වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




උන්හිටි ගමන් අතුරුදන් මිනිසෙක්

උන්හිටි ගමන් අතුරුදන් මිනිසෙක්

ඈතින් පැමිණෙන්නේ පලටුපාන ඇමැති රැගත් රථ පෙළයි. තව නොබෝ වෙලාවකින් පැමිණ නතර කරන රථ පෙළ රැස් වී සිටි ජනතාව බලා සිටියේ විමසිල්ලෙනි. මන්ද ඇමති පලටුපාන මේ පැමිණෙන්නේ වැව විවෘත කිරීම උදෙසාය. ඒ අවට මුළු ප්‍රදේශයම උත්සවශ්‍රීයෙන් යුක්ත වූ අතර කුමකින් කුමක් වේදෝ යන්න සියලු දෙනාටම වූ ගැටලුවයි. රථයෙන් බිමට බට පලටුපාන අසලම උන් ලේකම් අවට බැලුවේ හොරෙනි.

‘කෝ මෙතන තිබුණු වැව . . .’

ඔහු විමසුවේ ලේකම්ගෙනි. ලේකම් පලටුපාන දෙස බලා හිස සැලුවේ ඊළඟට මුහුණ දෙන්නට සිදුවන ප්‍රශ්න ගැනය. අවට රැස්ව සිටින ජනතාව දෙස විමසිලිමත් බැල්මක් හෙළූ ලේකම්, ඇමතිතුමා ජනතාව අමතා කරන කතාවට ඇහුම්කන් දුන්නේය.

‘මාධ්‍ය මිතුරන්ට කුමක් ද කළ යුත්තේ’

ඔහු සිතුවේ ඊළඟ දිනයේ පුවත්පත්වල යන සිරස්තලවලට කුමක් හෝ කළ යුතු බැවිනි. ඔහු සිටියේ දිගු කල්පනාවකය.

‘ඔවුන්ව අරගෙන යන්න ඕන සිග්නල් නැති තැනක හෝටලයකට සලකන්න’

ඔහු සතුටෙන් උඩ පැන්නේ තම ගැටලුවට තාවකාලික හෝ විසඳුමක් පෙනෙන්නට තිබුණු නිසාය.

මේ අතර පලටුපාන ඇමැතිගේ රුවට සමානකම් කී මාක් සිටියේ සුව නින්දේය. ඔහු අවදි වූයේ බිරියගේ කෑ ගැසීමෙනි. එහෙත් ඔහු සිටි අයුරෙන්ම සිටියේ තවමත් නිදන වග ඇයට පෙනෙන්නටය.

‘මේ දන්නවද මාක්, තමුසෙ ආයෙත් නම් මෙහේ එන්නෙපා සල්ලි නැතිව. අම්මපා ඔන්න මම නරක ගෑනියි කියලා එහෙම කියන්නෙපා’

මිහිරිගේ මිහිරි වදන් ගලා යන්නේ දෙසවන බිහිරි කරමිනි. ඔහු කොට්ටයේ සිය සවන් තව තවත් ඔබා ගත්තේ ඇගේ මේ මිහිරි වදන් නොඇසෙන්නටය.

‘ඇහෙනවද ඔයාට මම කියන දේ. ඔය මහාචාර්යවරයාට කියනවා තමුසේ දරු පවුල් කාරයෙක් කියලා’

කිසිදු ප්‍රතිචාරයක් නොඇසුණෙන් ඇය මාක් සිටි කාමරයට පිවිසියාය. මාක් නැඟිට්ටේ තවත් මෙලෙස සිටියහොත් ඇගේ කේන්තිය වැඩිවෙනු ඇතැයි සිතූ බැවිනි. ඉක්මනින් ඔහු ඇඳ – පැලඳ ගත්තේ කාර්යාලයට පිටත්වීම නිවසේ සිටිනවාට වඩා හොඳ බව සිතමිනි. ඔහු පරීක්ෂණාගාරයට යන විටත් මහාචාර්යවරයා සිටියේ කඩදාසියක මොනවාදෝ කුරුටු ගාමිනි.

‘සර් . . . සර් . . .’

ඒ ඇමතුමෙන් මහාචාර්යවරයා හිස ඔසවන බවක් නොපෙනේ. ඔහු අසලටම ගිය මාක් කෑ ගසන්නට පටන් ගත්තේ තවත් ඉවසා සිටින්නට නොහැකි වූ නිසාවෙනි.

‘සර් මට අද නම් පඩි ඕනෑ. ආයෙත් නම් කර අරින්න හදන්න එපා. ඒ මොකද අපි මේ විදියට වැඩ කරන්න මේක පිං පඩි ආයතනයක් නෙවෙයි නේ’

මහාචාර්යවරයා හිස ඔසවා බැලුවේ ඔහුගේ කන අසලට වී කෑගසන මාක්ගේ උවන දෙසය.

‘මේ ඇහෙනවද සර්, මට මෙතන නිකං වැඩ කරන්න බැහැ’

මාක් පැවසුවේ තමා දෙස බැලූ මහාචාර්යවරයා කිසිවක් කතා නොකර සිටි නිසාය.

‘මට දෙන්න පඩි නෑ මාක්’

මහාචාර්යවරයා පැවසුවේ ගණනකට නොගෙනය.

‘මෙහෙන් මේ මිනිහ මාව කනවා. අරහෙන් අර ගෑනි මාව කන්න හදනවා’

තනියම කියව කියව ගිය මාක් රසායන ද්‍රව්‍ය කිහිපයක් තිබෙන තැනක නතර වූයේ ඉබේමය.

‘කරන්නන්කෝ හොඳ වැඩක්’

එතැන තිබුණු දියර රසායන කිහිපයක් මිශ්‍රණය කළ ඔහු එය එක්රම බිව්වේ උගුරට දෙකටය. මිය යෑම යහපතැයි සිතමින් සිටි මාක් එක්වරම නොපෙනී ගිය් ඔහුවම පුදුම කරමිනි.

‘ඕහ් . . . මට මේ මොකද වුණේ?’

ඔහු දිව ගියේ කණ්ණාඩිය ළඟටය.

දෙවියනේ! මාව කාටවත්ම පේන්නේ නැහැ. මම මැරිලා’

ඔහුගේ කතාවට පිළිතුරු දැක් වූයේ අවතාරයකි.

‘හෙහ් . . . හෙහ් . . . හෙහ් . . .’

භූතයා සිනාසෙන්නේ මාක්ට සිදු වූ දේ පිළිබඳ සිතමිනි.

‘මම මැරිලාද? අනේ මගේ බිරිය’

මාක්ට වැටහුණේ තමා මිය ගිය බවකි.

‘නෑ . . . තමුසේ අතරුදන් වෙලා’

පාවී පාවී යන භූතයා පිළිතුරු දුන්නේ සිනහවෙමිනි. මාක් පාවී පාවී යන මේ අමුතු සතා දෙස බැලුවෙ කේන්තියෙනි.

‘උඹ කවුද?’

මාක් විමසන්නේ අවතාරයෙනි. භූතයා තමාට අත් වූ ඉරණම මාක්ට කියන්නේ මේ අතරය. ඔවුන් දෙදෙනාම එක් වී මෙලොව පෙනී සිටීමට අවශ්‍ය ඖෂධ සොයා යයි.

ඔවුන්ට ඒ ඖෂධ හමු වේවිද? නැතිනම් සදාකාලික ලෙසම මෙලෙස අනෙක් අයට නොපෙනී සිටීමට සිදු වෙයිද? ඒ පිළිබඳ දැන ගැනීමට නම් ඔබ කළ යුත්තේ ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වන ‘ කෝ මාර්ක් නෝ මාර්ක්’ චිත්‍රපටය නැරැඹීමය. ‘කෝ මාර්ක් නෝ මාර්ක්’ සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයකි. ආචාර්ය සෝමා එදිරිසිංහගේ නිෂ්පාදනයකි.

අධ්‍යක්ෂණය – වී. සිවගුරුනාදන්

නිෂ්පාදනය – ආචාර්ය සෝමා එදිරිසිංහ

කථා සංකල්පය – තිලක් සේනාසිංහ

තිර රචනය – මිහිරි සිරිතිලක, චින්තක පීරිස්

තිර පිටපත් අධීක්ෂණය – ගිරිරාජ් කෞෂල්‍ය

කැමරාකරණය – රුවන් කොස්තා

පසුබිම් සංගීතය – කපිල පූගලආරච්චි

නිෂ්පාදන කළමනාකරණය - ශ්‍රීලාල් වික්‍රමගේ

සහය අධ්‍යක්ෂණය – ප්‍රසන්න ඉත්තෑපාන

කලා අධ්‍යක්ෂණය - සිරිනාථ වික්‍රමසිංහ

අංග රචනය – රුචිර සංජීව

ගායනා - සුනිල් පෙරේරා, නලින් පෙරේරා, කපිල පූගලආරච්චි

සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ

ශබ්ද සංකලනය – අරුණ කලුආරච්චි

රඟපෑම් – විජය නන්දසිරි, දිල්හානි ඒකනායක, මහේන්ද්‍ර පෙරේරා, ගිරිරාජ් කෞෂල්‍ය, මිහිර සිරිතිලක,සේමිණි ඉද්දමල්ගොඩ, කුමාර තිරිමාදුර, ගිහාන් ප්‍රනාන්දු

සම්බන්ධීකරණය – ජයරත්න ගලගෙදර