වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




විශ්ව භාරතී විශ්වවිද්‍යාලයෙන් උපාධි සතරක් ලද එකම ශ්‍රී ලාංකිකයා

විශ්ව භාරතී විශ්වවිද්‍යාලයෙන් උපාධි සතරක් ලද එකම ශ්‍රී ලාංකිකයා
 

වීරසේන ගුණතිලක

වසර පනස් හතකට පසු නැවත විශ්ව භාරතයට ගිය ගමනේ අපූරු මතකය...

ගානයෙන්, වාදනයෙන්, තනු නිර්මාණයෙන් සිය ප්‍රතිභාව පෙන්නුම් කළ ඔහු මෙරට කලා ක්ෂේත්‍රයට අනගි මෙහෙවරක් ඉටු කළ ආචාර්යවරයෙක්. ශාස්ත්‍රීය ගායනය, එස්රාජ් වාදනය, කථකලී, මනිපුරි නර්තන විෂයයන් හතරටම භාරතයේ ශාන්ති නිකේතනයේ විශ්වභාරති විශ්ව විද්‍යාලයෙන් උපාධිලත් එකම ශ්‍රී ලාංකිකයා වන්නේද ඔහු. හැත්තෑව දශකයේ ජනප්‍රිය ගුවන් විදුලි ගීතයක් වූ ‘කොබෙයියනේ වරෙල්ලා පරෙයියනේ වරෙල්ලා’ ගීතය ඇතුළු තවත් ජනප්‍රිය ගී රැසක් ඔහුගේ හඬින් ගීතවත් වුණා. මහාකවි රවින්ද්‍රනාත් තාගෝර් කිවිඳුන් ප්‍රතිෂ්ඨාපනය කළ විශ්වභාරති සරසවියේ 1956 වසරේ දක්ෂතම ශිෂ්‍යයාට පිරිනැමෙන ශිෂ්‍යත්වය හිමි වූ මේ විශිෂ්ට කලාකරුවාට වසර 57 ට පසුව එම සරසවියෙන් අපූරු ආරාධනාවක්. අද අපේ කතා නායකයා විශාරද වීරසේන ගුණතිලක.

ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ හොරණ හෑගල්ල විද්‍යාලයෙන්. කුඩා කාලයේ පටන්ම ඔහු සංගීතයට වගේම නර්තනයටත් විශේෂ ඇල්මක් දැක්වූ ශිෂ්‍යයෙක්. එකල හොරණ ශ්‍රී පාලි විද්‍යාලයේ සේවය කළ සුප්‍රසිද්ධ නැටුම් ආචාර්යවරයෙකු වූ අනංඟලාල් අතුකෝරල මහතා සතියකට වරක් හෑගල්ල විද්‍යාලයටත් නැටුම් ඉගැන්වීමට පැමිණ තිබුණා. ඒ අතරතුරදි මේ වීරසේන ගුණතිලක සිසුවාගේ හැකියාව දුටු එතුමා ඔහුට ශ්‍රීපාලි විදුහලට පැමිණෙන ලෙස ආරාධනා කළා.

ඒ අනුව වීරසේන ගුණතිලක නම් සිසුවා ඒ ශ්‍රේණියේ සිසුවෙකු ලෙස හොරණ ශ්‍රීපාලි විද්‍යාලයට ඇතුළත් වෙනවා?

“ඔව්. ඒ 1940 ගණන්වලදී. ඒක තමයි මගේ ජීවිතයේ සුවිශේෂිම අවස්ථාව. 1944 වසරේ පැවැති විවිධ ප්‍රසංගයේදී මා ඉදිරිපත් කළ අංගවලින් මගේ දක්ෂතා දැක්වූ විදුහල්පතිතුමා මට දක්ෂතම ශිෂ්‍යයාට පිරිනමන සිරිල් රුද්‍රිගු ශිෂ්‍යත්වය පිරිනැමුවා. එයින් තව තවත් දිරිමත් වුන මං දැඩි කැපවීමෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. සංගීතයට වගේම නර්තනයටත් දැක්වූ දස්කම් නිසා මට 1951 වසරේදි තමයි ශාන්ති නිකේතනය වෙත යන්න ශිෂ්‍යත්වය ලැබුණේ.

ඒක ඇත්තටම මට හීනයක් වගේ. තාගෝර්තුමා මුල්ගල තැබූ ශ්‍රීපාලියේ, 1930 ගණන්වල ශාන්ති දේවගෝෂ්, මහාචාර්ය වසල්වාර්, ආනන්ද ශිවරාම්, කිරාන් ඩේ උගන්වල තිබුණා. ඒ මම විශ්වභාරතියට යන්න අවුරුදු 20 ට පෙර. මම එහි යන විටත් ශාන්ති ගෝෂ්, වසල්වාර්, කිරාල් ඩේ එහි හිටියා. තව මලබාර්වලින් පැමිණි හරිදාස් නායර් සහ ඔෂිෂ් චන්ද්‍රබානජි කියල ප්‍රසිද්ධ ගුරුවරු දෙපොළක් හිටියා. මොවුන් තමයි ඒ කාලේ එහි හිටිය විශිෂ්ටතම ගුරුවරු. මම එහිදී ශාස්ත්‍රීය ගායනය, එස්රාජ් වාදනය, මනිපුරි සහ කථකලි නර්තනයන් හැදෑරුවා. මම විශ්වභාරතීය නාට්‍ය හා සංගීත කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් වෙන්නත් වාසනාවන්ත වුණා.

එහිදී තාගෝර් කිවිඳුන්ගේ නිර්මාණ සමඟින් භාරතය පුරා සහ තවත් රටවල් ගණනාවකම සංචාරය කළා. කොහේ ගියත් අපට හොඳ සැළකිලි ලැබුණා. චිත්‍රාංග ධාර්, ශ්‍යාමා, තෂීර් දේශ්, චණ්ඩාලිකා නාට්‍ය සමගින් ගත කළ ඒ කාලය මගේ ජීවිතයේ සුවිශේෂයි. විශ්වභාරතී සංගීත හා නාට්‍ය කණ්ඩායම යන්නේ කොතැනද මම එතැන. ලංකාවෙන් ගිය අනිල් මිහිරිපැන්න, විමල් නයනානන්දත් අපිත් සමඟ හිටියා. 1956 දි විශ්වභාරතියේ දක්ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය දිනාගන්නත් මට හැකියාව ලැබුණා. කලාවට තිබූ විශේෂ ලැදියාව නිසා මම අධ්‍යාපන කටයුතු දැඩි උනන්දුවෙන් කැපවීමෙන් කළා. 56 අගභාගයේදි අධ්‍යාපන කටයුතු අවසන් කර ලංකාවට පැමිණ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේම සේවයට බැඳුනා. 1968 විතර වෙනකල් එහි ගුරුසේවයේ සිට 1968 දි පාසල් පරීක්ෂකවරයෙකු ලෙසත් කටයුතු කර 1980 දි නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ලෙස විශ්‍රාම ගියා.

විශ්වභාරතියෙන් පැමිණ වසර 57 කට පසුව තමයි මට මේ සුවිශේෂි ආරාධනාව ලැබුණේ. ඒක නොහිතපු මොහොතක කිසිසේත්ම නොසිතූ ආකාරයෙන් තමයි ලැබුණේ. විශ්වභාරතිය කියන්නේ පිළිගත් විශ්වවිද්‍යාලයක්. එහි කුලපති වෙන්නේ එරට අගමැතිතුමා. ඒවගේම මට මේ ආරාධනාව කළේ එහි උපකුලපතිතුමා. එය මට නිහතමානි ආඩම්බරයක්.

පසුගිය වසරේ ජුනි මාසයේදි තමයි මේ ආරාධනාව ලබන්න මා වාසනාවන්ත වුණේ. ජුනි මාසයේදි මම සහ බිරිඳ නාලිනි ගුණතිලක දඹදිව වන්දනා ගමනක් ගියා. මම විශ්වභාරතියේ ශිෂ්‍යයෙක් වගේම අපේ කණ්ඩායමේ සිටි බොහෝ දෙනෙක් ශ්‍රීපාලියේ ආදි සිසුන් වුණා. ශ්‍රීපාලිය ශාන්ති නිකේතනයේ සහෝදර පාසලක් නිසා අපිට විශ්වභාරති සරසවියට යන්නත් අවස්ථාව ලැබුණා. උපකුලපති මහාචාර්ය සුෂන්තා දත්තාගුප්ත අපව ඉතාමත් උණුසුම් ආකාරයෙන් පිළිගත්තා. එහිදි තිබූ තේපැන් සංග්‍රහයකින් අනතුරුව අපි විශ්වභාරති සරසවියට ත්‍යාගයක් පිරිනැමුවා. අපේ කණ්ඩායම නියෝජනය කරමින් මම ත්‍යාගය උපකුලපතිතුමාට පිළිගන්වන අවස්ථාවේදිම එතුමා මගෙන් ඉල්ලීමක් කළා. ඒ ගීතයක් ගායනා කරන්න. ඒ අවස්ථාව තමයි මගේ ජීවිතයේ ලද මේ අපූරු ආරාධනාවට හේතුව වුණෙත්. මම ඒ වෙලාවේ බෙංගාල් ගීතයක් ගායනා කළා. ඉන් පසුව අපි වන්දනා ගමන නිම කරලා ලංකාවට එනවිට මට විශ්වභාරතිය විශ්වවිද්‍යාලයෙන් ලිපියක් ඇවිත් තිබුණා.

එහි තිබුණේ මාසයක කාලයකට මට එහි දේශන සඳහා ආරාධනාවක්. මේ ලිපිය ඔබ නිවෙසට එන විටදි තවමත් ඔබ චාරිකාව නිමකර නිවෙසට පැමිණ නොමැති බව සිතන බවත් එහි සඳහන් වෙලා තිබුණා. ඒ අනුව තමයි වසර 57 ට පසුව යළිත් මම අධ්‍යාපනය ලද විශ්වභාරතිය විශ්වවිද්‍යාලයේම දේශකයෙකු ලෙස පා තැබුවේ. මා සමඟ නැටුම් ආචාර්යවරියක වූ මගේ බිරිඳත් මේ සඳහා සහභාගි වුණා. මම අධ්‍යාපනය ලද විශ්ව භාරතියට වඩා අද විශ්ව භාරතිය ගොඩක් දියුණු වෙලා. ඒක සීඝ්‍ර දියුණුවක්. මට සමහර පාරවල් පවා හොයා ගන්න බැරි වුණා. ඒ කාලෙත් ගොඩක් පංති පැවැත්වුණේ එළිමහනේදියි. ස්වභාවධර්මය සමඟ වූ විශ්වභාරතියේ බැඳීම නම් අදටත් එහෙමම යි. ආචාරශීලිබව, ගුණගරුක බව, ලෙංගතුකම ඒ කිසිදෙයක වෙනසක් වෙලා නැහැ.

මට එහි දේශන රැසක් කරනන අවස්ථාව ලැබුණා. එහිදී මම තාගෝර්තුමාගෙන් ලංකාවට තිබූ බලපෑම, ශාස්ත්‍රිය සංගීතය, අපේ පාරම්පරික ජන ගී, තාගෝර්තුමාගේ නිර්මාණවල තනුවලට අනුව ශ්‍රීපාලියේ නිර්මාණය කළ සිංහල ගීත එම සිසු දරු දැරියන්ට හඳුන්වල දුන්නා. ඔවුන් ඒ පිළිබඳ ලොකු ඇල්මක් දැක්වූවා. මේ ලැබුණු අවස්ථාව මට සුවිශේෂ වෙන්න එය දැඩි හේතුවක් වුණා. ඔවුන් ඒවා බොහෝ සේ අගය කළා. ඒගැන මටත් ඇතිවුණේ පුදුමාකාර සන්තෝෂයක්.

ඊට අමතරව එහිත් තවත් විචිත්‍රවත් උත්සවවලටත් සහභාගි වෙන්න අවස්ථාව අපට ලැබුණා. මමත් බිරිඳත් එහි යනවිට එරට වසන්ත කාලය උදාවෙලා. ඒ වෙනුවෙන් ඔවුන් විවිධ උත්සව රැසක් පවත්වනවා. එයත් මගේ ජීවිතයේ අපූරු අත්දැකීමක් වුණේ, ශිෂ්‍යයෙක් ලෙස විශ්වභාරතියෙන් පිටවූ පසු යළිත් මට මෙලෙස එහි යාමට වරමක් කවදා හෝ ලැබේ යැයි හීනෙකින්වත් නොසිතු නිසා. මේ හැම දෙයක් ගැනම මට තියෙන්නෙ නිහතමානි ආඩම්බරයක්. 57 වසරකට පෙර උනන්දුවෙන් කැපවීමෙන් කළ අධ්‍යාපනයේ තවත් ප්‍රතිඵලයක්. ඒ වගේම මේ වටිනා අවස්ථාව ශ්‍රීපාලියෙන් මට ලැබුණ වරප්‍රසාදයක්.”

මීට වසර ගණනාවකට පෙරදි තමා උගත් දැනුම සහ තම රටේ කලාව විශ්වභාරතීය නව සිසු පරපුරට දායාද කළ මේ ඇදුරුතුමාණන් පසුගිය අප්‍රේල් මුල භාගයේදී යළිත් මෙරටට පැමිණියේ ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ විශ්වභාරතිය විශ්වවිද්‍යාලයේ අමරණීය ලාංකේය සළකුණක් තබමිණි. එය එතුමාට නිහතමානී ආඩම්බරයක් වන්නා සේම අපර රටට ඉමහත් ගෞරවයකි.