|
හියුට සම් පිළිකාවක්
එක්ස්-මෙන් සිනමාපට මාලාවේ වොල්වරයින් තරුව, හියු ජැක්මන්ට ජීවිතයේ අසන්නට අකැමැතිම වචන පෙළෙන් සිත රිද්දවා ගැනීමට සිදු වී තිබේ. ඒ තමන් පිළිකාවකට ගොදුරු වී සිටිනවා යන වදන් පෙළයි. හතළිස් පස් හැවිරිදි ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශිත නළුවකු වූ හියු සම් පිළිකාවකින් පීඩා විඳීන බව අනාවරණය විය. ඔහු මේ බව දැනගෙන ඇත්තේ, බිරිය නාසයේ ඇති කුඩා වර්ධනය වෛද්‍යවරයකුට පෙන්වන ලෙසට කළ බලපෑම නිසාය.
ඔහු සමාජ වෙබ් අඩවියකට සිය රුව සමඟ මේ පණිවුඩය ද ලියා යවා තිබේ. ‘මං වගේ මෝඩ වෙන්න එපා. සම් පිළිකා සඳහා සම්මුඛ පරීක්ෂණයකට ලක් වෙන්න. පිටතට යන විට සන්ස්ක්‍රීන් භාවිත කරන්න.’ පිළිකාව ගැන ප්‍රසිද්ධියේ කතා කරන, උපදෙස් දෙන පළමු තරුව හියු නොවෙයි. හැට හතර හැවිරිදි සැමුවල් එල්. ජැක්සන් ද ප්‍රසිද්ධියේම සිය පිළිකා තත්ත්වය ගැන කතා කළේය. ‘පිරිමින් සාමාන්‍යයෙන් සෞඛ්‍ය ගැන කතා කරන්නේ නැහැ. පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා හැර අනෙක් පිළිකා කාන්තාවන්ට විතරයි කියලා හිතනවා. ඒක වැරැදියි. පිරිමින් පිළිකා ගැන බැරෑරුම් විධියට සිතන්න ඕන කාලය ඇවිල්ලා.’ හියු සිය රසික ප්‍රජාව දැනුවත් කරමින් පවසන්නේය. මේ අතර මීළඟ වොල්වරයින් සිනමාපටයට ද හියුට ආරාධනා ලැබී තිබේ. පුදුමය නම් හියු මෙවැනි රෝගයකට ගොදුරු වූයේ යෝග ක්‍රම අනුගමනය කරමින්, භාවනා කරමින්, ආතතියෙන් තොර ජීවිතයක් ගත කරමින් සිටියදී වීමයි. විවේකීව සිටින විට ඔහු පියානෝව වයා විනෝද වන්නේය. ඔහු සිය නළු වෘත්තියට වඩා පවුල් ජීවිතය අගය කරන්නෙක් ද වෙයි. හියු, ඩෙබෝරා - ලී ෆර්නස් සමඟ විවාහ වූයේ 1996 දීයි. ඔහුගේ මංගල මුදුවේ ‘අපේ එකමුතුව සමාජයට විශිෂ්ට සම්පතක්’ යන තේරුම ඇති සංස්කෘත වචනය කොටා තිබේ. ෆර්නස්ට දෙවරක්ම ගබ්සා වූ නිසා දරුවන් දෙදෙනෙක් හියූ හා ෆර්නස් හාදා වඩා ගනිති. |