|
මේ රට රැකගන්න නම් ජනාධිපතිතුමන් රැකගන්න ඕනෑ...
ප්‍රවීණ රංගවේදී සිරිල් වික්‍රමගේ අවධාරණය කරයි
ලාංකේය සිනමා වංශයේ විශිෂ්ටත්වයට පත් වූ අතලොස්සක් චරිතාංග රූපණවේදීන් අතර සිරිල් වික්‍රමගේට හිමි තැන සුවිශේෂ වූවකි. ‘මූදු පුත්තු’ නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසි ඔහු සිනමා නළුවකු වූයේ ‘හඳපාන’ චිත්‍රපටයෙනි. නමුදු ප්‍රේක්ෂකයා ඔහු කෙරෙහි වඩාත් ආසක්ත වන්නේ ‘සත් සමුදුර’ චිත්‍රපටයේ ‘ගුණදාස’ නමැති චරිතය හරහාය. වෘත්තීය රංගන ශිල්පියකු වුව ද ඔහු රඟපෑවේ චරිත තෝරා බේරා ගනිමිනි. ඔහුට අවැසි වූයේ වඩා හොඳ නිර්මාණ සඳහා දායක වෙමින් සිය රංගන කුසලතා විදහා දැක්වීමට විනා සංඛ්‍යාත්මකව ගොඩ වැඩි කර ගැනීමට නොවේ. වේදිකාව, සිනමාව, පුංචි තිරය ඔහු වඩාත් හෘදයාංගම ලෙස ස්පර්ශ කළේ එකී අරමුණ සාක්ෂාත් කරගැනීම උදෙසාය. සිය සිතැඟි වඩාත් විවෘතව හා අව්‍යාජව ගෙන හැරපාමින් සිරිල් වික්‍රමගේ අද මෙසේ ‘සරසවිය’ මැද පිටුව අතරට එක් වේ.
මොනවද මේ දවස්වල ඔබේ කලා කටයුතු? එහෙම විශේෂ දෙයක් නම් මේ දවස්වල නැහැ. අශෝක හඳගමගේ අලුත් චිත්‍රපටයට ආරාධනා ලැබුණා. මේ එන ජනවාරි මාසයේ එහි රූගත කිරීම් ආරම්භ කරනවා. මොන වගේ චරිතයක්ද? මිනිස්සු පිටරට යවන බ්‍රෝකර් කෙනෙකුගේ චරිතයක්. ටිකක් සටකපට චරිතයක් මේක. තිර පිටපත කියපුවාම ඒ චරිතයේ යමක් කරන්නට තියෙනවා කියලා මට හැඟුණා. ඔබේ රංගන දිවියේ තරමක නිහැඬියාවක් අපි දකිනවා. චරිත තෝරා බේරාගෙන රඟපාන නිසාද ඒ? ඔව්. ඒක තමයි ඇත්ත. අද ඉතින් වැඩිපුරම හැදෙන්නේ ටෙලි නාට්‍යනේ. ඒකට ආරාධනා ලැබෙනවා. ඒවයේ මට ගැළපෙන චරිත නෑ. එහෙම තිබුණොත් මම ඉතින් පිටපත බලලා ඊට එකඟ වෙනවා. හැබැයි එහෙම වෙන්නේ කලාතුරකින්. වෘත්තීය නළුවකුට ඕනෑම චරිතයක් නිරූපණය කරන්න සිදු වෙනවා. ගැළපෙන චරිත කියා ඔබ අදහස් කළේ? ඒ කියන්නේ මෙහෙමයි. අපේ වයසට ගැළපෙන, හැකියාවන්ට ගැළපෙන, එතකොට ප්‍රේක්ෂකයා කැමැතියි කියා සිතෙන නිර්මාණයකට නම් මම දායක වෙනවා. ඒත් අද හැදෙන්නේ කිසි වැඩක් නැති, ඔහේ ඉබාගාතේ යන ටෙලි නාට්‍යය. හැම ටෙලි නාට්‍යයකම තේමාව එකයි. එකම කතාව තමයි රිපීට් වෙවී, එක තැන පල් වෙවී යන්නේ. බොහෝ දෙනකු පවසන්නේ මේකට හේතුව හොඳ තිර පිටපත් රචකයන් නොමැතිකම බවයි? ඇත්තටම හොඳ තිර පිටපත් රචකයේ අද ටෙලි නාට්‍යය ලියන්නේ නැහැ. මම නිදර්ශනයක් කියන්නම්. සෝමවීර සේනානායක අද පිටපත් ලියන්නේ නෑ. කේ. බී. හේරත් නෑ අද. දැනට ඉතින් එහෙම ප්‍රශස්ත මට්ටමේ ටෙලි නාට්‍යය පිටපත් ලියන්නේ සරත් ධර්මසිරි වගේ අය විතරයි. මම අන්තිමට රඟපෑ ‘රණා’ ටෙලි නාට්‍යයත් ඔහුගේ. අද මිනිහා තමයි ඉතින් ඉන්නේ. එතකොට සිනමාවේත් ඔය අර්බුදය තියෙනවාද? තියෙනවා. ඇත්තටම දැන් හැමෝම කරන්නේ ඉතිහාසය ගැන කියැවෙන චිත්‍රපට. එහෙම රැල්ලක් තියෙනවනේ. ඒක නරක නෑ. මොකද ප්‍රේක්ෂකයා සිනමා ශාලාවට ගෙන්න ගන්න පුළුවන් නිර්මාණයක් කරන එක හොඳයි. විශේෂයෙන්ම ප්‍රේක්ෂකයා සිනමාවෙන් ඈත් වෙන යුගයක. නමුත් ඉතින් දිගටම එකම දේ කරන්න හොඳ නෑ. සිනමාව පුළුල් විෂයයක්. එහි ආකර්ෂණයක් තිබිය යුතුයි. ඒ වගේම එය සිනමාත්මක ප්‍රකාශනයක් විය යුතුයි. අද එහෙම ඒවා හරි අඩුයි. සමහරු කියනවා ඉතිහාසය රූප මාධ්‍යයට ගෙන ඒම හරහා වත්මන් පරපුරට ඒ පිලිබඳ දැනුමක් ලැබෙනවා හා හැඟීමක් ඇති වෙනවා කියන එක. මේ ප්‍රවණතාව ඉතිහාසය අමතක කර දාපු යුගයක යම් සාධනීය ලකුණක් නෙවෙයිද? හැබැයි හුඟ දෙනෙක් ඉතිහාසය වරද්දලා තියෙනවා. ඒකත් වැරැදියි. සමහර චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයාට ලබා දෙන්නේ වැරැදි අර්ථකථන. ඒ චරිත වැරැදියි. ඉතිහාසයේ සිද්ධාන්ත වෙනස් කරලා තියෙනවා. චරිත වෙනස් කරලා තියෙනවා. ඒක නිසා අර දැනුම ලබනවා කියන එක මම පිළිගන්නේ නෑ. තිහාසයට වඩා කලාව දාර්ශනිකයි කියනවානේ. ඒ මතයේ ඉන්න කලාකරුවකුට බැරි ද තමන්ගේ නිර්මාණ පරිකල්පනය හරහා එහම වෙනස්කම් කරන්න? පුළුවන්. ඉතිහාසය පිළිබඳ නිර්මාණ කරන එකට මම විරුද්ධ නෑ. නමුත් ඉතිහාසය, ඉතිහාසය විය යුතුයි. ඒ පසුබිම තිබිය යුතුයි. චරිත සමහර විට වෙනස් වෙන්න පුවවන්. අලුතෙන් චරිත එකතු වෙන්නත් පුළුවන්. නමුත් මේ දුටුගැමුණු රජුගේ යුගයට, ශ්‍රී වික්‍රම රාජසිංහ යුගයේ හිටපු චරිත දාන්න බෑනේ. ඒ අතීත මූලාශ්‍රයන් වෙනස් කරන්න බෑනේ. ඔබේ සිනමා රංගනයේ කූටප්‍රාප්තිය විදිහට අදටත් බොහෝ දෙනකු හඳුන්වන්නේ ‘සත් සමුදුර’ චිත්‍රපටය? ඔව්. එය මගේ සිනමා ප්‍රවිශ්ටය කිව්වොත් හරි. තමන්ගේ ආරම්භයේදීම විශිෂ්ටත්වයට පත් නළු නිළියන් අපට හමු වන්නේ කලාතුරකින්. ඔබ ඒ දේ කළා. වේදිකාවත් එක්ක ඒ වන විට ඔබේ තිබූ ගනුදෙනුව ද ඊට ඉවල් වුණේ? රංගනය කියන එක වේදිකාවේදී තමයි මම හැදෑරුවේ. ඒ භූමිකාව, චරිතය තේරුම් ගැනීම, ඒ තුළ හැසිරීම, මේවා වේදිකාවෙන් මා ලබා ගත් අත්දැකීම්. ඇත්ත වශයෙන්ම වේදිකාව තමයි මගේ සිනමා පාසල. වේදිකාව හා සිනමාව මාධ්‍යයන් දෙකක් නේ. වේදිකාවෙන් ආ කෙනෙක් හැටියට සිනමා මාධ්‍යය හසුරුවා ගැනීම ඔබට අපහසුවක් වුණේ නැද්ද? නෑ. එහෙම ගැටලුවක් ඇති වුණේ නෑ. මොකද අපි සිනමාව දැකපු මිනිස්සුනේ. ඒ වෙන කොට ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගම්පෙරළිය’ වගේ චිත්‍රපට නරඹා කිසියම් ආශ්වාදයකින් මා පසු වුණේ. ඒ එක්කම මම හුඟක් බටහිර චිත්‍රපට නරඹා තිබුණා. මම බොහෝ ආසා කළ නළුවෙක් තමයි මාලන් බ්‍රැන්ඩෝ කියන්නේ. නළුවා කෘතිය තුළ හැසිරෙන ආකාරය, ඒක මම තේරුම් ගත්තා. ඒ වටහා ගැනීම අතිශයින් වැදගත් වුණා? ඔව්, අවබෝධය. දැන් පිටපතේ යම් සිද්ධි මාලාවක් තියෙනවනේ. ඒ තුළ තමාගේ කාර්ය කුමක්ද? අනෙක් චරිත හා තමා අතර බැඳීම, ගැටීම මොකක්ද? ඒවා තේරුම් ගන්න ඕනෑ. නළුවෙක් කියන්නේ නිරීක්ෂකයෙක් නේ. කෙනෙක් තව කෙනෙකුගෙන් වෙන් වෙන්නේ ඔහුගේ හැසිරීම් රටාවෙන්. දැන් මමත්, ඔයත් වෙනස්. අපි එකම වචන කතා කරන්නේ. නමුත් ශෛලීන් දෙකක්. හැබැයි අපි දෙන්නම මිනිස්සු. නහය, කට, ඇස් මේ සියලු ඉන්ද්‍රියන් එකයි? ඔව්. ඒත් අපි චරිත දෙකක් අන්න ඒ හැසිරීම් රටාව නළුවා අධ්‍යනය කරන්න ඕනෑ. ඒවා අපි ගබඩා කරගන්න ඕනෑ. ඊට පස්සේ අපි ඒ අදාල චරිතය රඟපාන කොට අර ගබඩා කර ගත්තු දේවල් එක්කාසු කර ගන්න ඕනෑ. අපිට හිඟන මිනිස්සු හම්බ වෙනවා. චන්ඩි මිනිස්සු හම්බ වෙනවා, ‘අඩෝ’ කියාල පාට් දාන. එතකොට කපටි මිනිස්සු, තාපසයෝ වගේ උදවිය. දැන් මේ හැමෝටම තියෙනවා ඒ ඒ අයට ආවේණික ලක්ෂණ. නළුවා, උකුස්සෙක් වගේ ඒවා ඩැහැගන්න ඕනෑ? ඇත්තෙන්ම. නළුවාට අවශ්‍යම දෙයක් තමයි නම්‍යශීලිත්වය. මේ ෆ්ලෙක්සිබිලිටි කියන එක. ඔහුගේ කය, මනස එකක් විය යුතුයි. එහෙම නැතිව රඟපාන්න බෑ. සංවාද කියවලා විතරක් රඟපාන්න බෑ. ඒකේ අර්ථයක් තියෙනවා. දෙබස් උච්චාරණයෙන් පමණක් නළුවකු වෙන්න බෑ. විවිධ ඉරියව්, විවිධ ප්‍රකාශන තියෙනවා. මම මේ තරහකට කියනවා නෙවේ. අද ඉන්න බොහෝ ටෙලි නාට්‍යය නළු නිළියෝ ‘මොකක්ද මගේ කොටස’ කියලා අහලා අරක කියවනවා. ඉතිං අර්ථයක් නෑ. මේක ගැඹුරින් අපි හදාරන්න ඕනෑ. වේදිකාවේ සිටි සිරිල් වික්‍රමගේ සිනමාවට ඇදලා ගත්තේ සිසිර සේනාරත්න කියා ඔබ නිතරම පවසනවා. ඒ අතීතය ගැන මතක් කළොත්? ඔව්, ඔව්. මම වේදිකා නළුවෙක් එතකොට. ‘මූදු පුත්තු’ නාට්‍යයේ මම රඟපෑවේ තේගිරිත්ගේ චරිතය. දවසක් සිසිරයි, හර්බට් එම්. සෙනෙවිරත්නයි මේ නාට්‍යය බලන්න ආවා. මගේ රඟපෑම් බලලා ඔවුන් හිතලා තියෙනවා ‘හඳපාන’ චිත්‍රපටයේ හරඹාගේ චරිතයට මාව ගැළපෙයි කියලා. ඒ බව සිසිර මට කිව්වාම එච්චර කැමැත්තක් තිබුණේ නෑ මට. ‘නෑ නෑ උඹ හරි යන්න් සිනමාවට’ කියලා බලහත්කාරෙන් වගේ මාව සිනමාවට ගෙනත් දැම්මේ සිසිර තමයි. ඊට පස්සේ ‘සත් සමුදුර’? ඔව්. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘පබාවතී’ නාට්‍යය බලන්න දවසක් ලීනස් දිසානායක සහ ඔහුගේ මිතුරෙක් ආවා. ඇත්තෙන්ම ඔවුන්ගේ සිතේ චිත්‍රපටයක් කරන්න අදහසක් ඇති වෙලා ඊට සුදුසු නළු, නිළියන් හොයන්න තමයි ඒ ඇවිත් තිබුණේ. මාව තෝරා ගත්තා. මට පිටපතක් දුන්නා. ඒක බලලා මම කිව්වා මේ පිටපතට මම එකඟ නෑ කියලා. කාටද කිව්වේ? දොස්තර ලීනස් දිසානායකට. ඔහුත් කිව්වා මමත් කැමැති නෑ මේකට. මට වෙන පිටපතක් හොයලා දෙන්න කියලා. ‘මූදු පුත්තු’ සිනමාවට නඟන්න අපේ තිබුණා අදහසක්. ඒ නාට්‍යයේ පිටපත ලියා තිබුණේ ගුණසේන ගලප්පත්ති හා මහගමසේකර දෙන්නා. අපි ඔක්කොම එකතු වෙලා මේ ගැන සාකච්ඡා කරලා එහි අධ්‍යක්ෂණ කටයුතු ගලප්පත්තිටම බාර කළා. සංගීත අධ්‍යක්ෂණයට තෝරා ගත්තේ සෝමදාස ඇල්විටිගලයි. ඒත් ගලප්පත්ති අදිමදි කළා මේ වැඩේ කරන්න. කොහොම හරි එයා ගිහින් සිරි ගුණසිංහ හම්බ වෙලා තියෙනවා. එයාගේ ගුරුවරයෙක්. ඊට පස්සේ එහි අධ්‍යක්ෂණය පැවරෙන්නේ සිරි ගුණසිංහට? අපි එතකොට ගුණසිංහව දන්නේ නෑ. කොහොම හරි දොස්තර ලීනස්වත් කැමැති කරවා ගෙන අපි වැඩේට බැස්සා. ‘මූදු පුත්තු’ පිටපත වෙනුවට ඒ කතාවම තේමා කරගෙන සිරි ගුණසිංහ හා වසන්ත ඔබේසේකර ‘සත් සමුදුර’ තිර පිටපත ලිව්වා. වසන්ත එතකොට වැඩ කළේ ලේක්හවුස් එකේ. සේකරට ගීත රචනය පැවරුවා. සිරි ගුණසිංහ තමයි ඩී. බී. නිහාල්සිංහව කැමරා අධ්‍යක්ෂණයට ගත්තේ. එතකොට අපි ඔක්කොම ආධුනිකයෝ. එසේ වුවත් ‘සත් සුමුදුර’ ලාංකේය සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වෙනවා. සිරිල් වික්‍රමගේ ගේ සම්මානනීය රංගනය ගැනත් එදා බොහෝ දෙනකු කතා කළා? ඇත්තෙන්ම මගේ අනන්‍යතාවය ගොඩ නැඟුණේ ඒ චරිතයෙන් කිව්වොත් හරි. ඒත් ඒ වසරේ ‘සරසවිය’ සම්මාන හිමි වුණේ ගාමිණී ෆොන්සේකා ‘හොරුන්ගෙත් හොරු’ චිත්‍රපටයේ රඟපෑ ජේම්ස් බොන්ඩ් චරිතයට. හැමෝම හිතුවේ ඒ සම්මානය මට ලැබෙයි කියලා. ඒ සම්මාන උළෙල තිබුණේ ලේඩිස් කොලේජ් එකේ. මම හෝල් එකට ගියාම ‘යුවා(ර්) ද බෙස්ට් ඇක්ටර්’ කියලා හැමෝම සුබපැතුවා. නමුත් මට ඒක ලැබුණේ නැහැ. ඒ ගැන එදා ඔබට කණගාටුවක්, පසුතැවිල්ලක් ඇති වුණේ නැහැ? අනේ නැහැ. මම ඔය සම්මානවලට රඟපාන මිනිහෙක් නෙවේ. දැන් ඔය ‘ ඇල්ල ළඟ වලව්ව’ ටෙලි නාට්‍යයේ මං කළ රගපෑම. මා රඟපෑ නිසා කියනවා නෙවෙයි එය අසීරු රංගනයක්. නමුත් මට සම්මානයක් ලැබුණේ නෑ ඔය ර්‍ණ. ඛ්. ධ්. ඛ් සම්මාන උළෙලේදී. ඒ කියන්නේ ඔබ ඒ සම්මාන බලාපොරොත්තු වුණා? නෑ එහෙම නෑ. අපි එහෙම බලාපොරොත්තු තියා ගන්න හොඳ නෑ. ලෝකයේ හොඳම විනිශ්චය මණ්ඩලය ගත්තත් ඒ අය අතරත් විවිධ රස භාවයන් තියෙනවා. ඉතින් අපි කණගාටු වෙන්න හොඳ නෑ. විනිශ්චය මණ්ඩලය කියන්නේ දේව සභාවක් නෙවෙයිනේ. බොහෝ විචාරකයන්ට අනුව විශිෂ්ටතම පසුබිම් සංගීතය රැගත් සිංහල චිත්‍රපටය ‘සත් සමුදුර’යි. එහි ‘සිනිඳු සුදු මුතු’ ගීතය තරම් චිත්‍රපටයේ තේමාව සහ රූප රාමු සමග බද්ධ වූ වෙනත් නිර්මාණයක් අප නොදුටු තරම්? ඒ ගීතයෙන් කියැවෙන්නේ චිත්‍රපටයේ තේමාව. ඇත්ත වශයෙන්ම ‘මූදු පුත්තු’ නාට්‍යයේ තේමාවත් ඕක. මුහුදෙන් උපන් මිනිසා මුහුදට බිලි වෙනවාය කියන එක. මුහුද හරිම සුන්දරයි. ඒ වගේම ප්‍රචණ්ඩයි. ‘සිනිඳු සුදු මුතු තලාවේ – පිපෙන පෙණ පිඬු සිනාවේ’ කියලා සේකර ඒ ගීතය ආරම්භ කරන්නේ හරිම සුන්දර විදිහට. ඒත් එහි අවසාන කොටසේ ‘ගැඹුරු සත් සමුදුර පතුල බිඳ, ඇඹරි ඇඹරී වියරු ජල කඳ, තුමුල මහමෙර දෙදරවයි’ කියලා ඔහු ලියනවා. ඒක වුණා නේද අපේ රටට. සුනාමිය. ඒ සුනාමිය තමා මේ ලිව්වේ. එදා සුනාමියක් ගැන අපි අහලවත් තිබුණද? නෑ . . . නමුත් සේකර කලින් ඒක දැක්කා. කවියකුගේ පරිකල්පන ශක්තිය තමයි ඒ. සෝමදාස ඇල්විටිගලගේ සංගීතය හා අමරදේවයන්ගේ ගායනය ඒ පදවැලට ඉතා හොඳ සාධාරණයක් ඉටු කළා? ගීත රචකයයි, සංගීතඥයයි දෙන්නම එකම තැන හිටියේ. කොයි තරම් විශිෂ්ට සුසංයෝගක් ද බලන්න ඒක. අමරදේවයන්ගේ හඬ හා ගැයුම් විලාසය ඊට විශාල සාධාරණයක් ඉෂ්ට කළා. ඒ ගීත නිර්මාණය සඳහා රංගනයෙන් දායක වුණේ මම. අපේ සිනමාවේ ‘රජ තුන් කට්ටුව’ හැටියට සැළකෙන්නේ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවිික්‍රම හා ටෝනි රණසිංහ. විශිෂ්ට චරිතාංග නළුවකු වන ඔබේ නම එතනට ආදේශකයක් ලෙසවත් යොදා ගන්නේ නැහැ. ඔව්. ඒ ගැන ඔබේ මතය? මගේ කිසිම අමනාපයක් හෝ විරුද්ධත්වයක් නෑ ඒ ගැන. ඒ විචාරක මතයනේ.ප්‍රේක්ෂක මතය ඕක නෙවෙයි වෙන්න පුළුවන්. දැන් ගාමිණී ෆොන්සේකා ඇත්ත වශයෙන්ම හොඳ නළුවා. ඔහු හොඳ ෆයිටර් කෙනෙක්. ෆයිට් එකක් නැතිනම් සිනමාවත් නෑ ඒ දවස්වල. ඉතිං ගාමිණී තමන්ගේ ප්‍රතිවාදියාගේ පුකට පයින් ගහලා එළවනවා. එතකොට ඔහුට ප්‍රේක්ෂකාගාරයෙන් විසිල් පාර වැදුණා. ඔබේ දැක්මට අනුව මේ තිදෙනා අතරින් විශිෂ්ටයා කවුද? ඒ ජෝ අබේවික්‍රම. ගාමිණී ෆයිට්වලින්. ජෝ රඟපෑමෙන්. ටෝනි කඩවසම් පුද්ගලයා. ඒත් මොවුන් අතරින් මා දැකපු විශිෂ්ට ගණයේ නළුවා ජෝ අබේවික්‍රම. ගාමිණී, ටෝනි දක්ෂයින් නොවන වග නෙවෙයි මං කියන්නේ. නමුත් ඒ අතරින් මා වඩාත් ප්‍රිය කරන්නේ ජෝ. ඒ ඇයි කියා මා ඇසුවොත්? න් බලන්න, මුලින්ම ඔහු සිනමාවට එක් වන්නේ විකට රංගනයෙන්. නමුත් ඔහු ‘වැලිකතර’ චිත්‍රපටයේ ගෝරිං මුදලාලිගේ චරිතයෙන් ඒ සියල්ල කනපිට හරවනවානේ. ඔයා දන්නවද ඒ චරිතය මුලින් මටයි දෙන්න හැදුවේ කියලා. ඔය පිටපත ලිව්වේ තිස්ස අබේසේකර. නිහාල්සිංහ වගේම තිස්සත් කැමැති වුණා මේ චරිතය මම රඟපානවාට. මොකද ජෝ එතකොට විහිළුකාරයෙක්නේ. මුහුරත් උළෙලටත් මම ගියා. එතකොට කොහොමද ඒ චරිතය ඔබෙන් ගිළිහී ජෝ අබේවික්‍රමට ලැබෙන්නේ? තිර පිටපත පවා මම කියවලා තිබුණේ. කෙසේ හී ඒ චරිතය මට අහිමි වුණා. ඒත් මම සැළුණේ නැහැ. මොකද ජෝ අබේවික්‍රම ඒ චරිතය ඉතා විශිෂ්ට අයුරින් රඟපෑවා. අපට නොලැබෙන දේ තියනවා. ඒකට අපි වැලපෙන්න හොඳ නෑ. කෙසේ හෝ ඔබ චිත්‍රපට අධ්‍යක්ෂණයටත් පිවිසෙනවා? දොස්තර ලීනස් දිසානායකගෙන් මට ආරාධනාවක් ලැබුණා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න. ඉතිං මම තිර පිටපතකුත් ලිව්වා. ‘රංකැටි පුතා’ කියලා. ඇන්ඩෲ ජයමාන්න තමයි කැමරා අධ්‍යක්ෂණයට තෝරා ගෙන තිබුණේ. බොහෝ විට නිර්මාණය අතරතුර අධ්‍යක්ෂවරයායි, කැමරා අධ්‍යක්ෂවරයායි ගැටෙනවා. අපි අතරෙත් එහෙම දේවල් වුණා. කොහොම හරි ‘සිහින ලොවක්’ නමින් චිත්‍රපටය ප්‍රදර්ශනය වුණා. ඒ වෙද්දි අධ්‍යක්ෂණය ගැන මට ලොකු අවබෝධයක් තිබුණෙත් නෑ. මම හිතන විදිහට එය අසාර්ථක චිත්‍රපටයක්. හැබැයි චිත්‍රපටය නිසා ඉතා විශිෂ්ට ගීතයක් අපේ ගීත සාහිත්‍යයට එකතු වුණා? සේකරට මම චිත්‍රපටයේ අදාල සිද්ධි මාලාව කිව්වා. ඔහු ගීත කිහිපයක්ම ලිව්වා. හැබැයි ඒ එකක්වත් මගේ හිතට හරි ගියේ නෑ. අවසානයේ ඔහුගේ පරණ දින පොතක තිබිලා මට නිසදැස් කාව්‍යයක් දුන්නා. ‘මේ ලොව යම් කිසිවකු මා හට පෙම් කළ බව’ කියා ආරම්භ වී තිබුණ ඒ කවි පෙළ දැක්කම මට හිතුණා එයම තමා මා මෙතෙක් සෙවූ නිර්මාණය කියලා. අවසානයේ සෝමදාස ඇල්විටිගල ලවා ඊට තනුව නිර්මාණය කර අමරදේවයන් ලවා ගීතය ගායනා කර ගත්තා. ඔබ දේශපාලනය පිළිබඳ දිගු ඉතිහාසයක් ඇති කලාකරුවෙක්. ඇතැම් විට ඔබ රජුන් තනන්නට තිරයෙන් පිටුපස හිඳ විශාල කැපකිරීමක් කළ, දායකත්වයක් දුන් අයෙක්. අද වෙනකොට ඔබේ දේශපාලන ස්ථාවරය කෙබඳුද? අද මේ මොහොතේ අපේ රට තියෙන්නේ තීරණාත්මක, අභියෝගාත්මක වටපිටාවක. තිස් වසරක ශාපලත් යුද්ධයෙන් මේ රට බේරා ගත්තු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට එරෙහිව අද විවිධ කුමන්ත්‍රණ දියත් වෙනවා. ඉතිහාසයේ පටන්ම අපේ රට විවිධ ආක්‍රමණවලට ලක් වුණා. චෝල, පාණ්ඩ්‍ය, කේරළ ජාතිකයන්ගේ ඉඳන් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මේ රට පාලනය කළා. නමුත් ඒ හැම මොහොතකම කවුරුන් හෝ විරුවෙක් අපේ රට, දැය බේරා ගත්තා. අපේ කාලයේ ඒ මහා හපන්කම කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. අභියෝග ඉදිරියේ නොසැළෙන නායකයෙක් ලෙසයි බොහෝ දෙනා එතුමන් හඳුන්වන්නේ? එක ඇත්ත. එතුමා ප්‍රතිපත්තිගරුක, සෘජු තීරණවලට එලැඹිය හැකි නායකයෙක්. කම්කරු සටන් මෙහෙයවපු, ඒ වෙනුවෙන් වීදි බැහැපු නායකයෙක්. ඇත්තටම කියාපු විදිහට ඔහු යුද්ධය දියත් කළා. හරියටම වසර තුනකින් අවසන් කළා. මේක නවත්වන්න කියලා ජාත්‍යන්තරයෙන් විවිධ බලපැම් ආවා. ඒත් එතුමා ඒවාට සැළුණේ නැහැ. දැන් පිස්සු බල්ලෙක් හපා කන්න එනකොට ඌට ගහලා මරන්නේ නැතිව උගේ දත් කීයක් තියෙනවාද බලන්නේ නෑ. ගහනවා. අපි කිව්වේ ගහන්න. ඉවර කරන්න කියලා. එතුමා යුද්ධය ඉවර කළා. යුද්දෙන් පසු රටේ ඇතිවුණ සංහිඳියාව හා සංවර්ධනය ගැන ඔබ හිතන්නේ කොහොමද? එදා යුද්දෙන් පීඩාවට පත් වූ දෙමළ, මුස්ලිම් වැසියන් යළිත් ඒ ගම්බිම්වලම පදිංචි කරවා තිබෙනවා. අද කිසි කෙනෙක් අවතැන් වෙලා නෑ. යුද්දේ අවසන් වුණාට පස්සේ අපේ හමුදාව එකතු වෙලා සියලුම බිම් බෝම්බ ඉවත් කළා. ඊට පස්සේ තමයි ජනතාව එහි පදිංචි කෙරෙව්වේ. ලෝකේ කොහේවත් රටක මෙච්චර ඉක්මනට බිම් බෝම්බ ඉවත් කරලා නෑ. බලන්න දැන් පාරවල් හැදෙනවා. අධිවේගි මාර්ග හැදෙනවා. ලංකා සිතියමත් දැන් වෙනස් වුණානේ. අවසාන වශයෙන් අවුරුදු තිස් තුනකට පස්සේ ‘යාල්දේවී’ යාපනයට යැව්වා. කොයි තරම් ජයග්‍රහණයක්ද? දැන් අලුතින් වරාය, ගුවන් තොටුපළ ඉදි වෙලා. විදුලි බලාගාර නිපදවෙලා. මේවා සංවර්ධනය නෙවෙයි කියලා කියන්නේ ඇස් කන් නැති අය. ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ කලාකරුවකු හැටියට ඔබ මේ රටේ සහෝදර කලාකරුවන්ට මේ මොහොතේ දෙන පණිවිඩය? කලාකරුවාට දේශපාලන දැක්මක් තිබිය යුතුයි. ඒ අරමුණ කරා යන්නට පුළුවන් විය යුතුයි. ඒ දැක්ම හා අරමුණ සාධාරණ විය යුතුයි. මේක එක රටක්. විවිධ ජාතීන්ට අයත් මිනිස්සු මෙහෙ සාමයෙන් ජීවත් වෙනවා. ඒ මිනිස්සු ඇයි අපි බේද කරන්නේ. විවිධ දේශපාලන මතිමතාන්තර තියෙන්න පුළුවන්. නමුත් පළවෙනි එක රට. මේ භූමිය, මේ බිම අපට, අපේ දරුවන්ට තියෙන්න ඕනෑ. එය රැක ගන්න නම් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව අපි රැකගන්න ඕනෑ.
|