වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




අපි අබිං කාපු මිනිස්සු

අපි අබිං කාපු මිනිස්සු

රාස්ස කැලේ අධ්‍යක්ෂ සිරි කුලරත්න

වර්තමානයේ ළමයින් උදෙසා යැයි කියා තැනෙන්නේ බොහෝ විට වැඩිහිටි තේමාවන්ගෙන් යුත් චිත්‍රපටය. එහෙත් පසුගිය දිනෙක ‘රාස්ස කැලේ’ නැරැඹූ මට හැඟුණේ එය ළමයින් වෙනුවෙන්, ළමයින් උදෙසාම නිර්මාණය වූ චිත්‍රපටයක් විලසිනි.

දුර්ලභ ඖෂධයක් සොයා ළමයින් තිදෙනකු ‘රාස්ස කැලේ’ නම් වූ භයානක අඩවියක් කරා යන වීර චාරිකාවක් පසුබිම් කර ගනිමින් මෙම කතා පුවත ගෙතී තිබේ.

ජනප්‍රිය වෘත්තාන්ත චිත්‍රපට කිහිපයක් දේශීය සිනමාවට තිළිණ කළ සිරි කුලරත්න මෙහි අධ්‍යක්ෂවරයාය. ‘රාස්ස කැලේ’ හරහා ඔහු නැවත සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ එකොළොස් වසරකට පසුව වීමද විශේෂත්වයකි.

මේ සිරි කුලරත්න සිය නවතම චිත්‍රපටය පිළිබඳ ‘සරසවිය’ හා කළ කතාබහකි.

* සෑහෙන දිගු නිහැඩියාවකින් පසුවයි ඔබ නැවත චිත්‍රපටයකින් අප හමුවට එන්නේ?

ඔව් . . . අවුරුදු එකොළහක් කියන්නේ ඇත්තටම නිර්මාණකරුවකුට දිගු කාලයක් නේ.

* ඇයි නිහඬව හිටියේ?

කෙළින්ම කියන්නම්කෝ. බහුබූත චිත්‍රපට හැදෙන යුගයක් ඇවිල්ලා පින්තූර එකසිය හැට අටක් පෝලිමේ හිර වුණා. ඊට පස්සේ සිනමාවේ විනාශය පටන් ගත්තා. මගේ චිත්‍රපටත් හතරක් ද පහක් ද ඔය පෝලිමේ තිබුණා. මේ සේරම රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමත වෙලා ප්‍රදර්ශනයට සුදුසුකම් ලැබූ චිත්‍රපට. අවුරුදු පහක් චිත්‍රපටයක් පරණ වුණාම කලිසම් පැටන් එක පවා වෙනස් වෙනවනේ. ඒ වගේ යුගයක් ආවා.

* ඔබ අන්තිමට නිර්මාණය කළ චිත්‍රපටය මොකක්ද?

‘වීදියේ වීරයා’ චිත්‍රපටය. ඒ කාලේ තිබුණ රැල්ලට හදපු චිත්‍රපටයක්. ඒක හැබැයි පාඩු වුණේ නෑ. වර්ණ චිත්‍රපට තිබුණ යුගයක මම ඒක හැදුවේ කළු සුදු. මම ඒකෙන් සෑහීමට පත් වුණා. එක එක රැලි ඇවිත් සිනමාව විනාශ වුණානේ. ඉතිං මම සිනමාව මඟහැරලා ඔහේ පැත්තකට වෙලා හිටියා.

* ඒත් ඔබ දැන් නැවත සිනමාවට පිවිසෙන්නේ ඔය තත්ත්වය මුළුමනින්ම සමනය වූ පසුව නෙවෙයිනේ. අදටත් ඔය කියපු සමහර ගැටලු තිබෙනවා?

මේකට අපි ඇබ්බැහි වෙලා ඉන්නේ අර අබිං කාපු මිනිස්සු වගේනේ. උනන්දුව තියෙනවා. නමුත් වාතාවරණයක් නෑ. අද අලුත් රැල්ලක්නේ බිහි වෙලා තියෙන්නේ. පරණ අය ගැන තැකීමක් නෑ. ඔය වගේ අවධියක තමයි මට මේ නිෂ්පාදකවරයා කතා කරලා ඇහුවේ ටෙලි නාට්‍යයක් කරමු ද කියලා. මම ඇහුවා කොච්චරක් තියෙනවද කියලා. ලක්ෂ විසි පහක් තියෙනවා කිව්වා. එතකොට මම කිව්වා තව ලක්ෂ දහයක් හොයා ගන්න අපි චිත්‍රපටයක්ම කරමු කියලා.

* ඉතින්?

ඔහු ඇහුවා පුළුවන් ද කියලා. මම කිව්වා පුළුවන් කියලා. ඒ අදහස ඔහු තවත් අයට කියපුවාම පිස්සු ද චිත්‍රපටයක් කරන්න ලක්ෂ හැත්තෑවක්වත් ඕනෑ කියලා ඒ අය කිව්වලු. ෆිල්ම් එකේ ෂූටිංවලට දවස් පහකට කලිනුත් මෙයා මට කතා කරලා ‘මාමේ ඇත්තටම මේ ගාණට චිත්‍රපටයක් කරන්න පුළුවන් ද’ කියලා ඇහුවා. මම කුසල්ට කිව්වා ‘ඔයාගේ අම්මගෙනුයි, තාත්තගෙනුයි ලක්ෂ පහ ගාණේ ඉල්ලුවත් මට දෙනවා කියලා දන්නවානේ. එහෙම කරලා මට ඕනෑ නම් ලක්ෂ හතළිස් පහක් කර ගන්න තිබුණා. එහෙම ඕනෑ නෑ. අපි වැඩේ ලක්ෂ තිස් පහකින් කරමු’ කියලා.

* ඒ කියූ විදිහටම කළාද?

ඔව්, ඔව්.

* ලක්ෂ තිස් පහකින් චිත්‍රපටයක් හදනවා කියන්නේ අද කාලේ හැටියට විශ්වකර්ම වැඩක්?

තිස් පහෙනුත් පහක් ගියේ අපරාදේ. ලක්ෂ තිහකින් වැඩේ ඉවරයි ඩිරෙක්ට් ප්‍රින්ට්ස් තිබුණා නම්. ලක්ෂ පහක් නිරපරාදේ නෙගටිව්වලට වැය වුණා.

* අද නිෂ්පාදනය වෙන චිත්‍රපටත් එක්ක ඔය වගේ ලෝ බජට් ෆිල්ම් කරලා ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන්ද?

දැනටමත් ‘රාස්ස කැලේ’ චිත්‍රපටයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක බලන කොට ඔබේ ප්‍රශ්නයට පිළිතුරු එතැනම තියෙනවා.

* මේ වියදම් අවම කර ගැනීමට ඔබ දියත් කළ සැලසුම් හා විශේෂිත ක්‍රමෝපායන් ඇති?

ලොකේෂන් බලන්න මම ගියේ බයිසිකලේ. කුරුණෑගල අරංකැලේ, සීගිරියේ එහෙම මම බයිසිකලේ ගිහින් ලොකේෂන් බැලුවේ. ඒ වගේම නළු නිළියන්ට ඉන්න රෙස්ට් හවුස්, ලොකු හෝටල් පාවිච්චි කළේ නෑ. මට සහයෝගය දුන්නා සනත් ගුණතිලක, නීටා ප්‍රනාන්දු, කුවින්ටස් වීරකෝන් වැනි ප්‍රවීණයන්. ඒ අය මගෙන් හරි අඩු මුදලක් තමයි අය කළේ. කාලා විනාශ කළේ නැති හින්දා ඒ මුදල ප්‍රමාණවත් වුණා. චිත්‍රපටයක සාර්ථක පැත්තටනේ හරි වියදමක් කරන්න ඕනෑ. ඉතින් ඒ වියදම දරලා මම චිත්‍රපටයක් කළා. ඕක ඕනෑ නම් මට ලක්ෂ හැත්තෑවකිනුත් කරන්න තිබුණා.

* ඔබේ කතාවෙන් මට අර්ථ ගැන්වෙන්නේ අද බොහෝ සෙයින් ඉන්නේ නිෂ්පාදකවරයා ගසාගෙන කන අධ්‍යක්ෂවරු කියන කාරණය?

චිත්‍රපටයට වියදම් කරන මුදලට අමතරව අධ්‍යක්ෂවරයාගේ සාක්කුවටත් මුදලක් යනවා. ඒක ඉතිං එදත් තිබුණා. අදත් ඇති. එදා අපි එහෙම නොකළ නිසා තාමත් නිෂ්පාදකවරු මාත් එක්ක අදටත් හිතවත්. ‘සිකුරු දසාව’ චිත්‍රපටයේ නිෂ්පාදකවරයාගේ බිරිය මගේ බිරියගේ අසනීපයට ඈ මිය යන තුරු උදවු උපකාර කළා. දෙන්නෙක් විතර හැරෙන්න අනෙක් හැම නිෂ්පාදකයකුම අදටත් මගෙත් එක්ක හිතවත්.

* ‘රාස්ස කැලේ’ නිෂ්පාදක කුසල් පෙරේරාගේ පියාත් ඔබේ මිතුරු නිෂ්පාදකවරයෙක්?

ඔව්. ‘රිදී තැල්ල’ චිත්‍රපටයේ සම නිෂ්පාදක කේ. ඇස්. පෙරේරා මහත්මයාගේ පුතා තමයි කුසල්. එදා ඇති වුණු සම්බන්ධය මෙතෙක් තිබුණ නිසා තමයි එයාගේ පුතා අවුරුදු තිස් එකකට පස්සේ මගෙත් එක්ක චිත්‍රපටයක් කරමු කියලා එකතු වුණේ. දැන් කේ. ඇස්. කියනවා ‘සිරිත් එක්ක ආයේ චිත්‍රපටයක් කරනවා කියලා මේක ඉවර වෙලා’ එහෙමයි අපේ මිත්‍රත්වය.

* ඔබ මීට ප්‍රථමයෙනුත් ළමයින් උදෙසාම චිත්‍රපටයක් නිර්මාණය කරන්නට සූදානම් වුණා නේද?

මගේ පළමුවැනි චිත්‍රපටය ‘වස්තුව’ත් ළමයකු පාදක කරගත් නිර්මාණයක්. මුලින්ම චිත්‍රපට සංස්ථාවෙන් පාස් වුණ ළමා තිර පිටපතත් ලිව්වේ මමයි, පියල් බී හේරතුයි ‘රජ දරුවෝ’ කියලා. ඒක පාස් වුණාට චිත්‍රපටය නිර්මාණය කරන්න මා ළඟ මුදල් තිබුණේ නැහැ. එතකොට නිහාල්සිංහ මහත්මයා කිව්වා රුපියල් 60,000 ක් හොයාගෙන එන්න ඉතුරු සල්ලි දෙන්නම් කියලා.

* ඔය කොයි කාලෙද?

එක් දහස් නවසිය හැත්තෑ ගණන්වල. ඒත් මට 60,000 ක් වියදම් කරන්න නිෂ්පාදකයෙක් ඒ වෙලාවේ හිටියේ නෑ. වෙන චිත්‍රපටවලට නිෂ්පාදකයෝ හිටියා. ඒත් ළමා චිත්‍රපටවලට ඔවුන් කැමැති වුණේ නෑ. ඊට පස්සේ පියල් ඒක අරගෙන පොතක් ලියා ගත්තා ‘රජ දරුවෝ’ කියලා. මම ඒ තිර නාටකය ඇසුරෙන් ‘හරිම හපන්නු’ කියලා ටෙලි නාට්‍යයක් කළා. පිටපත පාස්වෙලා අවුරුදු දෙකකට විතර පස්සේ තමයි ටයි මහත්තයා ‘හඳයා’ චිත්‍රපටය කළේ.

* එතකොට ‘රාස්ස කැළේ’ ළමයින් උදෙසාම තැනූ චිත්‍රපටයක්?

ළමා ලෝකය හරිම සුන්දරයි, පිවිතුරුයි. චිත්‍රපටයකින් දේශපාලනය හරි වෙන බහුබූතයක් හරි ළමයින්ගේ ඔළුවලට දාන්න හොඳ නෑ. දැන් මේ චිත්‍රපටයේ කතාව හරිම සරලයිනේ. හිතවත් හාමුදුරු නමක් රෝගාතුර වුණාම ඒ ළමයි තමයි ඒක දුවන්නේ. වැඩිහිටියෝ ‘රාස්ස කැලේ’ ට යන එක මඟ හරිද්දී ඒ ළමයි උත්සාහ කරනවා ඒ දේ කරන්න. ළමයි තුන් දෙනා කොලුකමට යනවා ඒ දුර්ලභ බෙහෙත හොයන්න. ඒකයි මම තේමා කර ගත්තේ.

* ‘රාස්ස කැලේ’ කිව්වාම එක පාරටම අපේ මතකයට නැගෙන්නේ පුංචි කාලේ අහපු සුරංගනා කතාවක්. එතකොට වර්තමාන ළමා පරපුර ඉන්නේ කොම්පියුටර් තාක්ෂණයත් එක්ක. ඔවුන්ගේ වීරයෝ ස්පයිඩර් මෑන්ලා, බෙන්ටෙන්ලා. ඉතින් අද කාලෙට ඔවැනි කතා තේමාවක් ගැළපෙනවාද?

බයිසිකල්වල කැලේට ගියත්, කොම්පියුටර් තාක්ෂණය ඇසුරු කළත් ළමා මනස එකයි. ඔවුන්ගේ පරමාර්ථ එකයි. ඒක අපි අවබෝධ කර ගන්න ඕනෑ. අපිත් පුංචි කාලේ අහපු කතා පුවතක් තමයි මේ චිත්‍රපටයේ පසුබිමෙන් එන්නේ. ළමයි බයිසිකල්වල යනවා. කැලේට ගිහින් මොන යකා එක්ක හරි ඔට්ටු වෙලා ඒ බේත ගේනවා. ඒක පරණ නෑ. ළමා මනසේ සිතුම් පැතුම් කොහෙත් එකයි. වීරත්වය, කොලුකමට කරන දේවල් , ඒවා වෙනස් වෙන්නේ නෑනේ. දුන්නෙන් හෝ වේවා තුවක්කුවෙන් හෝ වේවා ළමයින් ඒ දේවල් කරනවානේ.

* මීට ප්‍රථම ‘කුරුමිටි ගම’ කියා තමයි ඔබ මේ චිත්‍රපටය නම් කර තිබුණේ. ඇයි මේ හදිසියේ නම වෙනස් කරන්නේ?

මේ චිත්‍රපටයට කුරුමිට්ටෝ තිස් දෙදෙනකු මම හොයා ගත්තා. පත්තරවල දාල එහෙම තමයි මේ අය හොයා ගත්තේ. නමුත් මේ චිත්‍රපටයේ මුළු කතාවේම ‘කුරුමිට්ටෝ’ නැහැ. අනෙක ප්‍රධාන තේමාව ගෙතී තිබුණේ ඔවුන් වටා නෙවෙයි. ඒ නිසා ‘රාස්ස කැලේ’ නම වඩාත් සුදුසුයි කියා සිතුණා.

* මීට පෙර සිනමාවේ අපි නොදුටු අලුත්ම පොඩ්ඩෝ ටිකක් මේ චිත්‍රපටයේ අපි දකිනවා?

සම්මුඛ පරීක්ෂණ පවත්වලා අපි ඒ අය සොයා ගත්තා. එක් කෙනෙක්, දෙන්නෙක් ඔය පොඩි පොඩි රඟපෑම් කරලා තිබුණා. අවසානයේ මට ඕනෑ කරන මූහුණු තුන හම්බ වුණා. ගැහැනු ළමයා, හාමුදුරුවෝ මේ ඔක්කොම නවකයෝ. පොඩි පුහුණුවක් ඒ අයට දුන්නා.

* මට හිතෙන්නේ සිරි කුලරත්න යළිත් අපේ සිනමාවේ නිහඬ චරිතයක් වෙන එකක් නැහැ?

ඔව්. ඒක හරි. ‘රාස්ස කැලේ’ චිත්‍රපටය නැරැඹූ එක්තරා ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් එකඟ වුණා මගෙත් එක්ක චිත්‍රපටයක් කරන්න. එයත් මම හිතන්නේ ළමයින්ට සුදුසු පවුලේ කතාවක්. අපි දැන් ලොකේෂන් බලලා තියෙන්නේ. සැප්තැම්බර් මාසේ වෙනකොට ගීත ටික පටිගත කරනවා.

ද ‘රාස්ස කැලේ’ මාධ්‍ය දර්ශනය දා ඔබේ පෞද්ගලික ජීවිතයේ සංවේගදායි ඉරණමකට මුහුණ දෙන්නට ඔබට සිදු වුණා?

ඔව්. මගේ බිරියගේ අභාවය. එය අපි බලාපොරොත්තුවෙන් නොසිටි දෙයක් නෙවෙයි. අවුරුදු තුනහමාරක් ඇය පිළිකා රෝගය නිසා පීඩා වින්ඳා. මගේ කලා දිවියට ඇයගෙන් ලැබුණේ ලොකු ආශිර්වාදයක්, පිටිවහලක්. ඒත් මොනවා කරන්නද ප්‍රෙස් ඉඩධඹ එක දවසේ පාන්දර එයා අපිව දාලා ගියා. ඒ මරණය අපි කලින් දැනගෙන හිටපු නිසා හිත හදාගන්න පුළුවන් වුණා.