|
ගේයපද රචකයෙක් තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය
රෑ කවුද හෙමින් එළැඹී මගෙ කනට මුව තියා මින්දදගේ දුන්නෙ මල් හී පහකැයි කියා ගියා
ගීපද රචිකා අයිරාංගනී මද්දුමබණ්ඩාර
බොහෝ අතීත සිතුවිලි කාලයක් ගෙවී ගිය ද අපගේ මතකයේ සැරිසරන්නේ මියෙන තුරාවටමය. කාලයක් ගත වූ විට ඒ මතකය අපගේ සිතේ ශේෂ කරන්නේ සොඳුරු හැඟීමකි. එවැනි සොඳුරු මතක පෙළක් ශේෂ කළ අතීතයකට උරුමකම් කී අයිරාංගනී මද්දුම බණ්ඩාර ඔබ හඳුනන්නේ දයාන් විතාරණ ගයන ‘සිත්තම් කරමින්’ ගීතයේ ගේය පද රචිකාව ලෙසිනි. මේ දිනවල බොහෝ ජනප්‍රිය වේරලියැද්ද ගයන ‘සත් මහ සයුර වගේ’ ගීතය ලියා ඇත්තේ ද ඇයමය. ‘හද පුලින තලාවේ’, ‘සිතිජ ඉමයි ඔබ සයුරු අනන්තේ’, ‘සත් විසි වසරක් සෙනෙහෙන්’ ආදී ගීත රැසක් රචනා කර ඇති අයිරාංගනී මද්දුම බණ්ඩාර මෙවර ‘මතක ගී පොත’ට එක් වෙයි. හාත්පස වූ නිහඬතාව බිඳෙන්නේ රැහැයියන්ගේ නාදයෙනි. ඒ හඬ පරදවමින් ඈතින් ඇසෙන බටලීයක ස්වරය සිහිපත් කළේ අමරදේවයන් ගයන මේ ගීතයයි. එපමණක් නොවේ මේ ගීතයක් සමඟ බැඳුණු අතීතයේ රූප පෙළක් මගේ සිතට පිවිසියේ නිතැතිනි. අරුන්දතී, නුඹ මගේ සිත් රැඳුණු ඒ රූප පෙළේ උත්පත්තිය වූවාය. එහෙයින්දෝ නුඹ හා සම්බන්ධ මතකය කාලයක් ගෙවී ගිය ද වරින් වර මා නෙතු අද්දර දඟ කරන අයුරු මා පුදුමයට පත් කරයි. නුඹත්, මමත් හමු වූයේ ඒ යොවුන් විය ගත කළ පාසල් සමයේදීය. අප දෙදෙනා කොතරම් හොඳ මිතුරියන් වී ද යත්, නුඹගේ තොරතුරු මා හා පවසන්නට මඟ බලා සිටි අයුරු මට අද මෙන් මතකය. නුඹත්, නුඹගේ ජීවිතයට සමීප වූ ඔහුත් පිළිබඳව වූ බොහෝ තෙරතුරුවලට මම අපූරු සවන් දෙන්නියක් වීමි. ‘ඒ දෙන්නාගේ ආදර කතාව නතර වෙන්නේ කවදා හරි කසාදයකින් තමයි’ පන්තියේ උන් බොහෝදෙනා මෙන්ම මම ද එවන් එකඟතාවකට පැමිණ සිටියෙමි. එපමණටම ඔවුන් දෙදෙනාගේ ප්‍රේම වෘත්තාන්තය පිළිබඳ අපට තිබුණේ විශ්වාසයකි. ඒ විශ්වාසය වඩාත් ස්ථිර වූයේ නුඹලාගේ ප්‍රේමය මව්පියවරුන්ට හමු වූ පසුවය. ඔවුන් දැඩි සේ’ විරුද්ධ වුවද එය අත්හරින වගක් අපි නොදිටීමු. ‘අපූරුවට කැපෙන රෝමියෝ ජුලියට් යුවළ’ මේ නිසාම පාසලේදී නුඹලාට විවිධ නම් පට බැඳිණි. ඒ පැමිණි නොයෙක් බාධක හමුවේ එකම අදිටනක නුඹලා සිටි අයුරු දැකීමෙනි. පාසල් සමය ගෙවී ගියේ ඉක්මනිනි. ඊට සමුදුන් අප සියල්ලන්ම ද වෙන් වී ගියේ යළිත් හමුවේ ද යන අවිනිශ්චිත බලාපොරොත්තුවත් සමඟය. කාලය ගෙවී ගියේය. දිගු කාලයකට පසුව යළිත් අපි හමුවීමු. ඒ ලද ඉඩහසරේ දී මා හා කියන්නට බොහෝ දේ තිබෙන වග මට කියාපෑවේ නුඹගේ දෙනෙත්ය. ඒ දෙනෙත්වල කී කතාව අසන්නට දිනක් මම නුඹ සොයා ආවෙමි. ‘ඉතිං, ඔයාලා දෙන්න දැන් බැඳලා ඇති නේද?’ මම නුඹෙන් විමසුවේ නිශ්ශබ්දතාවට විරාමයක් තබමිනි. නුඹ අවිහිංසක ලෙස මා හා සිනහ වූවාය. මට හැඟුණේ ඒ සිනාවේ යමක් සැඟව ඇති බවකි. ‘අපේ දෙමව්පියන්ගේ ආශිර්වාදය අපට ලැබුණේ නැහැ. ඒ නිසා අපි වෙන් වුණා’ නුඹ පැවසූ වදන්වල වූයේ ශෝකයකි. ‘ඒක තමා ජීවිතය කියන්නේ. අපි අන්තිමට දෙන්නාම කතා කරලා තීරණයක් ගත්තා.’ නුඹ දිගු කතාවක් මා හා කියා පෑවාය. මේ වන විටත් වෙනත් අයෙකු හා විවාහ වී සිට නුඹ අතීතය සිහිපත් කළේ ‘පෙර දිනයක’ ගීතය පිළිබඳ ද පවසමිනි. නොයෙක් අවස්ථාවල ඔහු හමු වුව ද නන්නාඳුනන අය සේ කිසිදු කතාබහක් නොකරම වෙන්ව යන මේ යුවළ පිළිබඳ මා සිත පිළිසිඳ ගත්තේ දොම්නසකි. තවමත් බටලී හඬ ඇසේ. ඒ ඔස්සේ සිතුවිලි සයුරක ගිලී සිටි මම ඒ මොහොතේ ද අමරදේවයන් ගයන මේ ගීතය සිහිපත් කළෙමි.
පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි
ගේය පද - සුනිල් සරත් පෙරේරා සංගීතය - විශාරද ඩබ්. ඩී. අමරදේව ගායනය – විශාරද ඩබ්. ඩී. අමරදේව යෙහෙළිය සමඟ තිබූ මිතු දමත්, ඇගේ අතීතයත් සිහිපත් කරන මේ ගීතයට මා පෙම් කළේ කුඩාකල පටන්මය. ගීතයකට පෙම් බැඳීමේදී එහි පද පිළිබඳ මගේ අවධානය යොමු වී තිබුණේ එකල පටන්මය. ඒ නිසා ගායනයත්, සංගීතයත්, මියුරු ස්වරයත් මනා සුසංයෝගයකින් යුතුව අපූරුවට සංකලනය වූ මේ ගීතයට මම සැමදා ප්‍රිය කරමි. මිල්ටන් පෙරේරා ගයන මේ ගීතය ද මගේ අතීතය සොයා යන අපූරු ගීතයකි.
ඇස රැඳුන රැඳුන තැන්වල
දුක් පැදුර දිගැර අලසව ඇත
රෑ කවුද හෙමින් එළැඹී මගෙ
වැසු විමන් පියන් පියවා ගේය පද – කරුණාරත්න අබේසේකර සංගීතය - මොහොමඩ් සාලි ගායනය – මිල්ටන් පෙර්රා සත් දෙනෙකුගෙන් යුත් පවුලේ මම තුන්වැනියා වීමි. ඒ වන විට මතුගම ශාන්ත මේරි විද්‍යාලයේ උසස් පෙළ හැදෑරූ මම ගත කළේ වෙහෙසකර ජීවිතයකි. මන්ද අප සියලු දෙනාම හැදුණේ වැඩුණේ තාත්තාගේ දැඩි පාලනයට මැදිවය. තාත්තාගේ ඒ පාලනය නිසා අප ඔහුට දැක් වූයේ දැඩි බියකි. මේ අතර සිදු වූයේ අපූරු සිදුවීමකි. ඒ පාසලේ උන් යුවතියක් හා සිසුවෙක් අතර ඇති වූ පෙම් හබයක් දුර දිග යෑමය. අවසානයේදී විදුහල්පතිතුමා අප සියල්ලන්ගේම මව්පියන් පාසලට කැඳ වූයේය. ඒ සිදුවීම පිළිබඳ වැඩිහිටියන් දැනුවත් කළ ඔහු කියා සිටියේ එවැනි වැරැදි මතුවට ද සිදු නොවන්නට මව්පියන්ද වගබලා ගත යුතුය යන්නය. මේ සියලු දෙය අසා සිටි තාත්තා විදුහල්පතිතුමා හමු වී කියා තිබුණේ අපූරු කතාවකි. ‘විදුහල්පතිතුමා, මගෙ දුවගේ එහෙම සම්බන්ධයක් අහු වුණොත් කිසිම සමාවක් දෙන්න එපා. වහාම ගෙදර එවන්න’ යන්නය. මේ කතාව නම සඳහන් නොකර පාසලේ උදයේ රැස්වීමක පැවසීමට තරම් විදුහල්පතිතුමාගේ සිත් ගෙන තිබිණි. ඒ වන විට මගේ පන්තියේ සිසුන් මේ කතාව දැනගෙන සිටි අතර, මා හා ක්‍රිකට් නායකයා අතර වූ පෙම් හබය ද ඔවුන්ට නොරහසක් විය. අපි දෙදෙනා කොපමණ සොඳුරු පෙම්වතුන් බවට පත් වී සිටියේ ද යත් යම් දිනෙක එය ජයග්‍රහණය කළ යුතුය යන දැඩි සිතුවිල්ලේ එල්බ සිටියෙමු. බොහොම අවිහිංසක ආදරයක් වූ එය සීමා වූයේ පෙම් හසුනකට පමණි. නැතිනම් මා ගමන් කළ බදුරලිය – මතුගම බස් රියේ මගේ නිවසෙන් මෙහා නැවතුමට පමණි. ඔහු පාසල අවසන් වී මා සමඟම බස් රියට ගොඩ වී කරන කතාබහ අවසන් වූයේ එලෙසිනි. මට වඩා තරමක් දුර ප්‍රදේශයක විසූ ඔහු තම ගමට ගියේ ඊළඟ බසයෙනි. කාලයක් ගත වනවිට අපගේ පෙම් හබය පිළිබඳ තොරතුරු තාත්තාගේ සවනත වැකී තිබුණෙන් මම බිය වීමි. දිනෙක ඔහු මට අනතුරු ඇඟවීමක් ද කළේය. යළි යළිත් මට සිහිිපත් වූයේ ඔහුගේ වචනයයි. ‘ආයේ දෙකක් නෑ අපේ සම්බන්ධය අහු වුණොත් මගේ ඉස්කෝල ගමන නවත්වනවා’ මගේ පෙම්වතා හමු වූ එක් දිනෙක ඔහුට මම සිතේ බල පැවැත්වුණු කාරණය හෙළි කළෙමි. ‘එහෙම නම් අපිට මේ සම්බන්ධය නවත්වන්නයි වෙන්නේ’ ඔහු මෙන්ම මා ද සිටියේ සෝ සයුරේ ගිලෙමිනි. සමු ගන්න දින ගණන එන්න එන්නම ළං වූයේ අප නොසිතූ විරූ අයුරෙනි. එය වෙනදා ගෙවෙන කාලය මෙන් දෙගුණ තෙගුණ වී ගෙවී ගියේ අපටත් නොදැනීය. කිසිදු දිනෙක හමු නොවන ලෙස අපි සමු ගතිමු. ජීවිතය නම් රඟ මඬලේ ආදරය නමැති රංගනයෙන් අපි සමු ගතිමු. මට සිත හදා ගැනීම ලෙහෙසි පහසු වූයේ නැත. මම දැඩිව හුදකලාව ප්‍රිය කරන යුවතියක් බවට පත් වීමි. ගුවන් විදුලිය මගේ ළඟම මිතුරා බවට පත් විය. එහි ශ්‍රවණය කළ ගීත අතරෙන් සිත් ගත් ගීතය ලෙස මා හදවත සොරා ගත්තේ මේ ගීතයයි. ඒ ගීතයට එදා පටන් අද දක්වාම මම ප්‍රිය කරමි. ඊට පසුව ඉඳහිට මුණ ගැසුණු දිනෙක අපි සුපුරුදු ලෙස කතාබහ කළෙමු. අද වන විට අපි දෙදෙනාම විවාහ වී, දරුවන් ලබා වැඩිහිටියන් ලෙස දිවි ගෙවන්නෙමු. ඒ අපි දෙදෙනාගේ ජීවිතයට උරුම වූ දෛවය යැයි සිතා අපි සිත සනසා ගන්නෙමු.
|