වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




බිමල් රෝයිගේ පරක් නැරඹීමි

බිමල් රෝයිගේ පරක් නැරඹීමි

එය අතිශය දුෂ්කර මාර්ගයකි.එම මාර්ගය කෙළවර වනුයේ ගම්මානයකි.බොරළු පාර දිගේ ඇවිද එන මිනිසකුගේ උරහිස මත මල්ලකි.ඔහු ඇවිදින විට පයෙහි ඇති නොන්ඩිය කැපී පෙනෙයි. පසුගිය මාස කිහිපය මුළුල්ලේ මේ පාර දිගේ ඔහු ඇවිද ගියේ රැකියාවටය.ගමට ලියුම් ගෙන එන්යේ ඔහුය.ගමට ලියුම් ලැබෙන්නේ ඉඳහිටය.ලියුම් බෙදන්නාගේ නම හරිදරන්ය.හරිදරන් ගෙනෙන ලිපි අතර එක් දිනක් ලිපියක් ලැබෙනුයේ දුප්පත් ගම්මානයේ තැපැල් මහත්තයා ගේ නමටය.මේ ලියුම ලැබුන විට මුළු ගමම කැළඹී යන්නේය.එකී අබිරහස් ලියමන සමග ඇත්තේ ඉන්දියානු රුපියල් ලක්ෂ පහක චෙක් පතකි.එය එවා තිබුණේ ශ්‍රීමත් ජග්දිශ් චන්ද්‍ර රායි විසිනි. ශ්‍රීමත් රායි නගරයේ වෙසෙන ප්‍රභුවරයෙකි.ඔහු එවන මුදල ලැබිය යුත්තේ ගමට වඩාත් සේවාවක් කළ හැකි තැනැත්තාට.තැපැල් මහත්තයා දීග දෙන වයසේ පසුවන රූමත් දියනියකගේ තාත්තා ය. ඔහුගේ බිරිඳ නිතරම ලෙඩ ගානේය.ඇය ගේ බෙහෙත් වියදම් නිසා ඔහු ජීවත් වනුයේ අඟ හිඟකම් වලින් මිරිකෙමිනි.

පසුගිය සතියේ මට නරඹන්නට ලැබුනු චිත්‍රපටයක් ආරම්භ වනුයේ එපරිද්දෙනි.එය අලුත් සිනමා අත්දැකීමක් ගෙනාව ද චිත්‍රපටය වසර පනස් හතරක් පැරණිය.එය තැනූ සිනමාකරුවා මිය ගොස් ලබන අවුරුද්දට අවුරුදු පනහක් සපිරේ.පරක් එනට චිත්‍රපටයේ සිංහල අර්ථය "පරීක්ෂාව" වෙයි. පරක් අධ්‍යක්ෂණය කරන ලද්දේ බිමල් රෝයි විසිනි.1960 වසරේ ෆිල්ම් ෆෙයාර් සම්මානය හොඳම අධ්‍යක්ෂණය සඳහා බිමල් රෝයි දිනා ගන්නේ පරක් නිර්මාණය කිරීම වෙනුවෙනි.බිමල් රෝයි ගේ චිත්‍රපට රාශියක් මෙරට වාණිජමය වශයෙන් තිර ගත කරවනු ලැබුව ද පරක් කිසිකලක මෙරට තිර ගත වූවක් නොවේ.එහි ප්‍රධාන චරිතය රඟපානුයේ පසුකලක අතිශය ජනප්‍රිය නිළියක වන සධානාය.එය ඇයගේ මුල්ම චරිතාංග රංගනය රැගත් චිත්‍රපටයයි.ඇය මුලින්ම රඟපාන ලද්දේ රාජ් කපූර්ගේ ශ්‍රී 420 චිත්‍රපටයේ නර්තන ජවනිකාවකය.

ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල බිමල් රෝයි විසින් තබන ලද වාර්තාව බිඳ හෙළන්නට සමත් වූවෙකු අද පවා නොමැත.ඒ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය වැඩිම වාරයක් දිනා ගත් සිනමාකරුවා හැටියටය.දෝ බිගා සමීන්,පරිනීතා,බිරාජ් බාහු,මධුමතී,සුජාතා,පරක් සහ බන්දිනී යන චිත්‍රපට හත හොඳම අධ්‍යක්ෂණයට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය ඔහුට දිනා දුන් අතර එයින් පරිනිතා,පරක් සහ බිරාජ් බාහු යන චිත්‍රපට හැර අන් සියල්ලම හොඳම නිෂ්පාදනය සදහා ද සම්මාන දිනුවේය.මේ අතරින් තවමත් මට නරඹන්නට නොලැබුණේ පරිනිතා පමණී.සම්මාන නොදිනුව ද බිමල් රෝයි ගේ දේව්දාස් අතිශය විශිෂ්ට චිත්‍රපටයකි.දෝ බිගා සමීන් 1953 වසරේ කාන් සිනමා උළෙලේ විශේෂ සම්මානයක් දිනා ගත්තේය.සත්‍යජිත් රායි පතේර් පංචාලි නිර්මාණය කරනුයේ එයින් තවත් වසර තුනක් ගිය පසුය.බිමල් රෝයි ජීවත් වනුයේ වසර පනස් පහක් වැනි කෙටි කලකි.1909 වසරේ ජූලි 12 වැනි දින වර්තමානයේ බංග්ලා දේශයට අයත් සුවාපූර් නගරයේ ඉඩම් හිමි සමින්දාර් පවුලක උපත ලබන බිමල් රෝයි අධ්‍යාපන ලබනුයේ කල්කටාවේ දීය.සිනමා කැමරාව පිලිබඳ ඔහුගේ සිත ඇදී යනුයේ පාසල් සමයේය.විශිෂ්ට චිත්‍රපට රාශියකට නිෂ්පාදනයෙන් සම්මාදම් වන කල්කටාවේ නිව් තියටර්ස් සමාගමට ඔහු දායක වන්නේ මුලින් කැමරා සහායක හැටියටය.

ඒ සුප්‍රකට කැමරා ශිල්පියකු සහ අධ්‍යක්ෂවරයකු වන නිතින් බෝශ් යටතේය.පී.සීබරුවා අධ්‍යක්ෂණය කරන ලද දේව්දාස් චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා වනුයේ ද බිමල් රෝයි විසිනි.නිව් තියටර්ස් සමාගම යටතේ සිනමාවේ සියළු අංග පිලිබඳ අති විශාල දැනුමක් අත්පත් කර ගන්නා හෛතම මුලින්ම නිර්මාණ කරණයට දායක වනුයේ වාර්තා සිනමාකරුවකු ලෙසටය.ඒ බෙංගාලි ෆෙමිනින් නම් වාර්තා සිනමා කෘතිය නිර්මාණය කරමිනි.ඔහුගේ මුල්ම වෘතාන්ත සිනමා කෘතිය වනුයේ උදයාර් පාතේ චිත්‍රපටයයි.ඒ 1954 වසෙර්ය.එය නිව් තියටර්ස් සමාගම නිර්මාණය කරන ලද අවසාන සාරථකම චිත්‍රපටය විය. ඒ වන විටත් බෙංගාලි ජාතිකයන් විසින් බොම්බායේ ගොඩ නංවන ලද බොම්බේ ටෝකිස් සමාගම වෙත බිමල් එක් වනුයේ මහල් චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා හැටියටය.එහෙත් ඒම චිත්‍රපට නාමාවලියේ හැර ඔහු ගේ ජීවන වෘතාන්තය අළලා ලියන ලද කිසිදු කෘතියක හෝ මහල් චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා වනුයේ බිමල් රෝයි බවක් පල නොවයි.පසු කලක මධුමති ලෙස බිමල් රෝයි අතින් බිහි වන විශිෂ්ට සිනමා නිර්මාණය එක් අතකින් මහල් චිත්‍රපටයේ ප්‍රති නිෂ්පාදනයක් වැන්න.මධුමති තිර රචනය අග්‍රගණ්‍ය ඉන්දියානු සිනමාකරුවකු වන රිට්වික් ඝටක් විසින් රචනා කරන ලද්දකි.කෙසේ වෙතත් 1952 වසරේ දී බොම්බේ ටෝකිස් සමාගම වෙනුවෙන් මා චිත්‍රපටය සමග බිමල් රෝයි බොම්බායේ චිත්‍රපට අධ්‍යක්ෂණයට එක්වෙයි.

එය සුප්‍රකට බෙංගාලි නවකතා රචක සරත්චන්ද්‍ර බන්ධෝපාධ්‍යයගේ පරිනීතා ඇසුරෙන් ඔහු තැනූ චිත්‍රපටය නිෂ්පාදනය කරනුයේ ෆිලම්ස්තාන් සමාගමටය.අනතුරුව ඔහුගේම බිමල් රෝයි නිෂ්පාදන සමාගම අරඹා ඔහු එතැන් පටන් චිත්‍රපට නිර්මාණය කරනුයේ ඒ වෙනුවෙනි.යහුදි,ප්‍රෙම් පත්‍ර,නෞකරි,වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළේද කබුලිවාලා නිෂ්පාදනය කෙරුනේ ද බිමල් රෝයි නිෂ්පාදන වෙනුවෙනි.ඔහු කල්කටාවේ සිට මුම්බායි වෙත පිවිසෙන්නේ ඔහු ගේ ආර තේරුම් ගත් ශිල්පින් පිරිසක් ද එක් කොට ගෙනය.කැමරා ශිල්පි කමල් බෝස්,සංස්කරණ ශිල්පී රිශිකේශ් මුකර්ජි,තිර රචක නබෙන්ද්‍ර ගෝෂ්,සහාය අධ්‍යක්ෂ අසිත් සෙන්,සංගීත අධ්‍යක්ෂ සලීල් චෞදරී ඒ අතර වෙති. වංග සාහිත්‍යය සහ ඉන්දියානු කලාවන්ගෙන් පමණක් නොව යුරෝපයේ සමකාලින සිනමා රිද්මයන් ද ඔහුගේ සිනමාවේ කැපී පෙනෙන ලකුණු විය.1959 වසරේ පැවැත් වන ලද පළමු මොස්කව් අන්තර් ජාතික සිනමා උළෙලේ ජූරි සභාවේ සාමාජිකත්වය ද බිමල් රෝයි දැරුවේය.

ඔහුගේ පරක් චිත්‍රපටයේ කතා රචකයා වනුයේ සලීල් චෞදරිය.රෝයි ගේ සියලු චිත්‍රපට අතර අතිශය වෙනස් මානයක් ගනුයේ පරක්ය.ඔහු දෝ බිගා සමීන් තනනුයේ ඉතාලි නව තාත්වික වාදයේ ආශ්වාදය මුල් කර ගෙනය.එහෙත් ඔහු පරක් චිත්‍රපටය හරහා ඉතා සියුම් ආකාරයෙන් ගොඩ නගනුයේ එවකට ඉන්දියානු දේශපාලනයයි. තැපැල් මහත්තයාට ගමට වඩාත්ම සේවාවක් කරන අවංක මිනිසා සොයා තෑගි දීම පහසුවෙන් කළ යුත්තක් නොවේ.ගමේ පූජකයා ද ඉඩම් හිමියා ද පොළි මුදලාලි ද වෛද්‍යවරයා පමණක් නොව තැපැල් මහත්තයාගේ දියනිය ගේ සිත් ගත් තරුණ පාසල් ගුරුවරයා ද තමනට මේ මුදල ලැබිය යුතුයැයි බලාපොරොත්තු වෙති. ලක්ෂ පහක් යනු 1960 ගණන් වල නොව අද පවා ඉන්දියාවේ දී වටිනා මුදලකි.එබැවින් ප්‍රභූ වරුන් මෙම මුදළ ලබා ගැන්මට විවිධ ක්‍රමවේදයන් උපයෝගි කර ගනිති.පූජක වරයා තමන්ගේ වියදමින් ලක්ෂ්මී පූජාවක් සිදු කරන අතර වෛද්‍යවරයා නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කරයි. තවකෙකු ගමේ සියළු දෙනාට නොමිළයේ ආහාර ලබා දෙයි.එමෙන්ම මෙම පොරයට එක් නොවන්නේ ගුරුවරයාය. හොඳීන් බැරි නම් නරකින් හෝ තෑග්ග දිනා ගැන්ම සෙස්සන්ගේ අරමුණයි.ගුරුවරයා මේ තරගයෙන් ඉවත් වෙයි.දිනපතා ජීවන ගැටළු වලට මුහුණ දුන්න ද තැපැල් මහත්තයා සහ දියනිය මෙම මුදළ කිසි විටෙකත් තමා ගේ පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැන්මට උත්සාහ කරන්නේ නැත.

පරක් චිත්‍රපටය හරහා බිමල් රෝයි සදස උපහාසයට ලක් කරනුයේ එකල ඉන්දියානු දේශපාලනයයි.එහි ඔහුගේ නිර්මාණය සඳහා බිමල් රෝයි ගේ සිනමා මාධ්‍යය භාවිතය අතිශය විශිෂ්ටය.මේ චිත්‍රපටයේ එන අතිශය ජනප්‍රිය ගීතයක් වනුයේ ලතා මංගේෂ්කාර් ගයනු ලබන ඕ සජනා බර්කා බහාර් ආයේ නම් ගීතයයි. මේ වැසි දිනයක තම පෙම්වතා සොයා යන පෙම්වතිය ගයන මේ ගීතයේ රූප රචනය අති විශිෂ්ට එකකි.විශිෂ්ට කැමරා ශිල්පියකු වන බිමල් රෝයි අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට බහුතරයක කැමරාව මෙහෙය වන කමල් බෝශ් හා ඉන්දිය කළු සුදු සිනමාවේ සමීපව සැසඳීය හැක්කේ සත්‍යජිත් රායිගේ කැමරා ශිල්පියා වන සුබිත්‍ර මිත්‍ර පමණකි.මේ සියල්ලම හින්දි සිනමාවට අලුත් මුහුණුවරක් ගෙන දුන් වංග ජාතිකයන්ය.පරක් චිත්‍රපටය නිමා වනුයේ ශ්‍රීමත් රායි යනු කවරෙක්ද යන්න හෙළිදරව් වීමත් මුදල නිසි අවංක මිනිසාට එමගින් ලැබීමත් සමගය.එහෙත් ඒ වන විට පවත්වනු ලබන ඡන්දය තග් බලයෙන් ද වර්ණනා පිරි කථිකයන් ගෙන් ද යළි ගොඩ නගා ගත නොහැකි අන්දමට විනාස ව ඇත්තේය.බිමල් රෝයි මෙම චිත්‍රපටය හරහා ඉන්දියානු පාර්ලිමේන්තු ක්‍රමය විවේචනය කරනුයේ ඔහු මිය යන තුරුම ඉන්දියානු මහජන කලා සංවිධානයේ සාමාජිකයකුව සිටි බැවිනි.එය ඉන්දිය කොමියුනිස්ට් පක්ෂයේ කලා හවුල විය.

පනහ දශකයේ හින්දි සිනමාවේ හැඩ තළ වෙනස් කළ සිනමාකරුවන් අතර බිමල් රෝයි මෙන්ම ගුරු දත් රාජ් කපූර් වී.ශාන්තාරාම් ද කැපී පෙනෙති. මේ අතරින් බිමල් රෝයි සිනමා රූප රචනයෙහි දක්වන හැකියාව අන් සියල්ල අබිබවා යන්නකි.

ඔහු අතිශය නිර්භයව සිනමා ආලෝකකරණයෙහි ලා පර්යේෂණ පවත්වන්නෙකි.හැම රූප රාමුවක් පුරාම දෙබස සඳහා නොව රූප බසට වැඩි ඉඩක් කියා පෑවෙකි.එහි ලා වඩාත් වැදගත් වනුයේ සිනමා කේෂත්‍රයේ සියළු අංග කෙරෙහි ඔහු දැක්වූ ප්‍රතිභාවය.1965 ජනවාරි මස 8 වැනි දින බිම්ල් රෝයි මිය යන විට වෘතාන්ත චිත්‍රපට දහ අටක් සහ වාර්තා චිත්‍රපට තුනක් නිර්මාණය කර තිබිණ.ඔහුගේ සිනමා ශෛලිය අද පවා නැවුම් අත්දැකීමක් ගෙන එයි.2007 වසරේ බිමල් රෝයි සමරු මුද්දරයක් ඉන්දියානු රජය මගින් නිකුත් කෙරිණ.