|
අම්මා අපට කෑම කැව්වෙත් තාත්තා රඟපෑ චිත්‍රපට පෙන්වමින්- මල්ෂා කුමාරතුංග ජීවන්ගේ වැඩිමහල් දියණිය දේශපාලනයටමොන රටට ගිහින් ඉගෙන ගත්තත් තමන් ඉපදුන රටට සේවය කරන්නජීවන් කුමාරතුංගගෙන් දියණියන් දෙපළට ඔවදනක් !
දුව ඔයා නම් හොඳ ලෝයර් කෙනෙක් වෙන්න - සීයා
කරන දේ හරියට කරන්න තාත්තා - අම්මා
මේ දවස්වල අලුත්ම තොරතුරු සමගින්ම මේ කතාබහ ආරම්භ කරමු? මම මුලින්ම හැරුණේ ජීවන් කුමාරතුංගයන් දෙසට. මේ දවස්වල මැතිවරණ කටයුතු වගේම රංගන කටයුතුත් යෙදිලා තියෙනවා. භාර ගත්තු චිත්‍රපට දෙක තුනක වාගේම ටෙලි නාට්‍ය කිහිපයකත් රූගත කිරීම් යෙදිලා තියෙනවා.
දේශපාලනඥයෙක් වගේම කලාකරුවෙක් විදියටත් ඉතාම කාර්යබහුල ජීවිතයක් නේද ගත කරන්නේ? ඇත්තටම මම දේශපාලනයට එන්නත් කලින් ඉඳලම කාර්යබහුල ජීවිතයක් ගත කළේ. ඒ කාලේ නම් ෂූටින් නිසා විතරයි කාර්යබහුල වුණේ. ඊට පසුව දේශපාලනයට අවතීර්ණ වීමත් සමඟ ඒ තත්ත්වය තවත් වැඩි වුණා. බිරිඳ ෂෙරීන් තමයි හැම වගකීමක්ම කරට අරගෙන කටයුතු කළේ. ගෙදර ගොඩක් වැඩ සිදු කෙරුණේ ඇයගේ අතින්. මට ලැබෙන වෙලාවල් අනුව ගෙදර සමඟින් කාලය ගත කළා. සාමාන්‍යයෙන් මම උදේ පාන්දර 3.00 ට අවදි වෙනවා. ඒ වෙලාවේ සිට කාලය කළමනාකරණය කරගෙන වැඩ කරන නිසා කෙතරම් කාර්යබහුල වුණත් පවුලේ අය සමඟ ගත කරන්න කාලය මට තියෙනවා.
ආදරණීය පියෙකු ලෙස දියණියන් දෙදෙනාත් ඔබේ අඩි පාරේම යනවා දකින්නත් කැමැත්තක් ඇති?
මම කවදාවත් මල්ෂාටවත්, මලීෂාටවත් තෝරා ගත යුතු දේ කියලා බල කරලා නැහැ. ඒ දෙන්නාට
කැමැති දේ තෝරා ගන්න නිදහස දීලා තිබුණා. හරි දේ හරියට කරන්න කියන උපදෙස් තමයි
දෙන්නාටම දුන්නේ. දෙන්නාම දැන් ලන්ඩන් නීති උපාධිධාරින්. ලොකු දුව මල්ෂා නම් දැන්
විවාහකයි. දැන් ඇය මෙවර බස්නාහිර පළාත් සභාවට අපේක්ෂිකාවක් විදියටත් ඉදිරිපත් වෙන්න
සූදානම්.
මල්ෂාගේ පොඩි කාලයේ හීනය වුණෙත් දේශපාලනයට එන්නද? තාත්තා ළඟට වෙලා සිටින මල්ෂාගෙන් මම ඇහුවේ මේ පෙර ගමන ගැන දැනගන්නයි. පොඩි කාලයේ නම් එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒ කාලයේදී තාත්තා රඟපානවා මතකයි. තාත්තාගේ ෂූටින් බලන්න අම්මා අපිව එක් කරගෙන ගියා. ඒ දවස්වල යාළුවෝ ඉස්කෝලෙදි කියනවා ඔයාගේ තාත්තා නළුවෙක් කියලා. අපි දෙන්නම ඒ කාලේ හිතුවේ තාත්තාගේ ජොබ් එක ඒක තමයි කියලා. ටිකක් ලොකු වෙන කොට තමයි ඒ ගැන හරියටම තේරුම් ගත්තේ. තාත්තා කලාකරුවෙක් වගේම රටේ වගකිවයුතු දේශපාලනඥයෙක් කියන එකත් අපි තේරුම් ගත්තා. තාත්තයි අම්මයි අපිට පොඩි කාලෙදි හැමදාම කිව්වේ හරි දේ හරියට කරන්න කියලා. ඒ වගේම අපේ සීයා, අම්මාගේ තාත්තා මම කතා කරන කොට කියනවා ‘දුවේ ඔයා නම් හොඳ ලෝයර් කෙනෙක් වෙන්න’ කියලා. තේරෙන වයසට එද්දී මටත් හිතුණා නීතිය හදාරණ එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා. මගේ මහත්තයා හර්ෂමාන තමයි මට මුලින්ම කිව්වේ ඔයාට මේ දේ කරන්න පුළුවන් කියලා. ඒ ගැන හිතලා තමයි මම මැතිවරණයට ඉදිරිපත් වෙන්න තීරණය කළේ. ඊට පස්සේ අම්මටයි තාත්තාටයි කිව්වා. අම්මා නම් මුලින් එතරම් කැමැති වුණේ නැහැ.
මම දේශපාලනය කලා කියලා මගේ දරුවනුත් දේශපාලනය කරන්න ඕනෑ කියලාවත්, මම රඟපෑවා කියලා මගේ දරුවනුත් රඟපාන්න ඕනෑ කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ඒත් පොඩි කාලේ ඉඳලාම මල්ෂාත්, මලීෂාත් දෙන්නාම තුළ කලාව ගැන ලොකු උනන්දුවක් තිබුණා. ඒ පිළිබඳ හැදෑරුවා. ස්ක්‍රිප්ට් පවා ලිව්වා. දැන් ලොකු දුව දේශපාලනය තෝරා ගෙන තියෙනවා. මමත් කුඩා කාලයේ හැදුණේ වැඩුණේ දේශපාලන පසුබිමක් තිබූ පවුලක. මගේ දුවත් හැදුණේ එවැනිම පසුබිමක. එයත් මල්ෂාගේ තීරණයට බලපාන්න ඇති.
ඒ කියන්නේ ඔබේ දේශපාලන කටයුතු ඇයටත් අත්දැකීම් සපයන්න ඇති? මල්ෂා අධ්‍යාපන කටයුතුවලින් පසුව මගේ පෞද්ගලික ලේකම්වරිය විදියට කටයුතු කළා. එහිදී ඇය දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් රැසක් ලබා ගත්තා කියලා මම හිතනවා. ඒ වගේම සමාජ සේවා කටයුතුවලටත් ඇයගේ දායකත්වය ලැබුණා. දුව මට මේ තීරණය ගැන කිව්වාම ක්ෂේත්‍රයේ තියෙන බැරෑරුම්කම තේරුම් කරලා දුන්නා. දේශපාලනය කියන්නේ සමාජ සේවයක්. එහිදී අපි ගැටෙන්නේ ජනතා ප්‍රශ්න සමඟ. ජයග්‍රහණය කරලා පැත්තකට වෙලා ඉන්නේ නැතුව ජනතාවට උපරිම සේවයක් කරන්න කියලා තමයි මම ඇයට උපදෙස් දුන්නේ.
මල්ෂා කලාවට දායක වෙන්න අදහසක් නැද්ද? මමයි නංගියි දෙන්නාම චිත්‍රපට බලන්න හරිම ආසයි. පුංචි කාලේ අම්මා අපට කෑම කැව්වෙත් තාත්තා රඟපාපු චිත්‍රපට පෙන්වමින්. ඒ කාලේ ඒ ගැන වැඩි තේරුමක් තිබුණේ නැහැ. තාත්තා ඉන්න නිසා ආසාවෙන් බලාගෙන හිටියා. මට වගේම නංගිටත් කලාවට දායක වෙන්නත් අවස්ථාව ලැබුණා. ක්ලීටස් අංකල් (ක්ලීටස් මෙන්ඩිස්) පරපුර චිත්‍රපටයට මම රංගනයෙන් දායක වුණා. නංගි නම් මටත් වඩා කලාවට ගොඩක් ලැදියි. එයා ක්ලීටස් අංකල්ගේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණයෙන් දායක වුණා. ඒ වගේම නංගි ඒ ගැන වැඩිදුර අධ්‍යයනයේ යෙදෙමිනුයි ඉන්නේ.
ගෙදර හැමෝම එකතු වුණාම කොහොමද කාලය ගත කරන්නේ?
මලීෂා දැන් ඔයාට තාත්තාගෙන් විශේෂ උපදෙස් එහෙමත් ලැබෙන්න ඇති? නිවැරැදි අවබෝධයෙන් ඉවසීමෙන් කටයුතු කරන්න කියලා කිව්වා. ඒ වගේම ජනතාව වෙනුවෙන් උපරිම සේවය කරන්න කියලත් කිව්වා.
ඔබ මෙරට ප්‍රවීණ රංගන ශිල්පිියෙක් වගේම වගකිවයුතු ජනතා නායකයෙක්. ඒ හැර දියණියන් දෙදෙනෙකුගේ තාත්තා කෙනෙක් විදියට ජීවිතය දැනෙන්නේ කොහොමද? ලොකු දියණියන් දෙදෙනෙකු සිටින තාත්තා කෙනෙක් විදියට ගොඩක් ආඩම්බරයි. ඔවුන් සාර්ථකව අධ්‍යාපනය නිමා කරලා අද යම් තැනකට ඇවිත් තියෙනවා. ඒ ගැන තියෙන්නෙත් ලොකු සතුටක්. ලොකු දුව වගේම පොඩි දුවත් දැන් නීති අධ්‍යාපනය නිම කරලා තියෙන්නේ. ඇයත් ඉදිරියේදී යා යුතු මාර්ගය තෝරා ගනීවි. දෙන්නාටම මම කිව්වේ මොන රටට ගිහින් ඉගෙන ගත්තත් තමන් ඉපදුන මව් බිමට තමයි සේවය කරන්න ඕනෑ කියන එක තමයි. මේ දක්වාම මගේ දුවලා දෙන්නාම නිවැරැදි දේ තමයි කළේ. ඉදිරියටත් ඒක එහෙමම වේවි කියලා විශ්වාස කරනවා. |