වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




උමතු නොවන්නට පැරැද නොයන්නට තිබිය යුතුයි ආදරය ඔබේ

ගේයපද රචකයකු තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය

උමතු නොවන්නට පැරැද නොයන්නට තිබිය යුතුයි ආදරය ඔබේ

කැලුම් ශ්‍රීමාල්

අතීතයේ මතකය ඔස්සේ ගොඩනැඟුණු සිතුවිලි වරින්වර අපගේ සිතට පිවිසෙන්නේ අතීතය මෙන්ම වර්තමානය ද සිහිපත් කරමිනි. ඒ අතීතය සිහිපත් කරන ‘මතක ගී පොත’ට මෙවර සහභාගි වන්නේ ‘ඔබ ඇපල් මලක් වාගේ, සඳ සාක්කි කියාපුදෙන්, ඉඟි මරන තරුරෑන’ ආදී ගීතවලින් රසිකයන්ගේ හද වැලඳ ගත් ගේය පද රචකයකු මෙන්ම නිවේදකයකු ලෙස ඔබ අතර සැරිසරන කැලුම් ශ්‍රීමාල්ය.

මදනලෙහි මුනුමුනුවත්, තුරුලතා සසලවීම නිසා මතුවන සිලි සිලියටත් සවනත යොමු කළ මම අවට වූ නිශ්ශබ්දතාවෙන් වෙහෙසට පත්ව සිටියෙමි. ඒ නිශ්ශබ්දතාවට වරින්වර හෝ බාධා වූයේ මුළුතැන් ගෙයෙහි කටයුතුවල නියැළී සිටින බිරිය අනූෂාගේ මුවට නැඟුණු ගීතවත් ස්වරයෙනි. දියණිය පාරමී කුමක් කරනු ඇත්දෝ යැයි යන සිතුවිල්ල මා සිතට පිවිසියේ ඉබේමය. මේ වෙලාවෙහි ඇය සිටියේ නම් මා අසලටම වී කුමක් හෝ මුමුනනු ඇති වග සහතිකය. දරුවන් උස් මහත් නොවී කුඩා කාලයේ සේම අප අසල සිටින්නේ නම් යන්න ආත්මාර්ථකාමී සිතුවිල්ල මා සිත වෙලා ගත්තේය. නැවතත් හාත්පස වූ නිහඬ බව දරාගත නොහැකි වූයෙන් මම පරිගණකය ඉදිරියෙහි වාඩි වූයෙමි. විවෘත කළ සැනෙන් එහි තිරය මත වූ ඇගේ දසුන සිත ප්‍රීතියට පත් කළේය. අන්තර් ජාලයට පිවිසි මම ඈ ඊට ඇතුළත් කළා වූ වීඩියෝ ගත කළ පටය විවෘත කළෙමි. එවිට දකින්නට ලැබුණු සිදුවීමෙන් මම පුදුමයට පත් වූයෙමි. මා ගීතය ගයන අයුරු මටත් හොරෙන් ඈ වීඩියෝ ගත කර තිබිණි. ඉන් ඇසුණේ මගේ ස්වරයෙන් ගැයෙන මා කුඩාකල පටන් ප්‍රිය කරන මේ ගීතයයි.

මාගෙ පුතුට මල් යහන සදන්නේ
දෑස සිහින වැල් පාවී එන්නේ
රෝස කැලේකින් හමු වූ වැන්නේ
මට මේ කුමරුන් කවුදෝ දුන්නේ

පුංචි පුතුනි ඇයි කිරට හඬන්නේ
කවුද පුතුට ලේ කිරි කර දුන්නේ
අම්මා කියාලයි බහ තෝරන්නේ
ඒ සුදු අම්මා කොහෙදෝ ඉන්නේ

මවගේ ළමැද ලේ කිරට පෙරෙන්නේ
ඒ කිරි සවඳයි ලොව පවතින්නේ
පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ
මල් යහනාවේ පුතු නැළවෙන්නේ
මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
කවුදෝ දුන්නේ

ගේය පද – ධර්මසිරි ගමගේ

සංගීතය - සිසිර සේනාරත්න

ගායනය - සිසිර සේනාරත්න

 

දියණියගේ සැප දුක් සෙවීමේ අදහසෙන් විදේශගත වූ මමත් බිරියත් එහි ගත කළ සෑම නිමේෂයකදීම දරු සුරතල් විඳිමින් කාලය ගෙවූයෙමු. මව්බිමෙහි ගෙවුණු ඒකාකාරී ජීවිතයට නව පණක් ලද්දේ ඈ හමුවුණු ඒ මොහොතෙහිය. කාලයකට පසුව ඇගේ සෙඳුරු සිනහව, සොඳුරු කතාබහ අසන්නට දකින්නට ලැබුණෙන් මගේ සිත ප්‍රීතියට පත් විය. ඒ අයුරෙන් ගෙවුණු සති ගණන් ගෙවී ගිය එක් දිනෙක මා දියණියට මේ ගීතය ගැයුවේය. මඳ සිනහවකින් මුවඟ සරසා ගත් ඕ ඒ අසා සිටි අයුරු මට සිහිපත් කළේ ඇගේ කුඩා කාලයයි. මගේ කුඩා කාලයයි.

කුඩා කාලයෙහි මවගේත්. පියාගේත් ආදර රජ දහනෙහි කිරුළ දරන්නට මා අවස්ථාව ලද්දේ පවුලෙහි වැඩිමහල් දරුවා ලෙස උපත ලැබූ නිසාය. තාත්තාගේ ඔඩොක්කුවට පැන එහි අපූරු සුවය විඳිමින් සිටින මගේ හිස පිරිමදින ඔහු මේ ගීතය ගයන්නේ සොඳුරු ස්වරයෙනි. ඔහුට ගී ගැයිය හැකි අපූරු සොඳුරු ස්වරයක් විය. ඒ ස්වරයෙන් ගැයෙන ගීතය අසන මා නිදි දෙව්දුව වැලඳ ගන්නේ විගසිනි. සොඳුරු ලෙස ගී ගැයීමට මට ද හැකි වූයේ ඔහුගේ සොඳුරු ස්වරයේම දිගුවක් ලෙසින් යැයි විටෙක සිතෙයි. ඔහුගේ මඟ පෙන්වීම මත පාසලේදී සංගීතය ඉගෙන ගත් මා ඕනෑම අයෙකුට ස්වර අභ්‍යාස කරවන්නට ද, ඕනෑම අපහසු ගීයක් ගයන්නට ද හැකියාවක් තිබෙන වග අද ද කිසිවකුත් නොදන්න කරුණකි. ඒ අපූරු හැකියාව දෙසට මා යොමු කළේ තාත්තා ගැයූ මේ ගීත බව ද නොකියා සිටියහොත් ඔහුට කරන නිගරුවක් වනු නොඅනුමානය.

එදා පටන් මා ප්‍රිය කළ මේ ගීතයට, මා කෙතරම් ආදරය කළේ ද යත් දියණිය උපන් පසුව ඇය නැළවීමට ගැයුවේ ද මේ ගීතයමය. වසර දෙකක් තරම් වූ වයසේ පසු වුව ද ඇය එහි තාලයට ඊට අපූරු ආ . . . ආ . . . ආ . . . ස්වරයක් එක් කළාය. එමෙන්ම මා අසංග ප්‍රියමන්ත පීරිස්ට ලියූ ‘ඇතුල් හිත පතුලෙම’ ගීතය ලියන්නට හේතු පාදක වූ පසුබිම ගොඩ නැඟෙන්නේ ද සිසිර සේනාරත්න ගයන මේ ගීතයම බව ද කිව යුතුය. සිසිර සේනාරත්නයන්ගේ ස්වරයත්, සංගීතයත් ධර්මසිරි ගමගේ නම් විශිෂ්ට ගේය පද රචකයාගේ පදවලට මනා අර්ථයක් රැගෙනාවේය. එලෙසම මේ ගීතය ‘පුංචි බබා’ චිත්‍රපටයේ ගීතය ගැයෙන ඒ අවස්ථාවට ද කදිමට ගැළෙපෙයි.

බොහෝ දෙනෙකු අසා නැති මර්වින් පෙරේරා ගයන මේ ගීතය ද ඔහු ගැයූ ගීත අතරෙන් මගේ මතකයේ රැඳෙන්නේ ඉබේමය.

උමතු නොවන්නට පැරැද නොයන්නට
තිබිය යුතුයි ආදරය ඔබේ
කඳුළු හෙලන්නට සිනා නඟන්නට
තිබිය යුතුයි ජීවිතය ඔබේ

සැනසිලි උයනේ අත්වැල් පටලා
සුරංගනා ලොව සැරිසරනා
පෙම්වතියක් ලෙස නොසිතනු මිහිරේ
බිරිඳක ලෙස ඔබ සිතිය යුතුයි

හෙට ඔබ මට හිමි වස්තුව වේ නම්
බිලින්ඳෙකුව මම අද හිඳිමි
අන් සතු වේ නම් කිසියම් දවසක
හෙට නොව එය අද කිව මැනවි

ගේය පද - ප්‍රේමකීර්ති ද අල්විස්

සංගීතය – මර්වින් පෙරේරා

ගායනය – මර්වින් පෙරේරා

එකල වෙළෙඳ දැන්වීම් ශිල්පියකු ලෙස පෞද්ගලික ආයතනයක කටයුතු කරමින් සිටි මා ගුවන් විදුලියට පිවිසියේ ද මේ අතරතුරමය. ඒ ගුවන් විදුලියෙන් කළ ක්‍රීඩා සංග්‍රහය වැඩසටහන සඳහා විවිධ පිටපත් සම්පාදනය කිරීමටය. එහි අශෝක කරුණානායක, වජිර විජේවර්ධන, පාලිත පෙරේරා, කාල්ටන් සෙනෙවිරත්න, කරුණාතිලක හඳුවල, සමන් අතාවුදහෙට්ටි ද සිටි වග මට මතකය. අපගේ මඟපෙන්වන්න ලෙස සමන් අතාවුදහෙට්ටිගෙන් ලැබුණු සහයෝගය ද මා මෙහිදී සිහිපත් කළ යුතු වෙයි. අප එතැනට පිවිසෙන මොහොතෙහි එහි එක් සොඳුරු මිනිසෙක් ද සිටියේය. ඔහු ප්‍රේමකීර්ති ද අල්විස්ය. මර්වින් පෙරේරා නම් අනෙක් සොඳුරු මිනිසා ද මට මුණ ගැසෙන්නේ මෙහිදීය.

මෙහි පැමිණ සියලු කටයුතු නිම කර මර්වින් අයියාත්, මමත් නිවෙස බලා යෑමට පිවිසෙන්නේ එකම වේලාවකටය. කළුතර කලමුල්ලෙහි විසූ ඔහුත්, වාද්දුවෙහි විසූ මාත් නිවෙසට ගියේ පිටකොටුවට ගොස්ය. එකල රූපවාහිනි සංස්ථාවත්, ගුවන් විදුලියත් අතර වර්තමානයෙහි තිබෙන රථවාහන රඳවනය ඔස්සේ ගමන් කරන 115 බස් රථයට නඟින අපි පිටකොටුවට යනතුරුම කුමක් හෝ කතාබහ කරන්නට පෙලඹී සිටියෙමු. මෙසේ එකම ප්‍රදේශයකට ගමන් කරන නිසා මෙන්ම එකම වේලාවක ගුවන් විදුලියෙන් පිටතට පිවිසෙන නිසා අප අතර සෙනෙහෙදමක් වර්ධනය වූයේ නිතැතිනි. ඔහු සමඟ පිවිසෙන ඕනෑම දිනයක කතා කරන්නට විවිධ වූ මාතෘකා අප දෙදෙනාටම තිබිණි. ඒ අතර ඔහු ගැයූ ගීත පිළිබඳ කතාබහක නිරත වූ සොඳුරු ආකාරය මට සිහියට නැඟෙයි. ගීතයක් මුමුන මුමුනා ඒ පිළිබඳ විස්තරයක් ඔහු මගේ සවනතට කොඳුරන්නේ විගසිනි. මේ ගීතය පිළිබඳවද මට අසන්නට ලැබෙන්නේ එවැනි එක් දිනකදීය.

‘අනෙක් ගීත වගේ කාටවත් කියන්න දෙන්න විදියකුත් නෑ’

ඔහු පැවසුවේ ඒ ගීතයේ පද එකින් එක මුමුනමිණි. ඔහු පැවසූ අයුරෙන්ම ඒ ගීතය සොඳුරු පද ගෙතුමක්ම වූ බව නොරහසකි. ඒ ගීතය වඩාත් වටින්නේ ඒ කාලයට නොව වර්තමානයෙහි වෙසෙන තරුණ – තරුණියන්ට බැව් මගේ අදහසයි. නමුදු සෑම කාලයකටම පොදු වූ මේ ගීතය අසන දැනුදු ඒ සොඳුරු මිනිසාගේ මතකය මගේ සිතට පිවිසෙයි.

මේ ගීතයට මගේ හදවතෙහි කොතරම ඉඩක් වෙන් වූයේද යැයි කිවහොත් මගේ බිරිය හා මා අතර නෝක්කාඩුවක් ඇති වූ විටෙක ඇයට අසෙන්නට මුමුනන්නට මගේ දෙතොලට පිවිසෙන්නේ ද මර්වින් පෙරේරාගේ මේ ගීතයයි. ඈ නිසා ඇති වුණු ඒ සිත් තැවුල සිතෙන් අකාමකා දමන්නට මෙන් මම ඇයට ඇසෙන්නට ශබ්ද නඟා මේ ගීතය මුමුනමි. ඉන් පසු ඒ සොඳුරු නෝක්කාඩුව ඉබේම මෙන් මඟ හැරී යන්නේ අප දෙදෙනාටම නොදැනෙන්නටය.

ර්වින් පෙරේරා ගයා ජනප්‍රිය වූ අනෙක් ගීත තරම් මේ ගීතය ජනප්‍රිය නොවූ බව සැබෑය. එහෙත් එහි වූ අපූරු බව මෙන්ම ඔහු එය ගයන අයුරුත්, සංගීතයත් මා සිත ගත්තේය. ඒ ගීතය ලියූ ප්‍රේමකීර්ති ද අල්විස් නම් අපූරු ගේය පද රචකයාගේ දැතෙන් පැබැඳුණු සොඳුරු තවත් එක් ගීතයක් වූ ‘උමතු නොවන්නට’ මා මියෙනාතුරා මගේ හදවතෙහි ජීවත් වන ගීතයක් බවට පත් වී අවසානය. ඒ ගීතයෙහි ගායනය, සංගීතය අතරෙන් මගේ සිතෙහි මැවෙන්නේ මර්වින් පෙරේරා නම් ඒ සොඳුරු මිනිසාගේ රුවයි. මගේ සිතෙහි මැවී නොපෙනී යන ඒ අතීතය රැගත් ඔහුට සැමදා මම ප්‍රේ්ම කරමි. පෙම්වතකුගේ හෝ ආදරයට ආදරය කරන ආදරණීය සිතක ඇතිවුණු ඒ සිතුවිලිවලට මම ආදරය කරමි.