වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




ගැටුම් මැද ගෙවෙන ජීවිතය ඉතින් මටත් පොදුයි

සමඟ යළි ඔහු හමු වෙමු

චන්න පෙරේරා - අසංක දේවමිත්‍ර පෙරේරා සමඟ ආත්මීය විවරණයක

 

ගැටුම් මැද ගෙවෙන ජීවිතය ඉතින් මටත් පොදුයි

වරෙක එක්තරා සිනමා විචාරකයකු ‘අංජලිකා’ චිත්‍රපටය හැඳින්වූයේ සොඳුරු රූප කාව්‍යයක් ලෙසිනි. එහි අධ්‍යක්ෂවරයා වූයේ ජනප්‍රිය නළු චන්න පෙරේරාය. සිය කුලුඳුල් චිත්‍රපටයෙන්ම ප්‍රේක්ෂක, විචාරක අවධානය දිනා ගන්නට ඔහු සමත් වූයේ බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂවරයකුගේ පෙරමග ලකුණු පහළ කරමිනි.

‘කල්පාන්තේ සිහිනයක්’ ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණයයි. එය හෙට සිට ප්‍රදර්ශනයට නියමිතය. මෙම කතාබහට ප්‍රස්තුතය වන්නේ එකී නිර්මාණ කාර්යය වුව ද ඉන් ඔබ්බට ගිය චන්නගේ පෞද්ගලික ජීවිත විවරණයකට ද ඒ හරහා ඉඩහසර විවර වූයේ නිරායාසයෙනි.

‘කල්පාන්තේ සිහිනයක්’ වෙනස්ම තේමාවක් රැගත් චිත්‍රපටයක්. මම දකින්නේ මේක ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක් විදිහට?

ඔව්. ඇත්තටම මේක ඇඩ්වෙන්චර් ලව් ස්ටෝරි එකක්. මේක ‘අංජලිකා’ට වඩා හාත්පසින්ම වෙනස් චිත්‍රපටයක්. ඒත් වාණිජ චිත්‍රපටයකට අයත් හැම අංගෝපාංගයක්ම මේකෙ තියෙනනවා. විශේෂත්වය තමයි මේක ප්‍රබල කතා පුවතක් සහිත චිත්‍රපටයක් වීම. ‘කල්ප’ කියන තරුණයකු වටා තමයි මේ කතාව ගෙතී තිබෙන්නේ. ඔහු ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ඒ චරිතය රඟපාන්නේ මම. ඔහුගේ විනෝදාංශය තමයි මේ ඉතිහාසයේ සැඟවෙච්ච දේවල් සොයන එක. ඔහුට තිබෙනවා ගඟක් අසල ඉදිකරපු ලස්සන නිවසක්. ඔහු එනවා නිවාඩුව ගත කරන්න මේ නිවසට. රත්තොට කියන ප්‍රදේශයේ, මාතලේ.

සුන්දර ගැමි පරිසරයක්?

ඔව්. එතනදි කල්පට හමුවෙනවා එක්තරා තරුණියක්. ඇය රාවණ පරම්පරාවෙන් පැවත එන කෙනෙක්. ඇයත් එක්ක එකතු වෙලා රාවණා දඬු මොණරය හැදූ තැන හා ඒ තාක්ෂණය සොයා යන ගමනක් තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. ඒ අතරේ බිහිසුණු, ත්‍රාසජනක සිදුවීම්වලටත් මුහුණ පාන්නට සිදු වෙනවා. කොහොම හරි අවසානයේ කල්පත්, අර තරුණියත් ආදරයෙන් වෙළෙනවා. ඒ විදිහට තමයි මේ කතාව ගලාගෙන යන්නේ.

මේ චිත්‍රපටයෙනුත් ඔබ අපේ සිනමාවට අලුත් මුහුණු හඳුන්වා දෙනවා?

මෙහි ප්‍රධාන චරිතය හරහා තවත් ඉන්දියානු නිළියක් මම හඳුන්වා දෙනවා, ශයිත්‍රා චන්ද්‍රනාත් කියලා. ඒ එක්කම ගයානා නිර්මන්ති කියල ළමා නිළියකුත් හඳුන්වා දෙනවා. වසර දෙකකට විතර කලින් ‘දෙරණ ලිට්ල් ස්ටාර්’ තරගයෙන් පළමුවැනියා වුණේ ඇය. ගයානා දක්ෂ ළමා නිළියක්.

රංගනය දායකත්වය ලබා දෙන සෙසු පිරිස?

අයිරාංගනී සේරසිංහ, සනත් ගුණතිලක, නිහාල් ප්‍රනාන්දු, හිමාලි සයුරංගි, සඳුන් විජේසිරි, ගුණදාස මදුරසිංහ වැනි ප්‍රවීණ නළු නිළියන් පිරිසක් මෙහි රඟපානවා. චිත්‍රපටයේ පසුබිම් සංගීතය හා ගීත දෙකක් නිර්මාණය කළේ රෝහණ වීරසිංහයන්. තේමා ගීතය නිර්මාණය කළේ දිනේෂ් සුබසිංහ. කැමරා අධ්‍යක්ෂණය පුෂ්පකුමාර රාජගුරු, උපුල් ප්‍රජාත් සහ චන්දන ජයසිංහ. සහාය අධ්‍යක්ෂණයෙන් ඩොනල්ඩ් ජයන්ත දායක වුණා.

මෙවරත් ඔබේ සහාය අධ්‍යක්ෂවරයා ලෙස තෝරා ගත්තේ ඩොනල්ඩ් ජයන්ත?

‘අංජලිකා’ චිත්‍රපටයේදී ඔහු මා සමඟ ඉතාමත් සහයෝගයෙන් වැඩ කළා. ඇත්තටම අද අපේ සිනමාවේ කාර්ය බහුලම අධ්‍යක්ෂවරයා ඔහුයි. ඒත් ඕනෑම වගකීමක් දරන්නටත්, ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්නත් ඩොනල්ඩ්ට පුළුවන්. ඒ නිසාම මම මෙවරත් ඔහු තෝරා ගත්තා මගේ සහාය අධ්‍යක්ෂවරයා විදිහට.

මම හිතන්නේ මේ චිත්‍රපටයේ කතා සංකල්පයත් ඔබේමයි. කොහොමද මෙවැනි තේමාවකට ඔබේ සිත යොමු වුණේ?

ඉතිහාසයේ මම බොහොම ප්‍රිය කළ කෙනෙක් තමයි රාවණා රජු කියන්නේ. මීට වසර තුනකට පෙර මම මේ චිත්‍රපටය කරන අවධියේ මේ වගේ රාවණා රැල්ලක් ඇති වෙලා තිබුණේ නැහැ. වාල්මිකීගේ රාමායනයේ රාවණා රජු දුෂ්ටයෙක් කරලා තිබුණා. නමුත් රාවණා රජු සියලු කලා ශිල්පවල කෙළ පැමිණි අති දක්ෂයෙක්. යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම් වගේම ගුවන් යානා තාක්ෂණය පවා දැනගෙන සිටි කෙනෙක්. ඒ නිසානේ ඔහු දඬුමොණරෙ නිර්මාණය කළේ. ඉතින් මට ඕනෑ වුණා රාවණා රජ්ජුරුවන්ට ඉතිහාසයේ ලබා දිය යුතු තැන මේ නිර්මාණය හරහා ලබා දෙන්න. මහාවංශයේවත් එතුමා ගැන ලියවිලා නෑනේ.

රාවණා රජු හොඳ රසවතෙක්?

ඇත්තෙන්ම ඔබ කිව්වා වගේම ඔහු හොඳ රසවතෙක්. ආදරවන්තයෙක්. මොකද කතාවට කියනවා සීතාගේ අතින්වත් අල්ලලා නෑ කියලා රාවණා. එහෙම ආධ්‍යාත්මික ප්‍රේමයක් ඔහුට තිබිලා තියෙන්නේ. ඉතින් මට ඕනෑ වුණේ ඒ ඉතිහාස කතාවට වෙනත් කතාවකුත් ගොනු කරලා එය සිනමාවට ගේන්න. අපේ තිබෙනවානේ ආත්මීය සම්බන්ධතා. එබඳු දේවල් ගැන කියැවෙන ලස්සන කතන්දරයක් තමයි ‘කල්පාන්තේ සිහිනයක්’ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ.

ආත්ම භවයන් දෙකක් ගැන මේ චිත්‍රපටයෙන් කියැවෙනවාද?

නැහැ. අපි අර කියන්නේ සංසාරික බැඳීම් කියලා. සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් කල්ප සහ ඔහුගේ පෙම්වතිය පෙර ආත්මයක රාවණා සහ සීතා කියලා. ඒකනේ ඔවුන් ඒ දේවල් සොයාගෙන යන්නේ. මගේ මේ කතා සංකල්පය තිර නාටකයක් බවට පත් කළේ කපිල කුමාර කාලිංග.

ඒ අතීත මූලාශයන් සොයා යන ගමනේදී ඔබ ඉතාමත් රමණීය සුන්දර දර්ශන තල භාවිත කර තිබෙනවා. එයත් මම හිතන්නේ විශේෂත්වයක්?

ඔව්. මෙතෙක් කිසිවකු නොදැකපු දර්ශන තලවල තමයි අපි මේ චිත්‍රපටය රූගත කළේ. රිවස්ටන්, රත්තොට, ගල්ගමුව, දඹුල්ල වගේ ප්‍රදේශවල. ඊට අමතරව කෘත්‍රිමව හදපු දැවැන්ත දර්ශන තලත් අපි භාවිතා කළා. ඉතින් මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වේවි මේ චිත්‍රපටය.

‘අංජලිකා’ චිත්‍රපටයෙන් තමයි මේ High Budget Film රැල්ල අපේ සිනමාවේ ආරම්භ වුණේ?

ඔව්, ඔව්.

නමුත් එදා ‘අංජලිකා’ට සාපේක්ෂව බලන කොට අද නිෂ්පාදනය වෙන High Budget Film සඳහා විශාල පිරිවැයක් දරන්නට වෙනවා නිෂ්පාදකයන්ට. එය අපට ඔරොත්තු දෙනවාද?

ඇත්තටම අසංක ජාත්‍යන්තර සිනමාවත් එක්ක හැප්පෙන්න නම්, තරඟ කරන්න නම් අපට එහෙම කරන්න වෙනවා. දැන් අපේ රටට එන්නේ අලුත්ම චිත්‍රපට. හොලිවුඩ්වල, බොලිවුඩ්වල හදන චිත්‍රපට අමෙරිකාවේ, ඉන්දියාවේ වගේම අපේ රටේත් ප්‍රදර්ශනය වෙන්නේ එකම දවසේ. ඉතින් ඒ චිත්‍රපට එක්ක තරඟයක් දෙන්න නම් අපි උසස් තත්ත්වයේ නිර්මාණ කරන්න ඕනෑ. ඒකට සාමාන්‍ය Budget  එකට වඩා එහා යන Budget එකක් අවශ්‍යයි. මේ චිත්‍රපටයටත් පළමු පිටපත දක්වා ලක්ෂ තුන්සිය පනහක මුදලත් වැය වෙලා තියෙනවා. මම හිතනවා අර ඔබ කියපු විදිහට මේ කාලේ නිෂ්පාදනය වෙන ඇතැම් චිත්‍රපටත් එක්ක බලනකොට මේක ලොකු Budget එකක් කියන්නත් බෑ. මේක දළ සේයාපටවල රූපගත කළේ. එතකොට මේක සිනමාස්කෝප්, D. T. S. තාක්ෂණය යොදාගෙන කරපු නිර්මාණයක්.

ඒ වියදම් කළ මුදල චිත්‍රපටයේ තියෙනවා කියා ඔබ සිතනවාද?

ඔව්. ඒ විශ්වාසය මට තියෙනවා. මේ චිත්‍රපටයට මම වුණ මහන්සිය හා කැප කිරීම එක්ක ඒ වටිනාකම චිත්‍රපටයේ තියෙනව කියලා මට හිතෙනවා. හැබැයි අසංක ඒක තිරණය කරන්න ඕනෑ පේ‍්‍රක්ෂකයෝ. පර්ලි විජේතුංග, සුනේත්‍රා බාලසූරිය, හර්ෂ ගමඇතිගේ, වෛද්‍ය අසේල අමරසිරි තමයි මේ චිත්‍රපටය වෙනුවෙන් අර්ථපති දායකත්වය දැරුවේ. ඔවුන්වත් මම මේ මොහොතේ බැතිබරව සිහිපත් කරනවා.

අවුරුදු තුනකට පෙර ඔබ දළ සේයා පටවලින් තමයි මේ චිත්‍රපටය කළේ. ඒත් අද අපේ සිනමාව ඩිජිටල් යුගයකට පා තබලා තියෙන්නේ. එතකොට ඒක ගැටලුවක් නෙවෙයිද ඔබට?

ඇත්තෙන්ම ගැටලුවක් වුණා. ඒත් මගේ වාසනාවකට වගේ තාම ගොඩක් හැරවිලා නෑ අපි ඩිජිටල් තාක්ෂණයට. ආරම්භක අවධියේ තියෙන්නේ. මට ඩිජිටල් කොපි හතරක් ගන්න වුණා. ඉතින් ඒ නිසා නැවත වතාවක් ඒ තාක්ෂණයට අදාල දේවල් කර ගන්න මට සිදු වුණා. හැබැයි මේ චිත්‍රපටය 90% ක්ම පෙන්වන්නේ දළ සේයාපටවලින්. පිටපත් තිහක් පමණ මුදා හරිනවා අපි. රිද්ම සහ ඛ්ඡ්ඹ් සිනමා මණ්ඩලවලට අයත් සිනමාහල්වල හෙට සිට ‘කල්පාන්තේ සිහිනයක්’ ප්‍රදර්ශනය වෙනවා. රීගල් - කොළඹ, ඕඩියන් – ගල්කිස්ස, ඇමෙටිලයිට් – මහරගම, ලිඩෝ - බොරැල්ල ඇතුලු සිනමාහල් තිහක් ඊට ඇතුළත්.

චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන ගමන් රඟපෑමත්, රඟපාන ගමන් අධ්‍යක්ෂණය කිරීමත් භාරදූර කාර්යයක්. මේ අභියෝගය ජය ගන්නට හැකි වුණා කියලා ඔබ හිතනවාද?

මම මීට කලින් ටෙලි නාට්‍යය දොළහක් විතර අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඒවා මම රඟපාමින් අධ්‍යක්ෂණය කළා. ඒ නිසා මට යම් පෙරහුරුවක් තියෙනවා. නමුත් ඒක ලෙහෙසි වැඩක් නෙවෙයි. මට ලොකුම පෙරහුරුව ලැබුණේ ‘පුංචි වීරයෝ’ ටෙලි නාට්‍යයේ මම ළමයි පස් දෙනකු අධ්‍යක්ෂණය කරමින් රඟපෑමයි. එය අභියෝගයක් වුණත් ඒ අත්දැකීම් එක්ක මම අධ්‍යක්ෂවරයකු විදිහට සාර්ථක වුණා කියලා විශ්වාස කරනවා. අනෙක මේ චිත්‍රපට දෙකේම ප්‍රධාන චරිත රඟපෑවේ විදෙස් නිළියෝ. ඉතින් ඒකත් එක්ක මට දැඩි වෙහෙසක් දරන්න වුණා ඔවුන් හසුරවමින් රඟපාන්න. මම අවංකවම හිතනවා මේ භාරදූර වගකීම් නොතිබුණා නම් මීට වඩා හොඳට රඟපාන්න තිබුනා කියලා. මොකද විශේෂයෙන්ම මේ භාෂාව නොදත් නිළියන් හසුරුවන්නට යාමෙන් මගේ රංගනය යම් පසුබෑමකට ලක් වෙන්න ඇති කියලා මට හිතෙනවා. ඒකට කරන්න දෙයක් නෑ ඉතින්.

ඔබේ රංගන ධාරිතාව උපරිම මටටමකට ගෙන යාමට බැරි බාධකයකුත් එතැන තියෙනවා නම් ඇයි ඔබ එවැනි දෙයක් කළේ?

ඇත්තටම වෙළෙඳපොළ ගැන හිතලා අසංක. මොකද දැන් අපේ සිනමාව ජාත්‍යන්තර තලයට ගෙන යන්න නම් අපට විවිධ උපක්‍රම භාවිතා කරන්න වෙනවා. විශේෂයෙන්ම අපට ආවේණික කතා තේමාවල්. හැබැයි ප්‍රේක්ෂකයාට විනෝදාස්වාදයක් දෙන විදිහට අපි ඒවා සකසන්න ඕනෑ. ඒ වගේම ඉන්දීය නිළියක් අපි භාවිතා කළාම ඇගේ රඟපෑම් බලන්න විශේෂයෙන්ම ඉන්දීය ජාතිකයෝ පෙළඹෙනවානේ. ඒ විශ්වාසයත් මුල් කරගෙන තමයි මම ඉන්දීය නිළියක් මගේ චිත්‍රපටවලට සම්බන්ධ කර ගත්තේ.

නමුත් ඔබ චිත්‍රපට හදන්නේ ලංකාවේ ප්‍රේක්ෂක ජනතාවට?

ඔව්. නමුත් ජාත්‍යන්තර වෙළෙඳපොලත් යම් ප්‍රමාණයකට ඉලක්ක කර ගනිමින් තමයි මේ චිත්‍රපටය මම හැදුවේ. අනෙක අසංක අපේ සිනමවේ තරු ගුණය තියෙන තරුණ නිළියෝ අඩුයි. ඒ හැමෝම ටෙලි නාට්‍යයවලත් රඟපානවා. එහෙම කෙනෙක් ගත්තම ප්‍රේක්ෂකයෝ ආයේ සල්ලි දීලා යන්නේ නෑ ඒ නිළිය බලන්න. අපිට දක්ෂ නිළියෝ ඉන්නවා. ඒකෙ වචන දෙකක් නෑ. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ අර ‘තරු ගුණය’, ‘ස්ටාර් වැලියු’ කියන කාරණය. එහෙම නිළියෝ අපට ඇත්තෙම නැති තරම්. හැබැයි නළුවෝ ඉන්නවා.

ඔබත් එහෙම නළුවෙක්ද?

ඔව්. ඉතින් මමත් ඒ ගොඩට වැටෙන නළුවෙක් කියලා මට හැඟෙනවා. මමත් ටෙලි නාට්‍යයවල එහෙම දැන් වැඩිපුර රඟපාන්නේ නැහැනේ.

පූජා උමාශංකර් අද අපේ සිනමාවේ ජනප්‍රියම තාරකාව. තවත් විදිහකට කිව්වොත් ඇය අද අපේ සිනමාවේ අංක එකේ නිළිය බවට පත්ව සිටිනවා. ඇය අපට හඳුන්වා දුන්නේ ඔබ. ඒත් අද ඵල නෙලා ගන්නේ වෙන අය. මොකද හිතෙන්නේ?

මම හරිම සතුටෙන් ඉන්නේ අසංක. මම හදපු පාලමෙන් අපේ සමහර නිර්මාණකරුවෝ එතෙර වෙන විදිහ මම නිසොල්්මනේ බලාගෙන ඉන්නවා. ඇත්තටම පූජා කියන්නේ අද ලංකාවට නැතිවම බැරි නිළියක්. ලංකාවේ ජනප්‍රියතම නිළිය පූජා ලංකාවේ හුරුවට හැදිච්ච කෙනෙක් නෙවේ. ඇගේ රඟපෑම් ශෛලියත් වෙනස්. ලංකාවේ තරුණියකගේ චරිතයක් කොහොමද නිරූපණය කරන්නේ කියලා ඇයට අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි ඇය දක්ෂ නිළියක්. ඉතින් ඇයව හසුරුවන්න මට මුලදි සෑහෙන්න වෙහෙසක් දරන්න සිදු වුණා. අංජලිකා කියන තරුණියගේ චරිතය මට පූජා ලවා රඟපාවා ගත්තා කීවොත් හරි. ඉතින් ඇය ඒ අත්දැකීම් හරහා ලංකාවට අනුගත වුණා. ඒකෙන් ප්‍රයෝජන ගත්තේ වෙන අධ්‍යක්ෂවරු.

එහෙම තත්ත්වයක් නිර්මාණය වෙද්දී මොන වගේ හැඟීමක් ද ඔබ තුළ ඇති වුණේ?

මගේ හිතේ තියෙන්නේ අවංක සතුටක්. පූජා හඳුන්වලා දීලා අපේ සිනමාව යම් තරමකින් ගොඩ දැමීමක් කළා කියලා මට හිතෙනවා.

ඔබ මේ චිත්‍රපටයට පූජාට කතා කළත් ඇය ඊට අකැමැත්ත ප්‍රකාශ කළ නිසා ඔබ ඉන්දියාවෙන්ම වෙනත් නිළියක් සොයාගත්තා කියලා කතාවක් පැතිරුණා. මොකක්ද මේකෙ ඇත්ත, නැත්ත?

නැහැ, එකඟ නොවුණා නෙවෙයි. හැබැයි දින ප්‍රශ්නයක් තිබුණා. පූජා ඒ වෙනකොට ඉන්දියාවේ හිටියේ. ඈ එහෙත් කාර්ය බහුලවයි හිටියේ. ඒක තමයි ඇත්ත කතාව.

පූජා අපේ සිනමාවට හඳුන්වා දෙද්දී ඔබට විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වුණා. අවලාද නැඟුණා?

මම පූජාව චිත්‍රපටයට ගත්තා කියලා සමහරු මාධ්‍ය තුළින් මාව නිර්දය ලෙස විවේචනය කළා. ඒ විවේචනය කරපු අයම අන්තිමට එයාලගේ චිත්‍රපටවලට පූජාව ගත්තා. ඒක මම බය නැතිව කියනවා. නමුත් ඇත්තටම මම නිහතමානීව සතුටු වෙනවා පූජා වගේ නිළියක් අපේ සිනමාවට හඳුන්වා දීපු එක ගැන.

පූජා කෘතගුණ දක්වනවාද තවම ඒ ගැන?

ඇය හැම තැනකම ඒ ගැන සිහිපත් කරනවා. මම හිතනවා ඈ ළඟ ඒ කෘතවේදී ගුණය තවමත් තියෙනවා කියලා.

හරි අපි නැවත ‘කල්පාන්තේ සිහිනයක්’ දිහාවට හැරෙමු. මේ චිත්‍රපටයේ නමේම තියෙනවා ගැඹුරු අරුතක්. ඇයි මේ වගේ නමක් චිත්‍රපටයට යෙදුවේ?

කල්පාන්තයක් කියන්නේ කල්පයක අන්තය කියන එකනේ. ඒ කියන්නේ අපි කිසිදාක ළඟා නොවෙච්ච කාලයක්. ඒකෙත් දකින සිහිනයක්. මේ දෙන්නා යන්නේ කවදාවත් සැබෑ නොවෙන සිහිනයක් කරා. අනෙක මෙතනදි අර සංසාර පුරුද්ද කියන එකත් මම ගේනවා. කල්පාන්තය දක්වා අපි ගෙනි යනවා මේ සංසාරගත අපේ සමහර පුරුදු ආත්ම ගණනකට. ඉතිං ඔය කාරණා දෙකම හේතු වුණා මම මේ චිත්‍රපටයට ‘කල්පාන්තේ සිහිනයක්’ නම යොදන්න. ඔබ කිව්වා වගේ ඇත්තටම මේ චිත්‍රපටයේ යටි පෙළේ ලොකු කතාවක් කියවෙනවා.

ඇත්තටම එහෙම ආත්මීය බැඳීම් ගැන ඔබ විශ්වාස කරනවාද?

අනිවාර්යයෙන්ම ඔව්. ඒ ගැන කතා කරද්දී රසවත් කතාවක් තියෙනවා ඔබට කියන්න. මේ ළඟදී මම එක්තරා බටහිර චිත්‍රපටයක් නැරඹුවා. ඒ චිත්‍රපටය ආරම්භයේ පසුබිම් කතනයක් තියෙනවා. ආත්ම දෙකක් ගැන කියන්නේ. අපි මේ ලෝකෙට එන්නේ එක ආත්මයක් හැටියට. ඒ ආත්මය අපි මෙලොවට බිහිවෙද්දී දෙකට බෙදෙනවා. එකක් පිරිමියකුට යනවා. එකක් ගැහැනියකට යනවා. ඒ කියන්නේ පිරිමි දරුවකුට හා ගැහැනු දරුවකුට. එතකොට මේ ජීවිත කාලයේම අපි අපිට අයිති අනෙක් කොටස හොයනවා. ඒ කොටස හම්බ වුණොත් අපි වාසනාවන්තයි. ඒ අය තමයි සෝල් මේට්ස්ලා කියන්නේ. ආත්මීය සහකරුවා. සමහරු ආත්මීය සහකරුවෝ මැරෙනකල්ම හොයනවා. සමහර විට ඒ ආත්මීය සහකරුවා අපට මැරෙනකල්ම හමු වෙන්නේ නෑ.

ඔබට ඒ ආත්මීය සහකාරිය හමු වුණාද?

ඒක දන්නේ නෑ. ඒක එහෙම කියන්න බැහැ. තව කාලෙකදි තේරුම් ගන්න පුළුවන් හම්බ වුණා ද නැද්ද කියලා. අසංක ඉතින් ජීවිතේ එහෙමයි. එන විදිහට මූණ දෙන්න එපැයි අපි. කෙනෙක්ට අපි ආදරය කරන්නේ, විවාහ වෙන්නේ ඒ ආත්මීය සහකරු කියලා හිතාගෙන. ඒක එහෙමද නැද්ද කියලා දැනගන්නේ ඊට පස්සේ.

සිනමාව නිසා ඔබේ පෞද්ගලික ජීවිතය යම් යම් අර්බුදවලට ලක් වුණ කියලා මට හිතෙනවා සහ දැනෙනවා. ඔබේ ජීවිතයේ කිසියම් පරිවර්තනයක් මේ යුගයේ ඇති වෙලා තිබෙනවා?

ඔව්, ඉතින් අසංක මාව අවුරුදු ගාණක ඉඳලා දන්නවා. අපි සමීපව ඇසුරු කරපු අය. මෙහෙමයි අසංක, දැන් ජීවිතේ ඕනෑම කෙනෙකුගේ හැළ හැප්පීම් තියෙනවා. අපි චිත්‍රපටයක් කරනවා නම් ඒක මුළු ජීවිතේම කර ගන්නවා. ඒ ජීවිතය කර ගැනීම හරහා මගේ පෞද්ගලික ජීවිතයේ යම්, යම් දේවල් අතපසු වෙනවා. ඉතින් ඒ නිසා සමබරතාවය සමහර විට බිඳෙන්න පුළුවන්. කාලයක් එකට ඉන්න කොට තමයි එකිනෙකාගේ දුර්වලකම් හඳුනා ගන්නේ. ඒ හරහා පොඩි පොඩි ගැටීම් ඇති වෙන්න පුළුවන්. ඒවා මැඬ පවත්වාගෙන, ඒවාට අපි අනුගත වෙලා ජීවිතය ගෙවීම තමයි කළ යුත්තේ.

ආත්මීය සහකරුවා හමු නොවීමේ ප්‍රශ්නය නේද ඔතැන තියෙන්නේ?

ඒක එහෙම කියන්න බැහැ සෝල් මේට්ස් ද නැද්ද කියලා. කාලයක් යනකොට තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. සමහරු ජීවිතයේ එක් එක් කාලවල වෙන් වෙනවා. ආයේ එකතු වෙනවා. එකතු වෙලා ආයේ වෙන් වෙනවා. ඔහොම තියෙනවනේ අපේ ජීවිත. එහෙම ගැටුම් මැද ගෙවෙන ජීවිතයක් ඉතින් මටත් පොදුයි.

වර්තමානයේ ඔබ ඉන්නේ හරිම තැන කියලා ඔබ හිතනවාද?

මට ලැබෙන තැන. මට ලැබිලා තියෙන තැන මම ඉන්නේ.

ඔබ ලැබෙන දේ බාරගන්න පුද්ගලයෙක් නෙවෙයි. අභියෝගවලට පෙරළා අභියෝග කරන කෙනෙක්?

මට හොඳ ශක්තිමක් මනසක් තියෙනවා. සමහර විට අපි යම් යම් අවස්ථාවල විවිධ හැළ හැප්පීම්වලට ලක් වුණත් මට අනිවාර්යයෙන්ම ඒවා කඩාගෙන බිඳගෙන නැගිටින්න පුළුවන් ශක්තිමත් මනසක් තියෙනවා. ඉතින් එහෙම නැගිටිමින් පවතින කාලයක් මේක.

මේක එක්තරා විදිහක සංක්‍රාන්ති සමයක්?

අනිවාර්යයෙන්ම.

‘කල්පාන්තේ සිහිනයක්’ ගැන අධ්‍යක්ෂවරයා හැටියට ඔබට මොකද හිතෙන්නේ?

ප්‍රේක්ෂකයෝ එකම වර්ගයේ චිත්‍රපට රැල්ලක් දැකලා හෙම්බත් වෙලා ඉන්න කාලෙක තමයි මගේ ‘කල්පාන්තේ් සිහිනයක්’ එන්නේ. ඉතින් මම හිතනවා මේ විනෝදාස්වාදය කැටි කරගත් සිනමා කෘතියක් දැකීමේ පිපාසවෙන් පෙළෙනවා කියලා අපේ ප්‍රේක්ෂකයෝ. දැන් අපි දන්නවා බෞද්ධ කතා රැල්ලක් ආවා. එතකොට ඉතිහාස කතා රැල්ලක් ආවා. වාර්තාමය චරිත කතා රැල්ලක් ආවා. ඉතිං ඔය ඔක්කොම අස්සේ මම විශ්වාස කරනවා ‘කල්පාන්තේ සිහිනයක්’ ප්‍රේක්ෂකයාට රසවත්, හරවත් වෙනස් විදිහේ අත්දකීමක් ලබා දෙයි කියලා.

ප්‍රේක්ෂකයා ගැන විශ්වාසද?

මම හිතනවා ප්‍රේක්ෂකයන්ගෙන් මේ චිත්‍රපටයට හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. දෙවියන්ගේ කැමැත්ත අනුව සියල්ල සිදු වෙයි. අපට ඉහළින් බලවේගයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මම අවුරුදු ගාණක් මේ වෙනුවන් කැප කළා. ඉතින් ඒ කැපවීමේ නිසි ප්‍රතිඵල මට ලැබෙයි කියලා මගේ විශ්වාසයක් තියෙනවා. මම බෞද්ධයෙක්. හැබැයි මම විශ්වාස කරනවා දෙවියෝ කියලා කොටසක් ඉන්නවා කියලා. ඒක ඒ දෙවියන්ගේ කැමැත්තත් එක්ක සිදු වෙන දෙයක් කියලයි මම විශ්වාස කරන්නේ. හරි දෙයක් වෙයි කියලා මම හිතනවා. රසික, රසිකාවන්ගේ ආදරය තමයි මාව ජීවත් කරවන්නේ. නිර්මාණකරුවෙක් හැටියට මාව ශක්තිමත් කරන්නේ.