වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




‘කොළොම්පුරේ ශි‍්‍රයා’ රැගෙන ජනකරළිය ලේක්හවුස් මන්දිරයට

‘කොළොම්පුරේ ශි‍්‍රයා’ රැගෙන ජනකරළිය ලේක්හවුස් මන්දිරයට

කොළොම්පුරේ ශි‍්‍රයා
කොළොම්පුරේ ශ්‍රියා
බොහොම ලස්සනයි
කොළොම්පුරේ ශි‍්‍රයා ශි‍්‍රයා

සුරපුරයද මේ අනේ
හෝටල් කදිමට පෙනේ
පාරේ ගලි ඇතුළෙන්
කුස්සියේ කුණු යනවනේ

යායට පැල්පත් පෙනේ
සුපිරිම මැඳුරුත් පෙනේ
මේ ඔක්කොම එළි බහිද්දි
එන්නේ කාණුවට නේ

යමු විටින් විටා
මෑන් හෝල් බලන්නටා
ඇතුළේ තිබෙන කුණු ජරාව
ගොඩ අඳින්නටා

කාණුවේ යන වතුර ගලන් ගිහින් ඇළට වැටෙන තැනම පිත්ත තියන් කළු ඇක්මන් මාළු බානවා. ලස්සන බලන් ඉද්දි මොන ෂෝක් ද.............

පොදු වැසිකිළියක් පෙනේ
එක පැත්තක් වැහිලනේ
මෙන්න බොලේ ඒක ඇතුළේ
දරු පවුලක් ලැඟලා නේ
පොඩි වැස්සකටත් අනේ
පැත්තම යටවෙනව නේ
ගලි ඔක්කොම කුණු පිරිලා
කෝ විසඳුම් නෑ අනේ
යමු විටින් විටා
මෑන් හෝල් බලන්ටා
ඇතුළේ තිබෙන කුණු ජරාව
ගොඩ අඳින්නටා..........

“අපි පාවිච්චි කරන අහක දමන කුණු වතුර අපේ ගෙදරින් එළියට ගියාට පස්සේ සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක අපට වැඩක් නෑ.”

“මම ඉන්නේ ෆැල්ට් එකක. උඩම තට්ටුවේ. මට නම් ඔය ප්‍රොබ්ලම්ස් මොකුත් නැහැ අනේ.”

“මමත් ඉන්නේ ෆැල්ට් එකක. පහළම තට්ටුවේ. කොමඩ් එක උතුරනවා. සින්ක් එක උතුරනවා. ඉන්න හිටින්න තැනක් නෑ.”

“මම වැඩ කරන්නේ නගර සභාවේ. ඔය මෑන්හෝල් හිරවුණහම එවාට බැහැලා අස්පස් කරන්නේ මම. මෑන් හෝල් කියන්නේ මෙන්න මේක. මේකට බැහැලා බෝතල් කටුවලට අතපය කැපිලා, සිලින්ජර් ඇනිලා. මේ මිනිස්සුන් දාන කුණු ජරාව නාල තමයි උඩට එන්නේ. විවිධ තරාතිරමේ මිනිස්සු ජීවත් වෙන්නේ මම මේවා ඇදලා ශුද්ධ කරන නිසා. ඇයි අපි ගැන හිතන්නේ නැත්තේ.”

“මම සුපිරි පැලැන්තියේ තරුපහේ හෝටලයක අයිතිකාරයෙක්. මේ අපි ගැන තියෙන ප්‍රශ්නය තමයි ........ නෑ මට ප්‍රශ්නයක් නෑ.......”

“ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ පටන් ගන්නේ ඔහෙලාගෙන් . මෙතැනින්.”

මෙන්න මේ ප්‍රශ්න ගැන කතා කරන්න පසුගිය දවසක ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ලගේ ‘ජන කරලිය’ වීදි නාට්‍ය කණ්ඩායම පත්තර මහගෙදර ඒ කියන්නේ ලේක්හවුස් ආයතනයටත් ආවා. ඒ ‘කොළොම්පුරේ ශ්‍රියා’ ත් අරගෙන. ඒ කණ්ඩායමේ සිටිය අජන්තන් ශාන්ති කුමාර්, සරත් බානගල, ඉනෝකා ලංකාපුර, සෙල්වරාජ් ලීලාවතී, අරෝෂා තරංගනී, රාසයියා ලෝහානන්දන්, ස්වර්ණ ශ්‍රී ලිවේරා, රොනිකා චාමලී, සුමුදු මල්ලවාරච්චි කියන තරුණ තරුණියෝ ගීතයක් මගින් විතරක් නෙවෙයි ‘කොළොම්පුරේ ශි‍්‍රයා’ නාට්‍යයෙන් කිව්වෙත් අපූරු පණිවිඩයක්. ඔවුන් අපජල කළමනාකරණ ව්‍යාපෘතියත් සමඟ එකතුවෙලා අපි නොදන්න අලුත්ම පැත්තක් ගැන කතා කරන්න කොළඹ වටේම යනවා.

“සුරකිමු අපජල පද්ධතිය.ජලය සුරකින මෙන් . විදුලිය සුරකින මෙන්. මහ මං සුරකින මෙන්. බැහැර කරමු අපජලය නිසි ලෙසින්ම නිසි තැනට. ”

ඔවුන් මේ පණිවිඩයත් අරගෙන සැකසුනු මේ නාට්‍යය වඩාත් හඳුන්වන්නට සුදුසු ෆෝරම් තියටර් නාට්‍ය හෙවත් සංවාද මණ්ඩප නාට්‍ය ලෙසයි. මෙය ලෝකයට හඳුන්වා දුන්නේ බ්‍රසීල නාට්‍යකරුවා වන ඔගස්ටර් ෆෝල් . මේ නාට්‍ය ක්‍රමයේ ඇති විශේෂත්වය පිළිබඳ කියන්නට අප හා සම්බන්ධ වුණේ ප්‍රවීණ නාට්‍යකරු පරාක්‍රම නිරිඇල්ලයි.

“අද වනවිට ව්‍යාවහාරික රංග කලාව කියලා දෙයක් දියුණු වී තිබෙනවා. මනුෂ්‍ය වර්ගයාගේ සංවර්ධනය සඳහා විවිධ ක්‍රාමෝපා භාවිත කරමින්, ඔවුන් දැනුවත් කිරීම කිරීම සඳහා නාට්‍ය කලාව උපයෝගී කර ගැනීම මින් සිදු වෙනවා. ඒ අනුව ව්‍යාවහාරික රංග කලාවේ එක් අංශයක් තමයි සංවාද මණ්ඩප රංගය කියන්නේ. මේ වැඩසටහන ආරම්භ කරන්නේ මහ කොළඹ අපජලය කළමනාකරණ ව්‍යාපෘතිය මගින්. අපජලය පිළිබඳ දැවෙන ප්‍රශ්නය පිළිබඳව, මේ භූගත නල පද්ධතිය ගැන ජනතාව දැනගෙන තිබුණේ නැහැ. මේ පිළිබඳව දැනුවත් කිරීම ජන කරළියට භාර කළා. එය ඔවුන්ව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් විදියට භාර අරගෙන ජන කරළිය නාට්‍ය කණ්ඩායම මෙය ඉටු කළා. ජන කරළිය කණ්ඩායම මුලින්ම කොළඹ ආශ්‍රිතව, වතු ආශ්‍රිතව සොයාගත්ත නොයෙක් කරුණු කාරණා, ඔවුන්ගේ ප්‍රශ්න, කතාන්තර ආදිය උපයෝගී කර ගනිමින් තමයි මේ නාට්‍යය නිර්මාණය කළේ.”

ඒ ජනකරළිය මේ ව්‍යාපෘතියට සහභාගි වූ අයුරුයි.

ෆෝරම් තියටර් ආශ්‍රයෙන් සැකසුණු මෙහි කාර්යය වෙන්නේ සතුට, විනෝදය, දැනුම ලබාදීම පමණක් නොවෙයි. මෙහිදි වේදකා නාට්‍යයක වගේ නාට්‍යය අවසානයේ ප්‍රේක්ෂකයන්ට නැඟිටලා යන්නට නොහැකියි. මන්ද මේ නාට්‍යය අවසානයේ සාකච්ඡාවක්ද ඇතුළත් නිසා. ඒ කියන්නේ මේ නාට්‍යය අවසාන වෙන්නේ ප්‍රශ්නයකින්. ඒ ප්‍රශ්නයට පිළිතුරු ඔවුන් බලාපොරොත්තු වන්නේ ප්‍රේක්ෂකයන්ගෙන්. ඒ විතරක් නෙවෙයි ඒ ඒ ජන කොට්ඨාශවල ආදාළත්වය අනුව නාට්‍යය වෙනස් වීමක්ද සිදු වෙනවා.

මේ විදියටම අපේ ආයතනයෙත් ඒ නාට්‍යය සංවාදය අතරතුර නාට්‍ය කණ්ඩායමට දෙබස් නැති වුණා. ඊට පිළිතුරු දුන්නේ රාජකීය විද්‍යාලයේ නාට්‍ය සමාජයේ හිටපු සභාපතිතුමා මෙන්ම අප ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහත්තයා. එතුමාගේ තිබුණු පරිපාලන දැනුමත් සමඟ ඊට හොඳම පිළිතුර ලබාදීම නිසා ඒ සංවාදය වැඩි වෙලාවක් නම් පැවැත් වුණේ නැහැ. කොහොම වුණත් ඒ කටයුත්තට සම්බන්ධ වෙලා සිටිය ඉංජිනේරුවරයා වුණු එදිරිසිංහත්, සමාජ විද්‍යාවරියක් වුණු අනුරුද්ධිකා කුමාරිහාමිත්, අමිත්ත වීරසිංහත්, දිලීප රෝහණත් සිහිපත් කළ යුතුයි.

ඒ වගේම මෙවැනි බාරදූර පණිවිඩයක් රැගෙන යන්න තෝරාගත්ත ක්‍රමවේදය බොහොම අපූරු වග අපට පෙනුණා. අපජලය පිළිබඳ මෙතෙක් ඔබ දැන නොගත්ත දේ බොහෝ දේ මින් දැනගත හැකි වේවි.

මුළු කොළඹ නගරය ගොඩනැඟී තිබෙන්නේ ඒ අපජලය ප්‍රවාහනය කරන පද්ධතියක් මත වීම නිසා ඔබගේ අවධානය මීට බොහෝ සෙයින් යොමුකළ යුතු වෙනවා. මේ අපජල ප්‍රවාහන පද්ධතියේ ඉතිහාසය දිවයන්නේ ඉංග්‍රීසි ආණ්ඩු පාලන කාලය දක්වා. එදා ඉදන් පැවති මේ පද්ධතිය අද වනවිට ගොඩක් පැරණි එකක්.

ඒ වගේම අපේ නගරවාසීන්ගේ දැනුවත් නැතිකම නිසයි අපජල ප්‍රවාහන පද්ධතිය අද මේ තරම් ව්‍යවසනයකට ගොදුරු වී තිබෙන්නේ. මෙය ප්‍රතිසංස්කරණය කරන්නට රජයට විශාල මුදලක් වැය වෙනවා. එසේ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුවත් පරණ විදියට මේ දේවල් සිද්ධ වුණොත් තවත් කාලයක් ගිහිං අපට කියන්න වෙන්නෙත් අද අපි කියන මේ කාරණයමයි.

ඒ නිසා ඔබ ඔබගේ විදුලි බිලට, ජල බිලට, මාර්ගයට වැඩි අවධානයක් යොමු කරනවා වගේ අපජල ප්‍රවාහන පද්ධතියටත් නිසි අවධානය යොමු කරන්න. මේ ව්‍යාපෘතිය මගින් පමණක් නොවෙයි, ජනකරළියේ සංවාද මණ්ඩප නාට්‍යය කණ්ඩායමේත්, අපගේත් ඉල්ලීම මෙයයි.