වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




හෙක්ටර් කුමාරසිරිගේ අභිනික්මන ධර්මානුකූලයි; කලාත්මකයි; කාලෝචිතයි

හෙක්ටර් කුමාරසිරිගේ අභිනික්මන ධර්මානුකූලයි; කලාත්මකයි; කාලෝචිතයි

මහාචාර්ය කාලෝ ෆොන්සේකා විසිනි

මේ චිත්‍රපටය හෙක්ටර් කුමාරසිරිගේම වන්නේ එහි කතාව, දෙබස්, තිර නාටකය හා අධ්‍යක්ෂණය යන සියල්ලේම නිර්මාතෘ ඔහු නිසාය. එය ඔහුගේ කුළුඳුල් සිනමා නිර්මාණයයි. එය නැරැඹිමට දින කීපයකට පෙර මගේ අවධානය ඉතා හොඳින් දන්නා වැදගත් ලිපි දෙකක් කෙරෙහි යළිත් වරක් යොමු වී තිබිණි. එකක් සිඟාලෝවාද සූත්‍රයයි. අනෙක මගේ ප්‍රියතම දාර්ශනිකයා වන බර්ට්‍රන්ඩ් රසල්ගේ ස්වයං චරිතාපදානයේ පෙරවදනයි. ඒ දිනවල මා කිය වූ එකී ලියවිලි, අභිනික්මන චිත්‍රපටය පිළිබඳ මගේ ආස්වාදජනක යහපත් ප්‍රතිචාරය කෙරෙහි බොහෝ සෙයින් බලපා ඇති බව මට හැඟේ.

අභිනික්මන චිත්‍රපටයේ තේමාව සරලය, උතුම්ය, චිරස්ථායීය. මගේ අවබෝධය වන්නේ ආගම නමැති සංසිද්ධියේ හරය වනාහී අන්‍යයන් හට හෙවත් පරහට දයානුකම්පාවෙන්, හුදෙක් තමන්ට ලැබෙන වාසි අවාසි ගැන නොතකා උපේක්ෂා සහගතව කරුණාබරව සැලකීම බවයි. අනර්ථ අන් සියලු දේ සේම ක්‍රියාවලිය ද දුෂ්කරය, දුර්ලභය. එවැනි චර්යා රටා, මිනිසුන් ජීවන සටනින් ජය ගැනීමට දරන උත්සාහයත් සමඟ බොහෝ විට පටහැනිය. පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වීම ගති ලක්ෂණ කොට ඇති ‘ඩී එන්ඒ’ නමැති රසායනික ද්‍රව්‍යය, ප්‍රජනනය වෙනුවෙන් ජීවීන්ගේ සියලු චර්යා නෛසර්ගිකවම මෙහෙයවනු ලබන බව පොදු මනුෂ්‍ය දෘෂ්ටිකෝණයෙන් බලන කළ පෙනී යයි. එය එක්තරා සම්මත විද්‍යා ප්‍රවාදයකි. එනයින් බලන කළ මිනිසුන් ක්‍රියා කළ යුත්තේ ‘ඩීඑන්ඒ’ අනාගතයට රැගෙන යන වාහක බඳු දරු පරපුරේ ශුභ සිද්ධිය වෙනුවෙන් මිස ජීවන කාර්යභාරය හමාර කොට අභාවයට යමින් සිටින දෙමාපියන්ගේ ශුභ සිද්ධිය සඳහා නොවේ.

අභිනික්මන චිත්‍රපටයෙන් අපට දිස් වන්නේ ප්‍රජනන කාර්ය භාරයෙන් ස්වේඡාවෙන් ඉවත් වී පූර්ණ පැවිදි ජීවිතයකට සූදානම් වන ජව සම්පන්න තරුණයකු ‘ඩීඑන්ඒ’ ප්‍රජනනයට කිසිසේත් දායක නොවිය හැකි අබල දුබල මහලු දෙමාපිය යුවළක් වෙනුවෙන් පැවිදි ජීවිතයත් තාවකාලිකව අතපසු කොට ක්‍රියාත්මක වීම පිළිබඳ කතාවකි. එය නරඹන අය ප්‍රබෝධවත් වන්නේ මන්ද යනුවෙන් ගැටලුවක් මෙහිදී මතු වෙයි. එය එසේ වන්නේ ජීවය නමැති සංසිද්ධියේ උත්කෘෂ්ට ප්‍රකාශය බඳු නැණවත් මානවයා හෙවත් හෝමෝන සේෆියන්ස්ගේ පරිණාමික තත්ත්වයේදී ඔවුන්ට සෙසු ජීවීන්ට නැති මානයක් තිබෙන නිසා දෝ යන ප්‍රශ්නය මතුª කරවමිනි. මෙහිදී අදාළ වන තවත් කරුණක් වන්නේ ආගම නමැති සංසිද්ධිය, මිනිසා නමැති සත්ත්ව විශේෂයට පමණක් සීමා වී තිබීමයි.

අභිනික්මන චිත්‍රපටය, ආරෝහ පරිණාහ දේහ විලාසයෙන් හා චිත්තාකර්ෂණීය පෙනුමකින් යුක්ත සාමණේරයන් වහන්සේ නමක් වටා ගෙතුණු කතාවකි. ඒ චරිය මනා සංයමයකින් සංවේදීව නිරූපණය කරන්නේ නවක නළු සුදර්ශන බණ්ඩාර තරුණාය විසිනි. ඔහුගේ මහලු අසරණ මවුපියන් දෙදෙනා (අයිරාංගනී සේරසිංහ සහ ජෝ අබේවික්‍රම) ඉතා දුෂ්කර ජීවිත ගත කරන්නේ කිසිම හවුහරණයක් නොමැතිවය. ඔවුන්ගේ දරුවන් දෙදෙනාගෙන් වැඩිමලා වන දියණිය (මල්කාන්ති ජයසිංහ) ඈත ගමක අයකු (මහේන්ද්‍ර පෙරේරා) සමඟ විවාහ වී සිය දරු කැල රකින්නීය. ඇය අතිශය කාර්යබහුල ගෘහණියකිගේ තත්ත්වයට පත් වී සිටින බැවින් ඇයට මාපිය සංග්‍රහයට කාලයක් නැති තරම්ය.

අසරණ මහලු දෙමාපිය යුවළට තිබෙන එකම අස්වැසිල්ල වන්නේ යාබද නිවසක වෙසෙන කරුණාවන්ත වෙද මහතාගේ ගැටවර වියේ සිටින සුන්දර දඟකාර දියණියගේ (ලෝචනා ලක්ෂිකා) ඇසුර පමණි. ඒ අස්වැසිල්ල ද ලැබෙන්නේ ඉඳහිටය. මේ තත්ත්වය යටතේ සාමණේරයන් වහන්සේට සිය දෙමාපියන් ඇස් පනාපිට විඳීන ලෞකික දුකෙන් මුදවා ගැනීම සඳහා ඉතිරිව තිබෙන ඒකායන මාර්ගය ලෙස පෙනී යන්නේ පැවිදි ජීවිතයෙන් සමුගැනීමයි. හෙක්ටර් කුමාරසිරි අති ප්‍රබල අයුරින් සන්නිවේදනය කරන්නේ ඒ සන්දර්භය තුළ කළ හැකි ස්ථානෝචිත, කාලෝචිත, සැබෑ අභිනික්මන, සිවුරෙන් සමුගැනිම බවයි. එය වර්තමානය වන විට පවතින සංස්ථාගත ආගමික ප්‍රවාහයට යම් ආකරයකින් නොරිස්සුම් සහගත වුව ද උපේක්ෂාවෙන් ඉවසා වදාරන බව නා හිමියන්ගේ භූමිකාව රඟ දක්වන (ඩබ්ලිව්. ජයසිරි) හිමියන්ගේ චර්යාවෙන් මොනවට පැහැදිලි වෙයි.

චිත්‍රපටයට සංවේදී මානුෂික මානයක් ද එක්කර ඇත්තේ සාමණේරයන් වහන්සේට මරඟනකගේ විලාසයෙන් ඔච්චම් කරන සීදේවී නමැති ළමිස්සිය මගිනි. අභිනිෂ්ක්‍රමණය කළ ගෞතම සිද්ධාර්ථ පෙර දිනයකදී මරඟනන් ජය ගත් සේම බුද්ධ පුත්‍රයකු වීමේ අවංක අභිලාෂයෙන් ක්‍රියා කරන සාමණේරයන් වහන්සේ ද තමන් වහන්සේට මුහුණ දීමට සිදු වූ සුන්දර ලෞකික යුද්ධයෙන් ජය ගැනීමට සමත් වූ සේක. අවසානයේ දී ප්‍රේක්ෂක අපගේ ආසිරිවාදාත්මක සැනසිලි සුසුම් මැද සාමණේර හිමියෝ යළි පැවිදිව බුද්ධ ශාසනය බබළවති. සිය පියාණන් මිහිදන් කළ දිනය ම දෙවෝපගත අයුරින් තමන් වහන්සේගේ ශාසන පුනරාගමනය සිදු වූ දිනය බවට පත්කර ගැනීමට හැකි විය. අභිනික්මන චිත්‍රපටය මේ අවස්ථාව සංවේදීව හා විචිත්‍රවත්ව ඉදිරිපත් කරයි. සෑම වැදගත් කලා කෘතියක්ම රස විඳ අවසානයේ සිදු විය යුතු වූවාක් පරිද්දෙන්ම මේ චිත්‍රපටය නරඹා මා ගෙදර බලා ගියේ 81 වියැති මා ද අද පත් වී සිටින යථා තත්තත්වය පිළිබඳ සිතිවිලි ධාරාවක් හිසේ තබාගෙනය. ඒ සිතිවිලි මා තුළ ජනිත වූයේ පූර්වෝක්ත සිඟලෝවාද සූත්‍රය සහ බර්ට්‍රන්ඩ් රසල් දාර්ශනිකයාගේ පෙරවදන ඒ වකවානුවේදී යළිත් වරක් කියවා තිබීමෙන් මා ලද අභාෂය නිසා විය යුතුය.

සිඟාලෝවාද සූත්‍රය ගිහි තරුණයකු තේමා කොට ගත්තකි. සෑම උදෑසනකම ඔහු පුරුදු වී සිටියේ පෘථිවි තලයේ දිසා හයටම වැඳ නමස්කාර කිරීමටයි. බුදුරදුන් ඔහුගේ සදිසා නමස්කාරය වඩාත් අරුත් ගන්වා ඔහු යහපත් දිසාවකට යොමුකොට ඇත. බුදු හිමිගේ සහේතුක පෙන්වා දීම වූයේ පෙරදිග වන්දනය සේ සලකා පළමුව දෙමාපියන් හා දෙවනුව ගුරුවරුන් තෙවනුව අඹු දරුවන් ආදී ලෙසින් ගිහි – පැවිදි පිරිස් හයකට යුතුකම් ඉටු කිරීමෙන් සේවය කිරීම වඩා ඵලදායී වන බවයි. මෙහිදී මගේ අවධානය යොමු වූයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ දෙමාපියන් මුලින්ම සිටීම කෙරෙහිය. ජීව විද්‍යා දෘෂ්ටිකෝණය අනුව ප්‍රමුඛ අවධානය යොමුවිය යුතුව තිබුණේ ‘ඩීඑන්ඒ’ ඉදිරියට ගෙන යන ඉදිරි දරු පරම්පරාව වෙතයි. එහෙත් සියලු සතුන්ට පොදු ඒ ප්‍රවණතාව පසෙකලා ආගමික ශාස්තෘවරයාණන්ගේ අවධානය යොමු වී ඇත්තේ දෙමාපියන් කෙරෙහිය. එයින් මා නිගමනය කරන්නේ සාමාන්‍ය ස්වාභාවික නැඹුරුව මත මිනිසුන් විසින් පෝෂණය කර රැක බලා ගන්නේ තම දරුවන් වන බැවින් දෙමාපිය සංග්‍රහය තරමක් දුෂ්කර එමෙන්ම සාමාන්‍ය ස්වභාවයට පටහැනි ක්‍රියාවලියක් වන බවයි. එබැවින් ආත්මාර්ථයට සියල්ල නැඹුරු වූ ස්වභාවයකින් යුත් සමස්ත සමාජ ප්‍රවාහය තුළ උඩු ගං බලා පිහිනීමක් වැනි වූ මේ සත්කාර්යයට ආගමික බලපෑමක් අවශ්‍යම බව මගේ ද පිළිගැනීමයි.

දරුවන් රැක බලා ගැනීම ස්වාභාවික ක්‍රියාවලියක් වන බැවින් තිරිසන්ගත සත්ත්ව ලෝකය තුළ ද එය සිදු වන්නේය. ආගමෙහි පිටිවහල මිනිසාට අවශ්‍ය වන්නේ ස්වාභාවික ආවේග අභිබවා යන උතුම් ක්‍රියා සිදු කිරීම සඳහාය. දෙමාපිය උවටැන එවැනි සත් ක්‍රියාවකි. සැබෑ ආගමික නියාමය ද එයයි. එහෙත් චිත්‍රපටයේ ද නිරූපණය වන අයුරින් සංස්ථාගත ආගම තුළ මෙවැනි යුතුකම් සඳහා මැදිහත්වීමේදී එම සංස්ථාවේ පැවැත්මේ දෙදරායෑම්වලට එය තුඩු දිය හැකි බැවින් කථානායක සාමණේර හිමියන්ගේ උපැවිදිවිම තරමක් නුරුස්නා ක්‍රියාවලියක් වීම අස්වාභාවික නොවේ. එහෙත් අභිනික්මන චිත්‍රපටය මතු කරනු ලබන්නේ නැතහොත් නිරූපණය කරනු ලබන්නේ සැබෑ බුදු දහම විසින් නිර්දේශ කරනු ලබන නියාමයයි. එය ඉතා ප්‍රබල ලෙසත් කලාත්මක සළු - පිළි දවටා අලංකෘතව සවේදී ලෙසිනුත් ඉදිරිපත් කිරීමට හෙක්ටර් කුමාරසිරි දස්කම් දක්වා තිබේ.

බර්ට්‍රන්ඩ් රසල්ගේ යථෝක්ත පෙරවදනින් ඔහු කියා තිබෙන්නේ අති ප්‍රබල ආවේග තුනකින් ඔහුගේ මුළු ජීවිතයම පාලනය කරනු ලැබූ බවයි. ඉන් පළමුවැන්න ආදරය භූක්ති විඳීමට ඔහු තුළ තිබූ දැඩි පිපාසයයි. දෙවැන්න දැනුම සොයා යෑමේ නොතිත් ආශාවයි. තෙවැන්න දුක් විඳින මානව සංහතිය පිළිබඳ හද පත්ලෙන්ම නැගි දයානුකම්පාවයි. තෙවෙනි සංසිද්ධියට උදාහරණයක් වශයෙන් ඔහු හුවා දක්වන්නේ අසරණ මහලු ඇත්තන් රෝගාතුර වී එක්තැන් වූ පසු දරුවන් තුළ ඒ දෙමාපියන් කෙරෙහි කෝපය මිශ්‍රිත නොරිස්සුම් සහගත හැඟීම් උත්සන්න වීම යථා ස්වභාවය බවයි. මින් පැහැදිලි වන්නේ මහලු දෙමාපියන්ට සැලකීම, දැඩි ආයාසයක් ගෙන කළ යුතු කාර්යයක් බවයි. එසේම එය සාමාන්‍යයෙන් තම දරුවන් බලා ගන්නා සේ වැඩි ආශාවකින් යුතුව සිදුවන කාර්යයක් නොවන බවයි. ඒ නිසාම විය යුතුයි, සිඟාලෝවාද සුත්‍රයේ දෙමාපිය සංග්‍රහයට පළමු ප්‍රමුඛතාව දී දරුවන් තෙවෙනි තැනට පත් කර තිබෙන්නේ.

මේ මොහොතේ මගේ සිහියට එන්නේ ක්‍රිස්තියානි සම්ප්‍රදායේ එන දස පනත පිළිබඳවයි. ඉන් නමයක් සඳහාම තිබෙන්නේ දැඩි විධානයක් පමණි. බොරු නොකියව, කාම මිත්‍යාචාරයෙහි නොහැසිරෙව, ආදී ලෙසනි. එහෙත් මවුපිය සංග්‍රහය ගැන සඳහන් කර තිබෙන්නේ ‘දීර්ඝායු වැළඳීම සඳහා මවුපියන්ට සංග්‍රහ කරව’ කියාය. එය දෙවියන් කෙසේ වෙතත් ශුද්ධ වූ බයිබලය ලියූ කතුවරයා දී අති අල්ලසකි. දීර්ඝායු වැළඳීම මේ අනුව කාම මිත්‍යාචාරය නොකර සිටීමෙන්, බොරු නොකියා සිටීමෙන්, හොරකම් නොකර සිටීමෙන් ලබෙන ආනිශංසයක් හෝ ප්‍රතිලාභයක් හෝ නොවේ. මෙයින් ද සනාථ වන්නේ දෙමාපිය සංග්‍රහය දුෂ්කර එමෙන්ම උත්කෘෂ්ට ක්‍රියාවක් බවත් සමහර අවස්ථාවලදී එය ශාසනයට සේවය කිරීමත් ඉක්මවා ගිය පුණ්‍ය ක්‍රියාවක් විය හැකි බවත්ය. එය විශේෂ වශයෙන් ඉගැන්විය යුතු පුරුෂාර්ථයක් වන්නේය. එහෙයිනි, ඒ අනර්ඝ පාඩම හෙක්ටර් කුමාරසිරි සිය මහඟු චිත්‍රපටයෙන් ප්‍රබලව තීව්‍ර අයුරින් ආනන්ද ජනක ලෙස සන්නිවේදනය කර තිබෙන්නේය. පෙර කියූ අයුරින්ම සෑම හොඳ කලා කෘතියකින්ම විය යුතු පරිදි ඔහුගේ අභිනික්මන චිත්‍රපටය ද අප ආනන්දයෙන් ප්‍රඥාව කරා කැඳවාගෙන යනු ලබන්නේය. එය නැරැඹීම වනාහී පවුල පිටින්ම ගොස් ලබා ගත යුතු මාහැඟි අත්දැකීමකි.