|
සිනමාව නිසා අහිමි දෙයට වඩා ලද දෙය ගැන මෙනෙහි කොට අද සතුටු වෙනවා
සමන්ති ලැනරෝල් දුකෙන් කියන කතාව
ඔබේ යටගිය ජීවන තොරතුරු බිඳක් විමසා බලමුද? තේ වතු අධිකාරිවරයෙක් වූ පොතුපිටියේ විලියම් හා ඇලිස් කැරොලයින් දෙපළගේ දෙවෙනි දරුවා මම. උපන් දිනය ජනවාරි 21 වැනිදා. මවුපියන් මට යෙදුව නම ස්වර්ණලතා. ඉගෙන ගත්තේ වෙන්නප්පුවේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ. එහි පස්වෙනි පංතියේ සිටියදී විජය කුවේණි මුද්‍රා නාට්‍යයේ විජය ලෙසත්, රාධා ක්‍රිෂ්ණා මුද්‍රා නාට්‍යයේ රාධා ලෙසත් රැඟුවා. සමස්ත ලංකා සාහිත්‍ය උළෙලේ දී පද්‍ය ගායනයෙන් පළමුතැන හිමි කර ගත්තා. ඔබේ ඊළඟ පියවර තැබුවේ කොතැනටද? ඇත්තම කියනවා නම් කන්‍යා සොහොයුරියක් වෙන්න මට දේව කැඳවීමක් තිබුණා. ඒ වෙනුවෙන් පෙර පුහුණුවීම් ද කළා. නමුත් පියාගේ හා ආච්චිගේ බලවත් අකමැත්ත මධ්‍යයේ අදහස අතහැර මොන්ටිසෝරි පාඨමාලාවක් හැදෑරුවා. ඔය කාලේ ගමේ අවුරුදු කුමරිය ලෙසත් අභිෂේක ලැබුවා. ඔය අතරතුර යළිත් රඟපෑමේ ආශාව ලියලා වැඩියාද? එහෙම කිව්වොත් නිවැරැදිතාවය වැඩියි. හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසීමට ප්‍රධාන හේතුව චිත්‍රපටයක රඟපාන්න තිබුණු කැමැත්ත. මේ චිත්‍රපටය බොහෝ දෙනකුට මතක චිත්‍රපටයක්. මෙහි වැඩි පිරිසක් සිනමාවට නවකයින්. මගේ ජීවිතයේ වැදගත් සිදුවීම් කිහිපයක් ද හන්තානේ කතාවේ ගොනුවෙලා තිබෙනවා. ඔබ ඔය කියන වැදගත් සිදුවීම් මොනවාද?
ඔබේ විවාහයටත් සම්බන්ධ ප්‍රේම කතාවක් තිබෙනවා නේද? ඔව්. අපි හමු වුණේ හන්තානේ කතාවෙන්. රහසින් ප්‍රේම කළේ හන්තාන කතාව රූපගත කරද්දී. මේ සම්බන්ධයට පියා තදින් විරුද්ධ වුණා. පසුව මගේ ඥාතියකුගේ මැදිහත්වීමෙන් සියල්ල සමථයකට පත්වීමට වැඩි කාලයක් ගියේ නැහැ. හන්තානේ කතාව රූපගත කරන විට ඇරැඹි අපේ හමුව 1969 චිත්‍රපටය තිරගත වන විට විවාහයෙන් මල්පල ගැනුණා. සාක්ෂියට අත්සන් කළේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා හා කැමරා ශිල්පී සුමිත්ත අමරසිංහ. මේ වෙනුවෙන් සුමිත්තගේ නිවසේ චාම් විවාහ උත්සවයකුත් පැවැත්වූවා. මේ විවාහයෙන් අපට 1971 ලැබුණු එකම දුව සෙව්වන්දි දැන් විවාහකයි. ඔබේ කුලුඳුල් රංගනයට ප්‍රතිචාරයක් ලැබුණාද? හන්තානේ කතාව චිත්‍රපටයට හඬ කවද්දී චිත්‍රාගාරයට පැමිණි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියා මගේ දර්ශන කිහිපයක් නරඹා අනාගතයේ දක්ෂ නිළියක් වන බවට ප්‍රශංසනාත්මක අගැයීමකුත් කළා. පසු කාලයක ඔහුගේ අවරගිර චිත්‍රපටයේ බිසෝ මැණිකේ නම් චරිතය රඟපාන්න ලැබීම දෛවයෝගයකින් සිදු වූවක්.
රජගෙදර පරෙවියෝ චිත්‍රපටය 1975 තිරගත කළා. ගාමිණී ෆොන්සේකා රඟපෑ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ලැබුණු එකම අවස්ථාව එයයි. එහිදී මුණගැසුණු නීටා ප්‍රනාන්දු දුහුළු මලක් චිත්‍රපටයට නිර්දේශ කළේ මම. විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ මෙහි නිෂ්පාදකවරයා නන්ද ජයසිංහ. ඔහු හන්තානේ කතාව ඉදිරිපත් කළ සමකාලීන චිත්‍රපට සමාගමේ කොටස්කරුවෙක්. දුහුළු මලක් චිත්‍රපටයේ එන ලෙච්චමී නම් ද්‍රවිඩ මෙහෙකාරියගේ චරිතයට සුදුසු නිළියක් සොයද්දී මට ලැබුණේ අහම්බෙන්. මේ නිසා ලැබූ අතිශය ජනප්‍රියත්වය සුළු පටු නැහැ. 1976 වැල්ලවත්තේ සැවෝයි සිනමාහලේ පැවති මංගල දර්ශනය අවසන් වී ගෙදර ආ රැයේම නිෂ්පාදකවරු දෙන්නෙක් මා සොයා පැමිණියා. එක් කෙනෙක් නිමල් වීරක්කොඩි. අනික් කෙනා හර්බට් රංජිත් පීරිස්. ඔවුන්ගේ අක්කෙ මට අවසර හා සිල්වා චිත්‍රපටවල රඟපෑවත් අක්කෙ මට අවසර චිත්‍රපටයේ මීනච්චි ලෙස ෆේරඩී සිල්වා සමඟ රඟපෑමෙන් පසු අපි දෙන්නා චිත්‍රපට රාශියක විකට චරිත නිරූපණය කළා. ඔබ දැනට චිත්‍රපට කොපමණ සංඛ්‍යාවක රඟපා තිබෙනවාද? මතකය හරි නම් චිත්‍රපට 70 ක පමණ. තවමත් වෘත්තීමය නිළියක් ලෙස රැඳී සිටින මම රඟපාන ලද ටෙලි නාට්‍ය ගණන 100 වැඩි මිස අඩු නැතිව ඇති. සංග්‍රාමයක නටබුන් ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරමින් රඟපෑවා. අධ්‍යක්ෂණය කළේ සැමියා. මේක ඇරැව්වල නන්දිමිත්‍රගේ පුංචි මලක් කියන කතාව. වේදිකා නාට්‍ය නම් 25 කට වැඩි නැහැ. රංජිත් සිරිවර්ධනගේ කවුද මචං ඇලිස්, ප්‍රියන්ත පතිරණගේ පුංචි අපිත් දැන් බය නැහැ, ක්ලීටස් මෙන්ඩිස්ගේ පරපුර, දිනේෂ් ප්‍රියසාද්ගේ ඔළුව ජපන් කඳ ජර්මන් යන චිත්‍රපට තුළින් මාව ඉදිරියේදී දකින්න පුළුවන්. ඔබේ රංගන දායකත්වය වෙනස් මඟක් ගත් චිත්‍රපට ගැන නිනව්වක් නැද්ද? විකට නිළියක් ලෙස මා කොටු වී සිටියේ නැහැ. චරිතාංග නිළියක් හැටියටත් හැකියාව පෙන්නූ අවස්ථා තිබෙනවා. මගේ සැමියා තනිව අධ්‍යක්ෂණය කළ චතු මධුර හා කිරි කවඩි ප්‍රධාන චරිත දෙකක්. චතු මධුර කතාවේ එන පාසැල් ගුරුවරියගේ චරිතයට මම බෙහෙවින් ප්‍රියමනාපයි. ජීවිතයේ අනේකවිධ දුක් ගැහැටවලට ලක්වෙන එම චරිතය භික්ෂුණියක දක්වා විකාශය වෙනවා. තම සැමියාගේ තාඩන පීඩනවල ගොදුරක් වන අහිංසා චිත්‍රපටයේ මේරි නම් චරිතය නිසා 1988 සරසවිය සිනමා උළෙලේදී කුසලතා සම්මානය මම ලබා ගත්තා. ඡායා මායා චිත්‍රපටයේ අකමැත්තෙන් වුවත් දුෂ්ට චරිතයක් නිරූපණය කළා.
මම එක චිත්‍රපටයක් නොවෙයි, දෙකක් නිෂ්පාදනය කිරීමට ගියා. 1985 පමණ එක්තරා විකට නළුවකු සමඟ අල්බේලා චිත්‍රපටය සිංහලෙන් නිපදවීමට කැමතිව සිටියා. හින්දි චිත්‍රපටයේ බග්වාන් රඟපෑ චරිතය එම නළුවාත්, ගීතාබාලිගේ චරිතය මාලිනී ෆොන්සේකාත්, කතාවේ ආ අනුවේදනීය චරිතය වූ නැඟණිය ලෙස මම රඟපෑමටත් නියම කර ගත්තා. මේ චරිතය අල්බේලා චිත්‍රපටයේ රඟපෑවේ බිම්ලා නම් නිළියක්. නැව ගිලුණත් බෑන් චූන් නමින් නිපදවීමට ගිය සිංහල චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරිමට සුනිල්සෝම පීරිස් එකඟ වී සිටියා. අන්තිමේ සම නිෂ්පාදක විකට නළුවා පසුබෑම නිසා සරත් ද අල්විස්ගේ මෙහෙයවීම යටතේ ගීත සඳහා පටිගත කළ සංගීතය වෙනුවෙන් මා වැය කෙරූ ලක්ෂයක මුදල පවා වතුරේ ගියා. චිත්‍රපටය උපන් ගෙයිම මියැදුණා. ඊළඟට පිවිතුරු පැතුමක් නමින් චිත්‍රපටයක් යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කළා. මම රඟ නොපෑ ඒ චිත්‍රපටය ඔබද මාද දිනුවේ නමින් සියලුම නිෂ්පාදන කටයුතු අවසන් කොට ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය මුදල් නැතිව ලත වෙනවා. මෙය මීට වසර කිහිපයකට උඩදී ප්‍රංශයේ පැවති ජෝ අබේවික්‍රම උපහාර උළෙලේදී තිරගත කොට තිබෙනවා. මෙහි ජෝ අබේවික්‍රම සමඟ රජීව් නානායක්කාර, බන්දු සමරසිංහ, විමල් කුමාර් ද කොස්තා, ලිලියන් එදිරිසිංහ, සුනිල් හෙට්ටිආරච්චි, පියදාස විජේකෝන්, කේ. ඩී. සිරිපාල නළු නිළියන්. ප්‍රධාන නිළි චරිතය රඟපෑ රමණී තුෂාරි නැටුම් අධ්‍යක්ෂ රොනල්ඩ් ප්‍රනාන්දුගේ දියණිය. ඔබේ නිවෙස චිත්‍රපට නිෂ්පාදනය නිසා අහිමි වූ බව සත්‍යයක්ද? පළමුව කුලී පදනම යටතේ ලබා ගත් ටොරින්ටන්වල රජයේ නිවෙස දෙවනුව අනුමත තක්සේරු වටිනාකම කොටස් වශයෙන් ගෙවා නිම කළා. නමුත් ඔප්පුව ලැබුණේ නැහැ. ඔය කාලයේ පිවිතුරු පැතුමක් චිත්‍රපටය සඳහා දන්නා හඳුනන කෙනකුගෙන් මුදලක් ණයට ලබා ගත්තා. ඔහුට එම මුදල ගෙවා අවසන් වනතුරු ගෙය කුලියට බාර දුන්නා. අවසානයේ ඔහු වංචනික ලෙස ඔප්පුව පවා වෙනස් කොට අපිට හොරා අයිතිය තහවුරු කර ගත්තා. මේ පිළිබඳව වගකිවයුත්තන් දැනුම්වත් කළත් සාධාරණයක් ඉටු වුණේ නැහැ. දැන් කාලයක පටන් මගේ ජීවිතය ගෙවෙන්නේ කුලී නිවෙස්වල. සැමියාගේ අවසන් කටයුතු කළ ජයරත්න මල් ශාලාවට ගෙවීමට ඉතිරිව තිබුණු රු: 30,000/- මුදල මා ගෙව්වේ ඔහු පරිවර්තනය කොට තිබුණු ඉගිලෙන දඬුලේනා ළමා කතාව ගොඩගේ ප්‍රකාශකයින්ට විකිණීමෙන්. කොටින්ම වියපත් සිනමා ශිල්පීන්ට ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ලබාදෙන මාසික විශ්‍රාම වැටුපවත් මට නැහැ. අතීතය සමඟ වර්තමානය සසඳන විට ඔබට කියන්න ඉතිරිව ඇත්තේ කුමක්ද? කාලයක් ටේලර් සාප්පුවක් හා රූපලාවණ්‍යාගාරයක් පවත්වා ගෙන ගියා. සැමියා අහිමිවීමෙන් මානසික අසහනයට පත්වීමත් සමඟම ආයතන දෙකම වසා දැමුවා. අද තදබල ලෙස ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ පා සිටිනවා. හැබැයි සිනමාව නිසා අහිමි දෙයට වඩා ලද දෙය ගැන මෙනෙහි කොට සතුටු වෙනවා. ජීවත්වීමේ මඟක් ලෙස රඟපෑමට අතිරේකව උද්‍යාන සැකසීම නැතිනම් අලංකාරයේ යෙදෙනවා. මෙවන් කටයුත්තක් ඇතොත් මට ලබා දෙන මෙන් ආයාචනයක් කරනවා. මගේ ලිපිනය අංක 176/එෆ්/2, විජය මාවත, පෝරේ, අතුරුගිරිය. දුරකථන අංකය 077-7340558.
|