වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




ගුවන් විදුලියට යන එකත් මට අභිමානයක්

ගුවන් විදුලියට යන එකත් මට අභිමානයක්

හඳුගල දෙහිගහහේනේ

ටී. ඩී. කේ.ඒ. ජයන්ත

පටිගත කිරීම් බලා අද ආපහු ආවා

පස් සැරයක් කියලා තමයි දෙබස හරියට කිව්වේ

ගුවන් විදුලියේ ආරක්ෂක අංශය ජයන්තට ඇතුළට යන්න දීලා නෑ

කටුවන, දෙහිගහහේන ගැමි සුන්දරත්වය උතුරා ගලා ගිය දකුණු පළාතේ පුංචි ගම් පියසක්. හඳුගල තේ කම්හලෙන් ගලා ආ තේ නැවුම් සුවඳ ගත සිත දෙකම පිරිමැද්දේ ගැමි සුවඳ තවත් ඔප කරමින්. මේ සරුසාර බිමේ පිහිටි හඳුගල මහා විද්‍යාලයේ හිටියේ අපූරු විනෝදාංශයක් ඇති කොලු පැටියෙක්.

ඔහු සති දෙක තුනකට සැරයක් තමන්ගේම වත්තේ තියෙන කෙසෙල් කැනක් කපා ගන්නේ තාත්තාට හොරෙන්. හැත්තෑව දශකයේ හොඳ කෝලි කුට්ටු කෙසෙල් කැනක් රුපියල් පහයි, හයයි. පෝස්කාඩ් එකක් සත පහයි. මෙහෙම රුපියල් පහක් හොයාගෙන මේ කොල්ලා දුවගෙන යන්නේ ගමේ තැපැල් කන්තෝරුවට. ඔහු පෝස් කාඩ් සීයක් විතර ගන්නවා. මේ ගන්න හැම කාඩ් එකකම ඔහුගේ නම ලියලා ගුවන් විදුලියේ අසන්නන්ගේ ඉල්ලිම් තීරයටයි, නිවේදක තෝරන ගී ඉල්ලීම් තීරයටයි තැපැල් කරනවා. ඒ හැම පෝස්කාඩ් එකකම තියෙන නම තමයි හඳුගල, දෙහිගහහේනේ ටී. ඩී. කේ. ජයන්ත.

මේ නම ගුවන් විදුලියේ ප්‍රචාරය වුණු දවසට දෙහිගහහේන ගම් පළාතම කතා කරන්නේ මේ නම ගැන හරිම උද්ධාමයෙන්. මේ නිසාම ඔහු පාසලේත් ජනප්‍රියම ශිෂ්‍යයා වෙනවා.

දෛවය මිනිසුන්ගේ ජීවිතය කොයි තරම් නම් ගෙත්තම් කරනවාද? එදා ගුවන් විදුලියේ නම කියවන්න පෝස්ට් කාඩ් දැමූ කොලු ගැටයා අද එහි ජාතික හා ප්‍රාදේශීය වැඩසටහන් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා. රාජකාරී දිවියේ කොතරම් කාර්යය බහුල වුණත් ටී. ඩී. කේ. සරසවියේ ‘මියුරු සවනට’ එක් වෙන්නට කළ ආරාධනය පිළිගත්තේ හදපිරි හෘදයාංගම ලබැඳියාවෙන්.

අපේ පිළිසඳර මාධ්‍ය ජීවිතයේ වැලිපිල්ලෙන්ම පටන් ගමුකෝ . . .

අපි පාසල් යන කාලේ අපට තිබුණු එකම විද්‍යුත් මාධ්‍ය ගුවන් විදුලිය. ඒ කලේ ගුවන් විදුලි සංස්ථාව කියන්නේ ගරු ගාම්භිීරම ස්ථානයක්. ගුවන් විදුලියට එකතු වෙන්න මගේ හිතේ හීනයක් තිබුණා. උසස් පෙළ කරන්න හඳුගලෙන් මම කොළඹ ආපු නිසා ගුවන් විදුලියට එන්න මට පහසු වුණා. දවසක් මම ගුවන් විදුලියට ආවේ පාසල් යන ගමන්ම සුදු කොට කලිසමක් ඇඳගෙන. ඇවිත් ආරක්ෂක අංශයට කිව්වා කටුවන ටී. ඩී. කේ. ජයන්ත කියන්නේ මම. මට යෞවන සමාජ වැඩසටහනට යන්න දෙන්න කියලා. එතන හිටිය ආරක්ෂකයෝ කිව්වා ඔයාගේ නම නම් අපි යෞවන සමාජ වැඩසටහනේ අහලා තියෙනවා. නමුත් ඇතුළට නම් යන්න දෙන්න බැහැ අවසරයක් නැතුව කියලා මාව ආපහු හරවලා යැව්වා.

ඒත් මම උත්සාහය අත්හැරියේ නැහැ. ආයෙමත් මම යෞවන සමාජ වැඩසටහනට සහභාගී වෙන්න ඉල්ලීමක් කරමින් නිෂ්පාදක නෙල්සන් ජයසූරිය මහත්තයාට ලියුමක් දැම්මා. සතියක් දෙකක් ගිහින් මට පිළිතුරක් ලැබුණා. ඒ ආපු ලියමනත් අරගෙන මම ආයෙමත් ගුවන් විදුලියට ආවා. මම ආවට පස්සේ ආරක්ෂක අංශයෙන් මාව පරීක්ෂා කළාට පස්සේ නිෂ්පාදකතුමා ඇවිත් මාව එක්කගෙන ගියා. ඒ යන කොට යෞවන සමාජ වැඩසටහන පටිගත කරනවා. ඇත්තටම මේ පටිගත කිරීම මට අලුත් දෙයක්. මුලින්ම මම කළේ පටිගත කිරීම් බලාගෙන ඉන්න එක. ඊළඟ සතියෙත් පටිගත කරනවා බලාගෙන ඉඳලා ආපසු යනවා. මෙහෙම මාසයක් විතර මම යනව, බලාගෙන ඉඳලා ආපසු එනවා. ෆ්‍රෝග්‍රෑම් හතරකට ගියා පැත්තකට වෙලා ඉඳලා එන එක හැර කිසිම දෙයක් නැහැ.

නමුත් මම ගුවන් විදුලියට යන එකත් මට හරිම අභිමානයක්. මම පංතියේ ළමයින්ටත් කියනවා මම ගුවන් විදුලියට යනවා . . . ඒත් උඹේ හඬක් නැහැනේ කියලා යාළුවෝ කියනවා. මම කියනවා මේ දවස්වල බලාගෙන ඉඳලා ඉගෙන ගැනීමේ පුහුණුවක් කරනවා කියලා. එක දවසක් මට දුන්නා කෙටි කතාවක වචක තුනක දෙබසක්. ‘මට රුපියල් ලක්ෂයක් ඇදිලා’ ඒ දෙබසේ තිබුණේ එච්චරයි. දැන් කෙටි කතාව කියනවා. සිරිපාල සුපුරුදු පරිදි ටිකට් පත පරීක්ෂා කළේ මහත් විශ්මයෙනි. ඔහු ටිකට් පත පුවත්පතේ පරීක්ෂා කර බලන විට ඔහුට රුපියල් ලක්ෂයක් ඇදිලා කියන කොට මම මගේ දෙබස කියනවා. එක සැරයක් කිව්වා. ඒක හරි යන්නේ නැහැ කිව්වා. ඔය විදිහට පස් සැරයක්ම කියලා තමයි හරියටම දෙබස කියවුණේ.

මා දෙබස පටිගත කළාට පස්සේ මම හැමෝටම කිව්වා. මම හඳුගල තැපැල් කාර්යාලයටත් කතා කරලා තාත්තට කිව්වා ‘තාත්තේ මගේ වැඩසටහනක් සෙනසුරාදා උදේ 7.30 ට යනවා. අහන්න කියලා. ඉතින තාත්තා මුළු ගමටමත් කියලා තිබුණා. පංතියේ යාළුවෝ ඔක්කොටම කිව්වා. දැන් සේරම කට්ටිය සෙනසුරාදා බලාගෙන ඉන්නවා. අනේ අවාසනාවකට ඒ වැඩසටහන ප්‍රචාරය වුණේ නැහැ. වෙනත් වැඩසටහනක් තමයි ප්‍රචාරය වුණේ. මට වස ලැජ්ජාවයි. යාළුවෝ සෑහෙන්න මට පල් එක දැම්මා. නමුත් පස්සේ ඊළඟ සතියේ එය ප්‍රචාරය වුණා. ඒක ගෙදරත් අහලා තිබුණා. ඒ දෙබස වචන තුන වුණාට සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබුණා. මේ විදිහට මම අවුරුදු ගාණක් යෞවන සමාජ වැඩසටහනට දිගටම ආවා. කොපි කියවන්න, නිර්මාණ තෝරන වැඩසටහන දිගටම කරගෙන යද්දී මම යෞවන සමාජ නිත්‍ය සාමාජිකයෙක් වුණා. ඉන් පස්සේ 84 දී තමයි නාට්‍ය ශිල්පියකු ලෙස මට ගුවන් විදුලියට එක් වෙන්න අවස්ථාව ලැබුණේ.

ටී. ඩී. කේ. කියන නම අසූව දශකයේ ජනප්‍රිය වෙද්දී ඔබ ලැබූ අත්දැකීම් සිදුවීම් ඇතිනේ . . .?

‘කනිටු සරසවිය’ මගේ හොඳම වැඩසටහනක්. ඊට පස්සේ නාට්‍ය ක්ෂේත්‍රයේ නවක රඟමඬල, සුගන්දිකා, මුවන්පැලැස්ස, ගජමුතු වගේ නාට්‍ය රාශියක රඟපෑවා. ඒ කාලේ තොරන් සේවය වගේ හැම විශාල වැඩසටහනකම මම හඬකැවීම් කළා. සාගරිකා ගෝමස් මැරෙන්න දවසකට ඉස්සර අපි දෙන්නා නාට්‍යයක රඟපාලා ගුවන් විදුලියෙන් පිට වුණා. රෑ අපි ගෙදර ගියා. උදේ ඇය මරලා කියලා ආරංචි වුණා.

92 වසරේ ගුරුවරයකු ලෙස රූපවාහිනියේ වැඩසටන්වලටත් ඉදිරිපත් වුණා. ඒ වැඩසටහන් දිගටම කරලා ඉතාම ප්‍රසිද්ධ වෙලා ඉන්න කාලේ දවසක් මම ගුවන් විදුලියේ කොරිඩෝව දිගේ ඇවිදගෙන යනවා. එක පාරටම මට සීලරත්න සෙනරත් මහත්තයා මුණ ගැහුණා. ආ ජයන්ත මල්ලි . . . ඔයාගේ නාට්‍යයක් ඊයේ මම ඇහැව්වා. මාර ලස්සන කටහඬක්. ඇයි ඔයා නිවේදක තනතුරට ඉල්ලුවේ නැත්තේ කියලා ඇහැව්වා. ඇත්තටම එහෙම ඉල්ලන්න පුළුවන් බව මම දැනගෙන හිටියේ නැහැ. ඔහු මට අනාවැකියක් කිව්වා. ඔයා ඉල්ලන්න, දවසක ඔයා ජනප්‍රියම නිවේදකයෙක් වෙයි කියලා. ඊට පස්සේ මම අයදුම් පත්‍රයක් දැම්මා. එදා ඒ පරීක්ෂණයට 5000 ක් විතර ආවා. විභාග පහක් තියලා විසි දෙනෙක් තෝරා ගත්තා. එයින් 10 දෙනකුට සහන නිවේදක තනතුරු ලැබුණා. මම, ඉඳුනිල් දිසානායක, ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ, ගාමිණී පහළතිලක, අමාලී අයට පත්වීම් ලැබුණා. ඒ කාලේ මම ටියුෂන් ක්ෂේත්‍රයේත් ජනප්‍රිය වුණා. 93 නිවේදක වුණත් ටියුෂන් වැඩ වැඩි වුණා. ඒ කාලේ දේශපාලන වේදිකාවේ නිවේදන කටයුතු සඳහා සී. වී. ගුණරත්න මහතා ඇරැයුම් කළා.

ඔබේ මාධ්‍ය ජීවිතයේ අමතක නොවන සිදුවීම් ඔය අතර ඇතිනේ?

අපි පුවත් අඩ පැය කරන්න රෑට තමයි සූදානම් වෙන්නේ. ඒකට අවශ්‍ය වොයිස් කට් රෑට ළඟ තියාගෙන මම බුදිය ගන්නේ නිවුස් රූම් එකේ. දවසක් මම නිවුස් කියන මේසේ යට තැටි ටික තියාගෙන නිදි. නිවුස් කියන්න ආපු ගමන් මට ඇහැරෙන නිසයි එහෙම නිදා ගන්නේ. දැන් උදේ දක්ෂ නිවේදකයෙක් ඇවිත් නිවුස් කියනවා. මට මේ ශබ්දයට ඇහැරුණා. නිවුස් කියන නිවේදකයා හොඳටම බය වුණා මොකක්ද වුණේ කියලා. ඔහුත් කලබල වෙලා කෑ ගහන්න හැදුවා. මමත් බය වෙලා හෙමින් එතනින් ඈත් වුණා.

වෙලා තියෙන්නේ නිවුස් කියද්දී එයාගේ කකුල මගේ ඇඟේ වැදිලා. ඒකයි ඔහු කලබල වෙලා තියෙන්නේ. නිවුස් කියලා ඉවර වුණාට පස්සේ මම වුණු වරදට සමාව ගත්තා. හොඳ වෙලාවට අපි බය වෙලා කෑගහපු ශබ්ද කාටවත් ඇහිලා නැහැ. ඇත්තට ඒ කාලේ කළ කැපවීම් නිසා අපි අද මේ තත්ත්වයට ආවේ. ඒකට පුදුම සූදානමක් ඕනෑ. අද මාධ්‍යයට පිවිසෙන අය වචන සීයක් කිව්වොත් වචන අනූවක් අර්ථ ශූන්‍යයයි. වාක්‍ය ගැට ගහන්න දන්නේ නැහැ, පද උච්චාරණය දන්නේ නැහැ. සිංහල ගෞරව උපාධි කරපු අයත් වචන වරද්දනවා. අද දක්ෂ කියන නිවේකයෙකුටවත් කිසිම නිපුනත්වයක් නැහැ. අභ්‍යාස කියන දේ හරිම වැදගත්.

ඒ වගේම නන්දදාස කෝදාගොඩ මහාචාර්යතුමා මිය යන්න දින දෙකකට පෙර කළ වැඩසටහන පටිගත කළේ මා සමඟ. ඔහු අපේ ගුවන් විදුලියේ ආරාධිත අමුත්තා හැටියට වැඩසටහනට පැමිණියා. ඒ වැඩසටහන මම පටිගත කළා. ඔහු මියගිය දිනයේ තමයි ප්‍රචාරය වුණේ. එය මගේ ජීවිතයට තදින් සංවේදී වූ සිද්ධියක්. සැබෑවටම ඔහු දක්ෂතා රැසක්ම තිබූ මහාචාර්යවරයෙක්.

ඔබට ලැබුණු සම්මාන විශාල ගණනක් ඇතිනේ?

මම ලංකාවේ හොඳම ප්‍රවෘත්ති නිවේදකයා වුණා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මගේ මාධ්‍ය ජීවිතය අගයමින් සම්මානයක් හිමි වී තිබෙනවා. ඊළඟට ජනාධිපති සම්මාන සහ වැඩසටහන් රාශියක් ලැබුණා.

ඇත්තටම කාර්යයබහුල ඔබේ ජීවිතය ගෙවෙන්නේ කොහොමද?

මම උදේ හතරට නැඟිටිනවා. හය වෙන කෙට ගුවන් විදුලියට එනවා. දවස් 365 ම රාජකාරියටත් එනවා. කිසිම දෙයකට ගෙදර නවතින්නේ නැහැ. මොන ප්‍රශ්නය තිබුණත් වැඩට යනවා.

ඇත්තටම මම විවාහ වෙලා ඉන්නේ පෙර පාසල් ගුරුවරියක් සමඟ. මට දුවෙක් ඉන්නවා. ඇය සුජාතා විදුහලේ ඉගෙනුම ලබන්නේ. මගේ පියා තමයි ටී. ඩී. කේ. ජිනදාස කියන්නේ. ඔහු හොඳ ජනප්‍රිය ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක්. ඔහු තමයි මාව මේ ක්ෂේත්‍රයට යෙමු කළේ. ඔහු ජෝර්ජ් රාජපක්ෂ මහතාගේ ලේකම්වරයකු ලෙසත් සේවය කළා. දැන් මම ගමෙන් ඈත්ව, රාජකාරී වැඩ නිසා කොළඹ හිටියත් තවමත් මම ගමට තමයි කැමැති.

ඔබ ගැන දන්නා අයට ඔබගේ මාධ්‍ය ක්ෂේත්‍රයට සුබපතන්න, හඳුනගන්න කැමැති ඇති. ඒ සඳහා දුරකතන අංකය කුමක්ද?

071-4448938.