වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අරුම පුදුම රෝද 4

අරුම පුදුම රෝද 4

සෑම මාසයකම පළමුවන සහ තෙවන ඉරුදින රාත්‍රී 9.00 ට ජාතික රූපවාහිනිියෙන් විකාශය වනුයේ රටක් වසඟයට පත් කළ වැඩසටහනක්. ඒකෙ නම ‘අරුම පුදුම රෝද හතර’ මෙරට සෑම තරාතිරමකම ප්‍රේක්ෂකයන් අතරේ කතාබහට ලක් වී ඇති ඒ හුදෙක්ම සඟරාමය වැඩසටහනක් පමණක්ම නොවෙයි.

නෙතඟින් බලා සවනින් අසා මනසේ යමක් ඉතිරි නොකර විකාශය වන බහුතරයක් වැඩසටහන් මධ්‍යයේ අරුම පුදුම රෝද හතර කැපී පෙනෙන්නේ ප්‍රේක්ෂකයන්ට හිතන්නට වැදගත් දෙයක් ඉතිරි කරන නිසයි. එමෙන්ම මෙය ඉතා ආදර්ශවත් වැඩසටහනක් බවයි බොහෝ දෙනා කියා සිටින්නේ.

මේ කරුණු කාරණා මත අප හිතුවා අරුම පුදුම රෝද හතර ගැන ලිපියක් සකසන්න. ඒ සඳහා විස්තර ලබා ගන්න එහි නිෂ්පාදකවරුන් දෙපොළ වන චන්දන සෙනවිරත්නත්, නාමල් සිදත් සූරිය බණ්ඩාරටත් අප කතා කළා. ඔවුන් ‘අරුම පුදුම රෝද හතර’ ගැන දන්න තොරතුරුවලට වඩා නොදත් විස්තර’සරසවිය’ සමඟ බෙදා ගත්තේ මේ අයුරිනුයි.

පළමුව හඬ අවදි කළේ චන්දනයි.

කොහොමද අරුම පුදුම රෝද හතර ආරම්භ වන්නේ?

කාලයක් තිස්සේ ජාතික නාලිකාවට සඟරාමය වැඩසටහන් හිඟයක් තිබුණා. මට දැණෙන විදිහට අවසානයට එවන් වූ වැඩසටහනකට තිබුණේ හේමනලීන් ඉදිරිපත් කළ 9.05 පමණයි. මං ඒකටත් සම්බන්ධ වෙලා හිටියා. ඔන්න එක්තරා දවසක අපේ වත්මන් සභාපති මොහාන් සමරනායක මහතා මට කතා කළා.

සඟරාමය වැඩසටහනක ඇති අවශ්‍යතාව ගැන කිව්වා. ඒ ගැන සිතමිනුයි අපි මෙය ඇරැඹියේ. මේක පෙර නොවූ විරූ වැඩසටහනක්. ඒ වගේම ධනාත්මක චින්තනය, පරෝපකාරය වැනි මහගු ගුණාංග මෙමඟින් ප්‍රේක්ෂකයාට දායාද කරනවා. ඒකයි ඉතාම ඉක්මනින් මෙය ජනප්‍රිය වුණේ.

මේ සඳහා වාහනයක් යොදා ගත්තේ මොන හේතුවක් මතද?

ඒක සිද්ධ වුණේ මෙහෙමයි. හුදෙක්ම මෙහි නිවේදකයා තැන තැන යනවාට වැඩිය වාහනයක් තිබුණා නම් තවත් රසවත් වේවි කියලා හිතුණා. ඒ ගැන සලකලා තමයි ගයා රම්‍ය අල්විස් මෙම වැඩසටහනට ‘අරුම පුදුම රෝද හතර’ යන නම පවා තිබ්බේ.

මුල් වැඩසටහන් කිහිපයකදී ඔබලා ඇත්තම මොරිස් මයිනර් රථයකුයි මෙයට යොදා ගත්තේ. අනතුරුව ආකෘතිමය රථයක් මගින් වැඩසටහන ඉදිරියට ගෙන ගියා.

ඇත්ත රථය ඉවත්වීම පිටුපස බොහොම රසවත් කතාවක් තියනවා නේද?

ඒ කතාව නම් මතක් කරන්න මතක් කරන්න අපිටත් හිනා යනවා. ඔන්න මේ වැඩේට හරියන පරණ මොරිස් මයිනර් එකක් පිටකෝට්ටේ පැත්තෙ තියනවා කියලා ආරංචි වුණා. එතනට ගියාම ඒක වැඩේට ඕකේ. අයිතිකරුවා වාහනේ ගැන ලොකු පංපෝරියක් ගැහුව්වා. ඒකත් අහගෙන ඉඳලා අපි වාහනේ අරගෙන ආවා. යන්න හම්බුණේ ටික දුරයි. රාජගිරියෙ හරියෙදි වාහනේ මඟ හිටියා.

දන්න ශිල්ප ඔක්කොම දාලා ඒක ස්ටාට් කරන්න හැදුවට උත්සාහය අසාර්ථකයි. ගරාජ් ගානේ ගෙනියන්නත් වෙලාවක් තිබුණේ නැහැ. බැරිම තැන මමයි, නාමලුයි තවත් කිහිප දෙනෙකු යි එකතුªවෙලා ඒක රාජගිරියේ ඉඳලා රූපවාහිනි සංස්ථාව වෙනකම් කිලෝ මිටර් හයක් විතර තල්ලු කරගෙන ආවා. දැන් අපිට හොඳ ගණන්.

ඊට පසුව එය යොදාගෙන රූගත කිරීම පටන් ගන්න හැදුවා. නිවේදනය කරන ටායා ඩයස් ඒකට නැග්ගා විතරයි තඩි මීයො තුන්දෙනෙක් ඒකෙන් එළියට පැන්නා. ඒ කතාවත් පැත්තකින් තියමුකෝ. අන්තිමේට අපිට වාහනයේ සියලු දෝෂ නිරාකරණය කරන්නත් සිද්ධ වුණා. එය යොදාගෙන වැඩසටහනක් දෙකක් රූගත කළා. ඊට පස්සේ අයිතිකාරයාවත් නොදන්න දෝෂ රැසකට පිළියම් යොදලයි වාහනේ බාර දුන්නේ. බුදු අම්මෝ එයින් පස්සේ ඒක ගත්තේ නැහැ. නිශාන්ත අලුත්ගංගොඩ සහ ගාමිණී අමරසිංහ යන දෙපොළ අප වෙනුවෙන්ම ආකෘතියක් හැදුවා.

අරුම පුදුම රෝද හතර තුළින් සමාජය හදන මෙහෙවරක් සිදුවන බව පෙනෙන්නට තියනවා?

සත්තකින්ම අපටත් අවශ්‍ය ඒක තමයි. මෙහි අමුතුª අමුතු සිදුවීම්, පුද්ගලයන් වගේම සමාජයේ සිදුවන නොමනා ක්‍රියා කලාපයන් ද පෙන්වනවා. සමහර ඒවා ඇත්තටම එවලේම රූගත කරපුවා. එහෙම කරන්නට බැරි සිදුවීම් අප අසා දැනගෙන ආදේශක නළු නිළියන් යොදා යළි රූපගත කරනවා. හොඳම උදාහරණය නුගේගොඩ ගුවන් පාලම උඩ සිට පහළ බස් රථ විනය විරෝධීව ධාවනය වන අන්දම පෙන් වූ වැඩසටහන.

එයින් පසුව එතැන එහෙම සිද්ධ වුණේ නැතිලු. ඒ වගේම එක්තරා රසායනාගාරයක පරීක්ෂකවරයකු තමන්ගේ පර්ස් එක පසෙකින් තියනවා. ඒක එතැනට එන වයසක කතක් හොරකම් කරනවා. ඇය තම සේවයට මුදල් ගෙවන්නේද අර හොරකම් කරගත්තුª පර්ස් එකෙන්. සැඟවෙච්ච කැමරාවකිනුයි එය රූගත කොට තිබුණේ. අපට ඕන මේවා පෙන්නුවට පස්සෙ මෙවන් වූ අකටයුතුකම් නිමා කරන්න.

අරුම පුදුම රෝද හතරෙන් රට වටා යද්දී අරුම පුදුම මිනිසුන්ව ඔබලාට හමුවනවා ඇති. එවන් වූ කිහිප දෙනෙකු ගැන පවසමුද?

මා මෙතෙක් නිහඬව සිටි නාමල්ගෙනුයි ඒ පැනය ඇහැව්වේ.

අපි ලක්ෂපානේ ගිය වෙලාවක රා මදින මනුස්සයෙක් මුණ ගැහුණා. ඔහු නිවසට විදුලිය අරන් තියෙන්නේ ළඟ ඇති දිය පාරකට ඩයිිනමෝවක් හයි කරලා. ඔහුට විදුලි බිල ගැන කිසිම ප්‍රශ්නයක් නැති බව අපිත් එක්ක කිව්වේ හිනාවෙවී. ඒ වගේම නිවසත් වයරිං කරගෙන තියෙන්නෙ ඔහු විසින්මයි. මෙවන් වූ පුද්ගලයකුගේ තාක්ෂණය ගැන අපිට හරිම පුදුමයි.

නයි අල්ලන උපකරණයක් නිපද වූ මිනිසකුª ගැන අහන්න ලැබුණා. ඔහු විසින්ම අප වෙත සකසා එවූ වීඩියෝවකිනුයි ඔහුව රටට හඳුන්වා දුන්නේ. ඊට පස්සේ ඔහුට වෙන රාජකාරියක් කරගන්න බැරි වුණාලු. ඒ තරමටම නයි අල්ලන්න ඕඩර් ඇවිත්.

මෝටර් බයිසිකලයකින් වැඩකිඩ පෙන්වන කොලු ගැටයෙක් ඉන්නවා කියලා ආරංචියට අපි ගියා. ඔහුගේ දස්කම් විස්මිතයි. ඔහුට පුළුවන් පැයට කිලෝ මිටර් හැටක විතර වේගයෙන් බයිසිකලයක් පදවන ගමන් ආසනයේ පිටුපසට හිමින් ඇවිත් බිමට බහින්න. ඒවා බලද්දී අපේ ඇඟේ මවිලුත් කෙළින් වුණා.

අරුම පුදුම රෝද හතරේ කණ්ඩායම වඩාත් සංවේදී වූ අවස්ථාවන් මතක් කළොත්?

පල්ලියගොඩැල්ල ගම්මානයේ වගා ළදකට තුන්පත් රෑණක් වැටිලා. ගමේ මිනිස්සු කරන්නේ ඔවුන්ව ගොඩ ගන්න එක පසෙකලා නැටිවල කෙඳි ගලවන එක. ඉතින් මහ අලි දෙන්නත් ඒ වේදනාවල් ඉවසාගන පුංචි එකාව ආරක්ෂා කරනවා.

ඒක තමා අපිව වඩාත් සංවේදී කළ සිද්ධිය. තම එකක් තිබුණා. මුව පොව්වකු මද්දකට අහුවෙලා වේදනා විඳිනවා. ඒක දැකපු ගොඩක් අය සවේදී වුණා. මුවාව අපි මද්දෙන් ගැලෙව්වා.

මෙම වැඩසටහන ගැනම තවත් යමක් පවසමින්ම මේ කතාව අවසන් කරමු?

චන්දන, මෙහි නිෂ්පාදකවරයකු පමණක් නෙවෙයි. ඔහු තමයි රූපවාහිනියේ වාර්තා වැඩසටහන් අංශයේ සහකාර අධ්‍යක්ෂ. ඔහු මේ සඳහා අසීමිත දායකත්වයක් සපයනවා. එමෙන්ම මෙය ඉදිරිපත් කරන ටායා.

ඔහුට පරිසරය පිළිබඳ පුදුම දැනුමක් තියෙන්නේ. සමහර වීඩියෝ ඔහුගේ ඒවා. වැඩසටහන අතරතුරදි පුංචි මැජික් එකක් පෙන්වනවා. ඒක කරන්නේ සම්බුද්ධික රත්නායක. මේ වනවිට ‘අරුම පුදුම රෝද හතර’ ඉතා හොඳින් ධාවනය වෙමින් රේටීන්ස්වලින් ලැබෙන ප්‍රතිචාර අතර ඉහළම තැනක තියනවා කියලා කියන්න පුළුවන්.