|
විසල් කලු ගඟ අසබඩ සිංහයා තැනෙයි හැඩ වැඩ
රන්ජන්, පාලිත, දුලීකා, මහේෂිට ප්‍රබල චරිත
වී. සිවදාසන්ගේ අධ්‍යක්ෂණයක්
සුනිල් ටි. ගේ 60 වන සාඩම්බර නිපැයුම
ළමා නිවාසයේ දරුවන් සියලු දෙනා පටු ගුරු පාර වෙත නෙත් යොමා සිටියේ සිංහයා පැමිණෙන තුරුය. නමුදු සිංහයා තවමත් නොමැත. හාත්පස අඳුර වැටෙන්නට ළඟ අතර ස්වේත වර්ණ ආකාස ගැබෙහි නෙත විසිතුරු රූ දිළෙමින් තිබුණි. මඳ නලට මුසු වූ සේපාලිකා මල් පුසුඹ බලා ගිය ද දරුවනට අවශ්‍ය සිංහයාගේ සුවඳය. සිංහයා මිනිසෙකි. කේසර සිංහයකු වන් ප්‍රතාපවත්, ශක්තිමත්, නායකත්වය අතට ගත් අභීත මිනිසෙකි. පළාතේ දේශපාලන බල අධිකාරියෙන්, මඟ හැරුණු දරුවන් වෙසෙන ළමා නිවාසය බේරා ගැනීමට වෙහෙසෙන උදාර මිනිසෙකි. මඟ හැරුණු දරුවන් රැසකට සුවිසල් සෙවණ සඳහා පාරම්පරික අලංකාර වලව්වට පොර බදන පිරිසකි. දරුවන්ගේ ජීවිතවලට වඩා ඔවුනට අවශ්‍ය වලව්වේ උරුමයයි. මේ වෙනුවෙන් දරුවන්ගේ පාර්ශවයට සාධාරණය ඉටු කිරීමට වෙසෙන්නේ සිංහයාය. දේශපාලන බල අධිකාරියෙත්, මැර කණ්ඩායම්වලත් සූක්ෂම උපායන්වලට බුද්ධිමත්ව නොබියව මුහුණ දෙන සිංහට ළමා නිවාසය බේරා ගැනීමට හැකි වේවිද? මෙම පැනයට පිළිතුරු ලැබෙන්නේ සුනිල් ටී. ප්‍රනාන්දුගේ අභිමානවත් 60 වන චිත්‍රපට නිෂ්පාදනයෙනි. සිංහ ලෙස නම් කොට ඇති මෙම අලංකාර චිත්‍රපටය වී. සිවදාසන්ගේ නිර්මාණයකි. මේ දිනවල සිංහ තැනෙන්නේ කළු ගඟ අසබඩ හැඩ වැඩ පිරුණු අලංකාර දර්ශන තලවලය. රන්ජන් රාමනායක සිංහ ලෙස ප්‍රධාන චරිතය මවන මෙම චිත්‍රපටයේ දර්ශන තලය ඉතාමත් රසවත් සිදුවීම්වලින් පිරුණු එකකි. රන්ජන් සිටින තැන සිනහව මිස දුක නැත. නිරතුරුවම දර්ශන තලයම සිනහවෙන් පුරවාලන්නට ඔහු සමතෙකි. නමුදු දර්ශන තලයේ සියලු දෙනා රන්ජන් සිටින තැන ඉන්නේ ඉතා සුපරීක්ෂාකාරිවය. එකවරම කිසිවකුට නොදැනෙන ලෙස සූක්ෂම උපායන් ඇටවීමට රන්ජන් සමතෙකි. එකවරම අත්වල ඇට මතට රන්ජන් එල්ල කරන තියුණු පහර හා ඉන් සිදුවන දේ ගැන දර්ශන තලයේ සැවොම දනී. නමුත් සැවොම ඉන් ලබන විනෝදය සුළුපටු නොවෙයි. විශේෂ එකඟතාවයක් මත රන්ජන් දර්ශන තලයට පැමිණෙන උදෑසන 10.30 ට පසුවය. තමාගේ ශරීරිය පිළිබඳ ඉතා උනන්දුවෙන් පසුවන හෙතෙම ශාරීරික ව්‍යායාම සිදු කරනු ලබන්නේ උදෑසනය. චිත්‍රපටය අරඹන දිනයේද රන්ජන් ප්‍රමාදය. මේ ප්‍රමාදය අතරේ තවත් නළුවකුට ලණුවක් දීමට සුනිල් ටී සිතුවේය. නළුවාගේ නම ඇරැඹෙන්නේ ‘ක’ අකුරිනි. ‘මචං රන්ජා පරක්කුයි . . . මෙයත් එක්ක මේ වැඩේ කරන්න බැහැ. උඹට පුළුවන් ද මේන් රෝල් එක සිංහ කරන්න’ ‘මේකයි, සහෝදර නළුවකුට එහෙම කරන එක වැරැදියි. ඒ වුණාට ඔයා අමාරුවේ වැටෙනවනෙ, මං කරන්නං’ ක . . . කීවේ අහක බලාගත් වනමය. වට පිට බලා දකුණ බලන විට එතැන රන්ජන්ය. ‘අඩෝ උඹ මගේ කැරැක්ටරේට විදින්න නේද හැදුවේ ආ . . . රන්ජන් මිතුරාගේ මුහුණට කඩා පැන්නේ සිංහයකු මෙනි. ‘අනේ මචං . . .’ මිතුරාට සුනිල් සහ රන්ජන්ගේ ප්ලෑන තේරුණේ එවිටය. මෙවැනි සුන්දර විහිළු තහළු සිංහයා දර්ශන තලයේ එමටය. චිත්‍රපටයක් සාර්ථක වන්නේ ද එවිටය. සැම දෙනාගේ දායකත්වය උපරිමව ලැබෙන සිංහයා නුදුරු අනාගතයේ ඔබ සොයා එනු නියතය.
නළු නිළි කැල රන්ජන් රාමනායක, දුලීකා මාරපන, මහේෂි මධුසංඛා, සනත් ගුණතිලක, පාලිත සිල්වා, මිහිර සිරිතිලක, ගයාත්‍රි ඩයස්, හෙමන්ත ඊරියගම, අවන්ත පෙරේරා, කපිල සිගේරා, අනුර වරාගොඩ, උදේනි අල්විස්, අරවින්ද පාදුක්ක
අධ්‍යක්ෂණය - වී. සිවදාසන්
|