|
සුහද ඇරයුමයි
පසුගිය සතියෙන්...
මනමේන්ද්‍ර අයියා මට එන්න කියලා පරිස්සමට බලන්න කිව්වා. කාඩ් එක මේසයක් උඩ තියෙනවා පෙන්නුවා. කරුවල නිසා හරියට පෙනුණේ නැහැ. මම ඒක අතට ගත්ත ගමන් වීදුරුවක් බිම වැටිලා දඩාස් ගාලා කෑලි කෑලි වලට විසිරිලා ගියා. ඒක පින්තූරේ තරමටම කපාපු පින්තූරේ උඩ ගානට තියලා තිබුණ වීදුරුවක්. ඒක මොනවට පාවිච්චි කරන එකක් ද කියලා මට අවබෝධයක් නැතත් කාඩ් එක හදන්න ගත්ත උපකරණයක් වෙන්න ඇති කියලා හිතුණා. මම හොඳටම බය වුණා. දැන් සුමිත්ත ආවොත් මොකද කරන්නේ, මට හීන් දාඩිය දැම්මා. සුමිත්ත අයියගේ වැඩවල පිළිවෙළ දන්න නිසා අක්කත් බය වෙලා. අක්කගේ මුහුණ දැක්කම මම තවත් බය වුණා. අනේ අක්කේ දැන් මොකද කරන්නේ. අනේ මන්දා . . . මං කිව්වනේ ඕක පස්සේ බලාගන්න පුළුවන් කියලා. කියන දේ ඇහුවෙ නෑනේ. අක්ක මෙහෙම කිව්වම මට ඇඬෙන්නත් එනවා. මනමේන්ද්‍ර අයියා කිව්වා ඉන්නකෝ මම මොනවා හරි කරන්නම් කියලා . . . මට ඉන් පස්සේ මතක නැහැ රවීත් ඒ වෙලාවෙම එතැනට ආවද කියලා. කොහොම හරි මනමේන්ද්‍ර අයියා එහාට මෙහාට දුවලා අඳුරන අයට කතා කරලා ඒ ජාතියේ වීදුරුවක් කප්පවාගෙන කොහෙන්ද අරගෙන ආවා. ඉන් පස්සේ සුමිත්ත අයියා තියලා ගිය විදියටම එතැන පිළියෙල කරලා හරි ගස්සලා ඒ විදියටම තිබ්බා. ඊට පස්සේ තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. එදායින් පස්සේ නම් මගේ ජීවිතේටවත් මම ඒ කරුවල කාමරේ දිහා බැලුවේවත් නැහැ. සුමිත්ත අයියා අමතක නොවන විදියට ආරාධනා පත්‍රය නම් හදලා දුන්නා. ඒ කාලේ අපි කොහේ හරි ගියාමත් හුඟාක් අය කියනවා ඔයගොල්ලන්ගේ වෙඩින් කාඩ් එක අපි ගාව තාම තියෙනවා. අලුත් අදහසක් නිසා අපි ඒක අරන් තියා ගත්තා කියලා.
පසුගිය කොටස් * සුමිත්ත අමරසිංහගෙන් අලුත් නිර්මාණයක්
* රවීගෙන් ඇඳුමක් විජයගෙන් අත්සනක්
|