වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ශිෂ්‍යත්වෙ පාස් කිව්වට මටම අන්ෂුවර්

ශිෂ්‍යත්වෙ පාස් කිව්වට මටම අන්ෂුවර්

රජිත අපි ඔයාගේ පුංචි කාලේ ඉඳන්ම එමු?

ගෙදරටම හිටියේ මේ රජියයි රජියගෙ මල්ලියි විතරයි. පානදුරේ වලානේ ඉපදුනේ. කොටහලු වුණේ මොරටුවේ එගොඩ උයනේ. එහෙම කිව්වට වරද්ද ගන්න එපා හොෙඳ්. එගොඩඋයනෙ තාත්තගේ මහ ගෙදර වැඩිපුර කාලයක් හිටිය නිසයි එහෙම කිව්වේ.

අපේ තාත්තා කලාවට පණ ඇරල හිටිය කෙනෙක්. ගෙදරදි පොඩි බට්ටො කාලෙදිත් අපි දැක්කෙම තාත්තා ගෙනාව රුක්මණී දේවිගේ එඩී ජයමාන්නගේ එහෙම පින්තූර. අපි තාත්තා නැති වෙලාවට සෙල්ලම් කලෙත් ඒවගෙන්. ලංගමේ තමයි තාත්තා වැඩ කළේ. දන්නවනේ ඉතින් මධ්‍යම පාන්තික ජීවිතේ, දවසක් සතුට, දවසක් දුක. තාත්තා අපිව පික්චර් බලන්න එක් කරගෙන යනවා. මායි මල්ලියි තව ඥාති කොල්ලෙකුයි බලන පික්චර්වලින් ෆයිට් කෑලි අල්ල ගන්නවා. ගෙදර ඇවිත් අපි ඒ ගුස්ති ඇරගන්නේ ඇත්තටම.

එතකොට මල්ලිට අවුරුදු දෙකක් ඇති. මට තුනයි. එදා ගුටි ඇන ගත්තේ අපි දෙන්නා විතරයි. මගේ ෂොට් එකට මලය ටොයිලට්වලට කැරකිලා ගිහින් වැටුණා. මට මාර හැපී. හැබැයි සිලින්ඩරේ බැස්සුව වලේ මල්ලි යට ගියා. එක පාරක් එයා උඩ ඇවිදින් යට ගියා. මං ටයිම් ඇල්ලුවා. හරියට දෙපාර උඩ එද්දී මං කොල්ලව ඇදල ගොඩ ගත්තා. ඒ කාලෙදිත් මං එහෙම තමයි. ගුස්පියක් දීල ඒක නෝන්ඩි නොවෙන්න වහන්නත් පුළුවනි.

මලය ගොඩ අරන් මං කෝටුවකින් නිකමට වළේ ගැඹුර බැලුව. මල්ලි වගේ දෙගුණයක් ගැඹුර තිබුණා. මලයගේ ජංගි කොටේ වතුරෙන් බත් වෙලා. ඒක ගලවල අව්වේ වේළල ඒකම අන්දගෙන තමයි මං කොල්ලව ගෙදර ගෙනිච්චේ.

අම්ම මාව ඉස්කෝලෙ දැම්මා. ඒකේ දෙකේ පන්තිවල ඉඳන්ම මට ඕනෑ වුණේ පන්තියේ චණ්ඩියා වෙන්න. ඇතුළෙදි සද්දයක් දාල සැරන්ඩර් කර ගන්නවා. එහෙම බැරි පන්තියේ කට්ටියට අපේ ගෙවල් පැත්තෙදි වට කරල දෙනවා.

5 වසරට එද්දී ටීචර්ට මාව හොඳට නෝට්. ටීචර් අම්මව ගෙන්නුව. ‘මේ ළමයව ශිෂ්‍යත්වෙ පන්තිියේ තියන්න බෑ. මෙයා හරිම දුර්වලයි’ ටීචර් එහෙම කිව්වම අපේ අම්මා ලැජ්ජාවට බිම බලාගෙන හිටියා. ‘අනේ ටීචර් පුතාට දුක හිතෙයි. එයාව මේ ළමයි ගොඩේම නවත්ත ගන්න. මට මෙයා විභාග පාස් නොවුණත් කමක් නෑ.’

මටත් දුක හිතුණා. මං ගෙදර ආවේ ‘අම්මේ මං ශිෂ්‍යත්වෙ පාස් වුණොත් අම්ම මාව ඉස්කෝලෙ ළඟ ඉඳන් ගෙදරට වඩාගෙන එනවද?’ අම්මා හා කිව්වා. මං ගේමට බැස්සා. ශිෂ්‍යත්වෙත් ලිව්වා. ප්‍රතිඵලත් පිට වුණා. එදා ඉස්කෝලේ විශේෂ රැස්විම අපෙන්. එකොළොස් දෙනෙක්ම පාස් වෙලයි කියලා කුටු කුටු ගානව මටත් ඇහුණා. ප්‍රින්සිපල් පාස් ළමයින්ගේ නම් කිය කියා රැස්වීමේ වේදිකාවට ගෙන්නුවා. ලැයිස්තුවේ මැද හරියේදී රජිත හිරාන් චාමිකර කිව්වා. ඒ මටම ද කියලා මටත් අන් ෂුවර්. ඒත් ඒ නම තියෙන ඉස්කෝලේ එකම එකා මං. අනෙක් දහ දෙනාම අන්දුන් කුන්දුන්. මේක නම් වැරැදිලා පාස් වෙලා ද කියලා මගේ කකුල් දෙකේ ඉඳන් ඔළුවටම හොඳට බැලුවා. ඒ වෙනකල් මං අතු ගාන්ඩවත් වේදිකාවකට නැගල තිබුණේ නෑ. රැස්වීමේ හැමෝම මා දිහා බලන් ඉන්නවා වගේ මට හිතුණා. ඇඟ තව ටිකක් පුම්බගෙන නළුව වගේ තමයි වේදිකාවෙත් හිටියේ. අම්මටත් එදා මේ අලි බබාව වඩාගෙන ගෙදර ගේන්නයි වුණේ.

මට ලොකු ඉස්කෝලෙකට යන්න ලැබුණා. ඒ අලුත් ඉස්කෝලෙට ගිය දවසෙම එහා මේසේ හිටිය කොල්ලට මං කතා කළා. මං ඇහුවා මාත් එක්ක චැලෙන්ජ් කරලා ඩාන්ස් කරන්න එනවද කියලා. හොඳ වෙලාවට ඒකට ඩාන්ස් බෑ. නැත්නම් ගිය දවසෙම මගේ පටි රෝල්. හැබැයි මං ඩාන්ස් කිරිල්ල අතෑරියේ නෑ. මං දාන බ්‍රේක් ඩාන්ස් පාරවල් බලන්න ඒ ඉස්කෝලේ කොල්ලො කෙල්ලො වට වෙනවා. ඒ කාලෙදි කංචන කොඩිතුවක්කු හිටියෙත් මගේ පන්තියේ.

කංචනයගෙ අත පය ඒ කලෙදිත් දිගයි. එහෙදි අපි ටීම් හතරකට බෙදිල ගහ ගන්න කොට මං හිටියෙම කංචනගෙ ටීම් එකේ. ගහ ගනිද්දී මමත් හතර අතට අත පය වනනවා. වැඩිපුර තළන්න කැමැති තඩි බතලයන්ට තමයි. හැබැයි මට ගුටි වදිද්දි බේරෙන්න දුවන්නෙම කංචනගෙ අස්සට. ඒ කාලේ මගේ තිබුණේ එක හීීනයයි. කවදා හරි චණ්ඩියෙක් වෙන එක විතරයි. මගේ උණේ බැස්සෙම නෑ. බොඩිය පෙන්නන්න හිතාගෙන මොරටුවේ ඉඳන් එගොඩ උයනට ඩෙනිම පිටින් කමිසයක් නැතිව මං ඇවිදන් ඇවිත් තියෙනවා. සමහර බිග් මැච් දවස්වලට මං ඇන්දෙ ගවුමක්. ඒ කාලෙ කොල්ලො මට පොඩි මල්ලි, ජැක්සන් මල්ලි, මයිකල් ජැක්සන් කියලා එහෙම කිව්වා.

ඕලෙවල් කාලේ අම්මා මාව ටියුෂන් පන්ති යැව්වා. මං නළුවා වගේ පන්ති යනවා. හෙයාර් ජෙල් අරව මේව ඒ කාලේ නෑ. මං ගෙදරින් ගෙනිච්ච පොල් තෙල් ටික ඔළුවේ ගා ගන්නෙත් හන්දියේ ස්විප් කූඩුවක් අස්සට රිංගලා. ඒ කාලේ ලස්සන කෙල්ලෙක් දැක්කම මට මාර චූන්. ඒත් කොච්චර ට්‍රයි කළත් කෙල්ලෙක් සෙට් වුණේම නෑ.

අන්තිමේදී එක කෙල්ලෙක් හින්දම මං දහම් පාසල් ගියා. මං දහම් පාසලට ගිහින් හොඳ ගතිගුණ ඉගෙන ගන්නවා කියලා අම්මට කිව්වා. ඒත් අම්මා මගේ නොම්මරේ හොඳට දන්න හින්ද ද මන්දා කිසිම සපෝට් එකක් දුන්නේ නෑ. ඉතින් දහම් පාසල් යන්න ඉරිදා උදෙන්ම නැගිටින්නත් එපැයි. අම්මා එදාට මාව ඇහැර වන්නෙත් නෑ. මං නිදා ගන්නේ නැගිටින්න ඕනෑ වෙලාව මතක් කරන්. ඒ ඉලක්කමේ ගාණට ඔළුවට ටොකු ඇනගෙන. කෙල්ලගෙන් ආන්සර් එකක් නැති තැන මං දහම් පාසල් යාමත් අත්හැරියා.

ඉස්කෝලේ ඒ ලෙවල් කාලෙදි ඩ්‍රාමාවලට ඩාන්සින්වලට මං බොක්කෙන්ම සෙට් වෙනවා. ඒත් ලොකු ළමයි එක්ක තිබ්බම මං පොඩියි. පොඩි ළමයි එක්කල තිබ්බම ලොකුයිනේ කියලා තිස්ස ගුණවර්ධන සර් කිව්වා. ඇඟපත තිබුණ නම් දස මහ යෝධයකුටවත් ගත හැකි. ඒත් අපි බලමුකො පොඩි කෑල්ලක්වත් දෙන්න කියලා සර්ම කිව්වා. මාත් අතෑරියේ නෑ.

ඉස්කෝලෙන් වන්දිය කියලා නාට්‍යයක් හැදුවා. ඒකේ විජය කියන චරිතය රඟපෑවේ කංචන කොඩිතුවක්කු. විජයට පාර පෙන්වන බල්ලට හිටියේ මං. රඟපාද්දී මං බල්ලා චූ කරන කෑල්ලක් එහෙම අතින් දානව. එතෙකොට ඉස්කෝලේ කෙල්ලන්ගෙන් එහෙම මට මාර චියර් එකක් එනවා. එහෙම දහයයි තිහේ නාට්‍ය දර්ශනේ ඉවර වුණා. හවස තුනයි තිහේ ෂෝ එකේදී වැඩිපුර චියර් එකක් ලැබෙයි කියලා හිතාගෙන ඊටත් වඩා ටිකක් සැර පාරක් දැම්මා. ඒත් ඒක දැකපු අපේ නාට්‍ය සර්ට යකා නැග්ගා. ‘ඉවරයි කෑව කෑව’ කියලා සර් බැන්නා. එතැනින් පස්සේ මට ලැබිච්ච පොඩි පොඩි නාට්‍ය කෑලි ටිකත් නැති වුණා.

හිමාලි සිරිවර්ධනට ඒ කාලෙදිත් නැටුම් කණ්ඩායමක් තිබුණා. මං හිමාලි ළඟට ගියාම හිමාලිත් මාව කොට වැඩියි කියලා අයින් කෙරුවා. ටික දවසක් ටාචර් වෙවී හිටියා. ඒත් අන්තිමේදී තිස්ස සර්ටත් කියලම කුරුණෑගල පැත්තටවත් යනවයි කියලා මං හිතුවා. එහෙ ගිහින් සේල්ස් රෙප් වැඩක්වත් හොයා ගන්නයි හිටියේ. මං ගිහින් තිස්ස සර් හමුවුණා. එත් ඒ ටික කියාගන්න මට දහිරියක් නැති වුණා. ඉතින් මං සර් ළඟට වෙලා වැඩවලට උදව් පදව් කර කර හිටියා.

දවසක් සර්ව හොයාගෙන කොළඹින් සෙට් එකක් ඇවිත් හිටියා ‘පිං පොං’ කියල චරිතෙකට. රුක්මල් නිරෝෂ්ව හොයාගෙනයි ඇවිත් තිබුණේ.ඒත් රුක්මල්ට ඒ චරිතෙ කරන්න විදියක් නැති වුණා. එහෙම කොළඹින් ඇවිත් හිටිය අනුරුද්ධ ජයසිංහ ඉල්ලුවේ ඒ කැරැක්ටරේට හරි යන වෙන හොඳ නළුවෙක්ව. ඒ වෙලාවේ සර් ළඟ හිටියේ මං විතරයි. ඒත් සර්ගේ ළඟ හිටිය ලස්සන දක්ෂ නළුවෝ ලැයිස්තුවක් හැදුවොත් මං හිටියේ අන්තිම හරියට වෙන්න ඇති. ඒ නිසා සර් කිව්වේ මේ වෙලාවේ නම් කට්ටිය නෑ. ඒත් මෙන්න මේ රජිය නම් ඉන්නවා. ඔයාලට හරි යනවද කියලා බලන්න කියලයි.

‘මැඩම් ස්කීම් එකේ වතුර කපලා’ වගේ පොඩි වාක්‍යයක් එයා මට කියන්න දුන්නා. ඒත් මට ඒකත් පැටලුණා. හැබැයි මං කරපු පොඩි පොඩි චරිතවල පින්තූර මං ගහගෙන තිබුණා. ඒවා බැලුවම එක පාරට මං පොඩි සීන් කරපු එකෙක්ය කියලා කියන්නත් බෑ. මං ඒවත් අනුරුද්ධ ජයසිංහට පෙන්නුවා. එයාලා මට කෝල් කරන්නම් කිව්වා. මමත් එයාලගේ ටෙලිෆෝන් නොම්මර ලියා ගත්තා. ඒත් කෝල් එකක් නම් දවස් දෙක තුනක් යනතුරුම ලැබුණේ නැහැ. ඒ කලේ මං උපරිම මට්ටමින් වළ බැහැලා හිටිය කාලේ. දවසක් අපි ඒ හරියේ පැතිරිච්ච දහදුරාම මත් ජාතියක් බීල බලමුයි කියලා දවසක් යොදා ගත්තා.

එදාට කලින්දා මට නිකමට වගේ අනුරුද්ධට කතා කරලා බලන්න හිතුණා. හැබැයි අතේ සතයක්වත් නැති මං ඒකටත් රුපියල් විස්සක් ඉල්ල ගත්තේ අම්මගෙන්. විස්සෙනුත් දහයක්වත් පොඩි සීන් එකකට ඉතුරු කර ගන්නයි මං බැලුවේ. ඉතින් වැල්වටාරං නැතිව කෝල් එක ගත්ත ගමන්ම මං කිව්වේ මං මේ පිං පොං කතා කරන්නේ කියලා. එතකොට අනුරුද්ධ ජයසිංහටත් හිනා ගියා. මාව ඒච චරිතෙට තෝර ගන්න නෙවෙයි එයාලා මුලින් හිතල තියෙන්නේ. ඒත් අර කතාව ඇහුවම මගේ තිබිච්ච උන්දුවට පිං පොං චරිතෙ මට දෙන්න එයාට හිතිලා.

මල්ලි හෙට උදෙන්ම එන්නකෝ කියලා මට එන තැන වෙලාව එහෙම කිව්වා. ඉතින් ටෙස්ට් කරන්න හිතාගෙන හිටිය ජාතිය නොබී මඟහැරුණා. පහුවදා කොළඹ ගෙන්න ගත්ත මාව ඒ කට්ටියම ලොජ් කරගෙන දවස් ගාණක් තිස්සේම පිං පොං ගේ කැරැක්ටර් එකට පුරුදු කෙරුවා. ඉතින් ටෙස්ට් කරලා බලන්න බොන්න හිටිය නරක ජාතිය නොබී මං බේරුණා. ඇත්තටම කලාව මගේ ජීවිතේ බේරුවා. දැන් මගේ අයිඩියා එක තියෙන්නෙම මගේ ජීවිතේ බේර දුන්න කලාව බේර ගන්නම තමයි.

අපි දැන් එතැනින් නළු ජීවිතේට එමු.

දවසක් ලොකේෂන් එකකදි උදාරි වර්ණකුලසූරිය හිටියේ අහස පොළොව ගැට ගහන්න තරම් කල්පනාවක. මං උදාරිට කිට්ටු කළා. ඇයි මොකෝ ඇහැව්වාම උදාරි මෙහෙම කිව්වා.

නෑ මේ ඩාන්සින් ස්ටාර් එකේ හනිමුන් කන්සෙප්ට් එකට මගේ පාට්නර්ට ගන්න ස්ටාර් කෙනෙක් නැහැනේ කියලා උදාරි කිව්වා. ඔයා දන්න ස්ටාර් කෙනෙක් කියන්නකෝ කිව්වම මං කළේ පොඩි ජෝක් එකක්.

ඇයි ඔයා ජී. ආර්. ට කතා කලේ නැද්ද? එතකොට කවුද අනේ ජී. ආර්. කියලා උදාරි ඇහැව්වා. ඔයා දන්නේ නැද්ද වර්ල්ඩ් වයිඩ් හීරෝ ජී. ආර්. ජී. ආර්. කිව්වම උදාරිත් හොඳටම ඇන්දුණා.

දෙන්නකො රජිත එයාගේ නම්බරේ කීවම මං ජී. ආර්.ගේ නම්බරෙත් දුන්නා. නම්බරේට උදාරි කතා කළා. කතා කරල තොරතෝංචියක් නැතිව හනිමුන් කන්සෙප්ට් එකේ සීන් කියනවා. ඒකෙදි ජී. ආර්. අයියට කරන්න තියෙන්නේ මේ ටිකයි, මේ ටිකයි කිය කියා විස්තර කියනවා. මට බඩ පැළෙන්න හිනා. පස්සේ පව්නේ කියලා මං උදාරිට අතින් එපා කිව්වා. ඒත් ඒ බවක් අහන්නේ නැතිව මගෙන් ඈතට ගිහින් ජී. ආර්.ට හනිමුන් කන්සප්ට් එක ගැන කියන්න ගත්තා. අනේ ඒත් මේ ජී. ආර්. වෙනින් කවුරුවත් නෙවෙයි අපේ ජී. ආර්. පෙරේරා. උදාරි කතා කළේ ඒ බව නොදැනයි. ඉතින් උදාරිටත් කාඩ් එකක් වැදුණේ ජී. ආර්. ට හනිමුන් කන්සෙප්ට් එකට කතා කළ උදාරි කියලා.

අනෙක තමයි මේ වෙද්දි මගේ දත් බුරුසුවලින් දත් මදින නළුවෝ දෙන්නෙත් ඉන්නවා. ඉදිරියට ඒ පිරිස වඩා වර්ධනය කර ගන්නනයි මගේ බලාපොරොත්තුව. එයින් එක් කෙනෙක් කංචන කොඩිතුවක්කු. අනෙක් එක්කෙනා මංජුල මොරගහ.

පුරුද්දක් විදියට මං එක බුරුසුවකින් අවුරුදු තුනක් විතර දත් මදිනවා. එහෙම ෂූටින්වලදී එකට ඉන්දැද්දී ළඟදී දවසක මංජුල ගෙනත් තිබුණෙත් මගේ පාටම බුරුසුවක්. මං මංජුලයගෙ බුරුසුව වීසි කළා. ඒක තිබිච්ච තැනින් මගේ බුරුසුව තිබ්බා.