වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ගිනස් පොතට ගිය ලංකාවේ මුල්ම නිළිය

ගිනස් පොතට ගිය ලංකාවේ මුල්ම නිළිය

මාලිනී රණසිංහ

මා ඇය වේදිකාවේ රඟනු කෙදිනක හෝ දැක නැත. නමුදු ඇල්පිටිය රූපා කරුණාතිලක රඟහලේ නිතර නාට්‍ය බලන්නට යාම පුරුද්දක් කොට ගත් තාත්තා ඇගේ නම කිහිප වරක්ම කියනු මා අසා තිබුණි. ‘සිංහබාහු’ යන නම සමඟ මහැඳුරු සරච්චන්ද්‍රයන්ගේ රන් නාමය කියැවෙන සෑම විටදීම කොතැනක හෝ ඇයගේ නම කියවෙනු ද මම කිහිප විටක්ම දුටිමි. ඇයගේ නම සමඟම ටෙරන්ස් රණසිංහ (ටෙරී) යන නම ද නිරතුරුවම බැඳුණු බව ඇසුණු කතාවලට අනුව මට මතකය.

මීට දින දෙකකට ඉහතදී කර්තෘතුමා මට රාජකාරියක් පැවරුවේ තවත් මොහොතකින් සරසවියට පැමිණෙන ප්‍රවීණ නිළියක් පිළිබඳ ලිපියක් සකසන්නටය.

පුදුමයකි!

ඇය මා කුඩා කල අසා තිබූ මාලනී රණසිංහයි. එසේත් නැත්නම් ‘සිංහබාහු’ නාට්‍යයේ පළමු සුප්පා දේවියයි. දැන් මට මැවෙන්නේ මහලු සුන්දර රුවකි. මම ඇගේ රුව සිත මත ඇඳ ගතිමි.

නිමේෂයකින් ඇය පැමිණියේය. තේජාන්විත බවින් මෙන්ම රූප සම්පත්තියෙන්ද අනූන ඇය මා මවා ගත් චරිතයට වඩා ඉඳුරාම වෙනස් චරිතයකි. ඇයගේ සුන්දර සිනාව ප්‍රියමනාප කතා විලාසය මෙන්ම නිහතමානී බව අද නිළියන් හා සසඳා බැලිමේදී අහස පොළව මෙනි.

නිකරුණේ ගත කරන්නට ඇයට කාලයක් නැත. ඈ ලංකාවට පැමිණ සිටින්නේ යුතුකමක් ඉටු කිරීමටය. ඒ පිළිබඳ කතාන්දරය මඳකට පසුබට කොට මම ඇයව නැවත රැගෙන යන්නේ 1961 වසර වෙතටය. මහවැලි නදිය සිප පැමිණෙන සිහිල් සුළඟින් සුපෝෂිත, මහ වන සෝබාවෙන් සෙවණ ලබන පේරාදෙණිය සරසවියටය.

‘ඒ කාලේ මතකය හරිම මිහිරියි. මහනුවර උසස් බාලිකාවෙන් සමු අරන් මං පේරාදෙණිය සරසවියට ඇතුළත් වුණේ බලාපොරොත්තු රැසකින් හිත පුරෝගෙන. කලාවට ආදරය කලාට ආසා කලාට ඒ අතට යොමුවීම මගේ හිතේවත් තිබුණේ නැහැ. නමුත් නවක වදය එදා බොහොම පරිස්සමට කරන දෙයක්. නවක වදය දවසේ මට පැවරුණේ ගයන්න. කුඩා කාලේ ඉඳලම රුක්මණී දේවිට ආදරේ කළ නිසාම ඇයගේ ගීත ශ්‍රවණය කළ නිසාම මම ‘දෙවා ගිණි’ ගීතය ගැයුවේ චකිතයෙන්. රැස් වෙලා හිටිය හැමෝම ඒ ගීතය ඇසීමෙන් අතිශය තෘප්තියට පත් වූ ආකාරය මට තවමත් මතකයි.

මේ කාලය වෙද්දී මහැඳුරු සරච්චන්ද්‍රයන් ‘සිංහබාහු’ වැඩ කටයුතු ආරම්භ කරලයි තිබුණේ. එතුමා සුප්පා දේවි චරිතයට කෙනකු සොයමින් උන් බවත් මට ඒ වන විට සැලවෙලා තිබුණා. නවක වදයේදී මා ගැයූ ගීතය ඇසූ පිරිස මා පිළිබඳ පුවත සරච්චන්ද්‍රයන්ට දන්වලා තිබුණා. ඉන් පසුව මට කැඳවීමක් ලැබුණා. ඒ කැඳවීම මට ගෙන ආවේ බියක්. නමුත් එතුමා ඇසූ ප්‍රශ්නවලට මම බොහොම පිළිවෙළට උත්තර ලබා දුන්නා. ගීතත් ගැයුවා. කෙසේ හෝ සුප්පා දේවි සඳහා මාව තෝරා ගත් බව මට එක් දිනෙක එතුමා දැනුම් දුන්නා. ඒ මතකය නම් අමරණීයයි.

නමුත් මගේ තාත්තා මේ කටයුත්තට එතරම් කැමැත්තක් දැක්වූවේ නැහැ. මහනුවර ව්‍යාපාරිකයකු වූ තාත්තා බොහෝ දෙනෙක් සමීපව ඇසුරු කළා. ඒ අතර අපේ සාප්පුවට පැමිණෙන වැන්ඩන් රීසන් මහතාගෙන් තාත්තා සරච්චන්ද්‍රයන් ගැන විමසා තිබුණා. එතුමා සරච්චන්ද්‍රයන්ගේ ගුණගරුක ගති පැවතුම් රටාව පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව මට රඟපාන්න අවසර ලැබුණා.

මේ නාට්‍යයේ අති දැවැන්ත බව පුහුණුවීම් කාලයේදී අපට දැනිලයි තිබුණේ. අපි නිරතුරුවම නාට්‍ය වෙනුවෙන් කැප වුණා. හරිම සුන්දරයි. 1961 වසරේ පේරාදෙණිය සරසවියේ එළිමහන් රංග පීඨයේ (වලේ) තමයි මුල්ම දර්ශනය තිබුණේ. එදා ජීවිතයට ඉපදුණ සතුට වචනවලට පෙරලන්න බැහැ.

ඒ මතකය අති මිහිරි බව ඇගේ සිනහව දැනුදු කියාපායි. මහැඳුරු සරච්චන්ද්‍රයන් පිළිබඳ ඇගේ සිතේ තැනුණු දෙවොල වන්දනීය මෙන් නන්දනීය වූ එකකි.

‘සරච්චන්ද්‍ර මහත්මයා එක්ක කලා කටයුතුවලට සම්බන්ධ වීම පිළිබඳ ඒ කාලේ වගේම අදටත් මට දැනෙන්නේ කියා නිම කළ නොහැකි වාසනා ගුණයක් කියලයි. ඒ වාසනා ගුණය ලබන්නට මා පින් කරන්න ඇති. එතුමා බොහොම සුන්දර හිතක් තිබුණු පරිණත මනුස්සයෙක්. ඒ වගේම එතුමා එක්ක කටයුතු කිරීමම උපාධියක් ලැබුවා හා සමානයි.

මොහොතකට කතාව වෙනතට ගෙන යෑම ගැන සමාවන්න. මම ඇයගේ මතකය ගිනස් වාර්තා පොතෙහි පිටු මතට ගෙන ගියෙමි.

‘ඒ වාර්තාවත් එක්ක මට මතක් වෙන්නේ ටෙරන්ස් එහෙමත් නැත්නම් මගේ ආදරණීයම සෙවණැල්ල ටෙරී. අපි දෙන්නා ගිනස් වාර්තා පොතට එක් වෙන්නේ දර්ශන වාර පන්දහසකට වඩා එකම නාට්‍යයේ රඟපෑ යුවළ ලෙසටයි. මම සුප්පා දේවිය. ටෙරී පොතේ ගුරු.

ඊළඟට යා යුත්තේ මේ ආදර කතාවේ මඟ දිග ය. මම ඇයට බාධා නොකරමි.

‘ටෙරී මට හම්බ වුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී. මට රැග් කරපු පිරිසෙ තමයි ටෙරී හිටියේ. මං සුප්පා දේවිය විදියට තේරුණාම ටෙරී තමයි පොතේ ගුරුට හිටියේ. කාලයාගේ ඇවෑමෙන් අපි හොඳ මිතුරන් වුණා. ඉන් පස්සේ ඒ මිත්‍රත්වය ප්‍රේමයක් බවට පෙරළුණා. ඉන් අනතුරුව අපි විවාහ වුණා. විවාහ ජීවිතේදී ටෙරී හොඳ සැමියෙක් වගේම දිරිමත් මිනිසෙකු ලෙස කටයුතු කළා. මගේ කලා කටයුතුවලට කිසිම බාධාවක් කළේ නැහැ. මට නිරතුරුවම දිරිය දුන්නා. ඇත්තටම මට හිතේ බරක් නැතුව රඟපාන්න ටෙරී පුදුම විදිහට උදව් කළා.

කාලෙකට පස්සේ ටෙරී රඟමඬලෙන් ඉවත් වුණා. හැමදාම මාව රඟමඬලට කැඳවන්නේ ටෙරී. එයා තමයි සුප්පා දේවි පේ‍්‍රක්ෂකයන්ට හඳුන්වලා දෙන්නේ. ටෙරී වේදිකාවේ නැති අඩුව මට තදින්ම දැනෙන්න පටන් ගත්තා. දර්ශන වාර පන්දහසකට වඩා වැඩි ප්‍රමාණයක මාව හඳුන්වා දුන් ටෙරී මා වේදිකාව මත රඟනු සතුටින් බලා හිටියත් මට දැනුණේ පුදුමාකාර දුකක්. කොයි මොහොතක හරි වෙන පොතේ ගුරු කෙනකු මා වේදිකාවට කැඳවන මොහොතකදී ටෙරීට සියුම් හෝ දුකක් දැනේවි කියලා මගේ හිත කිව්වා. ඒ නිසාම මම මගේ ගුරු දේවයන්ට දන්වමින් වේදිකාවෙන් සමු ගත්තා.

එය සැබෑම ආදර කතාවකි. කලකට පසු ටෙරන්ස් රණසිංහ ජීවන මිහිතලාවෙන් සමු ගැනීමත් සමඟම මාලනී ද ලංකාව අතැර ඔස්ට්‍රේලියාව බලා ගිය ගමන පිළිබඳ මම ඇයගෙන් විමසමි.

‘ටෙරන්ස් නැති වුණාට පස්සේ මම ඔස්ට්‍රේලියාවට ගියා පදිංචියට. මගේ දරුවෝ දෙන්නම ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. පුතා රොෂාන්ත ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. දියණී කාංචනමාලා වෛද්‍යවරියක්. මම තනියෙන් ලංකාවේ ඉන්නවට එයාලා කැමැති වුණේ නැහැ. ඒ නිසා දරුවෝ එක්ක සතුටින් ජීවිතය ගත කරන්න තමයි එහේ පදිංචියට ගියේ.

ඇය නැවත පැමිණ සිටින්නේ ද සුවිශේෂී කටයුත්තකටය.

‘මගේ ඇඟේ ඇට ලේ මස් නහර පුරා තියෙන්නේ සිංහබාහු. ඉතිං මට හිතුණා මේ ලෝකෙට යමක් ඉතිරි කළ යුතුයි කියලා. ඒ නිසාම මම ‘සිංහබාහු’ ඇතුළු මා රඟපෑ අනෙක් නාට්‍ය වන වෙස්සන්තර, මනමේ, ප්‍රේමතී ජායිතී සෝකෝ නාට්‍යවල ගීත ඇතුළත් කරල ගීත ඇල්බමයක් සකසන්න, නිකුත් කරන්න හිතුණා. මේ සඳහා අනිවාර්යයෙන්ම සරච්චන්ද්‍ර මැතිනියගේ අනුමැතිය අවශ්‍ය බව මා දැන හිටියා. මම එතුමියට මගේ අදහස ප්‍රකාශයට පත් කළා. මා නොසිතූ නොපැතූ ලෙස එතුමිය මට මේ කටයුත්තට පූර්ණ අවසරය මෙන්ම ආශිර්වාදය, උපදෙස් ලබා දුන්නා. ඒ වගේම සරච්චන්ද්‍ර මහතාගේ ජන්ම ශත සංවත්සරය දා මේ ගීත එළි දැක්වීම උචිත බව එතුමිය මට කිව්වා. ඒ අනුව පෙබරවාරි 01 වැනිදා සවස 4.30 ට නාමෙල් මාලනී පුංචි තියටර් හි මේ ගීත ජනගත කරන්නට මා සූදානම්.

මේ සඳහා කිසිදු මුදලක් අය නොකොට මා හට ගීත ගැයීමට අවසර ලබාදුන් සරච්චන්ද්‍ර මැතිණිය නොවන්නට මේ කටයුත්ත මිහිදන් වෙලා යන්නට ඉඩ තිබුණා. මේ ගීත තැටියට ටෙරීගේ හඬ පවා ඇතුළත් කරන්න එතුමිය අවසර ලබා දුන්නා. මේ තැටියට මිලක් නියම කර නැහැ. කාංචුකයේ මිල සඳහන් වන්නේත් නැහැ. මේක යමක් ඉතුරු කරන්න මං ගත්ත උත්සාහයක්. මේ සද්ක්‍රියාවට සරච්චන්ද්‍රයන් කොහේ හෝ හිඳ මට ආශිර්වාද කළ බව මට දැනෙනවා. ටෙරී මගේ පසුපසම හිඳ දිරිය දෙන බව මට දැනෙනවා.

මේ කටයුත්ත සංවිධානය කිරීමට දිරිය දෙන බුද්ධි ගලප්පත්ති සහ ජයලත් මනෝරත්න යන දෙපළත් අමතක කරන්නම බැහැ. ඒ වගේම ගැමුණු දිසානායක පුතු දෙන ශක්තිය මට ඉතා වටිනවා.

මා හිතනවා මගේ හීනය එළි කරගන්න පුළුවන් කියලා. ඒ හීනය සැබෑවක් කරන්නට උර දුන් හැමෝටම ස්තුතියි.

ඈ නිහඬ වූවාය. මගේ මතකයට නැගුණේ ඉරිදා පුවත්පතක සරච්චන්ද්‍රයන් සමඟ කළ සාකච්ඡාවක කොටසකි.

‘මාලනී දැන් අවුරුදු 30 ක් විතර සුප්පා දේවි ලෙස රඟපාලා තියෙනවා. ඇගේ ගායනයත් සුවිශේෂයි. ඇයට වගේ ගායනා කරන්න පුළුවන් නිළියක් මට තවම හමුවෙලා නැහැ.’