|
ප න ස් ප ස් ව ස ක මි හි රි ම ත ක
සෝමලතා සුබසිංහ සමඟ අතීතයට ගිය ගමනක්
ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ප්‍රවීණ නාට්‍ය ශිල්පීන් අතරට ගැණෙන නාට්‍ය ශිල්පිනියක් වන සෝමලතා සුබසිංහගේ නාට්‍ය දිවියෙහි මේ ගෙවෙන්නේ පනස් පස් වැනි වසරයි. ‘හිම කුමාරි’ , ‘ගමරාළ දිව්‍ය ලෝකේ ගිය හැටි’ , ‘තොප්පි වෙළෙන්ඳකු සමඟ’ , ‘පුංචි අපට දැන් තේරෙයි’, ‘වලස් පවුල’, ආදී ළමා නාට්‍ය මඟිින් ළමා මනසට ආමන්ත්‍රණය කළ ඈ වැඩිහිටිි ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙන්නේ ’විකෘති’ , ‘ඇන්ටිගනී’, ‘මවකගේ සංග්‍රාමය’ , ‘යදම්’ ආදී නාට්‍ය නිර්මාණ මඟින්. ඒ අතර ළමා නාට්‍ය යන්න කුමක්දැයි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දෙන මේ ප්‍රවීණ නාට්‍යවේදිනිය මීට වසර කිහිපයකට පෙර ආරම්භ කළ ‘ලංකා ළමා හා යොවුන් නාට්‍ය පදනම’ අතු ඉති විසිරී ගිය රුකක් බවට පත් වෙලා. ඔවුන් විසින් තම ගුරුතුමියගේ පනස් පස් වැනි කලා දිවිය වෙනුවෙන් හා ඇගේ උපන් දිනය (ජූලි 02) සිහි කරමින් පැවැත්වෙන උපහාරයක් මේ මස 13 වැනිදා ලයනල් වෙන්ඩ්ට් රඟහලේ පැවැත් වෙනවා. එහිදී ඈ 80 දශකයේ අධ්‍යක්ෂණය කළ ‘ගමරාළ දිව්‍ය ලෝකේ ගිය හැටි’ හා ‘රත්මලී’ කියන වේදිකා නාට්‍ය නව නිෂ්පාදනයක් ලෙසින් වේදිකා ගත වෙනවා. කලාවේ ඒ තරම් දිගු ඉතිහාසයකට හිමිකම් කියන මේ ප්‍රවීණ නාට්‍යවේදනිය අප හමු වූ මොහොතේ ඒ අතීතයේ සිදු වූ රසමුසු තැන් හෙළි කළේ බොහොම සතුටෙන්. ඒ අතීතයේ මතක සටහන් කිහිපයක් තමයි මේ.
ඒ 1989 වර්ෂය. සෝමලතා සුබසිංහගේ නාට්‍ය ඇතුළු නාට්‍ය කිහිපයක්ම රැගත් නාට්‍ය උළෙලක් වේදිකා ගත වුණා ජෝන් ද සිල්වා රඟහලේ. හරියටම ඒ දවස්වල ජේ. වී. පී. බස් රථ වර්ජනයක්. ‘ නාට්‍යවලට සෙනඟ නැති වේවි’ නාට්‍යකරුවන්ගේ බොහෝ කතාබහවල තිබුණේ එහෙම අදහසක්. ඒ නිසාම ඔවුන් තමන්ගේ නාට්‍ය පෙන්වන දවස් කල් දැම්මා. ඒත් සෝමලතා එහෙම කළේ නැහැ. ‘මම නාට්‍ය රඟදක්වනවා. අඩුම ගණනේ ළමයින්ගේ දෙමාපියෝ හරි බලන්නේ නැතෑ’ ඈ එහෛම සිතුවා. මේ අතර ඈට අපූරු දුරකතන ඇමතුමක් ආවා ‘නාට්‍ය පෙන්වනවා නේද? ‘ ඇමතුමේ එහා පාර්ශවයෙන් විමසුවා. ‘ඔව්. හෝල් බුක් කරලා ඔක්කෙම කරලා තියෙන්නේ. අනෙක් එක මේක අපට පැවරුණු වගකීමක්’ සෝමලතා පිළිතුරු දුන්නේ වගකීමෙන්. ‘කවුද මේකේ රඟපාන්නේ?’ ඔහුගෙන් තවත් ප්‍රශ්නයක්. ‘තරුණ – තරුණියෝ ‘ ‘ ළමයි රඟපාන්නේ නැද්ද’ ඔහු යළිත් විමසුවා. ‘ මේ නාට්‍යවල රඟපාන්නේ ඒ ලෙවල් කරපු ළමයි. නාට්‍ය රඟපාන්න ගන්න බැහැනේ කිසිම ජීවිතය ගැන අබෝධයක්, පරිඥානයක් නැති අයව. එහෙම නැතිව ළමයින්ට අවබෝධයක් දෙන්න ළමා නාට්‍ය කරන්න බැහැ’ සෝමලතා කිව්වේ සැබෑවක්. ‘හරි හරි, අපි ඔබතුමියට සුබ පතනවා. අපි හිතනවා ඔය නාට්‍යයට ප්‍රේක්ෂකාගාරයක් තියෙයි කියලා’ අමුතු විදියට ආව දුරකතන ඇමතුම නිමා වුණේ ඒ විදියට. අසූ නවයේ කලබල කාලේ මේ විදියට ආව දුරකතන ඇමතුම නිසා තරමක බයක් ඇති වුණත් සෝමලතා ඒ ගැන වැඩිය සිතුවේ නැහැ. දිගටම පුහුණුවීම් කරගෙන ගියා. ඒත් පුහුණුවීම් කරන එක ලේසි වුණේ නැහැ. බස් රථ වර්ජනය පුහුණුවීම්වලට කළ බලපෑම නම් සුළුපටු නොවෙයි. සමහර ළමයි පුහුණුවීම්වලට එනකොට හවස් වුණා. ඒ ඇවිත් පුහුණුවීම් කරන්න වෙලාවක් නොතිබුණ නිසා සෝමලතා අපූරු ක්‍රමවේදයක් යෝජනා කළා. ‘දවස් දෙකක් අපේ ගෙදර ළමයින්ට නවතින්න වෙනවා’ ඈ ගෙනාව විසඳුමට ළමයින්ගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාරයක්. එක දිගට දවස් දෙකක් අරගෙන සෝමලතා ‘ගමරාළ දිව්‍ය ලෝකේ ගිය හැටි’ වගේම ‘රත්මලී’ නාට්‍ය පුරුදු පුහුණු කළා. ඒ කෑම බීම, ඉඳුම් හිටුම් සියල්ල ළමයින්ට දීලා. නාට්‍ය රඟ දැක්වෙන නියමිත දිනය පැමිණියා. ජෝන් ද සිල්වා රඟහල උතුරන්න ප්‍රේක්ෂකයෝ කට කපලා. 13 වැනිදා රඟ දැක්වෙන නාට්‍ය දෙක සෝමලතා ඔය විදියටයි එදා රඟ දැක්වූවේ. ඒ වන විට තරමක් කලබල රටේ ආරම්භ වෙලා තිබුණත් සෝමලතාගේ වේදිකා නාට්‍යයට ලැබුණු ප්‍රතිචාරය නම් අපූරුයි. මේ සිද්ධිය නම් වුණේ නුවරදී. එදා ‘විකෘති’ ෂෝ එක රඟ දැක්වුණේ සෙන් ඇන්තනිස් රඟහලේ. කලින්ම ටිකට් ටික විකිණිලා අවසානයි. ඒ වනවිට නාට්‍යයට ලැබුණු ප්‍රචාරයත් සමඟ සෙන් ඇන්තනීස් රඟහලට ඇතුළත් කළ හැකි වගේ තවත් ප්‍රේක්ෂකයන් පිරිසක් හිටියේ එළියේ. කොහොමින් කොහොම හරි ඒ පිරිසත් මේ ශාලාවටම ඇතුල් කළා. දැන් ඉතිං ඝෝෂාව නිසා නාට්‍ය රඟ දක්වන්න විදියක් නෑ. ‘ආපහු නාට්‍ය රඟ දක්වන්නේ නැතිව කොළඹ යනවා. මේ ඝෝෂාවත් එක්ක කොහොමද නාට්‍ය කරන්නේ’ සෝමලතා සුබසිංහ නාට්‍යවේදිනියගේ ආව තරහ ඈ පිට කළේ එහෙමයි. ඒ අතර සංවිධායකයා කතාවක් පවත්වලා මුළු ප්‍රේක්ෂාගාරයම නිශ්ශබ්ද කළා. නාට්‍යයත් වේදිකා ගත වුණා. අවසානයේ නාට්‍ය කණ්ඩායමට ලැබුණු අත්පුඩියත් හෝල් එක දෙදර වන තරම්. නළු - නිළියන්ගේ ආචාරයෙන් පස්සේ තිරය වැසුණා. ඒ අතරතුරේ ප්‍රේක්ෂකාගාරයෙන් ඇසුණු හූ හඬ නම් නුවරටමත් ඇහෙන තරම්. ‘ඕක පිළිගැනීමේ හූවක්’ සෝමලතා මිස් කිව්වේ තමන්ගේ ගෝලයන්ට. තවත් දවසක් නාට්‍ය වේදිකා ගත වුණේ ගම්පොළයි. සෝමලතා නාට්‍යවේදිනියගේ වාහනේට ඉස්සර යන වාහනේ එතැනම තිබුණු කුඹුරකට පෙරළුණා. මෙන්න බොලේ සිංදු කිය කිය ගිය නාට්‍ය වාහනයත් එක පාරටම බ්රේක් කළා. හැමෝම මීයට පිම්බ වගේ. කොල්ලෝ ටික විගහට බැස්සා. පෙරළුණු වාහනය ළඟට ගිය ඔවුන් වාහනයට අඩ තියලා වාහනය පාරට ගත්තේ යෝධයෝ ටිකක් වගේ. වාහනය අයිති ව්‍යාපාරිකයා බලාගෙන සිටියේ පුදුමයෙන්.’ ‘අපි මේ නාට්‍යයක් රඟ දක්වන්න ගම්පපොළ යනවා. මුදලාලිත් එන්න නාට්‍ය බලන්න. කොල්ලෝ ටික ව්‍යාපාරිකයාට ආරාධනාවක් කරලා ගියේ ගම්පොළ නාට්‍ය දර්ශනය රඟ දක්වන්න. එදා නම් අනෝරා වැස්ස. එහෙන් ජේ. වී. පී. කලබල. සෝමලතා නාට්‍යවේදිනියත් සමඟ ටික දුරක් වැලිමඩ ඉඳලා පොලිසියත් ආවේ ආරක්ෂාවට. ටික දුරක් ආව විතරයි. මෙන්න බොලේ රූස්ස ගහක් පාරට වැටිලා. සෝමලතාගේ මහත්තයා ලයනල් සෝමලතාගේ මුහුණ බැලුවේ අද නම් ගිහින් ඉවරයි කියන්න වගේ. ‘වෙලාව කීයද?’ සෝමලතා ඇහුවේ ලයනල්ගෙන්. ‘දොළහයි කාලයි’ ලයනල්ගේ හඬේ තිබුණේ බලාපොරොත්තු කඩවීමක්. ’අහල පහළ මනුස්සයෙක් නෑ’ ලයනල් කිව්වේ කර කියා ගන්න දෙයක් නැතිව. ඒත් එක්කම ළමයින්ගේ බස් එකත් ආවා. ‘මොකක්ද මිස් ප්‍රශ්නේ’ ප්‍රසන්නජිත් වගේම චන්දනත් මිස්ලගේ වාහනේ ළඟ. එතකොටයි වෙලා තිබෙන විපත්තිය හැමෝටම වැටහුණේ. ‘කවුරුවත් නැද්ද උදව් කරන්න’ කොල්ලෝ ටික කෑ ගැහුවා. කිසිම සද්දයක් පේන තෙක් මානයකවත් නෑ. අනෝරා වැස්සයි, සුළඟයි කියලා බැලුවේ නෑ කොල්ලෝ වැඩ පටන් ගත්තා. ටික වෙලාවකින් කොල්ලෝ ටික අර රූස්ස ගහ පාරෙන් අයින් කළා. ඒ උස්සලා. ‘ මුං නං යක්කු ටිකක්’ සෝමලතාට කියැවුණේ ඉබේටම වගේ. වරක් ඈත පිටිසර ගමක නාට්‍ය වේදිකා ගත කරන්න සෝමලතාට සිද්ධ වුණේ මේ අතරයි. මම හිතන්නේ ගම් උදාවකට කියලා වගේ මට මතකයි’ සෝමලතා නාට්‍යවේදිනිය නැවතත් අතීතයට පිවිසුණා. එදා 2.30 ෂෝ එකට සෙනඟ නොසිටියත් 6.30 ෂෝ එකට මුළු ශාලාවම පිරුණා. කවදාවත්ම වේදිකා නාට්‍යයක් නරඹලා නොතිබුණු මේ ජනතාව ගැන ඔවුන්ට තිබුණේ දුකක්. ඒ රාත්‍රී දර්ශනය අවසානයේ ප්‍රේක්ෂකයෙක් තවත් ප්‍රේක්ෂකයෙකුට කිව්වේ අපූරු කතාවක්. ‘ඒයි බං අද පෙන්නුවා නාට්‍යයක් කියලා එකක්. ඒක කොච්චර හොඳද මරු ද කිව්වොත් පික්චර් කැලේ බං’ ඒ දෙන්නගේ දෙබසට නම් නාට්‍යයේ රඟපෑව හැමෝටම හිනා. මේ අපූරු ඇබැද්දිය නම් වුණේ වැලිමඩ ෂෝ එකක් කරලා එන අතරතුර. එදා 6.30 දර්ශනය එන නිසා රෑ වෙලා. ඒ විතරක් නෙවෙයි, ඊට පසුවදා අලුත්ගමත් නාට්‍ය දර්ශනයක්. දැන් හැමෝම කෙල්ලෝ කොල්ලෝ ටික සිංදු කියනවා. නටනවා. බස් එක ඇතුළේ එකම සිංදු සාජ්ජයක්. පැය කිහිපයක් ගත වුණත් මේ සාජ්ජේ නවතින හැඩක් නැහැ. ‘මෙහෙම මේගොල්ලෝ නිදි මැරුවොත් හෙට ෂෝ එකට ප්‍රශ්නයක් වෙනවා. මහන්සි නිසා ඒක හරියට කරගන්න බැරි වේවි’ සෝමලතා නාට්‍යවේදිනියට අපූරු කල්පනාවක් ආවා. ඈ ළමයින්ට විටමින් පෙති බෙදලා දුන්නා. ඒ මහන්සිය මඟ හැරෙන්න. ටික වෙලාවයි ගියේ, මෙන්න දඟල දඟල හිටිය කොල්ලෝ කෙල්ලෝ ටික ඔක්කොම වගේ නිදි. ‘මොකක්ද සෝමලතා කළේ?’ ‘මම ඔක්කොටම පිරිටන් දුන්නා’ ඈ කිව්වේ හිනාවෙවී. මේ වගේ අපූරු සිද්ධිවලින් ගහනය වුණු ඒ කාලය බොහොම අපූරුයි. |