|
කුමරු සුරැකීමේ වගකීම පතිරාජ සෙනෙවිට 01
ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ ඓතිහාසික තිර නාටකය ඇසුරින් සරසවිය විශේෂයෙන් ගෙන එන සිරි පැරකුම්
දඹදෙණිය රාජධානිය කොටගෙන 13 වැනි සියවසේ රාජ්‍ය කළ නැම්බඹර,කලිකාල,සාහිත්‍ය,සංගීත,සර්වඥ දෙවන පරාක්‍රමබාහු රජතුමන්ගේ ළමා කාලය ආශ්‍රිතව ගෙතී ඇති ජනප්‍රවාද පාදක කර ගනිමින් ආචාර්ය සෝමරත්න දිසානායක විසින් ලියන ලද තිරනාටකය ආශ්‍රය කොට ලියැවෙන වෘතාන්තය අද සිට කොටස් වශයෙන් පළ වෙයි.
ඈත දූවිලි වලාවක් නැගෙමින් පැවතිණ. එය මතුයෙහි වේගයෙන් එන අසෙකුගේ කුර හඬ ඇසෙන්නට විය.ඈත ගම් දනව්වල වෙසෙන මිනිසුන්ට අසෙකු යන එන වග මෙදවස අමුත්තක් නොවීය.විජයබාහු රජ විසින් රාජධානිය කොටගත් කළ මේ ඉසව්ව වෙනදාට වඩා කලබල ගතියක් ඉසිලුවේය.වෙනදා නොදුටු අමුත්තන් රාජ පුරුෂයන් මෙන් නිතර ගැවෙසෙන්නට විය. පොළොන්නරුවේ මාඝ ආක්‍රමණිකයාට එරෙහිව විජයබා රජු ඇරඹි යුද්ධයේ නිමාවක් තවමත් නැත. සිංහල රජු රට පාලනය කළේ දඹදෙණිය සිය අලුත් අගනුවර කර ගනිමිනි. අසරුවා ආවේ බොහෝ දුර සිට වග පැහැදිලි නමුත් කවර කාරණයක් නිසාවෙන් දැයි කිසිවකු නොදත්තේය. එහෙත් ඔහු රජ වාසලේ කිසියම් කාර්යක් කරන්නෙකු බැව් නම් වටහා ගත හැක්කේය. ඔහු අවට වට පිටාවේ සීසාන මිනිසෙකු හෝ ගම්මානයක වෙසෙන ගෙවිලියක හෝ තමා ගේ වේගවත් ගමන ගැන අවධානයෙන් පසුවන බැව් හෙතෙම නොදත්තේය. එයට වඩා ඔහුගේ වගකීම ඉතා වැදගත්ය.හස්ති ශෛල පුර යුවරජු විසින් මහ රජු වෙත හදිසි පණිවිඩයක් යවන්නේ මේ අසරුවා ඔස්සේය. අසරුවාගෙන් වැසුණු දූවිල්ලෙන් මෑත් වන්නට සිතූ ගැමියෙක් එයින් පීඩා වට පත් නොවන්නට ඉවත බලා ගත්තේය.අසරුවා ඊළඟ වංගුවෙන් හැරුණේ ඊයක වේගයෙන්යැයි ගැමියාට සිතිණ. අසරුවාගේ ඉලක්කය වූයේ රජ ගෙදරය. රජ මාලිගාව අවට දැඩි රැකවල් ලා තිබිණ. අසරුවා තම වේගය මඳකුදු අඩු නොකොට ඉණ ගසා සිටි කොඩියක් ඉහළට එසෙව්වේය. ඒ සංඥාව මාලිගාවේ රැකවල්ලු හඳුනා ගත්හ. එබැවින් ඔවුන් මාලිගයේ දොරටුව විවර කරන්නට කල් මැරුවේ නැත. විවර වූ දොරින් ඇතුළු වූ අසරුවා ඒ වේගයෙන්ම මාලිගා බිමේ තිබූ පඩිපෙළ සමිපයටම ගියේය.ඔහු අසරුවා මතින් බිමට බට සැනින් එහි තෝන් ලනුව අල්ල ගත් වෙනත් රාජ පුරුෂයෙක් අසු එතැනින් ඉවත් කර ගත්තේය. ඒ පිළිබඳ සොයා බලන්නට කල් නොමැරූ අසරුවා මාලිගා පරිශ්‍රය වෙත ට පිය මැන්නේ වේගයෙනි. මේ දඹදෙණි රාජධානියයි. අනුරාධපුරයෙන් ඇරැඹි සිංහලේ අභිමානවත් රාජ වංශය වසර දහස් ගණනාවක්ම එහිම අඛණ්ඩව පැවැතියේය.අනුරාධපුර අහස සිඹින මහා ථූපයන් ද සාගර සදිසි වැව් ද ගොඩ නැගුණේ සාමාන්‍ය මිනිසුන්ගේ කැපවීමෙනි. වසර දහස් ගණනක් පැරණි එම ශිෂ්ටාචාරය වෙනත් රටවල ශිෂ්ටාචාරයන්ගේ මෙන් සිරකරුවන්ගේ සහ වහල්ලුන්ගේ රුධිරය මුසු නොවීය.ඒ එපුර රැජයූ මහ රජවරුන්ගේ නායකත්වයත් රටේ මිනිසුන්ගේ මහන්සියත් පෙර දැරි කොට ගෙනය.සාපරාධි රුධිරය නොමුසු හෙයින්දෝ අනුරාධපුර රාජධානිය ලොව දීර්ඝතම කාලයක් පැවැති අගනුවරයන්ගෙන් එකක් විය. එහෙත් ඇතැම් පාලකයන්ගේ දුර්වල ක්‍රියාකාරකම් නිසාවෙන් හෝ සදාකාලික කිසිවක් නැත යන ලෝකධර්මයට අනුකූලව හෝ පසු කලක අනුරාධපුරයද පිරිහිණ. විවිධ ආක්‍රමණිකයෝ රට සූරා කෑහ. රුහුණෙන් උපන් කීර්ති කුමාරයා විජයබාහු ලෙස මහා දරුණු සටනක යෙදී යළි සිංහලේ කිරුළ අත් පත් කර ගත්තේය. ඔහු අනුරාධපුර අතහැර පොළොන්නරුව අග නගරය බවට පත් කර ගත්තේය. තවත් වසර දෙසීයක් පමණ ගිය කළ මාඝ නම් කාලිංග දේශයෙන් පිවිසි ආක්‍රමණිකයා පොළොන්නරුව යට පත් කර ගත්තේය. ඔහු වෙහෙර විහාර සියල්ල ගිනි ලෑවේය. කුල දැරියන් දූෂණය කළේය. රටේ සියලු ධනය පැහැර ගත්තේය. නීතියක් එහි නොවීය. වසර ගණනාවක් ගොඩ නැගූ ශිෂ්ටාචාරය කැලෑ වදින්නට විය. බොහෝ ජනී ජනයා පණ බේරා ගන්නට රුහුණට හෝ මැද රටට පළා ගියහ. ඒ සමයේ රාජ වංශික ලේ ඇති තවත් කුමාරයකු බිහි විය. ඔහු ද විජයබාහු නම් විය. කුමරා සිංහල සේනාවන් එක් රැස් කර ගෙන මාඝ පළවා හැරීමේ සටනට මුළ පිරූවේය. විජයබාහු කුමාරයා සිය මුතුන් මිත්තන් මෙන් නොව අලුත්ම රාජධානියක් පිහිටුවාලූයේය. ඒ දඹදෙණියයි. අසරුවා ඇතුළු වූයේ දඹදෙණි මාලිගාවටය. ඒ වනවිට මාළිගාවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසන් වෙමින් පැවතිණ. විජයබාහු රජුගේ අග බිසව ද රජු අසලින් සිටියාය. තවමත් යොවුන් විය නොඉක්මවූ ඇය සුරූපි එකියකි. රජ මාලිගාවේ සේවකයන් බලා සිටියේ රජතුමන්ගේ ඊළඟ අණ කුමක් විය යුතුදැයි අනුමාන කරන්නටය. රාජ සබාවේ මැද කුඩා පරාක්‍රමබාහු කුමරු කෙළි දෙළෙන් පසු වූයේය. රාජ මාලිගාවේ ශ්‍රී විභූතිය ඔහුට වැදගත් වූයේ නැත. පිය රජතුමන්ගේ අතින් අල්ලා ගෙන ගමනක් යන්නට ඇත්නම් යැයි ඔහුට සිතුණ වාර අනන්තය. එහෙත් මේ නිදහසට කාලය නොවේ. පරාක්‍රමබාහුගේ විලාසය අග බිසවට ගේ සිතට ඇල්ලුවේ නැත. ඇය සේවිකාවකට කිසිවක් අණ කළාය. ඒ අණ ලද සැනින් අතුරුදහන් වූ සේවිකාව ඊළඟ වර සභා ගැබට පැමිණියේ කුඩා දරුවෙක් වඩා ගෙනයි. මාලිගාවේ තේජසින් මත් වූ නිසාදෝ සේවිකාව අත වූ දරුවා හඬන්නට පටන් ගත්තේය. “බිලිඳු කුමාරයා රාජ සභාවට කැඳවන්නේ ඇයි දේවිය‘ රජතුමා ඇසුවේ නොරිස්සුම් හඬකිනි. එහෙත් මේ තරුණ බිසවගේ බැල්මට රජුගේ දැඩි සිත බිඳී යන්නට වැඩි වේලාවක් යන්නේ නැත. “මහරජතුමන්.කිසියම් දිනෙක ඔබතුමාගේ ඇවෑමෙන් ඊළඟට සිහසුන හිමි විය යුතතේ මගේ වත්හිමි කුමාරයට යන වග රාජ සභාවේ ද සම්මත විය යුතුයි‘ ඇය පැවසුවාය. මේ වූ කලී මේ සුරූපි බිසවට දෙන ලද විශේෂ වරප්‍රසාදයක් විය. එහෙත් රජ පද විය හිමිවිය යුත්තේ චාරිත්‍රානුකුලව නම් වැඩිමහල්ලාටය. පරාක්‍රමබාහුටය. ඇය රජුගේ හිටපු අග බිසවගේ පුතණුවන්ය. රජු ඉතා ඇළුම් කළ ඇය සිය දරු ප්‍රසූතියේ දී මිය ගියාය. අන්තපුරයේ සිටි සෙසු රූමතියන් අබිබවා යෝනක ස්ත්‍රියක වත්හිමි ගේ මෑණියන්ට අග බිසෝ පදවිය හිමි වූයේ එයින් පසුවය. තමන්ට රජුගෙන් ලැබුණු පුත් කුමරු ට කෙසේ හෝ රජ පදවිය ලබා ගැනීම ඇයගේ කැමැත්ත විය. අග බිසව තනතුරින් පසු රාජ මාතාව වන්නට ඇය ඉතා කැමැතිය. එයට එකම බාධාව නම් පරාක්‍රමබාහුය. එහෙත් මේ තම කැමැත්ත ඉෂ්ට කරන්නට හොඳම වේලාවයි. තම බැල්මෙන් ගැලවී යන්නට රජුට නොහැකි බැව් ඇය දන්නීය. ‘මා එසේ කිරීමට බිසවට පොරොන්දු වී හමාරයි. එය රාජ සභාවේ සම්මත විය යුතුයි.“ රජු පැවසුවේ එයට විරුද්ධ වන්නට නොහැකි වගක් පළ කරණ නියායෙනි. ඇමැතිවරු කිසිවෙකු හෝ වචනයක් හෝ පැවසුවේ නැත.රජු මුළු සබා ගැබ සිසාරා ඇස යැව්වේය. කාලිංග මාඝ හා යුද වදින්නට තරම් ප්‍රමාණවත් ව ඇත්තේ තමන්ගේ මේ පෞරුෂය බැව් විජයබාහු දැන සිටියේය. මේ වනතෙක් ඉතිහාසයේ දැවැන්තම යුද්ධය ගෙන ගියේ වසර දෙසීයකට පමණ එපිට පොළොන්නරුව ගොඩ නැංවූ මුල්ම විජයබාහු බව රජු දැන සිටියේය. තමා සිංහල රාජ වංශයේ විජයබාහු නම් ලද තුන් වැන්නාය. එහෙත් තමන් මේ වනතෙක් සාර්ථකව සටන් වැදුණේ ඉතිහාසයේ දරුණුතම ආක්‍රමණිකයාට එරෙහිවය. එහෙත් වචනයකින් හෝ තම පොරොන්දුව කැඩීම රජ පදවියට සුදුසු නොවේ. ඇරත් මේ ගැහැනිය හමුවේ තමන්ගේ සියලු උපායන් දිය වන වගක් රජුට හැඟී ගියේය. නිහැඬියාව බිඳීමින් පුරෝහිත කතා කළේය. ‘සමාවන සේක්වා.දේවයන් වහන්ස. රාජ සම්මතය අනුව ඊළඟට රජකම හිමි වියයුත්තේ ඔබතුමාගේ දෙටු පුත් පරාක්‍රමබාහු කුමාරයාට’ රජු කතා කරන්නට පෙරාතුව බිසව කතා කරන්නට පටන් ගත්තාය. ‘නක්ෂත්‍රය අනුව පරාක්‍රමබාහු කුමාරයා ඉපදී ඇත්තේ ඉතා අසුභ නැකතකින්. ඔබතුමා මටත් වඩා ප්‍රිය කළ පළමු අග බිසව කුමාරයාගේ මෑණියන් මිය ගියේ කුමාරයාගේ අශුභ දශාව නිසයි.ඒ නිසා ඔබතුමා මට කලින් පොරොන්දු වුණ ආකාරයටම...’ එහෙත් ඇයට කතාව අවසන් කරන්නට ඉඩ ලැබුණේ නැත.බෙර හඬක් සමඟ රජු එදෙස බැලුවේය.ඒ සංඥාව අමුත්තකු පැමිණ වග දැන්වීමටය.අසරුවා පැමිණ සිටින්නේ රජු හමුවීමටය. ‘මාඝ ගේ බල සේනා ඔබ වහන්සේගේ අණසක යටතේ ඇති නැගෙනහිර සියළු ගම් දනව් වනසමින් ආක්‍රමණය කරන වග පණිවිඩයේ සඳහන් විය. ‘මේ රටට මේ සියලු අපල උපද්‍රව මේ කුමාරයාගේ අසුභ දසාව නිසා’ අග බිසව යළිත් කතා කරන්නට තැත් කළාය.මේ කතාව ඇයගේ මුවින් රජු නිතරම අසා තියෙන්නකි. එහෙත් එවර රජු ඇය නතර කළේය. ‘මාඝගේ සේනාව තව නොබෝ දිනකින් දඹදෙණි මාලිගා දොරටුව අසලට පැමිණෙයි.අග බිසව් වත්හිමි කුමාරයා එක්ක සිරි යහනේ විවේක ගත්තොත් හොඳයි’ රජු ගේ අණ ඉදිරියේ තවත් වචනයක් කියන්නට බිසව එඩිතර නොවූවාය.අනතුරුව රජු මහ ඇමැති දෙසට හැරුණේය. ‘උත්තර සහ දක්ෂිණ සේනාංක ද්විත්වයෙන්ම ආරක්ෂාවට හේවායින් ඉතිරි කර,අන් සියලු භට පිරිස් යොදවා හෙට උදේ හිරු උදාවට පෙර පිටත්ව යායුතුයි,.මම ද ඒ සමඟ පිටත්ව යායුතුයි.තොපත් මා සමඟ යා යුතුයි.’ රජ අණ දුන්නේය.මහ ඇමැති හිස සැලුවේය.මේ වයසට තමන් යුද්ධයට යනවාට වඩා සුදුසු ගෙදර සිටීම යැයි ඔහු උපකල්පනය කළා විය යුතුය. මාලිගාවේ කොනක පතිරාජ සෙනෙවි බලා උන්නේය. උත්තුංග දේහධාරි මේ තරුණයා පිළිබඳ රජු සිටියේ දැඩි අවධානයෙනි. ඉඩක් ලදොත් යුදයට යන්නට ඔහු සිටින්නේ කැමැත්තෙන් බැව් රජු හොඳීන් දැන සිටියේය. ‘පතිරාජ,තොප මාලිගාවේ රැඳී පරාක්‍රමබාහු කුමාරයා හොඳීන් රැක බලා ගත යුතුයි. කුමාරයාගේ ආරක්ෂාව තොපගේ ප්‍රධාන රාජකාරියයි.’ පතිරාජ කුමාරයා ළඟට ගියේය.කුමාරයා මේ තරුණ සෙනෙවියාට බෙහෙවින් ආදරය කළේය. ඔහු වහා පතිරාජගේ අතින් අල්ලා ගත්තේය. දැන් පතිරාජගේ අතේ එල්ලී රාජ සභාවෙන් එළියට යන්නට වරම් ලැබී ඇති වග ඔහුට සිතිණ. මහළු පුරෝහිත බලා සිටිනුයේ තමන්ට රජු ගෙන පැවරෙන කාරිය ගැනය.“ ‘වයොවෘද්ධ තොප සටන් බිමට යෑමෙන් පලක් නැහැ. පුරෝහිත“ රජු පුරෝහිතට පැවසුවේ තමන් සමඟ රාජ සබාවෙන් නික්ම එන ලෙස සංඥා කරමිනි. පුරෝහිත එයට කීකරු වී රජුට පිටුපසින් ගමන් කළේය. ‘මාලිගාවේ කටයුතු ගැන හොඳ අවබෝධයෙන් සිටිය යුතුයි.මා නැති අතර නපුංසක ආරක්ෂක භටයන් ට අමතරව අන්තඞපුරයට ඇතුළු විය හැක්කේ තොපට පමණි.’ පුරෝහිත එය හිස් මුදුනින් පිළි ගත්තේය. යුද්ධයට යාමට පෙරාතුව අන්තඞපුර සියලු බිසෝවරුන් අමතා යන්නට වුවමනා යැයි රජු කල්පනා කළේය.ඔහු සිය බිසෝවරුන් සියල්ල කැඳවන්නට යැයි පුරෝහිතට පැවසුවේ එහෙයිනි.තවත් රාජ පුරුෂයෙකු රජතුම බැහැ දකින්න පැමිණියේ මේ අතරදීමය. ‘දඹදෙනි විහාරයේ මහා සංඝනායක හාමුදුරුවෝ වැඩම කරල ඉන්නවා.ඔබ වහන්සේ බැහැ දකින්නට.’ ‘කාරණාව‘ රජු විතාළේය. ‘කාරණාව දන්නේ නැහැ.ඔබතුමන් බැහැ දකින්නට අවශ්‍ය බවයි උන් වහන්සේ පවසන්නේ’ රජතුමා මොහොතක් කල්පනා කළේය. ‘උන් වහන්සේ ට පුද සත්කාර කොට රාජ භෝජනයෙන් දානය පිළි ගන්නවා රජතුමා යුද්ධයට යන වග සැළකර සිටිනු.මා උන් වහන්සේ බැහැ දකින්නට පැමිණෙන වගත් පවසව‘ අන්තඞපුරයේ සියලු බිසෝවරු රැස්ව සිටියහ.රජතුමා ඒ එකිනෙකා සමඟ වෙන වෙනමම කතා කරන්නට ගියේ නැත. උන් සියල්ලම එක්වර අමතන්නට පටන් ගත්තේය. ‘මම සටන් බිමට යන්නෙමි.මාඝ දරුණු ආක්‍රමණිකයෙක්.මෙය මාරාන්තික සටනක්.’ බිසෝවරුන් අතරින් කසුකුසුවක් පැන නැඟිණ. ඒඅතරින් වඩා රජුගේ අවධානය දිනා ගන්නට සමත් වූ එකියකැයි අනුමාන කළ හැකි බිසවක් ඉදිරිපත් වූවාය. ‘චතුරංගනී සේනාව සටනට යවා ඔබ වහන්සේ මාලිගාවේ සිට අණ දුන්නොත් මදි ද? ඇය ඇසුවාය.බිසෝවරුන්ගේ මුණු මුණුව වැඩි වෙන්නට පටන් ගති. මේ සියලු දෙනාගේම මුහුණුවල ඇත්තේ බියකි. ‘සේනාව සටනට යවා මාලිගාවේ සිට අණ දීම සිංහල රාජ වංශයේ පිළිවෙත නොවේ.කුමරිය.සටනේ ජය පරාජය මම තොපට සංඥාකරුවකු මගින් දැනුම් දෙන්නෙමි.මා ජයග්‍රහණය කළහොත් සංඥාකරු ශ්වේත වර්ණ ධජයක් ඔසවා ගෙන පැමිණෙනු ඇත.පරාජය වුවහොත් ඔහු ගෙනෙන්නේ කාල වර්ණ ධජයක්.එසේ වුවහොත් තොපගේ මහ රජු යළි එන්නේ නැත’ බිසෝවරු තුෂ්නිම්භූත වූහ. රජු සිය බිසෝවරුන්ගේ මුහුණු දෙස බලා උන්නේය. ‘එහෙම උණොත් අපට යන කල දසාව’ එකියක ඇසුවාය. ‘රටට සිදුවන දේමයි’ ‘ඔබ වහන්සේ එසේ නොපැමිණියොත් අප මේ පර්වතයෙන් පැණ දිවි නසා ගන්නවා’ තවත් බිසවක කීවාය. රජු ගේ ස්වරය වෙනස් විය. ‘පරාජය වුවහොත් සතුරා අතින් දස වද විඳීන වාට වඩා දිවි නසා ගැනීම හොඳයි. නමුත් කුමාරිකාවනි තොපට කිසි විටෙක එවන් ඉරණමක් අත් වන්නේ නැහැ.’ රජු ගේ මුවඟ සිනවක් නැඟ එමින් තිබිණ. ඔහුගේ ඇස් අබිමානයෙන් දිළිසිණ. ‘මේ යුද්ධයෙන් මම නිසැකවම ජය ලබමි.’ රජු පැවසුවේ තීරණාත්මක හඬකිනි.ඒ වචන පෙළ බිසෝවරුන්ගේ සිතට ධෛර්යය ගෙන දුන්නේය.ඔහු අනතුරුව අග බිසව වෙත හැරුණේය. ‘අග බිසව, පුරෝහිත සහ පතිරාජ සෙනෙවි මාලිගාවේ නවතිනු ඇති. ඉවසීමෙන් සහ සිහි බුද්ධියෙන් කල් ගෙවනු’ කුමාරිකාවෝ තුෂ්නිම්භූත ව බලා උන්නහ. විජයබා රජු අන්තඞපුරයේ අග බිසවගේ කුටියට ඇතුළු වූයේය. වත්හිමි කුමරු සුව පහසු තොටිල්ලක නිදි සුවයෙන් පසුවනු දුටු රජු බැලුවේ අප්‍රමාණ සතුටිනි. අග බිසව රජු පාමුළ වැටුණාය. වහා පහත් වූ රජු ඇය තුරුළු කොට ගත්තේය. ‘මට තවත් ප්‍රමාද වන්නට බැහැ. දේවිය. ආරක්ෂාව වෙනුවෙන් පතිරාජ සෙනවි මාළිගාවේ ඉන්නවා’ ‘පතිරාජ හොඳ සටන් සෙනෙවියෙක්. ඔහු සටන් පෙරමුණට ගෙන ගියා නම්’ අග බිසව යෝජනා කළාය. රජ බිසව හෝ කිසිවකු ගෙනෙන යෝජනා ප්‍රතික්ෂේප කිරීම රජුගේ සිරිත වූයේය. ‘නැහැ.ඔහු මෙහි නැවතිය යුතුයි’ බිසව නිදන වත්හිමි කුමරු වඩා ගත්තා ය. කුමරු ගේ හිස පිරිමැදි රජු මාලිගාවෙන් පිටව ඵළියට බටුයේය. පරාක්‍රමබාහු කුමාරයා මාලිගා මිදුලේ කෙළි දෙළෙන් පසු වූයේය. ඔහුගේ හොඳම මිතුරාව සිටිනුයේ ඇත් පැටවෙකි. වනාන්තරයේ තනිව සිටි මේ ඇත් පැටවා රජුට සොයා දුන්නේ අනුරපුර ගම් වැසියෙකි. “අපේ දුටු ගැමුණු රජ්ජුරුවන්ට වගෙ කවදා හරි දවසක මේ ඇතාත් ඔබ වහන්සේට යුද්දෙට ඕනෑ වේවි“ගැමියා ඇත් පැටවා මාළිගයට බාර දෙන ගමන් පැවසුවේය. ඇත් පැටවා දුටු අලි වෙද්දු උගේ දේහ ලක්ෂණ විමසා බලා ඔහු මඟුල් ඇතු වන්නට සුදුසු වන්නේ යැයි කියා පෑවේය. ඇත් පැටියාට කණ්ඩුලයැයි නම් තැබුවේ රජතුමාය. දුටු ගැමුණු රජ දවස රජු හා යුදයට ගිය මඟුල් ඇතුගේ නම තම රාජධානියේ අනාගත මඟුල් ඇතුගේ නම වීම වැදගත් යැයි රජු කල්පනා කළේය. රාජකීය ඔටුන්නට වඩා පරාක්‍රමබාහු වනාන්තරයට කැමැති බැව් රජු දැන උන්නේය. මේ සුරතල් කුමරු තමා වෙත තිළිණ කළ දවසේම මෙලොව හැරගිය සිය අග බිසව කලිකාල සරස්වතී ගැන ඔහුට සිහිවිණ. කුමරු වැදූ පසු ඇය බේරා ගන්නට රාජකීය වෙදාටත් නොහැකි විණ. ඒ වෙනුවෙන් රජු කම්පා වූ වාර අනන්තය. ඇය ගෙනා ආයුෂ එපමණයි යනුවෙන් අන්තිමට රජු සිත සදා ගත්තේය. එහෙත් ඇය තමන්ට තිළිණ දුන් මේ කුමරු මහා බලසම්පන්න එකෙක් බැව් රජු දැන උන්නේය. ‘මේ මගේ හොදම යාළුවා. කණ්ඩුල ගේ යාළුවා කවුද? කුමරු විතාළේය. තම ස්වාමියාගේ බස වැටහුණාක් මෙන් කණ්ඩුල කුංචනාද කළේය.තම පිය රජු එනු දුටු පරාක්‍රමබාහු සෙල්ලම අත හැර තාත්තා වෙත දිව ගියේය. ‘පිය රජ තුමනි. ඔබ තුමා සතුරන් සමඟ සටනට යන්නේ නම් මාත් කණ්ඩුලත් රැගෙන යන්න. අපි සතුරා පරාජය කරමු’ ළමා බස් ඇසුණු රජු කුමරු වඩා ගත්තේය. 'මගේ ලෙයින් සැදුණු තොප දක්ෂයකු වීම අරුමයක් නොවේ. මා ඔබට පරාක්‍රමබාහු යැයි නම තැබුයේ එහෙයිනි,මගේ පුතණුවනි.ඔබ ලංකාදීපයට වඩා අවශ්‍ය අදට නොවේ හෙට, රජු හීන් හඩින් පැවසුවේය. පතිරාජ සිටියේ රජු සමීපයේය. අවට කිසිවෙකු නැති වග රජු ගේ බැල්මට හමුවිය. ‘පිටතින් විතරක් නෙවේ. මාළිගය ඇතුළේ උපද්‍රවවලිනුත් කුමාරයා ආරක්ෂා කර ගැනීම ඔබගේ වගකීම’ ‘මම සොඳීන් දනිමි. රජතුමනි’ පතිරාජ පැවසුවේය. රජු පැරකුම් ගේ හිස සිප ඔහු පතිරාජ වෙත යොමු කළේය.
යුදට යන රජුගේ ඉරණම කුමක් වේද? ලබන සතියේ... |