|
කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල සැප්තැම්බර් 2 - 7
මෙරට සිනමා ඉතිහාසයට සහ සිනමා රසිකයන්ට අමරණීය අත්දැකීමක් ගෙන එමින් සහ අපේ සිනමා වංශ කතාවේ දිශානිතිය නව මානයකට යොමු කරමින් ඇරඹෙන අන්තර්ජාතික කොළඹ සිනමා උළෙල උත්සවශ්‍රීයෙන් ඇරඹීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්‍ෂවරුන්ගේ සංසදය මඟින් මෙහෙය වනු ලබන මෙම සිනමා උළෙල කොළඹ රීගල්, මැජෙස්ටික්, එම්පයර් සහ තරංගනී යන සිනමා ශාලාවන් හිදී පැවැත්වෙනු ඇත.
මෙම උළෙල සඳහා අන්තර්ජාතික සම්මානනීය මෙක්සිකානු සිනමාකරු කාලෝස් රිගාදාස් දිවයිනට පැමිණීමට නියමිත අතර බොහෝ රටවල සිනමාකරුවන් සිය චිත්‍රපට සමඟ සහභාගී වීමට නියමිතය.
සුප්‍රකට ප්‍රංශ සිනමා නිළි ජුලියට් බිනෝෂ් ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක්, ස්පාඤඤ
සිනමාකාරිනියන්ගේ නිර්මාණ දැක්මක්, අග්‍රගණ්‍ය සිනමාකරු මයිකල් ආන්ජිලෝ අන්තෝනියෝනි
චිත්‍රපට දැක්මක් සහ අග්‍රගණ්‍ය ළමා චිත්‍රපට රාශියක් මෙම සිනමා උළෙලට ඇතුළත් අංග
අතර වේ.
මෙම ළමා චිත්‍රපට රීගල් සහ තරංගනී සිනමා ශාලාවන් හිදී පෙරවරු 10. 30 ට තිරගත වනු ඇත. ඒ යටතේ පසුගිය වසර තුළ ලෝකයේ බිහි වූ අග්‍රගණ්‍ය ළමා චිත්‍රපට ලෙස සැලකෙන “ක්ලාරා ඇන්ඩ් ද සීක්‍රට් ඔෆ් ද බීයස්, ජිල්ලා, ගුපි ගවායි බගා බජයියා” සහ ‘කිරිකු ඇන්ඩ් ද මෙන් ඇන්ඩ් විමෙන්’ යන ළමා චිත්‍රපට ඇතුළත්ය.
එමෙන්ම ස්පාඤඤ සිනමාකාරිනියන් වූ ග්‍රේසියා ක්වෙරෙටා, මා කොලී, අයිරින් කැරඩ්‍රෝනා, පැට්‍රිලියා ෆෙරෙයිරා, ඉසබෙල් කොයික්සට්, ඉසියාර් බොලේන් ආදීන්ගේ චිත්‍රපට උළෙලට ඇතුළත් වේ. උළෙල සඳහා නොමිලේ ලබාදෙන ප්‍රවේශ පත්‍ර කොළඹ පදනම් ආයතනයේ පිහිටි උත්සව කාර්යාලයේ දී දැන් ලබාගත හැකිය.
මෙම සිනමා උළෙල සඳහා මේ දිනවල කොළඹ රීගල් සිනමාහල නවීකරණය කරමින් පවතී.
|