වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මම නර්තන ක්ෂේත්‍රයට සේවයක් කළා

මම නර්තන ක්ෂේත්‍රයට සේවයක් කළා

මන බඳින නර්තන ගනෙන චන්දන සමඟ කතාබහක්

ඔහු දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය නර්තන ආචාර්යවරයෙක්. දේශීය නර්තන සම්ප්‍රදායේ අපේකම, අනන්‍යතාව රැක ගනිමින් නව ශෛලීන් හඳුන්වා දෙමින් කළ අලංකාර නිර්මාණයන්ගෙන් දෙස් විදෙස් කලා ලෝලීන්ගේ ආකර්ශනය දිනාගත් ඔහු අද වන විට නර්තන කලාව තුළ තම අනන්‍යතාව ගොඩ නගාගෙන අවසන්. ඔහු චන්දන වික්‍රමසිංහ. මෙම කතාබහ ඒ සුවිශේෂ නර්තන ශිල්පියා සමඟයි.

ප්‍රථමයෙන් දැනගන්න කැමැතියි මේ දවස්වල වැඩ කටයුතු ගැන විස්තර?

පසුගිය මාස තුනම නර්තන ප්‍රසංග සඳහා විදෙස්ගත වෙලා හිටියේ. රුසියාව, යුක්රේනය, කසකස්ථානය සහ ඔස්ට්‍රේලියාවේ ප්‍රසංග කීපයක්ම පැවැත්වුණා. ඔස්ට්‍රේලියාවේදී මාදනි මල්වත්තගේ සමඟින් නර්තන හා ගායන ප්‍රදර්ශනයකට සහභාගි වුණා. සිංහල සංස්කෘතික එකමුතුව විසින් කළ ආරාධනාවකට අනුව අපි උගත් දේ එහි දරුවන්ට කියා දුන්නා. ඒ වගේම ලබන 31 වැනිදා නුවර ධර්මරාජ විද්‍යාලයේ පවත්වන්නට නියමිත කන්‍යා ප්‍රසංගය වෙනුවෙන් මේ දිනවල පුහුණුවීම් වල යෙදෙනවා.

විදේශයන්හිදී අපේ දේශීය නර්තනයට ලැබෙන ප්‍රතිචාර ගැනත් සඳහන් කරමු?

මේ වන විට මම ලෝකය පුරා ප්‍රසංග පවත්වා තියෙනවා. කන්‍යා ප්‍රසංගය පමණක් රටවල් 63 කට අධික සංඛ්‍යාවක පවත්වා තියෙනවා. අපේ නර්තනයට ජාත්‍යන්තර මට්ටමෙන් ඉහළ පිළිගැනීමක් තියෙනවා. නර්තනය වගේම අපේ රටේ සාමකාමී වාතාවරණය පිළිබඳ වූ පණිවුඩයත් අපි මේ සමඟ ලෝකය වටා රැගෙන යනවා. ලංකාව ගැන හොඳ ප්‍රතිචාර අපට අසන්න ලැබෙනවා. ඒ පිළිබඳ විශාල සතුටක් තියෙන්නේ. රටවල් කිහිපයකම වැඩමුළු පවත්වන්න අවස්ථාව ලැබුණා. අපේ නර්තනයට ආදරය කරන අය ලෝකය පුරා සිටින බව ඒ තුළින් ඔප්පු වුණා.

අද කාලයේ නැටුම්වලට වඩා ප්‍රසංග නිර්මාණය කරන බවක් තමයි පෙනෙන්න තියන්නේ. ඒ ගැන ඔබේ අදහස?

ඒ තුළ ස්වභාවිත නිර්මාණ වගේම අවර ගණයේ නිර්මාණත් බිහිවනවා. ස්වභාවිත නිර්මාණ ඉදිරිපත් කරන නිර්මාණකරුවන් ඉතිහාසගත වෙනවා. අනිකුත් අයට පැවැත්මක් නැහැ. අද දකින්නට තියෙන්නේ තරඟයට යන ගමනක්. ඇඳ ගත්තු පළියට, අන්දවපු පළියට නර්තන කණ්ඩායමක් වෙන්නේ නැහැ. නර්තන ශිල්පියෙක් බිහි වෙන්නේ හරියට පස්මහ බැලුම් බලලා වගේ. එය ආවාට ගියාට සිදු වෙන්නේ නැහැ. චිත්‍රසේන සර්ගේ කාලයේ පටන් චන්න සර් දක්වා යුගයේ අපි හිටියා. මම කියන්නේ නැහැ මම යුගයක් හැදුවා කියලා ඒකට මට තව කල් තියෙනවා. එක එක විදියේ මල් තියෙනවා නේ. ඒවායේ අගයේ අඩු වැඩිවීම් තියෙනවා. හන්දි ගානේ පංති පවත්වන අය නිසා තමයි මෙවැනි දේ සිදු වන්නේ.

ඔබ දෙරණ ලිට්ල් ස්ටාර් විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෙක්. අවංකවම ඒ නර්තන විලාශයන් පිළිබඳ ඔබ එකඟද?

ලංකාවේ පැවැත්වෙන රියැලිටි වේදිකාවල එක දිගටම වාඩි වෙලා ඉන්න විනිශ්චයකරු මමයි. දෙරණ ලිට්ල් ස්ටාර් හය වැනි වේදිකාවේත් මට විනිශ්චයකරුවෙකු ලෙස වාඩි වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. ලිට්ල් ස්ටාර් හරහා ළමයින්ගේ සැඟවුණ දක්ෂතා එළි දක්වන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ලෝකයේ ඕනෑම තැනකට අභියෝග කරන්න පුළුවන් දරුවන් ලිට්ල් ස්ටාර් වේදිකාවේ ඉන්නවා. එහෙම දරුවන් හඳුන්වා දෙන එක වැරැද්දක් නෙවෙයි. ඒ ගැන මගේ හිතේ තියෙන්නේ පහන් හැඟීමක්. කුහක මානසිකත්වයෙන් බලන අයට නම් මෙහි හොඳක් දකින්නට බැහැ. මෙහිදී තව දෙයක් කියන්න ඕනෑ. ළමයි දැනගන්න ඕනෑ ළමාකම ඉක්මවන්නෙ නැතුව ඉදිරියට යන්න. දෙරණ රූපවාහිනි ආයතනය විශාල මුදලක් වැය කර ළමුන් වෙනුවෙන් මෙය සිදු කරන්නේ පහන් සිතින් පමණක්මයි. මේ තුළින් ඉදිරියට එන ළමුන්ගේ ළමාකම ඉක්මවීමට ඉඩ නොදී බලා ගැනීම දෙමාපියන් සතු වගකීමක්.

මෙරට නර්තන සංස්කෘතියට ඔබෙන් සේවාවක් වුණා කියලා ඔබ හිතනවාද?

ඔව්. මම විශ්වාස කරනවා. මං ගිය සතියේත් ඔස්ට්‍රේලියාවේ දී වෙස් නැටුවා. මම නර්තන ක්ෂේත්‍රයට සේවයක් කළා කියලා මට බය නැතුව කියන්න පුළුවන්. ක්ෂේත්‍රයේ මම පුද්ගල චරිතයක් හදාගෙන ඉවරයි. සාම්ප්‍රදායික නර්තනය වගේම නව නිර්මාණ ඇතුළුව ඕනෑම දෙයක් ඉදිරිපත් කිරීමේ හැකියාව මට තියෙනවා. ඒ වගේම මා ඉදිරිපත් කළ දේට ලැබෙන ප්‍රතිචාරයන්ගෙන් එය ඔප්පු කරලා තියෙනවා.

මාධනී මල්වත්ත සහ චන්දන

අද වනවිට ප්‍රසංග වේදිකාවට නර්තනය අත්‍යාවශ්‍ය දෙයක් බවට පත්වෙලා. සමහර ගායන ප්‍රසංගවලදී එය ගායනය ඉක්මවා නර්තනය කැපී පෙනෙන අවස්ථා දකින්නට ලැබෙනවා. ඔබ එය අනුමත කරනවාද? නොඑසේ නම් එය කෙසේ ද සැළසුම් විය යුත්තේ?

ඔය තත්ත්වය ඇති වෙලා තියෙන්නේ නළඟනන් නිසා. ඔවුන් එළිමහන් ප්‍රසංගවල ඉදිරිපත් කරන නර්තන නිර්මාණ නිසා තමයි මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ. ඒ ඒ ගීතයට අදාල වන ආකාරයෙන් සාහිත්‍ය රසය කුළුගැන්වෙන අයුරින් ඉදිරිපත් කරනවා නම් මෙවැනි චෝදනා ඇති වෙන්නේ නැහැ. එලෙස සුබාවිත නර්තනයේ යෙදෙන්නන් මගෙන් පසු පරපුරේ මම දැකලා නැහැ.

වර්තමානයේදී තරුණ පිරිස නර්තන කලාවට යොමුවීමේ ප්‍රවණතාව මොන වගේද?

ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම රූපවාහිනිය ඔස්සේ ලැබෙන ප්‍රසිද්ධියත් එයට හේතුවක් වෙලා තියෙනවා. දැන් නර්තන කලාවට යොමුවන පිරිස වැඩි වුණත් එහි සාර්ථක වන අයට පමණයි ඉදිරි ගමන සැකසෙන්නේ. එහිදී සංස්කෘතියට වගේම තමන්ටත් හානි නොවන පරිදි කටයුතු කිරීම තමයි වැදගත්.

දැවැන්ත සිනමා නිර්මාණ කීපයක්ම ඔබගේ නර්තන අධ්‍යක්ෂණයෙන් හැඩ වුණා. ඒ ගැනත් සඳහනක් කරමු?

මම පළමුවෙන් නර්තන අධ්‍යක්ෂණය කළේ සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ ‘ආදරණිය වස්සානය’ චිත්‍රපටයේ. ඊට අමතරව රෝයි ද සිල්වා මහතාගේත් සිනමා පටයකට දායක වුණා. අනතුරුව ‘අබා’ සහ ‘කුස පබා’ දැවැන්ත සිනමා නිර්මාන සඳහා නර්තන නිර්මාණය කළා. මීළඟට මම නර්තන අධ්‍යක්සණය කළේ ‘සිරි දළදා ගමනය’ චිත්‍රපටයේ. එය ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි. ඉදිරියේදීත් හොඳ වැඩකට කතා කළොත් අනිවාර්යයෙන් දායකත්වය ලබා දෙනවා.

පවුලේ විස්තරත් කියමු නේ?

ආදරණීය බිරිඳ දිල්හානි පුවත්පත් කලාවේදිනියක්. ‘දිනමිණ’ පුවත්පතේ නියෝජ්‍ය විශේෂාංග කර්තෘ ලෙස සේවයෙන් ඉවත්වෙලා ඉන්නේ. ලොකු දුව දෙවංශා. නිවුන් පුතාලා තනුක සහ මනුක. අපි පස් දෙනා සතුටින් ලස්සනට ජීවත් වෙනවා. නර්තනයයි පවුල් ජීවිතයයි ගත්තොත් මගේ අංක එක පවුල් ජීවිතය. අංක දෙක නර්තනය. නර්තනයේදී අංක එක වෙන්නේ විනය. නර්තනයට තැන ඊට පසුවයි. ඒ නිසා මට දිගු කාලයක් මේ ගමන සාර්ථකව යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

ඉදිරි නිර්මාණ ගැනත් කෙටි සටහනක් තබමු?

දරුවන් වෙනුවෙන් පවත්වන ‘සළඹ’ නර්තන ප්‍රසංගය ඉදිරියේදී පවත්වන්නට සූදානම්. එය නොවැම්බර් මාසයේදී පවත්වන්නට මේ දිනවල පුහුණුවීම් සිදු කෙරෙනවා. ඊට අමතරව ළඟදීම ඩී. වී. ඩී. එකක් නිකුත් කරන්නත් බලාපොරාත්තු වෙනවා. ඒ ගැන විස්තර පසුව කියන්නම්.