වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




පළමුවැනි රියැලිටි වැඩසටහන කළේ මමයි

පළමුවැනි රියැලිටි වැඩසටහන කළේ මමයි

නීලක දිනේෂ්

ඔහුව හඳුන්වා දීමට ක්‍රම කිහිපයක් ඇත. එකක් රූපවාහිනී නිවේදකයකු ලෙසය. එය ඔබ ඔහුව වඩාත් හඳුනාගත් භූමිකාවය. එමෙන්ම මෙම බහුචරිතධාරියා වැඩසටහන් නිෂ්පාදකවරයකු ද වේ. ඊට අමතරව ඔහු රංගන ශිල්පියෙකි. ඒ බව නම් බොහෝ අය දන්නේ නැත.

නීලක දිනේෂ් රූපතුංග.

මතකයි නේද ඔහුව?

නීලක හා බැඳුණු රූපවාහිනී නාලිකාව වනුයේ ටී. එන්. එල්.ය. සතියේ දිනවල කොයි මොහොතකදී හෝ එම නාලිකාව සුසර කළහොත් ඔහුව දකින්නට නොලැබෙන්නේ ඉතාම කලතුරකිනි.

ඒ ටී. එන්. එල්. හි බහුතරයක් වැඩසටහන් මෙයෙවන්නා නීලක නිසාය. මේ ඔහු සමඟ කළ ආදරණීය සංවාදයකි.

ඔබ කොහොමද නිවේදකයකු වන්නේ? එතැනින් ඔබේ කතාවට ප්‍රවේශ වෙමු.

මගේ ආරම්භය ටී. එන්. එල්. නාලිකාවෙන්මයි සිදු වුණේ හරියටම මීට අවුරුදු දහ අටකට පෙර. සහාය නිෂ්පාදකවරයකු වශයෙනුයි මං මුලින්ම ටී. එන්. එල්. සමඟ එකතු වන්නේ. අනතුරුව ඉන් ලද අත්දැකීම් එක්ක නිවේදකයකු වුණා. ඒ පටන් ගත්තු ගමන තමයි මේ දක්වා මා පිය මනින්නේ.

දැන් මං එන්නේ රංගධාරා ළඟට?

ඇත්තටම රංගධාරා කියන්නේ නර්තන ක්ෂේත්‍රයට අලුත් ආලෝකයක් එක් කළ වැඩසටහනක්. නවක නර්තන ශිල්ප / ශිල්පිනියන් මෙරටට හඳුන්වා දීම එමඟින් සිදු වුණා. මං නොබියව කියනවා රංගධාරා තමයි අපේ රූපවාහිනී ඉතිහාසයේ පළමු රියැලිටි වැඩ සටහන. එමඟින් මාවත් ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වුණා.

ඊට පසුද වේග රිද්ම ආරම්භ කළේ?

ඔව්. මෙම වැඩසටහන් දෙකම නිවේදනය මෙන්ම නිෂ්පාදනය ද කළේ මමමයි. වේග රිද්ම හරහා නවක සංගීත කණ්ඩායම් රාශියකට අවස්ථාව මා ලබා දුන්නා. අද ලංකාවේ සිටින අංක එකේ සංගීත කණ්ඩායම් පළමුව කැමරාවක ඉස්සරහ ප්ලේ කළේ වේග රිද්ම වැවඩසටහනෙන්.

ඔබ හඳුන්වා දුන් අයට මුල මතක ද තවම?

කියන්න කනගාටුයි. වැඩි දෙනෙකුට පළමුව ආවේ ටී. එන්. එල්. නාලිකාවෙන් යැයි පැවසීම මදිකමක් වගේ දැන් නම්. ඒකට කමක් නැහැ. මාව මතකයේ තියාගන්න ඕන කියලා නෙවෙයි මං කියන්නේ. එත් කුමන හෝ ක්ෂේත්‍රයක ඉහළට ගියාට මුල මතකයේ තිබිය යුතුයි. කෙසේ නමුත් මගේ වැඩසටහන් ඔස්සේ පැමිණි සමහර අය මාව හමු වුණාම කට ඇරලා කියනනවා ‘මං මුලින්ම ආවේ නීලක අයියගේ වැඩ සටහනකින් කියලා’ ඒ අයගේ නිහතමානීකම ගැන සතුටුයි.

මේ දිනවල ඔබ මෙහෙයවන වැඩසටහන් ගැන කතා කළොත්?

සඳු දින අරුණැල්ලේ, වාසනා මෝටර් ෂෝ, සේල්, පියාජියෝ මෝටර් ක්‍රොස් වැනි වැඩ සටහන් වගේම ඉඩ ඇති පරිදි ප්‍රවෘත්ති නිවේදනයේ යෙදෙනවා.

කෙනෙකුට හිතෙන්න පුළුවන් දොඩම්ගොඩ බදාගෙන වගේ ටී. එන්. එල්. නාලිකාවේ හැම වැඩ සටහනක්ම නිවේදය කරනවා කියලා?

නිවේදකයකු වුණාම ඕල් රවුන්ඩර් කෙනකු විය යුතුයි. විවිධ වෙනස්කම්වලින් යුතු වැඩසටහන් කරන්න පුළුවන් වීම ඔහුගේ හෝ ඇයගේ දක්ෂතාව. මං කවදාවත් වෙන කෙනකුගේ වැඩ සටහන් බලෙන් අරගෙන කරලා නැහැ. මට ලැබෙන්නේ මොන වැඩ සටහනද මං ඒක හොඳින් කරනවා. මේ ටික විතරක් නෙවෙයි තවත් වැඩ සටහනක් කරන්න යැයි අධ්‍යක්ෂ මණ්ඩලය කිව්වොත් මං ඒකටත් බැහැ කියන්නේ නැහැ.

ඔබත් සමඟ ටී. එන්. එල්. නාලිකාවේ සිටි නිවේදක නිවේදිකාවෝ වැඩි දෙනෙක් නාලිකාව අතහැර ගිහින්. නමුත් ඔබ ඉන්නවා?

මටත් ලොකු ලොකු ඔෆර්වලට වෙනත් නාලිකාවලින් කතා කළා. ඒත් මං ඒ ආරාධනා ප්‍රතික්ෂේප කෙරුවා. මෙතැන හොඳයි. ඔළුව නිදහසේ මට වැඩ කරගෙන යන්න පුළුවන්.

නව පරපුරේ නිවේදක නිවේදිකාවන් ඔබ දකින්නේ කොහොමද?

අලුත් අය හොඳයි. නමුත් මං දකින පොඩි ගැටළුවක් තියනවා. ඒ බහුතරයක් වූ නිවේදකයෝ මෙරටේ සංස්කෘතිය හඳුනගෙන නැහැ. අපි ආමන්ත්‍රණය කරන ප්‍රේක්ෂක වර්ගය මුලින් හඳුනාගත යුතුයි. අනතුරුවයි නිවේදනය කරන්න ඕන.

ඔබේ කියමන උදාහරණයක් සහිතව පැහැදිලි කළොත්?

ඔන්න මං අවුරුදු වැඩසටහනකට මිද්දෙණියෙ ගියා. ඒ ගමේදී මට හමුවුණා වයසක අම්මා කෙනෙක්. වැඩ සටහනට වොයිස් කට් එකක් ගන්න ඇය ළඟට ගොස් මං ඇයට කතා කළේ ‘අම්මේ’ කියලා. ඇය ඒ වචනය අහලා අඬන්න පටන් ගත්තා. හේතුව කියද්දී මාත් සංවේදී වුණා. වසර ගණනාවකට පස්සෙලු ඇයට ‘අම්මේ’ කියා අයකු ඇමතුවේ. හැබැයි මං ඇයට ‘ඇන්ටි’ කියලා ඇමතුවා නම් එහෙම ඇය මගේ පැත්තවත් බලන එකක් නැහැ. අන්න ඒක තමයි නිවේදකයකු නිවේදනය කරන වටපිටාව හඳුනා ගන්නවා කියන්නේ.

ඒත් ඔබ සමහර වැඩසටහන් මෙහෙයවද්දී අවු කණ්නාඩි පළඳිනවා නේද? පෙර ඔබ කියූ පරිදි නිවේදකයකු අපේ සංස්කෘතිය හඳුනා ගත යුතුයි කතාවට එය පටහැනියි කියලයි මට හිතෙන්නේ?

මා පැවසූ දේ වැරැදියට තේරුම් ගන්න එපා. සංස්කෘතික විය යුත්තේ අවස්ථානුකූලව පමණයි. මේ කතා අහන්නකෝ. මං අවු කන්නාඩි පලඳින්නේ මෝටර් වාහන සම්බන්ධ වැඩසටහන්වල විතරයි. එතෙන්ට ඒ විලාසිතාව ගැළපෙනවා. මට එවන් වූ වැඩසටහනක් ජාතික ඇඳුම ඇඳගෙන මෙහෙයවන්න බැහැනේ. දැන් තේරුණාද මං කියපු එක. සංස්කෘතිය කියන එක ඇගේ තියෙන්න ඕනේ. වුවමනා වෙලාවට එය මතුපිටට ගත යුතුයි.

නිවේදකයකුවීම නිසා කොතනකදීවත් ඔබ වෙහෙසකට පත් වී නැතිද? මං එහෙම ඇහැව්වේ වෙනත් නිවේදකයකුට වඩා ඔබ විවිධ ක්ෂේත්‍රයන් හි වැඩසටහන් රැසක් මෙහෙයවන හින්දා?

මගේ වෘත්තීය ගැන මං තෘප්තිමත්. කෙදිනකවත් වෙහෙසට පත්ව නැහැ. මං වැඩසටහනක් මෙහෙය වන්නට ප්‍රථම ඒ ක්ෂේත්‍රයට සම්බන්ධධ පොත්පත් කියවා සහ පුද්ගල ඇසුර ලබා දැනුම වැඩිකරගෙන ප්‍රබෝධමත් වනවා. ඒ උද්යෝගයෙන් තමයි සෑම වැඩ සටහනක්ම මෙහෙයවන්නේ.

දශක දෙකහමාරකට ආසන්න කලා ජීවිතය තුළ මුහුණ දුන් අමතක නොවන අවස්ථාව මොකක්ද කියලයි දැන් මං අහන්නේ?

මට ටිකක් සෙම තිබුණු දවසක ප්‍රවෘත්ති කියන්න ලැබුණා. ඒ අස්සේ මට කිවිසුම් යන්න ආවා. ප්‍රවෘත්ති කියන්නේ සජීවීවනේ. ඉතිං මං කිවිසුම හිර කරගෙන ඒ බව මිනිසුන්ට නොපෙන්වා ප්‍රවෘත්ති කියු දවස කෙදිනකවත් අමතක වන්නේ නැහැ.

ඔබ රංගන ශිල්පියෙක් බව හරිම අප්‍රකටයි?

මං සෝමලතා සුබසිංහ මහත්මිය යටතේ රංගනය හැදෑරූ අයෙක්. ඇගේ කතන්දර දෙකක්, තොප්පි වෙළෙන්දා යන ජනප්‍රිය වේදිකා නාට්‍යවල ද මං කාලයක් රඟපෑවා. දැන් රංගනයේ යෙදන්නේ නැති තරම්.

පසුගියදා ඔබට පදවි නාම සම්මානයක් හිමි වුණා. ඒ ගැනත් කියමු?

‘කීර්ති ශ්‍රී දේශ ශක්ති මාධ්‍ය ශිරෝමනී’ තමයි ඒ නාමය. ජනමාධ්‍ය සංගමය ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ සර්ව ආගමික සංසදයනුයි මට එය පිරිනැමුවේ.

පවුලේ තොරතුරු කියන වෙලාවයි මේ?

මගේ බිරිය සංදීපා. මට පුතකුයි දුවලා දෙන්නෙකුයි ඉන්නවා. පුතා කාශ්‍යප, ලොකු දුව කාවින්ද්‍යා. බාල දුව පවනි. අපි පස් දෙනා බොහොම සතුටින් කල් ගෙවනවා.

අවසන්කොට මොනවද ඔබට කියන්න තියෙන්නේ?

අප ආයතනයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතාව ආදරයෙන් මතක් කරනවා. මං තමයි හා හාපුරා කියා ප්‍රවීණ කලාකරුවන්ගේ නිවෙස්වලට ගොස් වැඩසටහන් කළේ. විශේෂයෙන් වයෝවෘද්ධ කලාකරුවන් සොයා ගියා මම. ඔවුන් එම පටිගත කිරීම් අවසානයේදී හඬා වැටුණා. මට තුති පිදුවා. මං හිතන්නේ එවන් වූ කර්තව්‍යයන් ඉදිරියේදීත් මාධ්‍යවේදියකු හැටියට මා අතින් සිදු වේව්.