|
සිනමාවට සාහිත්‍ය කන්ඩද?
මගේ මිත්‍රයන්ගේ බොහෝ කතාබහ පොඩි එකාගේ මැක්කාගේ රචනාව වගේය. මැක්කා නොව රටේ තොටේ ඕනෑම වෙන මඟුලක් ගැන රචනාවක් ලියන්නට යන පොඩි එකා කොහේවත් නැති මැක්කෙකු අන්තිමට ඒ රචනාවට අල්ලා ගනී. චිත්‍රපට පිළිබඳ අමුම පිස්සන් වූ මා හා මගේ මිතුරන්ගේ කතාබහද ඒ වගේය. ලෝකයේ ලස්සනම ගැහැනිය ගැනද, ලස්සනම දිය ඇලි ගැනද, එබෝලා වසංගතය ගැනද එසේ නැතිනම් ත්‍රස්තවාදී කලබල හෝ සිරියානු අර්බූදය ගැනද ආරම්භ කරන කතාවක් කෙළවර කරන්නේ එබඳු කතා රැගත් චිත්‍රපට පිළිබඳ මාතෘකාවලට පරිවර්තනය වීමෙනි. මේ බව මගේ පමණක් නොව අපේ මිතුරන්ගේ පමණක් නොව ඔවුන්ගේ හතරවරිගේ නෑදෑයන්ද දන්නා කරුණකි. පසුගිය දවසක සිනමාව හා සාහිත්‍ය පිළිබඳ ඇතිවූ කතාබහ මේ මොහොතේ මගේ සිහියට නැඟේ. කොහේවත් නැති තැනකින් පටන් ගත් කතාව අනතුරුව සිනමාවට නැගුණු නවකතාව, සිනමාව හරහා විනාශවුණු නවකතා ගැන ඔස්සේ ඇදී ගොස් කෙළවර වූ අන්දම දිගින් දිගටම කල්පනා කළත් එය මගේ මතකයට නොඑයි. සිනමාව හා නවකතා ගැන කලකට ඉහත ආචාර්ය තිස්ස අබේසේකරයන් පැවසූ කරුණු කාරණා රාශියක් මට අමතක නැත. වඩා හොඳ තිරනාටකයක් ලියන්නට රචකයාට උපරිම නිදහස ලැබෙනුයේ කබල් නවකතාවක් හරහා බව තිස්ස අබේසේකරයන් වරක් පැවසුවේය. එයට හේතුව පොත පැත්තකට විසි කර ස්වාධීනව ගොඩනැගෙන්නට තිරනාටක රචකයාට හැකිවීමය. කෙසේ වෙතත් තිස්ස අයියා (ආචාර්ය තිස්ස අබේසේකරයන්ට මා ගෞරවයට පැවසුයේ එසේය) වරක් මට පැවසුවේ තිරනාටක රචකයෙකු වන්නට වුවමනානම් අධ්‍යක්ෂවරයෙකුට පිහියෙන් අනින්නේ නැතිය යන චේතනාව මුලින් පහළ විය යුතු බවයි. එයට හේතුව තමා ලියන ලද තිරනාටකය වෙනත් අධ්‍යක්ෂවරයෙකු යටතේ නිර්මාණය වූ පසු එළිදකින්නේ මුල් මුහුණවරින් නොවීමයි. තිරනාටකයක් වඩා ඔපමට්ටම් කිරීමට නම් එය නිර්මාණශීලී සිනමාකරුවකු අතට පත්විය යුතුය. එසේ නොවන කල තිස්ස අබේසේකරයන් පැවසූ පරිදි අධ්‍යක්ෂවරයා පසුපස පන්න පන්නා පිහියෙන් ඇනීමට තිරනාටක රචකයාට සිතදීම සාමාන්‍ය කරුණකි. රොබට් බෝල්ට් නමැති සම්මානනීය තිරනාටක රචකයා වරක් පවසා සිටියේ තිරනාටකයක් රචනා කළ පසු චිත්‍රපටයක වැඩකටයුතුවලින් තුනෙන් එකක් අවසන් වන බවය. බැලූ බැල්මට අතිශයෝක්තියක් ලෙස පෙනුනද ඒ කතාව සහතික ඇත්තය. තිස්ස අයියාම වරක් පැවසූයේ හොඳ තිරනාටක රචකයෙකු හැම විටම ශූර කතා රචකයෙකු විය යුතු බවයි. මේ ශූර කතා රචකයා යනු හැම විටම මුල, මැද, අග සහිත කතන්දරකාරයෙකු විය යුතු නැත. මෑත භාගයේ මෙරට බොහෝ සිනමාකරුවන් කියා සිටින්නේ දක්ෂ තිරනාටක රචකයන්ගේ දැඩි හිඟයක් පවතින බවයි. මේ තිරනාටක රචකයන්ගේ හිඟයට හේතුව ලෙස ඇතැමුන් දකින්නේ සාහිත්‍ය පාසලෙන් ඉවත්විමය. සාහිත්‍ය යනු බොහෝ දෙනා වර්ග කරනුයේ කෙටිකතාවට, නවකතාවට හෝ කවියටය. එහෙත් සාහිත්‍ය පුළුල් අර්ථයෙන් ගත් කළ එය රසවින්දනය හා බැඳී පවතී. වර්තමානයේ දක්ෂ තිරනාටක රචකයන්ගේ හිඟයක් ඇතිද නැතිද යන්න ඉඳුරා කියන්නට මම අකමැත්තෙමි. එහෙත් මේ බොහෝ දෙනෙකුට රසවින්දනය අඩු බව පිළිගත යුතුය. එක්තරා යුගයක ඉන්දියානු කතා කොපි කොට හෝ සිංහල තිරනාටක රචනා ලියූ අතැමුන් ශූර කතා කරුවන් වූ වග නොරහසකි. පාසලේ පස්වැන්න ඉක්මවූයේ නැති වුවද හියුගෝ ප්‍රනාන්දු මාස්ටර් 'මාතලන්' වැනි නාටකයක් ලියන්නට කොපමණ දස්කමක් තිබෙන්නට ඇත්දැයි මට නිකමට සිතේ. එහෙත් ඇතැම් විද්වතුන් මගේ මේ මතය අවඥාවෙන් බැහැර කරනු ඇත. එය විනිශ්චය කිරීම තම තමන්ගේ නම්බුවට කැළලක් විය හැකි බැවිනි. කීර්තිමත් විචාරක ජයවිලාල් විලේගොඩ ලියා ඇත්තේ මාතලන් යනු 'මංගම්මා සබදම්' දෙමළ චිත්‍රපටයේ කොපියක් හැටියටය. එහෙත් මාතලන් නම් දකුණු ඉන්දීය ජනකතාව ඇසුරු කොට හියුගෝ ප්‍රනාන්දු විසින් රචනා කරන ලද කතාව සියයට සියයක් ස්වාධීන නාටකයකි. එය කිසිසේත් 'මංගම්මා සබදම්' නම් දෙමළ චිත්‍රපටය සමඟ සංසන්දනය කළ නොහැක. හියුගෝ මාස්ටර් මාතලන් චිත්‍රපටය පුරා පෙන්වා ඇත්තේ ඔහු දක්ෂ කතා රචකයෙක් බවයි. ඒ අවදියේ බොහෝ චිත්‍රපටවල තිරනාටක යනුවෙන් ටයිටලයක් නොවීය. ඒ වෙනුවට තිබුණේ කතාව හා දෙබස් හෝ යන ටයිටලයකි. තිර රචනය සිනමා ටයිටලයක් බවට පරිවර්තනය වන්නේ පසු කලෙකය. මට මතක හැටියට රේඛාව චිත්‍රපටය සමඟය. ඒ වනතෙක් සිටියේ දෙබස් රචකයන්ය. සිනමා කෘතියකදී සාහිත්‍ය කරුවෙකු අවශ්‍ය වනුයේ එය ප්‍රේක්ෂකයා වෙත වඩා හොඳින් ප්‍රේරණය කිරීමට බැව් මගේ විශ්වාසයයි. සිනමාව යනු සියයට අනූවක්ම තාක්ෂණය මත යැපෙන්නකි. එය අංග සම්පූර්ණ දැවන්ත නිර්මාණයක් ලෙස පරිවර්තනය වනුයේ එකී විශ්මිත තාක්ෂණයේ බලමහිමයෙනි. මේ තාක්ෂණය අභිබවා එයට හදවතක් ලැබෙනුයේ සාහිත්‍යයේ බලමහිමයෙනි. මේ සාහිත්‍යකරුවා නවකතාකරුවෙකු හෝ කෙටිකතාකරුවෙකු හෝ යන පටුසීමාවේ සිටින්නෙකු නොවේ. ඔහු එයට වඩා පුළුල් ලෙස ලෝකය විනිවිද දකින්නට සමතෙකු පමණක් නොව විවිධ වූ කලාවන් ග්‍රහණය කරගන්නෙකි. ඒ සියල්ල ගොඩනගන්නේ නිර්මාණශිලී මිනිසෙකි. එසේ නොවන චිත්‍රපට කඳ, බඩ පමණක් සහිත දැවැන්ත කවන්දයක් ඉතුරු කරයි. ලොව විශිෂ්ටතම චිත්‍රපටය සේ සැලකෙන 'සිටිසන් කේන්' නිර්මාණය කරන විට ඕෂන් වේල්ස් සිනමාකරණය පිළිබඳ මෙලෝ හසරක් දැන නොසිටි වග වාර්තා වෙයි. ඔහු වටා සිටියේ අති දක්ෂ කාර්මික ශිල්පින් පිරිසකි. සංස්කරණ ශිල්පී රොබට් වයිස් ද කැමරා ශිල්පී ග්‍රේග් ටොලන්ඩ් ද ඔහුගේ කටයුත්ත සාර්ථක කරදීමට ඉවහල් විණ. මේ කැමරාශිල්පියාද සංස්කරණ ශිල්පියාද හුදෙක් තාක්ෂණශිල්පීන් නොවෙති. සිනමාව යනු සාමූහික ප්‍රයත්නයකි. එහිදී අදාළ තාක්ෂණික ශිල්පියා යට සැඟව සිටින සාහිත්‍යකරුවා නොවන්නට එහි ගොඩනැගෙන්නේ නිකම්ම නිකම් ශිල්ප හරඹයක් පමණි. ශිල්ප හරඹයට ප්‍රාණජීවයක් මුසුකරන්නෙ පෙර කී සාහිත්‍යකරුවාය. ෆොටෝග්‍රැෆර් කැමරාශිල්පියෙකු වන්නේ නිර්මාණශීලී සාහිත්‍යකරුවා ඔහු යට සැඟව අවශ්‍ය විට ඉස්මතුවන කල්හිය. සිටිසන් කේන් චිත්‍රපටය සමස්තයක් ලෙස ගොඩනැගෙන්නේ ඕෂන් වේල්ස් නැමැති සාහිත්‍යකරුවා ඉතා හොඳින් මේ සියල්ල කළමනාකරණය කරන කල්හිය. පසුගිය වකවානුවේ මා දුටු බොහෝ චිත්‍රපට පසුපස සිටියේ අතිදක්ෂ තාක්ෂණ ශිල්පීන් විනා සාහිත්‍යකරුවන් නොවේ. ලෝක සිනමාව ආරම්භ වී සියවසකුත් දශක දෙකකුත් ආසන්නය. මේ සමයේ එය ගොඩනැගූ ප්‍රංශයේ ලුමියේ සහෝදරවරුන් හෝ අමෙරිකාවේ තෝමස් අල්වා එඩිසන් විසින් බිහිකරන ලද්දේ තනිකරම කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස මතුවූ යන්ත්‍රෝපකරණයකි. එහෙත් එයට ජීවිතය නැතහොත් හදවතක් දුන් පිරිස බොහෝමයකි. එඩ්වින් එස්.පෝටර්, ඩී. ඩබ්ලිව්. ග්‍රිෆිත්, චාලි චැප්ලින් වැන්නන් විසින් එයට පණපොවා හදාවඩා නොගන්නට සිනමාවට මේ තරම් දුරක් එන්නට ඉඩක් ලැබෙන්නේ නැත. සිනමාව විඳින්නට ඉවසුමක් නැති නම් ප්‍රේක්ෂකයා දවසෙන් දවස වර්ධනය වන්නේද නැත. අනිත් අතට සාහිත්‍යයෙන් තොර වින්දනයක් ද නැත. ලොව අති ප්‍රබලම මාධ්‍ය රූපයයි. අඳුර සහ ආලෝකය රැගත් රූපයේ භාවිතය ලොව පුරා මිනිසුන්ගේ සිනහව ද උණුසුමද එකට යා කරයි. සිනමාහලක අසුන් ගත් පසු එයට යාබද අසුනේ සිටින මිනිසාගේ ආගම, ජාතිය, කුලය කවරේදැයි විමසන්නේ නැති වගත්, ලොව මිනිසුන් එකට යා කරන හොඳම තැන සිනමාහල බවත් අමිතාබ් බච්චන් පසුගියදා කියා සිටියේය. ඉදින් සිනමාවට සාහිත්‍ය අවශ්‍ය කන්නටදැයි අසන්නේ ඇයි? මේ ලිපිය අවසන් කරන්නට මත්තෙන් තිරනාටකය ගැන තවත් යමක් කිවයුතුය. 'හාරලක්ෂය' චිත්‍රපටයට තිරනාටකයක් නොවුණේ යැයි කතාවක් පවතී. හොඳ තිරනාටකයකින් කබල් චිත්‍රපටයක් හදන්නේ සිනමාකරුවාට සාහිත්‍ය දැනුමක් නැති බැවිනි. කබල් තිරනාටකයෙන් හොඳ චිත්‍රපට හැදෙන්නේ සිනමාකරුවා සාහිත්‍යකරුවකු වූ බැවිනි. තිරනාටකයක් නැතුව හොඳ චිත්‍රපට හැදෙන්නේ සිනමාකරුවා සතුව සාහිත්‍යකරුවෙකු සිටින බැවිනි. ඒ සියල්ලට වඩා සිනමාව ගැන හොඳ ඔළුවක් සාහිත්‍යකරුවා ඇතුළත අරක්ගෙන සිටින හෙයිනි. |