වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ චාපා ද මේ චාපාද හැර තවත් චාපා කෙනෙක්...

ඒ චාපා ද මේ චාපාද හැර තවත් චාපා කෙනෙක්...

නලින්ද පේ‍්‍රමරත්න

චාපා කොළඹ නගරයේ ජීවත් වූ පාසල් යන වයසේ යුවතියක්.වෙනදාටත් වඩා කලින් එදා අම්මයි තාත්තයි ගෙදර ආවා. ඔවුන් දෙදෙනාම කලබල කාරියි. දවස තිස්සේම කන්තෝරුවෙන් පිට ලෝකයක් නැති තරම්. චාපා බලා සිටියේ පන්තියේ පැවරුම් වලට අම්මාගෙන් හරි තාත්තාගෙන් හරි උදව් ඉල්ලා ගන්න.ඒත් අම්මාටත් තාත්තාටත් ඒසඳහා කාලයක් කලින් ආපු දවසේවත් ඉතිරිව තිබුණේ නැහැ.

තාත්තා හිටියේ හෑන්ඩ් ෆෝන් එකේ. අම්මා හැදුවේ වෙනදා වගේම කඩෙන් කෑම ගේන්න. බහින් බස් විම කෙළවර වුණේ තාත්තා වෙනදා වගේම යාළුවන්ට සෙට් වෙන්න ගිය එකෙන්. පැවරුම් ඉවර කරන්න යාළුවෙකුගේ උදව් ඉල්ලන්න හිටියත් ඒ යාලුවා කිව්වේ දැන් ඇය නිදි කියලයි. ඉතින් වෙනදා වගේම ඇයගේ තනියට ආවේ ඉන්ටර්නෙට් එකෙන් චැට් කරන යාලුවා ඉමේෂ් අය්යා.

පහුවදා චාපා පාසල් ගියේ පැවරුම් කරන්නේ නැතිව. ඇගේ එක් යෙහෙළියක් නම් ඇයව පාසලට ගෙනියන්න හැදුවත් අනිත් යාළුවා නම් හැදුවේ කොහේ හරි රවුමක් යන්න. හැබැයි ඒක වැළකුනේ ඒ වෙලාවේ ආපු ශිෂ්‍ය නායිකාව යාලුවාගේ ගවුම කොටයි කියලා පෙන්වපු හින්දා යාළුවාට උන් හිටි තැන් නැතිව පැන ගිය එකෙන්.ඒත් හරියටම මෙතනට ඉමේෂ් අය්යා ආවා. කොහොම හරි එදා ඉමේෂ් චාපාව රැගෙන ගියේ අනිත් යාළුවාත් තරමක් බය කරලා.

ඒ ගියේ යාළුවෙකුගේ ගෙදරට.ඒ යාළුවාට චාපා මතක තිබණේ පන්ති බහින කෑල්ලක් හැටියට. හැබැයි ගෙදර ඉමේෂ්ට දීලා මිනිහත් එතනින් ගියා. ඉමේෂ් චාපාව ළඟට අරන් පින්තූර ටිකක් ගත්තා.තමන්ගේ ෆෝන් එකෙන්. මේ පින්තූර ටික ඉන්ටර්නෙට් එකට එහෙම දාන්නේ නෑ කියලයි මිනිහා කිව්වේ. තමන්ට වුවමනා විධියට කටයුතු සිද්ධ කර ගන්න පුරුදු වෙච්ච ඉමේෂ් ට එතැනින් එහාට අවශ්‍ය දේ කර ගන්න එක එච්චර ප්‍රශ්නයක් වුණේ නැහැ.

මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර අදහස් දක්වමින්

එතැනින් එහාට චාපාගේ අම්මා තාත්තා නැති අතරේ ගෙදරට ඇවිත් යන එකත් ඒතරම් ප්‍රශ්ණයක් වුණේ නැහැ.පස්සේ චාපා බය කරලා ඇයගේ ගෙදරටත් මිනිහා ආවා ගියා. කොහොම වුනත් රටටම රහසක් නොවුණු මේ සම්බන්ධය අනතිමට අම්මා දැන ගන්නා කොට චාපා ගැබිනියක්. එතකොට තමයි ඒ වන කොටත් චාපා ගැන වගක් නැතිව හිටිය අය්යටත් චාපාගෙන් පවුලට වුණ අවනම්බුව මතක් වුනේ.

මෙන්න මේ වගේ කතාවක් ඇතුළත් නාට්‍යයක් පසුගිය දවසක මට නරඹන්නට ලැබුණා.ඒ නාට්‍යය නිර්මාණය කළේ නලින්ද ප්‍රේමරත්න. නලින්ද මේ නාට්‍යය රඟ දැක්වූවේ බම්බලපිටිය මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විදුහලේ දී. නලින්ද මුල් කොට ගත් ඇක්ට් 4 කියන නාට්‍ය කණ්ඩායම මගින් මෙහෙයවපු මේ නාට්‍ය ෆෝරම් තියටර් නාට්‍යය ක්‍රමය හොඳීන් උපයෝගි කර ගත අවස්ථාවක්.

මේ නාට්‍ය හරහා වේදිකාව සහ ප්‍රේක්ෂකයා ඇතුළු සම්බන්ධයක් ගොඩ නගමින් එය කදිමට සමාජ සංවර්ධනය සඳහා භාවිතා කරන අවස්ථාවක්. නලින්ද ගේ මේ නාට්‍යයයට නම තිබුණේ say no to child abuse යන තේමාවයි. ඇක්ට් 4 නාට්‍ය කණ්ඩායම මෙයට පෙර විශේෂ අවස්ථා සහිත ළමුන් සදහා මෙන්ම පුනරුත්ථාපන කඳවුරුවලත් කටයුතු කරල පළපුරුද්දක් තියෙන කට්ටියක් කියලා මට දැන ගන්නට ලැබුණා.

චාපා කියන නම ඇහුණ ගමන් මගේ මතකයට තවත් චාපා කෙනෙක් එකතු වුණා.මට චාපා නම මුලින්ම මුණ ගැහුණේ කුමාර කරුණාරත්න රචනා කළ රතු රෝස නවකතාව නිසා. මේ නවකතාව පසුකලක රන්ජන් ද සිල්වා ටෙලි නාට්‍යයකටත් නංවනවා. චාපා මට දෙවැනි වරටත් මුණ ගැහුණේ එහෙම. පුදුමය නම් අහම්බයක් වුනත් නලින්ද ගේ ප්‍රධාන චරිතයත් චාපා. චාපා මෑතක තොළඹ ප්‍රධාන පෙලේ පාසලක යුවතියක් කියලයි නලින්ද පැවසුවේ.

ඒ බව නාට්‍යය පටන් ගන්න කලින් පැවසුවා.රතු රෝස නවකතාව ලියන්න පාදකවුනේත් පළගැටියෝ චිත්‍රපටයට පාදක වුන ඇත්ත කතාවම කියල කුමාර කරුණාරත්න මහත්මයා කලකට ඉහත මා සමග කියා සිටියා.කොහොම උනත් නලින්ද ගේ නාට්‍යය නූතන ජනසමාජයත් එක්ක බැඳුණ සිදුවිමක්. ඒ විතරක් නොවෙයි මේ තේමාව සර්වකාලීනයි කියන එකයි මෙයින් හැඟෙන්නේ. කොටින්ම කුවේණිත් එහෙම කතාවක්.

මේ නාට්‍යය වරක් වේදිකා ගත වූ පසු යළිත් ඒ මොහොතේම එතැන එය තවත් වරක් වේදිකා ගත වනවා. නාට්‍යය එවර වේදිකාවට එන්නේ ප්‍රේක්ෂකාගාරයට කිසියම් අභියෝගයක් එක්ක. ඒ චාපා ගේ ජිවිතය වෙනස් කිරීමේ අභියෝගය ප්‍රේක්ෂකයන්ට පවරමින්.ඒ අනුව කාට හරි හිතු නොත් මෙතැනින් මට චාපාගේ ජීවිත කතාව වෙනස් කරන්න පුළුවන් කියලා.

ඇය නැගිටලා STOP කියලා කියන්න ඕනෑ. හැබැයි මේ කතාව වෙනස් කරන්නට ලෙහෙසියෙන් බැහැ. ඒ එසේ වෙනස් කළ යුතුයි කියලා නැගිටින තැනැත්තා කාරණා තුනක් සම්බන්ධයෙන් සිහියේ තබා ගත යුතු වෙනවා. ඒ තමයි එකක් නාට්‍ය වෙනස් කිරීමට නම් මැජික් කරන්න බැහැ. මැජික් කියලා අදහස් කරන්නේ ප්‍රාතිහාර්ය පාන්න බැහැ කියන කාරණය. ඒ කියන්නේ කවුරු හරි දෙවියෙක් භූතයෙක් එකපාරට පාත් වෙලා චාපාට උදව් කරනවා වගේ දෙයක් වෙන්න බැහැ. ඒ වගේම තමයි වේදිකාවට ප්‍රචණ්ඩත්වය ගේන්න බැහැ කියන කාරණය.

ඒ අනුව චාපා ට බැහැ තමන්ගේ ජිවිතය විනාශ කරන තරුණයාට පිහියෙන් අනින්න බෑ. අනිත් කාරණාව චාපාට වඩා බලවත් චරිත වෙනස් කරන්න බැහැ. මේ කොන්දේසි තුනට එකඟව තමයි මේ කතාව වෙනස් කරන්න ඕනෑ. නාට්‍යය නැවත ආරම්භ කරලා විනාඩියක් ගත වෙන්නත් කලින් දැරියක් නැගී හිටියා ඇය කිව්වා තමන්ට චාපා ව වෙනස් කරන්න පුළුවන් කියලා. ඇය වේදිකාවට පැමිණියා. ඒ අනුව ඇය චාපා බවට පත් වනවා. ඇය විශ්වාස කරන අන්දමට ඇයට චාපාව වෙනස් කරන්න් පුළුවන්.නාට්‍යයේ සෙසු පාත්‍ර වර්ගයා ඇයට එරෙහි වෙනවා. එය දිනා ගැනීම පහසු වන්නේ නැහැ.හැබැයි එතැන ඉදිරිපත් වුණ සමහර දැරියන් නම් පාත්‍ර වර්ගයා පරදවන්නට සමත් වෙනවා.

නාට්‍ය එලෙස වෙනස් වන තැන ඉදන් නැවත වතාවක් ඉදිරියට යනවා. ඇයගේ මව්පියන් හමුවේ,නැත්නම් පාසලේ යෙ හෙළියන් හමුවේ, එහෙමත් නැත්නම් පෙම්වතා හමුවේ හෝ සිය ජිවිතය වෙනස් කර ගත හැකියැයි වේදිකාවට ගොඩ වුණ දැරියන් තමන් චාපා හෝ පාත්‍ර චරිතයක් බවට පත් වෙමින් පෙන්වා දුන්නා.ඒ හැම විටකම එතැන ඉඳන් චාපාගේ කතාව යළි වේදිකා ගත වෙනවා. යළි නවත් වන ලද තැන ඉඳන් වේදිකා ගත වෙනවා. මේ හැම නාටකීය අවස්ථාවකම එසේ පාසල් සිසුවියන් චාපා හෝ පාත්‍ර වර්ගයා බවට පත් වෙමින් චාපාගේ ඉරණම වෙනස් කිරිමට උත්සාහ කිරීම අගය කළ යුතුයි. එක් කරුණක් තමයි නොබියව එසේ ඉදිරිපත් වීම. දෙවැන්න ජිවිතයට මුහුණ දෙන්නට ඔවුන්ට තිබෙන අවස්ථාව එමගින් පෙන්වා දීම.

ඔව් මට චාපා වෙනස් කරන්න පුළුවන්. දැරියකගෙන් අභියෝගයක්

චාපා ගේ ඉරණමට ගොදුරු වූ පාසල් සිසුවියන් එමටයි. එය අද කාලේ වැඩි යැයි සමහරු පවසනවා. එයට හේතුව සමාජ වෙබ් අඩවි වල ව්‍යාප්තිය කියලා. හැබැයි මේ ඉරණමට ගොදුරු වන්නේ පාසල් යුවතියන් විතරක් නොවේ. සමහර විට එයට වඩා සමාජ අත්දැකීම් ඇති අයත් චාපාගේ ඉරණමට ගොදුරු වනවා.සමාජ වෙබ් අඩවි ජාල අද එයට රුකුල් දීමක් විතරයි කියලයි මා හිතන්නේ.හේතුව මුලින් සඳහන් කළ පරිද්දෙන්ම මේ කතාන්තරය සර්වකාලින කතාවක් බැවින්.

කොහොම වුනත් නලින්දගේ නාට්‍යය හා පණිවිඩය වර්තමාන සමාජය ඇතුළත හොඳ කතිකාවක් ගොඩ නගන්න පුළුවන් වැඩක්. හැබැයි කෙනෙක් චාපා බවට පරිවර්තනය වෙලා මේ ගැටලුවට මුහුණ දීම තමයි නාට්‍යකරුවාගේ අභිලාෂය වුණේ. මේ වගේ වෙලාවක වැඩිහිටියන් ගේ උපදෙස් වලට වඩා නාට්‍ය ගෙනි යන්න දැරියන්ට ම ඉඩ දෙන්න ඕනෑ.ඔවුන් ජිවිතයට මුහුණ දෙන අයුරු එයින්ම අත්දැකීමක් ලබනවා යන කරුණ එහිදී පෙනෙන්නක්. තමන් අතරේ සිටින චාපාලා ගැන ඔවුන් ට එයින්ම වැටහීමක් ඇති වේවි.

ජීවිතය වරද්දා ගත යුතු නොවුනත් වැරදුනත් එය හදා ගන්නටත් පුළුවන් කමක් තමන්ට තිබිය යුතුයි. සාමාන්‍යයන් අපේ පාසල් නාට්‍ය යනුවෙන් නිර්දේශ වන ඕලාරික ආදර්ශමත් කතාන්දර වලට වඩා මෙබඳු නාට්‍යයක් වඩා සංවේදි වනු නොඅනුමානයි. මේ නාට්‍යය පුරාම චාපා වෙනස් කරන්නට දැරියන් උත්සාහ කළා.

හැබැයි එදා අපූරු වැඩකුත් සිද්ධ වුනා. මේ නාට්‍යය සමග එදා පොලීසියේ ළමා හා කාන්තා අංශයේ නිලධාරිනියක් ද පැමිණ සිටියා. අවාසනාව නම් ඒ පැමිණි නිලධාරිනියට ළමා අපචාර සම්බන්ධයෙන් පැමිණිළි කළ යුතු 1929 දුරකතන අංකය අමතක වීමයි. කොහොම උනත් මා නම් හිතන්නේ නාට්‍යය පුරා කියවන පණිවිඩය වැදගත්.එහෙත් චාපා ලා ඉතිහාසය පුරාම හිටියා. හැබැයි එයටත් පස්සේ චාපාට ජිවිතයට මුහුණ දෙන අන්දමත් කියා දෙන්නත් ක්‍රමයක් මේ සමාජ රටාව තුළම තිබිය යුතුයි.ජිවිතය වරද්දා ගන්නා හැම තැනින්ම නැවත ජීවිතය පටන් ගත යුතුයි.

ශාන්ත පාවුළු විද්‍යාලයේදී නාට්‍යය වේදිකාගත වෙද්දී