වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




මම වොයිස් බැලන්ස් එකක් දීලා හරිද කියලා ඇහැව්වා...

මම වොයිස් බැලන්ස් එකක් දීලා හරිද කියලා ඇහැව්වා...

තව පොඩ්ඩෙන් වැඩ තහනම්

නිවේදකයෙක් වෙන්න නම වෙනස් කරපු වජිර ජයවර්ධන

තුන්වැනි පන්තියේ සිංහල පොතේ ප්‍රවෘත්ති කියලා පාඩමක් තියෙනවා. මේ පාඩමට හිත යන පුංචි කටකාර කොල්ලෙක් වීරකැටිය රාජපක්‍ෂ මැදි විදුහලේ දී හමුවෙනවා. ඔහු නමින් වජිර රංගන ජයවර්ධන පතිරණ...

එදා ප්‍රවෘත්ති කියන පාඩමට හිතගිය මේ පුංචි කොල්ලා තරුණ කාලයේදී ප්‍රවෘත්ති කීමට තදින්ම ඇලුම් කරනවා. ඔහු ප්‍රවීණ ප්‍රවෘත්ති නිවේදක තිස්ස ජයවර්ධනව අනුකරණය කරමින් ප්‍රවෘත්ති කියන්න සිහින දකිනවා. ඒ නිසාම ඔහුගේ දිගු නම කෙටි කරලා වජිර ජයවර්ධන ලෙසින් හදා ගන්නවා. මෙසේ නම වෙනස් කරලා මාධ්‍ය ක්ෂේත්‍රයට එක්වුණු වජිර මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොඳම නිවේදකයා ලෙසින් අභිෂේක ලබන්නේ තුරුණු ශක්ති වේදිකාවෙන් මාධ්‍ය කලාවට අත්පොත් තබමින් ආ දිගු ගමනක සාර්ථකත්වයෙන්.

පාසලේ පාඩම් පොත කියවලා නිවේදන කලාවට පිවිසුණු ඔබ දක්‍ෂතම නිවේදකයා දක්වා ආපු ගමන ගැන සිහිපත් කළොත්?

අපේ ඉස්කෝලෙ ලොකු අයියලා ටිකක් එකතුවෙලා හදපු මියුසිකල් බෑන්ඩ් එකකට මම මුලින්ම සම්බන්ධ වුණා. ඒ බෑන්ඩ් එකේ කොඩිතුවක්කු කියන අයියා තමයි මාව නිවේදන කටයුතුවලට මුලින්ම සම්බන්ධකර ගත්තේ. අපේ තාත්තා ගමේ සමිති සමාගම්වල නිවේදන කටයුතු වැඩ කරන නිසා මටත් ඒ අභාසය ටිකක් තිබුණා. ඒත් එක්කම ගයාන් කියන යාළුවෙක් කිව්වා තුරුණු ශක්ති තරගය ගැන. ඒ තරගයට මම මුලින්ම ඉදිරිපත් වුණා. තංගල්ලෙ තිබුණු තරගයෙන් නිවේදන අංශයෙන් මම දිනුවා. සුභානි හර්ෂනී ගායන අංශයෙන් ජය ගත්තා. ඉන්පසුව තුරුණු ශක්ති ජාතික මහා තරගයේ දී හත්වැනි ස්ථානය ලබා ගත්තා. ඒ තරගයේ අවසාන වටයේ ජයගත් අයට ගුවන් විදුලි සංථාවේ ‘විසිර’ සේවයට එක් වෙන්න අවස්ථාව ලැබුණා.

එහෙම ඇවිත් ගුවන් විදුලියේ කාලයක් සහන නිවේදකයකු ලෙස කටයුතු කළා. ඒ කාලයේ ලැබුණු දීමනාව කොළඹ ජීවත් වෙන්න මට අමාරුයි. ඒ අවස්ථවේ මට ගොඩක් උදව් කළේ පාතේගම ඥානිස්සර හාමුරුවො. උන්වහන්සේ මට දැන්වීම් ආයතනයක රැකියාවක් හොයලා දුන්නා. ඒ ආයතනයේ අවුරුදු හතක් විතර සේවය කළා. එම ආයතනයේ වැඩ කරන කාලයේ දී තමයි මට ටෙලිකොම් ආයතනයේ සේවය කරන්න අවස්ථාව ලැබුණේ. එදා මට තිබුණු ආර්ථික දුෂ්කරතා නිසා ක්ෂේත්‍රයේ පූර්ණ කාලීනව කටයුතු කරන්න නොලැබීමෙන් අවස්ථා බොහොමයක් ගිලිහී ගියා. ඒත් එදා මට රැකියාවක් කිරීම ගැන තීරණාත්මක අවස්ථාවක සිටියේ. නමුත් මම රැකියාවත්, මාධ්‍ය ක්ෂේත්‍රයත් දෙකම අත හැරියේ නැහැ. අදත් එහෙමයි. දෙකම සමගාමීව තමයි සිදු කරන්නේ.

ඇත්තටම රැකියාවක් සමඟ මෙවැනි ක්‍ෂේත්‍රයකට යොමු වීම තරමක් දුෂ්කරයි. එය ඔබ කරන්නේ කොහොමද?

මම බොහෝවිට පොහොය වැඩසටහන් තමයි කරන්නේ. ඒ සඳහා නිවාඩු දින යොදා ගන්නවා. මුල්ම කාලයේදී රූපවාහිනියේ මට ගොඩක් උදවු කළේ එරින් විජේකොන් අක්කා, නිපුන රාජපක්‍ෂ අයියා සහ නිෂ්පාදන කණ්ඩායම. ඒ හරහා මට පොහොය වැඩසටහන් ලැබුණා. සම්මානයක් ලැබීම දක්වා මේ ආපු ගමනට උදව් කළේ ඒ අය තමයි. මගේ ගමන තරමක් හෙමින්. ඒ හෙමින් ආ ගමන තමයි ස්ථාවරත්වයට හේතුව. මම ඉක්මන් ජනපි‍්‍රයත්වය සොයාගෙන ගියානම් ප්‍රමිතිගත නිවේදකයෙක් වෙන්න ලැබෙන්නෙ නැහැ. ඉවසීම තමයි මගේ රහස.

ඔබට ලැබුණු සම්මාන?

ගිය වසරේ රාජ්‍ය, සුමති, රයිගම් යන සම්මාන උළෙල තුනටම නිර්දේශ වුණු එකම නිවේදකයා මම විතරයි. නමුත් එක සම්මානයක්වත් ලැබුණේ නැහැ. හැබැයි මේ වසරේ ඒ වුණු සිද්ධයත් සමඟ සම්මාන ලැබීම ගැන ලොකු බලාපොරොත්තු තිබුණේ නැහැ. අවසාන මොහොතේදී මගේ බිරිඳ අමල්කටයි මටයි මගේ නම කියැවෙන මොහොත දක්වාම විශ්වාසයක් තිබුණේ නැහැ.

ඔබ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ලැබූ අත්දැකීම් මොන වගේද?

මම සෑම වැඩසටහනකටම යන්නෙ පූර්ව සූදානමකින්. ඒ නිසා මට ලැබෙන වැඩසටහන් මම උපරිමයෙන් කරනවා. ඕනෑම ක්‍ෂේත්‍රයක පෙර සූදානම ඉතාම වැචගත්. මම ගුවන් විදුලියේ වැඩසටහනක් කිරීමේදී පවා සිතන්නේ මගේ වැඩසටහන එක්කෙනෙක්, දෙන්නෙක් හෝ අහනවා කියලා. අහගෙන ඉන්න ඒ කීප දෙනාට හරි හොඳ දෙයක් දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. බ්‍රහස්පතින්දා ආරාධනා වැඩසටහන මම කරන්නේ එවැනි පූර්ව සූදානමකින්. ගොඩක් වෙලාවට පොහොය දොළහට ලංකාව පුරාම යනවා. මම රෑ දොළහට සිරීපාදෙ පිරිත් දේශනාව අවසන් වෙලා ආපසු උදේ පාන්දර දෙක හමාරට පහළට බහිනවා. උදේ පාන්දර නල්ලතන්නියෙන් එන බස් එකේ කොළඹ වැඩට ආපු දවස් තියෙනවා. ඒ කැපවීම නිසා තමයි මට සම්මාන ලැබුණේ.

එක දවසක් මම රෑ රූ වැඩසටහනක් කළා අනුරාධපුරයේ රණවිරු ගම්මානයක. එක රණවිරුවෙක් අත් දෙක දිගට දාලා හිටියා. මම ඔහුට කිව්වා අත්දෙක නමන්න කියලා. ඒ නමනකොට තමයි මම දැක්කේ ඔහුගේ එක අතක් නැති බව. ඇත්තටම එවැනි සිදුවීමක් ඉතාම සංවේදියි. දෙපා නැති රණවිරුවෝ, අත් පා, ඇස් නැති විරුවෝ හමුවෙනවා. ඔවුන් හරිම ධෛර්යය ඇති අය. ඒ අය සමඟ එම වැඩසටහන් කරද්දි මට දැනිලා තියෙනවා ඔවුන්ගේ ධෛර්යය සම්පන්න බව.

ඔබ ගුවන් විදුලියේ ලැබූ අත්දැකීම් මොන වගේද?

ඉස්සර ගුවන් විදුලියේ ප්‍රවෘත්ති කියන්නේ වෙනම මැදිරියක. මම ප්‍රවෘත්ති මැදිරියට ප්‍රවෘත්ති කියන්න එන්නේ මුලින් පැවසූ පෞද්ගලික ආයතනයේ වැඩ කරන ගමන්. මම පැයක් කලින් ඇවිත් එදා කියන්න තිබූ ප්‍රවෘත්ති බල බලා හිටියා ප්‍රවෘත්ති මැදිරියට වෙලා. එහි ඇති ඔරලෝසුවේ වෙලාව එදා පොඩ්ඩක් වෙනස් වෙලා තිබුණේ. මම ඔය ප්‍රවෘත්ති බලන ගමන්ම ‘වොයිස් බැලන්ස්’ එකකුත් දුන්නා. එහා පැත්තේ හිටිය ප්‍රවෘත්ති ක්‍රියාකාරී සහායකයා මට අත උස්සලා සංඥාවක් දුන්නා කියන්න කියලා. මම වෙනදා විදියටම බැලන්ස් එකක් දීලා ‘හරිද’ කියලා ඇහැව්වා. ඒ එක්කම එහා පැත්තෙ ක්‍රියාකරන සහායකයා කලබල වුණා. ඒ එක්කම මට තේරුණා මොකක් හරි වෙනසක් වුණු බව. මම එක දිගටම ප්‍රවෘත්ති කියාගෙන ගියා. ප්‍රවෘත්ති කිව්වට මගෙ ඇඟ සීතලවෙලා, කලබලවෙලා, මම හිටියේ පුදුම බයකින්. ඒ කාලෙ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ හිටියේ තිස්ස ජයවර්ධන මහත්තයා. ඔහු මාව ගෙන්නලා මගෙන් මොකද වුණේ කියලා ඇහැව්වා. මම එතන වුණු ඇත්ත සිද්ධියම කිව්වා.

එතන වුණු කාර්මික හා තාක්‍ෂණික දෝෂය නිසා මට සමාව ලැබුණා. නැත්නම් මට වැඩ තහනම් වෙන්නත් තිබුණා. පළමු වතාව නිසා මට සමාව ලැබුණා. වැඩක් ඉදිරියේ වැඩිම පීඩාවට ලක්වුණු දවස තමයි එදා.

දවසක් ධර්මසිරි ගමගේ මහත්තයා ඉන්න කාලෙ මම ප්‍රේමකීර්ති ගුණසමරු වැඩසටහනක් කළා. මම කිව්වා ප්‍රේමකීර්ති වැනි ජ්‍යෙෂ්ඨයන්ගේ හඬ මේ ගුවන් විදුලිය තුළ දෝංකාර දෙනවා. ඒ හඬ ස්පර්ෂ වුණු, ඒ දෙපා තැවරුණු මේ පොළොවේ ඇවිදින්න ලැබීම අපට හරි වාසනාවක්. ඒ චරිතවලට ළං වෙන්නවත්, ඇසුරටවත් අපට වාසනාවක් නැහැ.

ජීවිත කාලයටම එවැනි මාර්ගෝපදේශක චරිත කවදාවත් බිහි වෙන්නෙත් නැහැ කියලා. ධර්මසිරි ගමගේ මහත්තයා මං ළඟට ඇවිත් කිව්වා උත්සාහය නැති කරගන්න එපා. ප්‍රේමකීර්තිලා ආයෙ හැදෙන්නේ නැහැ. ඔයා කිව්වා හරි. නමුත් ප්‍රේමකීර්තිලා ගිය පාරේ ගමන් කරන්න පුළුවන් අය හැදෙනවා. ඒ නිසා ප්‍රේමකීර්ති නැති වුණාට කනගාටු වෙන්න එපා. ඒ පාරේ යන චරිතයක් වෙන්න කියලා. ඒ වගේ පරපුරක් අදත් ඉන්නවා. ආරියසිරි විතානගේ, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ වගේ විශිෂ්ට චරිත අදටත් ගුවන් විදුලියේ සිටිනවා කියලා. එවැනි චරිතයක් වීම තමයි මුල්ම අවදියේ මගේ බලාපොරොත්තුව වුණේ. මම ඇත්තටම සමන් අතාවුදහෙට්ටි, හේම නලීන් කරුණාරත්නගේ නිවේදන කලාවට කැමැතියි. ඒ දෙන්නා ඉදිරිපත් කරන දේවල් හරිම ආකර්ෂණීයයි. අද මම ස්වාධීනයි. අද මම කරන දේ අනුකරණය කරන පිරිසක් සිටින්න පුළුවන්. ඒ මටම ආවේනික ශෛලියක් හදලා තියෙන නිසයි. එහෙම නිහතමානී සතුටක් මට තියෙනවා. මගේ ගමන හැදුනේ ගුවන් විදුලියෙ. බය නැතිව යන්න ශක්තිමත් චරිත ලෙස අපව හැදුවේ එතනයි.

වජිරගේ පවුලේ තොරතුරු ගැන සඳහන් කළොත්?

මගේ බිරිය සුමාලි අමල්කා ජයවර්ධන. පුතාලා දෙන්නෙක් ඉන්නවා. දෙනෙත් සත්සිදු ජයවර්ධන සහ රිවිත් සත්සිදු ජයවර්ධන. අපි කොළඹ පදිංචි වෙලා ඉන්නේ. මම ටෙලිකොම් ආයතනයට එක් වුණේ සංනිවේදන අංශයට. එයින් ඉවත් වී පසුව මහජන සම්බන්ධතා නිලධාරී තනතුර හිමිවුණා. ඒ ආකාරයටයි මම ටෙලිකොම් ආයතනයට එක් වුණේ.

ඔබේ දුරකථන අංකය මතක් කළොත්.

071-4798620 මගේ අංකය.