වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමා සාහිත්‍යයට වෙනමම සම්මානයක්

සිනමා සාහිත්‍යයට වෙනමම සම්මානයක්

සරසවිය හිටපු කර්තෘ අනුර බණ්ඩාර රාජගුරු

පසුගිය සතියෙන් ...

කොළඹ පුවත් නමින් දිනපතා සවස පුවත්පතක් ලේක්හවුස් ආයතනය තුළින් එළි දැක්වීමට කටයුතු කිරීමත් සමඟ එහි ප්‍රධාන කර්තෘ වශයෙන් පාලිත ධර්මරත්නයන් පත්කෙරිණි. ජනතා පත්තරයේ අත්දැකීම් ලබා සිටි පිරිසක් මේ සඳහා යොදා ගැනීමට අදහස් කළ පාලන අධිකාරිය එහි නියෝජ්‍ය කර්තෘ පදවිය මට පිරිනැමුවේය. ඒ අනුව කොළඹ පුවත් වෙතට මාරුවීමක් ලැබිණ. එයින් පසු මා නැවත සරසවියට පැමිණෙනුයේ 2000 වසරේදීය.

ඒ එන්නේ ද සරසවියේ මුල් පුටුවටය. සරසවිය හතළිස් වසර සපුරද්දීී මා සරසවියේ ප්‍රධාන කර්තෘවරයාය. එහි ප්‍රගමනයට මා විශාල වැඩ කොටසක් ආරම්භ කරනුයේ මීට පෙර මා ලබා තිබූ අත්දැකීම් ද උපයෝගී කොට ගනිමිනි. සමහර වැඩ සටහන් සරසවිය පත්තරයේ ප්‍රචාරයට වැදගත් වූ අතර සමහරක් සරසවිය වටා එක් වී සිටි පාඨකයන්ට කිසිදා නොලැබෙන ප්‍රාසංගික අත්දැකීම් එක් කළේය.

රත්තරං වැස්ස, සරසවිය විශේෂ කලාපයක් ද මුද්‍රණය කරමින් ආදරණීය රෝහණ ප්‍රසංගය සඳහා අනුග්‍රහයන් දැක්වීම හපන්පැදුර ස්වර්ණාවාහිනියත් සමඟ ඉදිරිපත් කිරීම, සිරස රූපවාහිනිය සමඟ සිරස දුර්ගා ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන ලක්හඬ සමඟ එකතුª වූ මුවරද සුවඳ නමින් සංගීත වැඩ සටහනක් සරසවිය අනුග්‍රහයෙන් ඉදිරිපත් කිරීම, හොරණ ශ්‍රීපාලියේ පැවැත් වූ එච්. ඩී. ප්‍රේමරත්න සලරූ ප්‍රසාදිනී උළෙල, ටටර් හෝල් රඟහල පදනම ඉදිරිපත් කළ සිවම්මා ධනපාල නාට්‍යය නැරැඹීමට කූපන්පතක් නිර්මාණය කිරීම, ජාතික රූපවාහින්යේ නුග සෙවණ වැඩ සටහනේ සෙනෙහසේ නවාතැනක වැඩ සටහනට සරසවිය සම්බන්ධ කිරීම, 2003 ජනවාරි හත්වෙනිදා භාතිය සන්තුෂ් ගේ විශාල ප්‍රමාණයේ පෝස්ටරයක් සරසවිය සමඟ නිකුත් කිරීම මේ අතර මගේ මතකයේ තිබේ.

ලක් හඬ සමඟ එකතු වී ජය ශ්‍රී හද බැඳී ගී ඉදිරිපත් කිරීම සරසවිය අනුග්‍රහයෙන් ජෝතිපාල මිතුරු සමාජය ඇති කොට එය ටවර් හෝල් රඟහලේ පැවැත්වීම. සරසවිය කලා මියැසිය මසකට වරක් කිරීමේ මුල්ම පැදුරු සාජ්ජය ඇරැඹියේ වික්ටර් රත්නායකයන්ගේ ප්‍රධානත්වයෙනි.

සරසවිය වැඩි පාඨක පිරිසක් ඇති කරලීිමේ අදහසින් ත්‍රීරෝද රසවිත නමින් විශේෂංගයක් මා ඇරැඹුවේ පත්තරය ඔවුන් අතර ජනප්‍රිය කරලීමේ අභිලාෂයෙනි. මේ සියල්ල අතරින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ උපන් දිනය වෙනුවෙන් මුද්දරයක් නිකුත් කිරීමට ලැබීමේ භාග්‍යය ද මට හිමි විය. එය ජීවමාන කලාකරුවකුට පිදුව මුල්ම අවස්ථාව එය විය.

2002 වසරේ අපේ‍්‍රල් 11 වැනිදා බියගම මහජන ක්‍රීඩාංගනයේ ගායක ගායිකාවන් පනහක් නොමිලේ ගී ගැයුවේ සරසවියට වසර හතළිහක් පිරීම නිමිති කොට ගෙනය. යහපත් වූ සමාජ සත්කාරයන් බොහොමයකට එදා මට සරසවිය දායක කර ගැනීමට ඉඩකඩ ලැබිණි. රත්මලාන අඳ ගොළු බිහිරි පාසලේ අභිවෘද්ධියට ආධාර පිණිස සරසවිය අනුග්‍රහයෙන් පැවති තාරකා රැලිය මඟින් මුදල් ආධාර එකතු කොට එම පාසලට ප්‍රදානය කිරීමට එදා අපට හැකි විය.

ඒ වන විට වසර ගණනාවක් නැවතී තිබූ සරසවිය සම්මාන උළෙල යළි ආරම්භ කොට ඉතා උත්කර්ෂවත් සම්මාන උළෙලක් නැවත පැවැත්වූයේ 2002 ඔක්තෝබර් දහතුන් වෙනිදාය. එදා සරසවිය සම්මාන උළෙලට ඉදිරිපත් කළ විශේෂාංග ද බොහොමයක් අලුත් මුහුණුවරක් ගත්තේ සම්ප්‍රදායෙන් බැහැරවය. පැය දෙකකුත් විනාඩි පහක් තුළදී සියලු සම්මාන උළෙලේ වැඩ කටයුතු නිමාවට පත් වූයේ ප්‍රේක්ෂකයන් ඇතුළු සියලු කලාකරුවන් අමන්දානන්දයට පත්කරමිනි. එතෙක් කලක් සම්මාන උළෙල විචිත්‍රවත් කිරීමට එක්ව තිබුණේ නර්තන කණ්ඩායම්ය. එහෙත් මා කළ මුල්ම සරසවිය සම්මාන උළෙලේ දී ඒ සම්ප්‍රදායන් බිඳ දමමින් වේදිකාව හැඩ කිරීම ඇරැඹියේ නළු නිළියන්ගේ රංගනයන් තුළිනි.

බන්දු සමරසිංහ, සංගීතා වීරරත්න එදා සරසවිය වේදිකාවේ ඇති කළ නළු නිළි ගැයුම් වැයුම් සම්ප්‍රදාය එදා පටන් අද වන විටත් පවත්වන ප්‍රසංග වේදිකාව සම්මාන උළෙලවලට මාර්ගෝපදේශයක් විය. නළු නිළියන්ගේ රැගුම් වැයුම් ඇති කළ සංකල්පය මුලින්ම ඇති කරනු ලැබුවේ සරසවිය වේදිකාව තුළිනි. සිනමා සාහිත්‍යය වෙනුවෙන් යාවජීව කළ සේවය උදෙසා ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන විශේෂිත සම්මානය සරසවිය සම්මාන උළෙළට හඳුන්වා දෙනු ලැබුවේ මා විසිනි.

රණපාල බෝධිනාගොඩ සිනමා සාහිත්‍ය සම්මානය ලෙසින් නම් කළ ඒ සම්මානයට එදා මුලින්ම උරුමකම් කීවේ සිනමා සාහිත්‍ය වෙනුවෙන් අනුපමේය සේවයක් කර තිබූ බෙනඩික් දොඩම්පේගම මහතාය. එතෙක් කලක් එවැනි සම්මානයක් සරසවිය සම්මාන උළෙලක ප්‍රදානය වී තිබුණේ නැත. එවැන්නක් මෙම උළෙලට ඇතුළක් කරලීමට ලැබීම පිළිබඳ මම අදත් සිතින් සතුටුවන වාර අනන්තය.

ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ කාලයේ සරසවිය සම්මානය සමඟ සම්මානලාභීන්ට මුදල් ත්‍යාගයක් පිරිනැමීමට යෝජනා විය. ඒ සඳහා මුදල් සොයා ගැනීමට දැන්වීම් ලබා ගැනීමේ පරමාර්ථයෙන් සිනමා තොරතුරු නළු නිළියන්ගේ ඡායාරූප ඇතුළත් සලරූ සරණිය නමින් පොතක් එළිදක්වනු ලැබීය. ඒ. ඩී. රංජිත්කුමාර සරසවියේ කර්තෘ සමයේ ඇරැඹි එම වාර්ෂික ග්‍රන්ථයේ සියලු කටයුතු මට පැවරුණේ ඔහුට තිබූ රාජකාරි කටයුතු බහුලකම නිසාමය. ඒ අනුව මා සලරූ සරණිය කීපයක්ම සරසවිය වෙනුවෙන් සහාය සංස්කරණ කටයුත්තේ නියැළුණෙමි.

මා පුවත්පත් කලාවේ නියැළෙන අතරවාරයේ රංගනයට ද දායක වීමි. එය මගේ විනෝදාංශයක් වූ බැවිනි. මා සරසවිය කර්තෘ ධූරයට පත්වීමත් සමඟ රංගනයෙන් ඈත් වී සිටියේ බාහිරයෙන් පැමිණෙන චෝදනාවන්ගෙන් ගැලවී සරසවියේ අභිමානය රැක ගැනීමටය. දළුගම චිත්‍රාගාරයේ එල්ලා ඇති නළු නිළියන්ගේ ඡායාරූප සියල්ල මා කර්තෘ ධූරය දැරූ කාලයේ සරසවිය අන්‍රග්‍රහයෙන් ලබා දුන් ඡායාරූපයන්ය.

මා සරසවිය මුල් පුටුව හොබවන අවධියේදී එහි පළ කළ සියලු ලිපිහි මා වඩාත් පරෙස්සම් වූයේ නළු නිළියන්ගේ ගෞරවය රකින ආකාරයේ ලිපි පළ කිරීමටය. ඔවුන් දෙස යතුරු සිදුරෙන් බලා ලියන ලිපි කිසි විටෙකත් පළ නොකළෙමි. අනවශ්‍ය ලෙස නළු නිළියන් පත්තරය හරහා පිම්බීමට උත්සාහ නොගත්තෙමි. මුද්දර ප්‍රමාණයේ චරිත කළ පිරිස්ගේ කවර කිසි විටෙකත් සරසවියේ පළ නොකළේ එයින් ප්‍රවීණ ශිල්පීන්ට කැලලක් වන බැවිනි.

අවර ගණයේ ලිපි සරසවියේ පළ කිරීමෙන් වැළකී සිටිමින් ද මාගේ සුඛවිවරණය සඳහා සරසවිය ආභරණයක් කර ගැනීමට ද කිසි විටෙකත් මම උත්සාහ නොගත්තෙමි. විවිධ දේශපාලන ඇඟිලි ගැසීම් , නළු නිළියන්ගේ ඉටු කිරීමට නොහැකි අභිමානයන් නිසා මට සරසවියේ තවදුරටත් කර්තෘ පදවිය දැරිම අපහසු කටයුත්තක් විය.

මෙවන් වාතාවරණයක් තුළ එම පුටුවේ තවදුරටත් රැඳී නොසිටීමේ වාතාවරණයක් ඇති විය. මට සරසවිය මුල් පිටුව අහිමි වූ පසුකලෙක ජනදාස පීරිස් මහතා ලේක්හවුස් ආයතනයේ සභාපතිතුමන් වූ විගස මට පැවසුවේ යළිත් වරක් සරසවියේ මුල් පුටුවට පැමිණෙන ලෙසය. ඒ වන විට සරසවිය තුළ තිබූ වතාවරණය එවැන්නකට සුදුසු නොවූ හෙයින් ඒ ආරාධනාව මම ප්‍රතික්ෂේප කරනු ලැබුවෙමි.

සරසවිය සම්මාන උළෙල නිමා වූ දාට පසුදින එවක ලෙක්හවුස් සභාපති වූ නලින් ලද්දුවහෙට්ටි මහතා මට කාර්යාලයට කැඳවීමක් කළේය.

සම්මාන උළෙල විශිෂ්ටයි. මගෙන් තමුසෙට මොනවද ඕනෙ?’ යැයි ඔහු විමසා සිටීය. බොහොම ස්තුතියි. මට මොනවත් ඕනෑ නෑ. පුළුවන් නම් සර් මම වෙනුවෙන් මගේ කර්තෘ මණ්ඩලයේ දැනට ස්ථිර නොවූ සේවකයන් තිදෙනක් ඉන්නවා. ඒ තුන්දෙනා ස්ථිර කරලා දෙන්න. මම ඉල්ලා සිටියෙමි. දිගු කලක් සරසවියේ සේවය කළ සුනිල් හොරේෂස් ද එවකට අලුත් පරපුරේ හේමාලි විජේරත්න, මනෝලි සුබසිංහ ද ලේක්හවුස් ස්ථිර සේවයට එක් වන්නේ එලෙසිනි.

සරසවිය සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ ගෞරවනීය සේවයට කෘතගුණ දැක්වීමක් වශයෙන් සමරු රන් පවුමකින් තිළිණ ලැබුවේ ද එම වසරේ පටන්ය. එයට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රමිති සහතිකයක් ද එක් වූයේය.

මගේ ලේක්හවුස් ජීවිතයට වසර තිස් එකක් විය. ඒ වසර තිස් එක තුළ මම විවිධ තනතුරු දරමින් විවිධ පුවත්පත්වල සේවය කළෙමි. නියෝජ්‍ය කර්තෘ, කර්තෘ, සම කර්තෘ ආදී බොහෝ තනතුරු දරමින් අවසානයේ කළමනාකරණ කර්තෘ දක්වා ගමනක් මම පැමිණියෙමි. ඒ අතරින් වසර දාහතක් සරසවියේ සාමාජිකයෙක් වුණෙමි.

වසර තිස් එකක කාලය තුළ මා සරසවිය දෙස බලා උන්නා පමණක් නොව සරසවිය සරසවියක් කරන්නට මගේ ජීවිතයෙන් කැප වුණෙමි. විවිධ වූ සුළි කුණාටුවලට හසුවෙමින් වසර ගණනක් පුරා සරසවිය පැමිණි ගමන් මඟ ගැන මා හැඬූ කඳුළෙන් පසු වූ අවස්ථා ද තිබිණි. අද සරසවිය සියලු අභියෝග ජය ගනිමින් සිය අඩසිය වසරේ සංවත්සරය සැමරීමට තරම් වාසනාවන්ත වීම ගැන මම අද සතුටු වන්නේ අතීත සැමරුම් සිහිපත් කරමිනි.

නළුවකුට හෝ නිළියකට සරසවියේ කවරයක් යනු හරියට රජකම ලැබුණා වැනි දෙයකි. මේ නිසාම ඔවුන් සීමා පවුරු බැඳගෙන හෝ මේ කිරුළ දරන්නට නොගන්නා උත්සාහයක් ද නැත. මා සරසවිය මුල් පුටුව හොබවන වකවානුවේ මේ සඳහා ඇතැමුන් දේශපාලඥයන්ගේ ලියුම් පවා රැගෙන මා වෙත පැමිණ බලපෑම් සිදු කරනු ලැබුවේ සරසවියේ කවරයක් දමා ගැනීමටය.

සරසවියේ කවරයක් පළ කිරීම පිළිබඳ එදා සිට කර්තෘ මණ්ඩලයේ මිනුම් දණ්ඩක් තිබිණි. එය කාටත් සාධාරණ ක්‍රමෝපායක් විය. දේශපාලඥයන්ගේ ලියුම්වලට හෝ දුරකථන ඇමතුම්වලට කිසි විටෙකත් සරසවියේ කවර දැමීමට මා පෙළඹුණේ නැත. සරසවියේ අභිමානය රැක ගැනීම සඳහා කශේරුකාව කෙළින් තබාගෙන මගේ අභිමතය පරිදි මම කටයුතු කරනු ලැබුවෙමි.