වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මානවකයා මොකද මෙහේ ?

මානවකයා මොකද මෙහේ ?

සරසවිය හිටපු කර්තෘ

අනුර බණ්ඩාර රාජගුරු

මගේ කලා ජීවිතයට තක්සලාව වූයේ කොළඹ ආනන්ද විද්‍යාලයයි. ඒ කලා ජීවිතයේ ඇසූ පිරූ තැන් සොයා යන්නට මට සරසවියක් වූයේ සරසවිය පුවත්පතයි. පාසල් කාලයේ පටන් මම පික්චර් පිස්සෙක් වීමි. සිකුරු තරුව, බිනරමළී, රෑනගිරව් ආදී චිත්‍රපට මා එදා නරඹන්නට ගියේ මහරගම නැෂනල් සිනමා ශාලාවටය. නුගේගොඩ පදිංචි මට චිත්‍රපටයක් නැරැඹීමට එදා නැෂනල් සිනමා ශාලාව හොඳ ස්ථානයක් විය. ගීත්, අභිමාන්, අප්නා දේශ් වගේම ජේම්ස් බොන්ඩ් චිත්‍රපට පවා මා එදා රස වින්දේ එහිය. චිත්‍රපටයක් මුල් දින මුල්ම දර්ශනය නැරැඹීම මා වඩාත් ප්‍රිය කළ දෙයක් විය. මගේ පික්චර් පිස්සුව කෙසේ ද යත් මම අප්නා දේශ් විසිහත් වතාවක් නැරැඹුවෙමි.

එකම දින එකම චිත්‍රපටය තුන් වරක් නැරැඹූ අවස්ථා ද ඒ කාලයේ නැතුවා නොවේ. පාසල් කාලයේ අට, නවය ශ්‍රේණිවල පසුවන අවධියේ පටන් මම සිනමාව පිළිබඳ පළ වූ ලිපි ලේඛන කියවීමට ආශා කළෙමි. ඒ මිල දී ගෙන නොව පාසල් පුස්තකාලයෙනි. මේ වකවානුවේ අපේ මහ ගෙදර චිත්‍රපට දෙකකටම පසුබිම් විය. ඒ වසන්තේ දවසක් හා හරියට හරි චිත්‍රපටවලටය. ජෝ අබේවික්‍රම, රවීන්ද්‍ර රන්දෙණිය, ශාන්ති ලේඛා, හියුගෝ මාස්ටර් ආදී බොහෝ දෙනෙක් එහි රඟපෑම් සඳහා පැමිණියහ. ඒ රූ ගැන්වීම්වලදී ඔවුනට උදවු කිරීමෙන් මා විඳි සතුට අනන්තය. පාසලේ සාහිත්‍ය සංගමය, විවාද සංගමය, නාට්‍ය සංගමය ආදියෙහි කටයුතු කිරිමත් සමඟ කලාවට තිබෙන ලැදියාව තවත් වැඩි විය.

පාසලේ ගුරුවරුන්ගෙන්ද මගේ කලා කටයුතු වෙනුවෙන් ලැබුණේ විශාල අත් උදව්වකි. එවක පාසලේ සිටි ගාමිණී විජේසූරිය ගුරු පියාණන් ළමා යොවුන් නාට්‍ය කණ්ඩායමක් පාසලේ නිර්මාණය කෙරිණි. එහි සාමාජිකයකු වීමට ද මට හැකි විය. නෝබට් ජේ මයර් යටතේ රංගන පාඨමාලාවක් හැදෑරීම සඳහා පාසල වෙනුවෙන් යාමට අවසර ලැබුණේ මටත් උදය රොහාන්ටත් පමණි. ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයන්ත චන්ද්‍රසිරි, කමල් අද්දරආරච්චි ආදීන් එදා තම තමන්ගේ පාසල් නියෝජනය කරමින් ශිෂ්‍යයන් ලෙස මෙයට එක් වී සිටියහ.

පාඨමාලාව අවසානයේ අපි සියල්ලන් ‘අනේ අබ්ලික්’ නමින් නාට්‍යයක් නිර්මාණය කොට ඉදිරිපත් කළේ පාඨමාලාවේ එක් අංගයක් ලෙසිනි. එදා අපේ පාසලේ ගුරුවරයකුව සිටි ලයනල් රංවල මහතාගේ කාමරයට යන අපි ගුවන් විදුලියෙන් විකාශය වූ මුවන් පැලැස්ස නාට්‍යයේ තේමා වාදනය රංවලයන්ට කියා වාදනය කොට අපිරිමිත ආශ්වාදයක් ලැබුවෙමු. ලයනල් රංවලයන් එය වාදනය කරන දෙස අප බලා සිටින්නේ ඒ වාදනයට මෝහනයට පත් වූවා සේය. එතුමන්ගේ කාලගෝල, බීරි අලි, බහුභූතයෝ නාට්‍ය එවක ප්‍රසිද්ධ වේදිකාවේ රඟදැක්වෙන කාලයේ මාව ඔහු සම්බන්ධ කරගනු ලැබුවේ කාලගෝල නාට්‍යයේ ‘ගුටි බැට කොලහල කරන්නෙ කවුදැයි’ ගීතය ගායනා කරමින් රඟන ඇමැතියකුගෙ චරිතයකටය.

අප පාසලේ ළමයින් එකතු වී ප්‍රසිද්ධ වේදිකාවට නාට්‍යයක් කරනු ලැබිණි. පාර වසා ඇත නම් වූ එම නාට්‍යය අධ්‍යක්ෂණය කළේ අද ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන්නකු වන තුසිත ද සිල්වාය. එහි කාන්තා චරිත දෙකකට පමණක් විදුහලේ විශේෂ අවසරයක් ගෙන අප සම්බන්ධ කරගනු ලැබුවේ රත්නා සුමනපාල සහ රෝහිණී වික්‍රමආරච්චිත් පමණි. පාසල් ළමුන් පිරිසක් ප්‍රසිද්ධ වේදිකාවට කළ මුල්ම නාට්‍යය එය විය. පාසල් ළමුන් පිරිසක් කළ මුල්ම චිත්‍රපටය වූ නිම්වළල්ල නිර්මාණය කළේ ද අපට වඩා ජ්‍යෙෂඨ ආනන්දියන්මය. පාසල් ළමුන් පිරිසක් කළ මුල්ම ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය නිර්මාණය කිරීමේ ගෞරවය අප විදුහලට අත්කර දුන්නේ ද අපය. අපේ නාට්‍යය පිළිබඳ ඔබ්සවර් පුවත්පතට විචාරාත්මක ලිපියක් ලියා තිබුණේ ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ අජිත් සමරනායක මහතාය. විද්‍යාලයේ චිත්‍රපට සම්මන්ත්‍රණ අප සංවිධානය කළ ඒ අවදියේ බඹරු ඇවිත් වැනි චිත්‍රපට ගෙන්වා ඒවා ප්‍රදර්ශනය කොට කතිකාවක් පවා ඇති කරනු ලැබිණි.

එවක අප විදුහලේ විදුහල්පති වූයේ කර්නල් ජී. ඩබ්ලිව්. රාජපක්ෂ මහතාය. ඒ අවධිය මා උසස් පෙළ කරන කාලයයි. එතුමන්ට දිනක් එවක බුදුසරණ පත්තරයේ කර්තෘවරයා වූ සිවපාල බණ්ඩාර මහතා ලිපියක් එවා තිබිණි. බුදුසරණට ලියන්න දක්ෂ ළමයි දෙන්නෙක් නම් කොට එවන්න එහි සඳහන් වී තිබිණි. ඒ ලිපියට අනුව විදුහල්පතිතුමන් ඒ අවධියේ තිබූ පැරැණි නිර්දේශයන් හැදෑරූ මාද නව නිර්දේශයන් හැදෑරූ රංජිත් අමරකීර්ති පලිහපිටියත් නම් කොට එවනු ලැබිණි.

ඒ අනුව මම දිනක් බුදුසරණ කර්තෘ සිවපාල බණ්ඩාරයන් මුණ ගැසුනෙමි. ඒ මා ලේක්හවුස් ආයතනයට පැමිණි මුල් දිනය විය. ජාත්‍යන්තර සංවිධාන සහ දැහැමි ආකල්ප නමින් මට මාතෘකාවක් ලැබුණේ ඒ ඔස්සේ බුදුසරණට ලිපි ලියන ලෙසය. ඒ අනුව මා ගෙදර සිට ඒ මාතෘකාවට අදාළ ලිපි ලියා ගොස් බුදුසරණට දුන්නෙමි. ඒ ලිපි එහි පළ වන්නට විය. මේ අයුරින් මාස කිහිපයක් ගතවන අතරේ දිනක් මා බුදුසරණට ලිපියක් ලබාදීමට පැමිණි මොහොතක කොරිඩෝවේදි එඩ්වින් ආරියදාස මහතා මුණ ගැසුණි. එතුමන් මීට පර අප පාසලට විත් විවිධ ක්‍රියාකාරකම් සඳහා අපත් සමඟ එකතු වී වැඩ කොට තිබූ නිසා එතුමන් හා මිත්‍රකමක් ද ඇති වී තිබිණි.

රණපාල
බෝධිනාගොඩ

කර්නල්
ජී.ඩබ්ලිව්.රාජපක්ෂ

ධර්මසිරි
ගමගේ

කොරිඩෝවේ එවක හමු වූ ආරියදාස මහතා මානවකයා මොකද මෙහෙ යනුවෙන් මගෙන් ඇසීය. සර්, බුදුසරණට ලිපියක් දෙන්න ආවා. යන ගමන් එන්න ඇහැකි නම් මාව ඇවිත් හමුවන්න.

ඒ අනුව මම බුදුසරණට විත් ආපසු යන අතරේ නවයුගය සොයා ගොස් එතුමන් හමුවීමි. ඒ අවදියේ නවයුගය කතු පදවිය දැරුවේ එඩ්වින් ආරියදාසයන්ය.

ඔහේට ඔයිට වඩා ප්‍රයෝජනයක් ගන්න පුළුවන් තැනක් තියනවා කැමති නම් එතනට යන්න. එසේ කියා මා අත තුන්ඩු කැබැල්ලක් ලියා දී එය ගෙන ගොස් ධර්මසිරි ගමගේ නමැති අයට දෙන ලෙස කියා සිටියේය. මා එය රැගෙන ධර්මසිරි ගමගේ මහතා සොයා ගියේ ඒ තුන්ඩු කැබැල්ල කියවීමෙන් පසුවය. ‘ප්‍රිය ධර්මේ, මෙය රැනෙ එන ශිෂ්‍යයා ඔබගේ පුවත්පතේ වැඩ කටයුතු සඳහා ද උපයෝගි කරගත හැකි වේ යැයි සිතමි.’ මීට එඩ්වින්.

මේ කාලය වන විට මා උසස් පෙළ ලියා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අවධිය විය. එඩ්වින් ආරියදාස මහතා දුන් තුන්ඩු කැබැල්ල මා ධර්මසිරි ගමගේ මහතාට බාර දෙන විටත් ඔහු කවුදැයි මම නොදැන සිටියෙමි. යොවුන් ජනතා පත්තරයේ ප්‍රධාන කර්තෘවරයා වූ ධර්මසිරි ගමගේ මහතා මා අත රැඳි තුන්ඩු කැබැල්ල කියවා ඉන් නොනැවතී මගේ අතින් අල්ලාගෙන ගොස් ලේක්හවුස් පුස්තකාලයේ පුවත්පත් පෙරළමින් එහි පළ වී තිබූ ලිපි කියවන්නට දී පුවත්පත් කලාවේ මුල් පාඩම කියා දුන්නේය. ඉන් අනතුරුව මාලිගාවත්ත දුම්රිය මහල් නිවාසයේ විද්‍යා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ දේශනයකට පැමිණෙන මහාචාර්ය කාලෝ ෆොන්සේකා කරන දේශනය පත්තරයට අවශ්‍ය ලෙස ලියාගෙන එන මෙන් මට උපදෙස් දුන්නේය.

මා එය එක් වරක් නොව තෙවරක්ම ලියමින් අවශ්‍ය ලිපිය සකසා යොවුන් ජනතා පත්තරයට ගෙන ගොස් භාර දුන්නෙමි. එය ඊළඟ සතියේ පළ වූයේ FACT හෙවත් ඉන්ද්‍රීය ගෝචර ප්‍රත්‍යක්ෂය නමින් ශීර්ෂ පාඨයක් දමමිනි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා විසින් යැයි සඳහන් ලිපිය අගට ලිව්වේ අනුර බණ්ඩාර රාජගුරු නමින් සඳහන් වී එය පත්තරයේ මැද පිටුවේ පළ විය. පත්තරයකට ලිපියක් ලියා එවැනි සතුටක් ලැබූ මුල්ම දිනය එදා විය. මෙම ලිපිය පළවීමත් සමඟ ධර්මසිරි ගමගේ මහතා මට ආරාධනයක් කළේ ඔහුගේ අත්උදව්වට පත්තරයේ වැඩට එන ලෙස කියාය. බුදුසරණ පත්තරයට ලිපි ලියාගෙන එන ගමන් මා යොවුන් ජනතා පත්තරයට ශිෂ්‍ය නායකයන්ගේ ලිපි පෙළක් ලියාගෙන පැමිණියේ කොළඹ අවට සියලු පාසල් නියෝජනය කරමිනි.

ආනන්ද විද්‍යාලයේ වාර්ෂික ක්‍රිකට් සඟරාව සංස්කරණය කරනු ලැබුවේ මා විසිනි. එවක විදුහල්පති වූ කර්නල් ජී. ඩබ්ලිව්. රාජපක්ෂ මහතා පාසලේ සවස පැවැත්වෙන ආදි ශිෂ්‍ය සංගමයේ රැස්වීමට එයින් පිටපත් දහයක් සකස් කොට ගන්නා ලෙස උපදෙස් දුන්නේය. එදා රැස්වීමට පැමිණ සිටි සාමාජිකයන් අතට මා සංස්කරණය කරනු ලැබූ ක්‍රිකට් සඟරාව බෙදා දෙනු ලැබීමෙන් පසු එයට පැමිණ සිටි එක් අමුත්තකු මගෙන් ඇසුවේ මේ වගේ වැඩ දිගටම කරන්න කැමැතිදැයි යනුවෙනි. මම කැමැත්ත පළ කළෙමි. දින කීපයක් ගිය තැන ඒ පුද්ගලයා කව්දැයි මම විදුහල්පතිතුමාගෙන් විමසුවෙමි. ඒ ඔහුගේ හැඩ රුව පවසමිනි.

‘පුතා ඒ තමයි ලේක්හවුස් ආයතනයේ සභාපති රණපාල බෝධිනාගොඩ මහතා.’ විදුහල්පතිතුමා පැවසීය. ඒ වන විට මා ලේක්හවුස් ආයතනයට ගොස් තිබුණ ද කිසිදු දිනෙක සභාපතිතුමන් කවුද කියාවත් දැක නොතිබිණි. මා විස්තරය රාජපක්ෂ මහතාට හෙළි කළ පසු පුතා කවදාද එහි යන්නේදැයි ඔහු මගෙන් විමසීය. හෙටම යන්නම් සර් මම පැවසුවෙමි. මම සභාපතිතුමාටත් පුතා ගැන කියලා මතක් කරන්නම්’ එතුමා පැවසීය.

ඒ අනුව පසුදාම මම ලේක්හවුස් පැමිණ සභාපතිතුමන් මුණ ගැසුණි. එතුමන් මගෙන් ඇසුවේ කැමැතිද මෙහි වැඩ කරන්න යන්නයි. කැමැතියි යන්න මගේ පිළිතුර විය. ඒ වන විට මා විශ්ව විද්‍යාල ප්‍රවේශයට පැමිණ සිටියෙමි. සභාපතිතුමන් සීනුව නාද කොට කාර්ය සහායක කැඳවා දිනමිණ එවක ප්‍රධාන කර්තෘවරයා වූ බන්දුල මෙත්තානන්ද මහතා වෙත කැඳවාගෙන යන ලෙස පැවසුවේය. එහිදී මෙත්තානන්ද මහතා මට පැය තුනක සම්මුඛ පරීක්ෂණයක් සිදු කළේ සිංහල භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙනි. ප්‍රවෘත්ති ලිවීම, විශේෂාංග ලිවීම, කියවන විට නිවැරැදි අක්ෂර වින්‍යාසයෙන් ලිවීම හා ඉංග්‍රීසි ලිපියක් සිංහලට පරිවර්තනය කිරීම සම්මුඛ පරීක්ෂණයේ මූලිකාංග විය.

ඩේලිනිවුස් පත්තරයේ පළ වී තිබූ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එවක විදේශ කටයුතු ඇමැති ඒ. සී. එස්. හමීඩ් මහතා කළ කතාව සිංහලයට පරිවර්තනය කිරීමට ලැබීම මාව උඩු යටිකුරු කළ දෙයක් විය. මෙහිදී මා එහි අන්තර්ගතය වචනයෙන් වචනය සිංහලට පරිවර්තනය නොකොට තුන්වන ලෝකයේ රටක නියෝජිතයකු මෙවැනි මොහොතක කරනුයේ මුදල් ආධාර ඉල්ලීම බව සිතා ඒ අනුව මගේ හැකියාවන් සිංහලයට ලියා දීමි. මා අනුමාන කර ලියා තිබූ දෙය හරියටම හරි ගියේ මගේ වාසනාවකට දැයි මම නොදනිමි.

ඒ දවස්වල නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව සමඟ මගේ ප්‍රේමයක් ඇරැඹී තිබුණේය. ඇයත් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා තිබූ මොහොතක ඇගේ පියාණන් හදිසිියේ මිය ගියේය. විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ රැකියාව කළ ඇගේ පියා වෙනුවෙන් ඇයට එම ආයතනයේ රැකියාවක් ලබා දීමට කැමැත්ත පළ විය. මට ද මේ වන විට ස්ථිර රැකියාවක අවශ්‍යතාව තදින් දැනෙන්නට විය. මාස කීපයක් ගිය ද සම්මුඛ පරීක්ෂණයේ කිසිදු වූ තොරතුරක් නැති තැන මා නැවත ලේක්හවුස් සභාපති රණපාල බෝධිනාගොඩ මහතා හමුවීමි. එතුමන් වහා බන්දුල මෙත්තානන්ද මහතාට කතා කොට ප්‍රතිඵල ගෙන්වා ගෙන බලා තම කාමරයට කැඳෙව්වේ එවක කර්තෘ මණ්ඩල පරිපාලක නිලධාරීයා වූ බර්නාඩ් සිල්වා මහතාය.

ඒ අනුව මට ජනතා පත්තරයේ තුන්වන ශ්‍රේණියේ පුවත්පත් කලාවේදියෙක් ලෙස ස්ථිර පත්වීමක් ලැබිණි. මගේ මූලික මාසික පඩිය වූයේ රුපියල් දෙසිය පනස් පහකි. ඩී. එෆ්. කාරියකරවන මහතා ජනතා පත්තරයේ ප්‍රධාන කර්තෘවරයා විය. බ්‍රයන් ගෝමස්, ස්ටැන්ලි ප්‍රේමරත්න, පාලිත ධර්මරත්න, දයා සිරිවර්ධන, ආරියසේන හඳුවල, පියසේන ගුණවර්ධන, සොලමන් රණසිංහ, ඇල්බට් රණසිංහ ආදී බොහොමයක් ප්‍රවීණයන් එදා ජනතා කර්තෘ මණ්ඩලයේ වූහ. සොලමන් රණසිංහයන් එදා සංස්කරණය කළ ජනතා පත්තරයේ ජනතා කලා පිටුවට සිනමාව පිළිබඳ මම ලිපි ලිව්වෙමි. මා ලේක්හවුස් පැමිණෙන අවධියේ සරසවිය පත්තරයේ කර්තෘවරයා වූයේ ධර්මදාස බොතේජු මහතාය. නවයුගය කර්තෘ වූයේ එඩ්වින් ආරියදාස මහතාය. මා ස්ථිර පත්වීමක් ලබා ලේක්හවුස් පැමිණෙන විට සරසවියේ මුල් පුටුව හොබවන ලද්දේ ග්‍රැන්විල් සිල්වා මහතාය.

දිනක් ග්‍රැන්විල් සිල්වා මා සොයා ගෙන ජනතා කර්තෘ මණ්ඩලයට පැමිණියේ ධර්මසිරිගේ ගෝලය කෝ කියා අසමිනි. ජනතාවට ලියන ගමන් අපටත් ලියන්න. රාජගුරුගේ ලිපිවලට මම ගොඩක් කැමැතියි. ලියන භාෂා ශෛලියත් ඉදිරිපත් කරන ආකාරයත් හරිම අපූරුයි. සරසවියට තමයි ඔයාව වටින්නේ. ඒ ආරාධනයෙන් මා සරසවියට ලියූ මුල්ම ලිපිය වූයේ සුමිත්‍රා පීරිස්ගේ මායා චිත්‍රපටයේ රඟපෑ කුඩා ගැහැනු දරුවා පිළිබඳ ලිපියකි. එතැන් පටන් මම වසර දාහතක් පුරා සරසවියට ලිව්වෙමි. ජනතා පත්තරයේ වැඩ කරන අතරවාරයේ බුදුසරණ පත්තරයට ලිපි ලිවීම නතර වුව ද යොවුන් ජනතා පත්තරයට දිගටම ලිව්වෙමි.

ඉතිරි කොටස ලබන සතියේ...