වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




සවන පිනන රසැති ගී ඇසී ඔබට සිසිල සදන වැසි වසී සැපෙන් දිනේ

සවන පිනන රසැති ගී ඇසී ඔබට සිසිල සදන වැසි වසී සැපෙන් දිනේ

කොළඹ ගාලු පාරේ රත්මලාන ලංගම ඩිපෝව අසලින් මුහුද පැත්තට යන පාර නම්කර ඇත්තේ ශාන්ත රීටා මාවත යනුවෙනි. ඒ එහි ඇති පල්ලිය හේතුවෙනි. වසර පනහකට පමණ එපිට අතීතයේ ලංගම රත්මලාන ඩිපෝව භූමියේ තිබුණේ ශ්‍රීමත් සිරිල් සොයිසාට අයත් "සවුත් වෙස්ටරන් බස් කොම්පැනිය" යි. එය ලංගම රත්මලාන ඩි?පෝව වූයේ 1959 වසරේදී ගමනා ගමන සේවය ජනසතු කළ බැවිනි. ශාන්ත රීටා මාවත ගැන පසුකලෙක අසන්නට ලැබෙන්නේ 1960 අග භාගයේ රට කැළ ඹූ මිනී මැරුමක් වන ගෝඨාභය කිරඹ කන්ද ඝාතනයත් සමඟය. ප්‍රසන්න විතානගේ නම් සම්භාවනීය සිනමා කරුවාගේ මුල්ම චිත්‍රපටය වන "සිසිල ගිනි ගනී " සඳහා අනුප්‍රාණය ලබනුයේ කිරඹ කන්ද මිනීමැරුමයි.

මේ ලිපියේ ඊළඟ කොටස මේ සියලු අතීතයට වඩා දුරය. ඒ අවධියේ තිබුණේ සවුත් වෙස්ටන්ර්ස් බස් කම්පැනිය පමණි. ගාලු කොළඹ දිව්වේ ඒ බස් රථය. ශාන්ත රීටා මාවතේ තිබූ එක් සුවිසල් නිවහනක ජීවත් වූයේ සුප්‍රකට චිත්‍ර ශිල්පියෙකි. ඔහු නමින් සාර්ලිස් මාස්ටර්ය. ඔහු යටතේ චිත්‍ර ඉගෙන ගන්නට පැමිණි කුඩා කොළු ගැටයෙකි. ඔහුට චිත්‍ර ඉගැන්වූයේ සාර්ලිස් මාස්ටර් නොව පුත්‍රයාය. පුත්‍රයා චිත්‍ර ශිල්පියකු පමණක් නොව ගායකයෙකු ද විය. මේ දවස්වලම පල්ලියේ ගී ගයන්නට පැමිණි යුවතියකගේ රීදී සීනු පරයන මියුරු හඬ චිත්‍ර ශිල්පීන්ගේ අවධානයට යොමු විය. ගායක චිත්‍ර ශිල්පී තරුණයා මේ මියුරු හඬ සහිත යුවතිය තමාගේ ඊළඟ ගීතයට හවුල් කර ගත්තේය. මේ අපූරු කතාන්තරය මට පැවසුවේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාය.

චිත්‍ර ඉගෙන ගන්නට පැමිණි කුඩා කොලු ගැටයා ගාමිණී ෆොන්සේකා විය. ඔහුට චිත්‍ර ඉගැන්වූයේ සුසිල් ප්‍රේමරත්නයන් ය. එවිට පල්ලියේ සිට ගී ගැයූ යුවතිය එකල හැඳීන්වූයේ රීටා ජෙනවි ප්‍රනාන්දු යනුවෙනි. සුසිල් ප්‍රේමරත්න රීටා ගායන ලොවට ගෙනාවා පමණක් නොව ඇයගේ නම ද වෙනස් කළාය. ඈ ගී ලොව රැජන ලතා වල්පොලය. එදා එහා පැත්තේ සිට ගී අසන කුඩා කොලුපැංචා සිංහල සිනමාවේ සක්විති වනු ඇතැයි ලතා ද,ඇය ගී ලොව රැජන වනු ඇතැයි ගාමිණී ෆොන්සේකාද සිහිනෙන් වත් සිතන්නට නැත. රීටා ජෙනවි යන නම ලතා යනුවෙන් වෙනස් කරන ලද්දේ ඉන්දියානු ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර්ට අනුව යැයි කියනු ලැබේ. එය එසේ නම් රීටා ලතා කිරීමෙන් ඉන්දියානුවන්ටත් කලින් ලතා මංගේෂ්කාර්ගේ අනාගතය අපේ අය දැන සිටියාට සැකයක් නැත. මන්ද යත් රීටා ලතා කරන අවධිය වන විට ලතා මංගේෂ්කාර් සෙසු ඉන්දියානු ගායිකාවන් අභිබවා වේගයෙන් පෙරට එන අවධියයි.

ලතා මංගේෂ්කාර් චිත්‍රපට ගීතයේඅභිසෙස් ලබනුයේ 1949 වසරේ තිරගතවන "මහල්" චිත්‍රපටය සමඟවීම නිසාය. ඒ වන විට අපේ ලතාට වයස අවුරුදු පහළොවකි.කෙසේ හෝ වේවා මා විශ්වාස කරන අන්දමට රටේ හැටියට අපේ ලතා ගී ගැයූ ප්‍රමාණය ඒ ලතාට වඩා වැඩිය. එපමණක් නොව ඒ ලතාට වඩා මේ ලතාට ගී ලොව අභිසෙස් ලබන්නට දැවැන්ත වෙහෙසක් කරන්නට සිදුවිය. ඒ ලතා ගී ගයන්නේ මාපිය ආශිර්වාදය ඇතුවය. සංගීතය පාරම්පාරිකව තම කර්තව්‍ය සේ සැලකූ පවුලක සිටය. එහෙත් අපේ ලතා වල්පොලට ගී ලොවට පිවිසෙන්නට බොහෝ කැපවීම් කරන්නට සිදුවිය. කොටින්ම තාත්තාගේ ආදරය සදාකාලිකව අහිමි වන්නේ ඇය ගායිකාවක් වීමෙ වරදටය. වර්තමානයේ තම දූවරුන් ටෙලිවිෂන් චැනල ඉදිරියේ අර්ධ නිර්වස්ත්‍රයෙන් රඟ දක්වන අයුරු බලා සිටින මාපියන්, එදා ලතා වල්පොල වැනි ගායිකාවන් විනීතව සිය වෘත්තියට පිවිසෙන අයුරු සිහිනෙකින්වත් සිතුවාද යැයි මා දන්නේ නැත.

ලතා ජී. ප්‍රනාන්දු හෙවත් ලතා වල?්පොල සිනමාවට පිවිසෙන්නේ "එදා රෑ "චිත්‍රපටයේ ගී ගැයීමෙනි. එහෙත් එයට පෙර "සුජාතා" චිත්‍රපටයේ ගී ගයන්නට ලැබුණු අවස්ථාව ඇයට මඟ හැරුණේ තාත්තාගේ විරෝධතාවය හේතුවෙනි. මුල් යුගයේ ඇය චිත්‍රපට ගායනයට පමණක් නොව රංගනයකට ද අවස්ථාවන් ලබා ගත්තාය. "රදළ පිලිරුව" චිත්‍රපටයේ ඈ රඟපෑ එක් චිත්‍රපටයකි. ලතා සිංහල චිත්‍රපට ගීතයට අවතීර්ණ වන සමයෙහි මෙහි වැඩිපුරම අරක්ගෙන සිටියේ ඉන්දියානු ගායිකාවන්ය. සුජාතා චිත්‍රපටයේ රඟපෑමේ අවස්ථාව ඇයට අහිමිවන විට ඒ වරම හිමිවනුයේ ජමුනා රාණි , ජික්කි හෝ කේ.රාණිටය. ඒ අවධියේ සිංහල චිත්‍රපට ගීත ගායනයට පිවිසි බොහෝදෙනාට සිදුවනුයේද ඉන්දියානු අනුකාරක ස්වරයන්ට පණ පෙවීමටය. සංගීතය මෙහෙය වූ බොහෝ ඉන්දියානුවන් සිංහල මළපොතේ අකුර හෝ දැන සිටියේ නැත. ගීත රචනාවල බොහෝ විට වචන සක්ක ගසා තිබිණ.

ලතා වල්පොල ඉන්දියාවේ ලතා මංගේෂ්කාර් අභිබවා මෙරට ගායනා ක්ෂේත්‍රයෙහි ඉදිරියට එන්නේ එබඳු බාධක මැඩගෙනය. ඇයගේ මියුරු හඬ පරම්පරා ගණනාවක් මුළුල්ලේ රැඳී පවත්නේය. ඇය මුල් වරට ගී ගැයුවේ "එදා රෑ " චිත්‍රපටයට සදා ඇඟේ හඬ මුසු වූයේ සිනමා නිළි වංශවතී දවුළුගම වෙනුවෙනි. එදා සිට මෙදා අනර්කලී දක්වා ඈ චිත්‍රපට පසුබිම් ගී ගායනා කළාය. මේ ගීත අතර ඇය හොඳම ගායිකාව ලෙස මුල් වරට සම්මානයට පාත්‍ර වූයේ සරසවිය සම්මානයෙනි. ඒ 1965 වසරේ "සරසවි" සම්මාන උළෙලේදී "ගැටවරයෝ" චිත්‍රපටය උදෙසායි. ඇය සිංහල දෙබස් කැවූ බොහෝ චිත්‍රපටවලට ද ගී ගායනා කළාය. "අංගුලිමාල "චිත්‍රපටයේ නිම්මි වෙනුවෙන් පසුබිම් ගී ගායනය කිරීමෙන් නොනැවතුණු ලතා නිම්මි වෙනුවෙන් හඬ කැවීමේද යෙදුනාය. සිංහල චිත්‍රපට ගායනයෙහි ඇයගේ ඉතිහාසය අවුරුදු හැටක් ඉක්ම වූයේ ගිය ව?සෙර්ය. මේ ගත වූ කාලය පුරාම ඇය සිය ජීවන වෘත්තිය කොට ගත්තේ ගායනය පමණි. ඇය සංගීතය විධිමත් ලෙස හදාරා ඇත්තියක් නොවූවාය. එහෙත් නියම ස්වරස්ථානයෙහිලා ගායනා කිරීමට උප්පත්තියෙන් ගෙන ආ මධුර හඬ කිසිසේත් වයස්ගත වූයේ නැත. වසර ගණනාවකට පෙර ඇය ශල්‍යකර්මයකට භාජනය විය. වෛද්‍යාවරයාගේ නියමය වූයේ ඈ සතු වටිනා වස්තු එයට පෙර කාට හෝ භාරදිය යුතු බවය.

 තමා සතු වටිනාම වස්තුව කිසිවෙකුට භාරදිය නොහැකි යැයි ලතා තර්ක කළාය. මේ වටිනා වස්තුව මධුර කටහඬ මිස අන්කවරක් හෝ නොවීය. ඒ කටහඬ කිසිවෙකුට හෝ අනුකරණය කරන්නට නොහැකිය. ඒ හඬ ඇයට පමණක් නොව ජාතියටද උරුම වූ වස්තුවක් ලෙස නොසලකා හැරිය නොහැකිය. ඉන්දියානු ආශ්‍රිත කලාපයේ සිනමා ගීතය යනු එහි විශාලතම ප්‍රකාශන රීතියයි. සතුටේදී පමණක් නොව විප්‍රයෝගයේදී ද ගායනයේ යෙදීම සංස්කෘත නාට්‍යය හරහා ඉන්දියානු සිනමාව ලැබූ උරුමයකි. එබැවින් චිත්‍රපටයක ගායිකාවක දෙවැනි වනුයේ නිළියකට පමණි. ඒ නිසා එකම චිත්‍රපටයක විවිධ නිළියන්ගේ විවිධ භූමිකා හා අවස්ථා සඳහා ගායිකාවකගේ හඬ දෙවන පාර්ශවයේ රංගනයක් ඉටු කරනු ලබයි. එහිලා ඇයගේ කර්තව්‍ය නිළියකට තමන්ගේ අවස්ථා ඉස්මතු කරන්නට අවස්ථාවකි. "ගැටවරයෝ" චිත්‍රපටයේ ශෝබනී අමරසිංහගේ හැඟීම් විරහිත මුහුණ මත්තේ දුම්රියේ වලාපටල ඇදෙද්දී ඇයගේ හඬින් අපට ඇසෙන්නේ "වාසනාවේ මල් අකලට මැරුණයි,ප්‍රේම ලෝකේ රන් මන්දිර කැඩුනයි" යන පද යුගලයයි. ඉදින් විරහව කියන්නට තවත් අරුතක් සොයන්නට සිනමාකරු උත්සුක විය යුතුද?.

"මා පාවී යයි" ලතා ගයද්දී හෙලන් කුමාරිගේ ශෘංගාරාත්මක රංගනයට ජීවය ලැබෙයි. ජීවිතයේ එළිය මැදින් සිහින ලොවක පාවෙලා ජීවරාණී රඟද්දී ප්‍රේමය පිළිබඳ අපූර්ව හැඟීමකින් ගැටවරයන් මුසපත් වෙයි. එපමණක් නොව "මීපැණි වදයක මීපැණි යහනක දොයි දොයි නැළවෙන්නේ " ගැයෙන විට නැළවෙන්නේ රේඛාවේ කුඩා දරු පැටියා පමණක් නොවේ . එය අසන මතු පරම්පරාවද නැළ වෙන්නේය. ලතා වල්පොල රීටා ජෙනවි ප්‍රනාන්දු නමින් උපත ලබන්නේ 1934 වසරේ නොවැම්බර් මස එකොළොස් වෙනි දිනය. ඒ කොළඹ බම්බලපිටියේදීය. මේ එළඹෙන එකොළොස්වැනිදාට ඇයට අසූ වසර සපිරේ. මේ අග්‍රගන්‍ය ගායිකාවට අපේ ගීත කෝකිලාවියට තවත් චිරත් කාලයක් ස්වකීය මධුර හඬින් අප සනසන්නට වරම් ලැබේවායි සරසවිය එක සිතින් ප්‍රාර්ථනා කරයි.