|
ගුවන් යානයේ විනෝද සමයක්පසුගිය සතියෙන්...
ගුවන් යානයේ පවතින සීතලෙන් මිදෙන්න කන් අගුල් වැටිලා තියෙන එක ටිකක් අඩු කර ගන්න, ඇඟ ටිකක් උණුසුම් කර ගන්න විස්කි වීදුරුවක් ඉල්ලගෙන මට බීමේ ආශාවක් ඇති වුණා. ඔන්න ඉතිං ඒ අස්සේ පන්සිල් මතක් වෙන්නත් පටන් ගත්තා. බයෙන් වෙව්ල වෙව්ලා ගාථාව කිය කියා ආපු මට මේ වගේ දෙයක් බොන්නත් මොකක්ද වගේ. ඇඟ සීතලෙන් ගැහෙන වෙලාවේ ඖෂධයක් වශයෙන් පොඩ්ඩක් ගත්තට වරදක් වෙන එකක් නෑ කියලත් මට හිතෙන්න වුණා. ඒත් මේ රූබර ලලනාවන්ගෙන් සැර බීම ටිකක් ඉල්ලගෙන බොන්න මට ලැජ්ජයි වගේ.
මම ඉතිං සුර දූතියන්ගෙන් වරින්වර බ්‍රැන්ඩි ඉල්ලගෙන බොන්න පටන් ගත්තා. මගේ මේ තියෙන කෑදරකමටයි, පෙරේතකමටයි ශරීරයේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඕනෑවටත් වඩා ඉහළ නගින බවක් මට දැනෙන්න වුණා. දැන් මොනව කරන්නද? කුම්බලා මාළු කෑව නම් විඳවපන් බළලෝ කියනවා වගේ මට ශරීර කූඩුවේ ඉහළ යන උෂ්ණත්වය පාලනය කර ගන්නෙ කොහොමද කියලා අසුනට හාන්සි වෙලා මොහොතක් කල්පනා කළා. මේ විදියට උෂ්ණත්වය ඉහළ ගිහින් මාව පිච්චිලා යයිද කියලත් මට හිතුණේ නැත්තෙමත් නෑ. මේ තත්ත්වය පාලනය කරගන්න බියර් ටිකක් බිව්වොත් හොඳයි කියලා මට හිතුණ නිසාම ශරීර උෂ්ණත්වය අඩු කර ගන්න හොඳ ඖෂධයක් කියලා බියර් වීදුරු කීපයක්ම ඉල්ලගෙන බීල බැලුවා.
මිනිස්සු ආශ කළ මම පොඩි ළමයට ඇඳල ඉන්න අවස්ථාව, සූප්පුව කටේ ගහලා බෝතලය, පොත් බෑග් එක කරේ දාගෙන ජම්පර් කලිසම ඇඳලා ගුවන් යානය ඇතුළේ ඇවිද ඇවිද මේකේ ඉන්න මිනිස්සු හිනස්සන්න මට හිතුණා. ඇනස්ලි, සැමුවෙල් ඉන්න තැනකින් නැගිට්ටවගෙන ප්ලේන් එකේ රඟපෑමක් කළා නම් උඩු ගුවනෙත් විනෝද සමය රඟ දැක්වෙයි කියලා පත්තරවල හෙඩින් යයි කියලත් මට හිතුණා. ඔය වගේ සිතිවිලි රාශියක් මැද අතරමං වෙලා ඉන්න කොට එන්න එන්නම වැඩේ හරි යන පාටක් නැති තරම්. ප්ලේන් එක ඇතුළේ සීත වායුව සමඟ මගේ සෙම් කෝපය තව තවත් වැඩි වුණා. මේ වෙන කොට මගේ මෝඩකමට මමම ඕනෑකමින් නැති ලෙඩක් හදාගෙන. දැන් ඉතිං පසුතැවිලි වෙලා වැඩකුත් නෑ කියලා හිතුණා. ඒ පාර මම හිතුවා සෙමට හොඳම බේත විස්කි කියලා ගුවන් සේවිකාවන්ගෙන් විස්කි බොන්න හරි හපනෙක් වගේ විස්කි ඉල්ලගෙන වීදුරු කීපයක්ම එක හුස්මට බීල දැම්මේ හොඳ පුරුදුකාරයෙක් වගේ. ලබන සතියට...
|