|
පුදනා සඳෙහි දෙව්ලොව මල් වැස්ස වහින්නා
අපගේ ජීවිතයෙහි හමුවන බොහෝ ගීත අතර සුවිශේෂි වූ ගී පද මතකයේ රැෙඳන්නට හේතුවන කාරණා එකිනෙකාට වෙනස්ය. මෙවර ගී මතක මං පෙත අතර සැරිසරන්නට ‘මතක ගී පොත’ විශේෂාංගයට ඔහු පැමිණෙයි. ඒ ප්‍රවීණ ගී පද රචක ආචාර්ය අජන්තා රණසිංහයි.
අහස් කුස සරසන වලා අංගනාවගේ තැඹිලි පැහැ සේලයේ සොඳුරු බව සිහිපත් කරන සන්ධ්‍යා කාන්තිය දෙස මම වශිකෘතව බලා සිටියෙමි. මා නෙත ගැටෙන ඒ සොඳුරු දසුන අතරේ වැයෙන ගීතයෙහි මියුරු ස්වරයෙන් මම දැහැන්ගත වීමි. ඒ දැහැන්ගත සිතෙහි වූ සිතුවිලි අතීතය හා පොර බදන්නට විය. ඒ වෙල් ඉපනැල්ලේ දුව පැන නැටූ සොඳුරු තලම්මැහර ගම් පියස සොයා ය. එහි ගැමි සුවඳ මා සිතෙන් කිසිදු දිනෙක වියැකී නොයේ. මහ ගෙදරත් එහි වූ පරිසරයත් අවට වූ ඒ ගැමි සුවඳ අද ද මගේ සිතට දැනේ. ඒ අතරෙන් මම අප්පච්චිගේ සුවඳට ද බෙහෙවින් ඇලුම් කරමි. එකල මහ ගෙදර වූයේ අපූරු උපකරණයකි. ඒ ග්‍රැමෝෆෝනයයි. ඊට මා සිත කෙතරම් බැඳී තිබුණේ ද යත් එය වාදනය වූ කුමන මොහොතක වුව ද මා එතැන විය. අශෝක මාමා මා මවට දුන් අපූරු තෑග්ග මා සිත සොඳුරු හැඟීම් රැසක් සැරිසරන්නට ඉඩහසර පෑදුවේය. ඉන් සවනත ගැටුණු මේ ගීතය ඇසූ එකල ද මගේ සිත සොඳුරු ශාන්ත හැගුමෙන් නිසල විය. ඒ හැගුමෙන් මෙකල ද මගේ සිත නිසල වෙයි. ඒ නිසල බවට නිරතුරුවම මම පෙම් බඳීමි. මේ ගීතය නිරතුරුවම සවනත රඳන්නට මම ප්‍රිය කරමි.
මහ බෝධි මුලේ . . . මහ බෝධි මුලේ විදුරස්නේ රැස් විහිදෙන්නා මහසත්තුමාණෝ විදුරස්නේ වැඩ ඉන්නා
රාශි සෙඳව් ලොපුරනා නුඹ ගීත නාද දී අහසේ සුරංගනාවෝ මනරම් රැඟුම් දිදී පුදනා සඳෙහි දෙව් ලොව මල් වැස්ස වහින්නා මහ සත්තුමාණෝ විදු රස්නේ වැඩ ඉන්නා
වෛශාක්‍ය කාංසි චන්ද්‍ර සුරම් මාලානීක වී ඒ ශාන්ති පානා තිලොවේ ඒකාලෝක දී නව නීල පීත ආදී බුදු රැස් විහිදෙන්නා භගවත්තුමාණෝ සව් කෙලෙසුන් පරදන්නා
සංසාර ජාති ජාති පිදේ උතුම් පාරමී ගම්භීර ඥාන මහිමෙන් ලෝ නාථ මා හිමි ජගදේක මහාමංගල වෙසගේ සුපසන්නා භගවාත් මහා සත් සම්බුදු වී වැඩ ඉන්නා
ගේය පද – යූ. ඩී. පෙරේරා ගායනය – ඩී. ජොහොර්ෂා
මින් කියැවනේනේ සිද්ධාර්ථ බෝසතාණෝ වජ්‍රාසනයෙහි වැඩ සිට බුද්ධත්වය ලැබීම දක්වා වූ කාල පරාසයයි. උන්වහන්සේ වජ්‍රාසනයෙහි වැඩ සිටීමත්, මාර සේනාව පරාජය කිරීමත්, ඉන් ජයගෙන බුද්ධත්වයට පත්වීමත් මැනවින් කියාපාන මේ ගීතයෙහි වරෙක දෙව් ලොවෙන් මල් වැස්ස වහින්නට පටන් ගනී. ඒ බුදුරජාණන් වහන්සේ වජ්‍රාසනයෙහි වැඩ සිටින විටය. ගීතයෙහි තව තැනක උන් වහන්සේගෙන් නව නීල පීත ආදී වූ පැහැයෙන් යුක්ත වූ බුදු රැස් විහිදෙන අයුරු ගීත රචකයා පවසන්නේ අපූරු චිත්ත රූප අප සිතෙහි මවමිනි. ගීතයෙහි තනුවටම උචිත අයුරින් ලියැවුණු පද අපූරුය. ගීතයෙහි යෙදූ සෑම යෙදුමක්ම අපගේ සිතෙහි ශාන්තියක් උපදවයි. සිද්ධාර්ථ බෝසතාණන් බුද්ධත්වයට පත් වූ අයුරු පියවරෙන් පියවරටත්, මේසා දිගු කාල පරාසයක සිදු වුණා වූ සංසිද්ධි ගීතයක පදවැල් අතරට ගෙතූ අයුරු මා සිත මවිතයට පත් කරයි. දස වසරක් තරම් කුඩා කල ග්‍රැමෝෆෝනය අසලට වී එකල මා මේ ගීතය අසා සිටි අයුරුත්, එකල මා ඒ ගීතය ගයන්නට වෑයම් කළ අයුරුත්, ඉන් පසුව ගීතය ගයන අයුරුත් මෙකල මම සිහිපත් කරමි. කුඩා කල මා එසේ මේ ගීතය රස වින්දේ ගීතයෙහි කිසිදු අර්ථයක් සිතට නැගුණු නිසා නොවේ. නමුදු එහි නියම අරුත මට වැටහුණේ මා පැසුණු මිනිසකු වූ පසු කලෙකය. එහි තනුව මා සිතට නංවන්නේ හින්දි ගීතයක පද කිහිපයකි. ඒ
‘අබ තේරි ශිවා කෝණමෙරා යන ගීතය මා මතකයට පිවිසෙන්නේ ඉබේමය. ආචාර්ය අජන්තා රණසිංහ නම් ගී පද රචකයාගේ හදවත රැඳුණු මේ ගීතය ද එවැනි අපූරු සිද්ධි දාමයකින් වෙළී පැවැතී ඇත.
දොයි දොයිය පුතා දොයි දොයි මගෙ පුතුට කොකුම් පිනි දියර සඳුන් සඳ දෙවිදු ගෙනැත් දෙනවා රස සිහින ගලාගෙන එයි දොයි දොයිය පුතා දොයි දොයි . . .
හෙළ වීර පුතුන් යුද වැදුණු කලට කඩු සමඟ සුරත් ලෙළ දෙයි නද අහස් තලේ පැතිරෙයි ඒ නදට නැෙඟන සුරඟනන් දෙපා මිණි කිකිණි හඬ ද පැතිරෙයි හෙළ දිවේ තොටිලි පැද වෙයි මගෙ පුතා එයින් නැළවෙයි දොයි දොයිය පුතා දොයි දොයි . . .
ගේය පද – ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ගායනය – රුක්මණී දේවි
හාත්පසම නිහඬ බවෙහි ගිලී ඇත. සැදෑ අඳුර සෙමෙන් සෙමෙන් මුළු පරිසරය පුරා පැතිර යමින් සිටී. අසල නිවෙසකින් ගලා එන්නේ මවක් තම පුතු නළවන නැළවිලි ස්වරයකි. ඕ පුතු නළවන ඒ නැළවිලි ස්වරයෙහි අපූරු රිද්මයක් ගැබ් වී ඇතැයි මට සිතේ. මගේ සිතට නිතැතින් පිවිසියේ චන්ද්‍රරත්න මානවසිංහයන්ය. ඔහු පද ගෙතූ රුක්මණීගේ ස්වරයෙන් වැයෙන මේ සොඳුරු ගීතය කෙතරම් මා සිත සෞන්දර්යත්වයෙන් පූර්ණය කරන්නේ දැයි සිතේ. මගේ මතකයට නැඟෙන්නේ ‘දෛවයෝගය’ චිත්‍රපටය ය. ඊට පාදක වූ කතා පුවතය. ඒ ඩබ්ලිව්. ඒ. සිල්වා ලියූ ‘දෛවයෝගය’ නවකතාවය. පැරැණි පොළොන්නරුව මගේ දෙනෙතෙහි විද්‍යමාන වෙයි. එකල රජකම් කළ මහසෙන් රජුගේ පර්වත විමානය කුමන අයුරෙන් විද්‍යමාන වන්නට ඇත්දැයි මම නොයෙක් වර සිතමි. එහි විසූ යොවුන් දූ කුමරියන් වන ශීලා හා ලංකා එහි දුව පැන නටන්නේ සිත් සේ ය. ශීලා නම් නව යෞවනියගේ සිත මහානාග සෙනෙවි හා පෙමින් බැෙඳන්නේ මේ අතරය. ඔවුන්ගේ ප්‍රේමය සොඳුරු ලෙස ගලා යන නදියක් සේය. ඒ නදියට ගලා යෑමේ දී බාධක පැමිණියා සේ මහානාගගේ සිය ප්‍රේමයට ද බාධා පැමිණෙයි. ඒ ඔහුට යුද පිටියට යන්නට සිදුවීමෙනි. ඔහු යුද පිටියට පිවිසෙන්නේ සිය ප්‍රේමණියගේ හදවත ද රැගෙනය. එහෙත් ශීලාට සිය පෙම්වතා පිළිබඳ අසන්නට ලැබෙන්නේ ඒ තරමටම සොඳුරු වදන් නම් නොවේ. කිසිවකුගේ තෙපුළකින් සිදුරු කළ නොහැකි ශීලාගේ හදවත මහානාග නමට ලියැවුණකි. නමුදු ඈ මුහුණ දෙන්නේ නොසිතූ විරූ විපතකටය. ඒ මුගලන් සෙනෙවියාගේ ආගමනයයි. සින්නවීමට ආසන්න වූ පර්වත විමානය නම් වූ මැදුර බේරා ගන්න මුගලන් සෙනෙවිගේ විවාහ යෝජනාව ඇයට හිරිහැරයකි. සිය හදවතහෙි ජීවත් වන මහානාග සෙනෙවි පෙනෙන තෙක් මානයක නොවේ. ශීලා සිය පෙම්වතාට පුද දුන් ප්‍රේමය හදවත සිරකර ගනිමින්ම මුගලන් සෙනෙවි හා විවාහ දිවියෙන් බැඳේ. මහානාග ගේ අත ගන්නට සිටි ශීලා මුගලන්ගේ අත ගනී. මුගලන්ට සිය බිරිය සමඟින් නැවුම් ජීවිතය විඳින්නටවත් ඉඩ හසර නොලබාම පිටව යන්නට සිදු වෙයි. ඒ ද යුද පිටියටය. මුගලන් නැවත නොඒ. එහෙත් ඔහු පැමිණේ. ඒ මහානාගය. පර්වත විමානේ නවාතැන් ගන්නා මහානාග කාලයත් සමඟ ශීලා හා නැවත පෙමින් බැඳෙන්නේ ජීවිතයට නව අරුතක් දෙමිනි. කාලයාගේ ඇවෑමෙන් ශීලා තම කුස පිළිසිඳ ගත් මහානාගගේ දරුවා බිහි කරන්නේ සියල්ලන්ටම හොර රහසේය. ඈ මධ්‍යම රාත්‍රියෙහි සිය කුසෙන් බිහි වූ බිලිඳා නළවන්නේ අපරිමිත සෙනෙහසෙනි. ඈ මේ ගීතය ගයන්නේ සියල්ලන්ටම හොර රහසේය. මම ද මේ ගීතය මනා අයුරෙන් විඳීමි. එහි ගැබ්ව තිබෙන්නේ අපගේ සංස්කෘතියයි. අපගේ ජීවිතයයි. අපගේ පැවැත්මයි. මේ ගීතයෙහි වූ ඒ කාරණා සියල්ල පැරැණි නැළවිලි ගීතය සමඟ මුසු වන්නේ මා සිත පුදුමයට පත් කරමිනි. අපගේ සංස්කෘතික උරුමයක් ලෙස හැඟෙන මේ ගීතයෙහි පද හා සංගීතය අනුගත වන්නේ අර්ථය තීව්‍ර කරමිනි. හෙළයෙහි වීර පුතුන් යුද වදින කලට සුරත් මත ලෙළ දෙන කඩු ගැටීමෙන් ඇතිවන නාදය අහස් තලයෙහි පැතිර යන බව ද, ඒ නාදයට නටන සුරඟනන්ගේ දෙපා බැඳී මිණි කිංකිණි හඬ නාද වෙන අයුරු අපගේ දෑනෙතෙහි අපූරුවට විද්‍යාමාන වෙයි. එමෙන්ම හෙළයෙහි තොටිල්ල පැදවෙන්නේ ද ඒ මිණි කිංකිණි හඬට බව මානවසිංහයන් පවසන්නේ අපගේ සිතට අපූරු චමත්කාරයක් ළඟා කරමිනි. ඒ චමත්කාරය වඩාත් සිතට දැනවීමට උතුරු ඉන්දියානු ජාතික සජාඩ් හුසේන්ගේ තත්සර සමත් වී ඇත. මම නොයෙක් වර මේ ගීතයට සවනත යොමු කරමි. ඒ යොමුවීමත් සමඟ අජන්තා රණසිංහයන්ගේ මුවඟෙන් නැෙඟන ගී පදවැල්වල මිමිණුම අඳුර හා මුසුවෙයි. ‘දොයි දොයිය පුතා දොයි දොයි . . .’
|