු දැන ගන්න, ගන්න පත්තරේ මමත් කියවන්න පුරුදු වෙලා හිටියා. ඒ ගත්ත දවසකයි අධ්‍යක්‍ෂණය ගැන වැඩමුළුවක් තියෙන වග කියලා පුංචි දැන්වීමක් දමලා තිබුණේ. කොහොම වුණත් මීට පෙර යූත් එකෙන් වගේම චිත්‍රපට සංස්ථාවෙන් කළ වැඩමුළුවලට මාව අරගත්තෙ නැති නිසා මේකට ඉල්ලුම් කරන්න පුංචි බයකුත් සිතේ ඇති නොවුණාම නොවෙයි. ඒ වුණත් මම ඊට ඉල්ලුම් කළා. ඒ ර්‍ණඛ්ධ්ඛ් එකෙන් කළ වැඩමුළුවට මාව තේරුණා. එහිදී මා ලියූ තිරපිටපත බොහොම අගැයීමට ලක්වුණා. මේ මගේ ගමනේ ආරම්භය සනිටුහන් වෙන්නේ ඒ විදියට.”

ර්‍ණඛ්ධ්ඛ් එකෙන් කළ වැඩමුළුවේ සිටිය ඇන්ඩෘ ජයමාන්න කියන්නේ අපූරු මනුස්සයෙක්. ඔහු අනාගතයේ නිර්මාණශීලී අධ්‍යක්‍ෂවරයෙක් තැනීමේ අපූරු කටයුත්තට සුමිත්ට උදව් දුන්නා. අධ්‍යක්‍ෂණය, චිත්‍රපටය ගැන එතැනින් ඉගෙන ගත්ත සුමිත් සහය අධ්‍යක්‍ෂවරයෙක් විදියට මුලින්ම අත්පොත් තියන්නේ ‘ආදරවන්තයෝ’ කියන ටෙලි නාට්‍යයෙන්. ඊළඟට ඕලුකත් සමඟ අධ්‍යක්ෂවරයෙක් ලෙස කලඑළි බසින්නේ සසර සුවහස් නාට්‍යයෙන්.

“මෙතනදී මගේ හැකියාව දැක්ක තිස්ස අබේසේකරයන් මට ඔහු ළඟට කතා කරන්නේ මේ අතරයි. ඒක පුදුම අහඹු සිදුවීමක්. ඒ වගේ ප්‍රවීණ කෙනෙක් ළඟ වැඩ කරන්න ලැබීම මගේ ජීවිතයේ ලැබූ භාග්‍යයක් හැටියටයි මා සලකන්නේ. අධ්‍යක්‍ෂවරයෙක් විදියට වගේම තිරපිටපත් රචකයෙක් විදියටත් කටයුතු කිරීමේදී බොහෝ දේ එතුමාගෙන් ඉගෙන ගත්තා. ඒ අතීතයේ ලැබූ විවිධ අත්දැකීම් තමයි ‘ස්තුතියි නැවත එන්න’ වැනි චිත්‍රපටයක් තනන්නට තරම් මා දිරිමත් කරන්නෙ”.

‘ස්තුතියි නැවත එන්න’ කියන්නේ බොහොම අපූරු චිත්‍රපටයක්. ඒ නිර්මාණයෙන් ප්‍රකට කළ ප්‍රවීණ බව, නිර්මාණශීලී බව සුමිත් චිත්‍රපට ක්ෂේත්‍රයට ආධුනිකයෙක් කියලා අපට හැඟෙන්නේ නැහැ. ඒ වගේමයි මේ චිත්‍රපටයට තියන නම පිටු පස්සෙත් තියෙන්නේ අපූරු කතාවක්.

“චිත්‍රපටයක් බලන්න ගිහින් ගුටිකාපු ඒ අතීතයේදි මම බැලුව චිත්‍රපටය වුණේ ‘යළි හමුවෙමු’ යි. එදා මා තීරණය කර ගත්ත ආකාරයට මම, ‘ස්තුතියි නැවත එන්න’ චිත්‍රපටය කළාට පස්සෙ ඒකට විවිධ නම් සිතුවා. ඒ නම සිතන අතරම මගේ ඒ අතීතය මගේ මතකයට පිවිසුණා. එතැනදි මට වේවැලෙන් තලාපු විදුහල්පතිතුමා මාව වෙනම කැඳවලා අපූරු කතාවක් කිව්වා. ‘ඔයා කවද හරි මොනවගේ කෙනෙක් වේවිද කියලා අපට කියන්න බැහැ.

ඒ වුණත් ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්න. සමහරවිට ඔයාව මේ ක්ෂේත්‍රයෙන්ම යළි හමුවෙන්නත් පුළුවන්’ කියලා කිව්ව කියමන මගේ හිතේ රැඳුණා. ඒ මතකයත් සමඟ මම චිත්‍රපටයට ‘ස්තුතියි නැවත එන්න’ කියන නම යෙදුවා. ඒ ගුරුතුමාගේ අදහස සැබෑ කරමින් මා මේ ක්ෂේත්‍රයටම ආව නිසා ‘ස්තුතියි නැත එන්න’ කියන ආරාධනාව කළා. මේ වනවිට ඒ චිත්‍රපටය විශ්වවිද්‍යාල මට්ටමේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගුරුභවතුන් කතාබහ කරන නිර්මාණයක් බවට පත්වෙලා. මේ ළඟදිත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ එහි පිටපත ගැන ලියන්න, අධ්‍යයන කරන්න මගෙන් අවසර ඉල්ලුවා. ඒ ගැන ඇත්තටම මගේ හිතේ තියෙන්නෙ නිහතමානී ආඩම්බරයක්”.

ස්තුතියි නැවත එන්න’ කියන්නේ සුමිත්ගේ මෙතෙක් නිර්මාණය වුණු පළමු හා එකම චිත්‍රපටය. එහෙම වුණත් ටෙලි නාට්‍ය රැසක්ම ඔහුගේ අධ්‍යක්‍ෂණයෙන් හැඩ වුණා. ‘සසර සුවහස්, අරුණලු කිරණ, සපිරිවර, සත්කුළු තරණ’ ඒ අතර කිහිපයක්. ‘මුල්’ කියන්නේ මේ මෑත කාලයේ ඔහුගේ අධ්‍යක්‍ෂණයෙන් හැඩවුණ වාර්තාමය ටෙලි නාට්‍ය මාලාවක්.

“ ‘මුල්’ කරන්නෙ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්තයාගේ අදහසක් අනුව ලංකාවේ ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්ගේ ප්‍රධානත්වයෙන්. සමාජයට බොහෝ වටිනාකම් එකතු කළ හා සමාජයේ මිනිසුන් අතර තවමත් කතාබහට ලක්වන චරිත ඒකරාශී කරලා තමයි මේ නාට්‍ය මාලාව කරන්නේ. ඒ සඳහා කලාව, දේශපාලනය ආදී අංශවල අය අපි ඊට සහභාගි කර ගත්තා. වලිසිංහ හරිශ්චන්ද්‍ර, අනගාරික ධර්මපාල, ආනන්ද රාජකරුණා, සිද්ධි ලෙබ්බෙ, ආනන්ද සමරකෝන්, ශ්‍රී වික්‍රම රාජසිංහ, ඒ දඬුවාවේ කුමාරිහාමි ආදී බොහෝ චරිත රැසක් ඒ වාර්තාමය ටෙලි මාලාවට ඇතුළත් වුණා.

මමත් මේ නාට්‍ය මාලාවේ කොටස් විස්සක් පමණ අධ්‍යක්‍ෂණය කළා. මා ඊට සහභාගී වුණේ මුල් නාට්‍ය මාලාවට මූලික වුණු ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයාගේ ආරාධනයෙන්. ඒ නිර්මාණයට දායකවීමෙන් මා අත්දැකීම් රැසක් ලැබුවා. ඒ වගේම සංසාරේ පියසටහන් ටෙලි නාට්‍ය මාලාවේ ‘රන් කිරණ, පින් කෙත, දියසායම්’ කියන ටෙලි නාට්‍ය කිහිපය කරන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ වගේම ළඟදී කළ ‘සැබෑ නත්තල’ කියන ඒකාංගික ටෙලි නාට්‍යය මේ මාසෙ නත්තල් දවසට විකාශය වේවි. මේ හැමදේම කළත් මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ගැන ඉන්නේ බොහොම කලකිරීමෙන්. මේ ළඟදි කළ ටෙලි නාට්‍යය වුණු ‘දඩකෙළි අරණ’ තමයි මා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස මගේ ප්‍රේක්‍ෂකයන් හමුවට එන අවසාන ටෙලි නාට්‍යය වෙන්නේ. මින් පස්සෙ මම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණයෙන් සමුගන්නවා. ඒ ගැන මා මුලින්ම කියන්නෙ ‘සරසවියට’ තමයි.”

අද බොහෝ දක්‍ෂ අධ්‍යක්‍ෂවරු ටෙලි මාධ්‍ය හැර දමලා. ඔහුත් මේ මාධ්‍ය එකපාරටම හැර දමන්න සිතුවේ මොන හේතුවක් නිසාද කියලා අපගේ සිතට නැඟුනේ පැනයක්.

“නැවතත් මම ටෙලි මාධ්‍යයට එන්නේ නැහැ. කවුරු කොහොම කිව්වත් බල කළත් මම මේ ටෙලි මාධ්‍යයෙන් සමු ගන්නවා. ඒකට ප්‍රධාන හේතුව වුණේ ටෙලි නාට්‍ය මුහුණපාලා තිබෙන අර්බුදයයි. කැපවීම් කරලා මහන්සි වුණාට කිසිම වැඩක් නැති මාධ්‍යයක් බවට අද ටෙලි මාධ්‍ය පත්වෙලා. මේ වනවිට මම ටෙලි නාට්‍ය දෙකක් කරලා තියෙනවා. එකක් කළේ 2011 වසරේදි. ඒක ජාතික රූපවාහිනියට ඉදිරිපත් කළාට පස්සෙ ලකුණු හැත්තෑ දෙකක් ලැබුණා. මගේ ටෙලි නාට්‍යය තිබුණේ තුන්වැනි තැනටයි. ඒත් එය අද වනතුරු විකාශය වුණේ නැහැ. පුළුවන් වුණු දවසක චිත්‍රපටයක් කිරීමේ අදහසක් තියෙනවා. එහෙම නැත්නම් ව්‍යාපාර කටයුත්තක් කරගෙන ජීවිතය අරගෙන යනවා. ඒ අතර මෙතෙක් සිදුවුණු සියලු සිදුවීම් අලළා පොතක් ලිවීමටත් අදහසක් තිබෙනවා”.

සුමිත් කළ ‘සත්කුළු තරණ’ ටෙලි නිර්මාණය ඔහු පැය කිහිපයක් කෙටි කරලා සම්මාන උළෙලකටත් ඉදිරිපත් කළා. ඔහුට ඒ සම්මාන උළෙලෙදී ලැබුණේ සිල්වර් සම්මානයක්.

“2011 වසරෙදි මා ‘සත්කුළු තරණ’ ටෙලි නාට්‍යය විනාඩි 120 කට කෙටි කරලා තමයි අමෙරිකාවේ හුස්ටන් ඉන්ටර් නැෂනල් ෆිල්ම් පෙස්ටිවල් එකට ඉදිරිපත් කළේ. පීචර් ෆිල්ම් යටතේ මා ඉදිරිපත් කළ මේ චිත්‍රපටයට සිල්වර් සෙමි වෝර්ඩ් සම්මානය හිමි වුණා. මේ නිර්මාණයේ පිටපත ලිව්වෙ නිමල් සේනානායකයි. රුසියානු නවකතාවක් වුණු ‘අපරාධය හා දඬුවම’ කියන නවකතාව ආශ්‍රයෙන් තමයි මේ ‘සත්කුළු තරණ’ කියන ටෙලි නාට්‍යය කළේ. මේ උළෙලට රටවල් තිස්පහකින් හාරදහස් තුන්සිය ගණනක චිත්‍රපට අතරින් තමයි මට මේ සම්මානය හිමි වුණේ. එවැනි සම්මානයක් ලැබුණත් ටෙලි නාට්‍යය අදටත් විකාශය කරගන්න මට නොහැකි වුණා. මා අලුතෙන් කළ ‘දඩකෙළි අරණ’ ටෙලි නාට්‍යයටත් සිද්ධ වෙලා තියෙන්නේ කලින් නාට්‍යයට වුණ දේමයි. එවැනි තත්ත්වයක් ඇති වීම බොහොම කනගාටුවට කරුණක්”.

සුමිත් සිය ටෙලි නිර්මාණ ජීවිතයට සමුදෙමින් කියා සිටියා. මේ අතර බිරිය මන්දස්මිතාගෙන් සුමිත්ගේ නිර්මාණ දිවියට ලැබෙන ආලෝකය ගැනත්, ඔහුගේ දරුවන් සිව්දෙනා වන විකසිත සෙනෙහස්, උමන්ගා තත්සරණි, උදාන් නේසර හා සුදිල මදහස් ආදරයෙන් මතකයට නැගුවා. ඒ සමුගන්නට මොහොතකට මත්තෙන්.