|
||||||||||||||||
ඉන්දියානු චිත්‍රපට කතාව 11
ඉන්දියාවේ දැවැන්තම චිත්‍රාගාරය ගින්නට හසුවෙයි
මදාන් සිය සිනමා නිෂ්පාදන ආරම්භයේ ම පාහේ තමා සතු අන්තර්ජාතික සම්බන්ධතාවන්ගෙන් ඉහළින් වැඩ ගැනීමට මැළි නොවීය.එමෙන්ම ජේ.එෆ්.මදාන් සිය ආයතනයේ කීර්තිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ වග පෙනී යයි. මේ තත්වය පිළිබඳ හොඳම උදාහරණයක් වනුයේ ඔහු විසින් ගොඩ නංවන ලද සිනමාහල් සමකාලින සෙසු සිනමාහල් හා සසඳද්දි පැහැදිලිවම වෙනස් බැව් පෙනෙන හෙයිනි.දැනට ද ඉතිරිව පවතින ඔවුන් විසින් ඉදි කරන ලද කොළඹ මරදානේ එල්ෆින්ස්ටන් සිනමාහලේ අගනා ගෘහ නිර්මාණ සැලැස්ම එයට හොඳම නිදසුන් සපයයි. මදාන් සිය චිත්‍රපට නිෂ්පාදනයන්ගේ අධි සාර්ථකත්වය සඳහා බොහෝ යුරෝපියන් හවුල් කර ගත්තේය.නල දමයන්ති චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සදහා දායක වූ ඉයුජිනියෝ ඩි ලිගුවාරෝ උපන්නේ 1899 වසරේ ඉතාලියේ නේපල්ස් නුවරදීය. ඔහු සිය මුල්ම චිත්‍රපටය 1919 වසරේ දී එනම් ඔහු විසි වැනි විය පුරද්දී මුල්ම චිත්‍රපටය ෆැසිනෝ ඩි‘ඔරෝ නමින් නිර්මාණය කළේය. ඔහුගේ ඊළඟ චිත්‍රපට යුගලම නිර්මාණය කරනුයේ ඉන්දියාවේ දීය. ඒ නල දමයන්ති සහ දෘව චාරිත්‍ර යන චිත්‍රපට යුගලය.මේ චිත්‍රපට යුගලෙහිම ඔහු චරිත නිරූපණයේ ද යෙදෙයි.ඔහු නැවත ඉතාලි සිනමාවට එක්ව මිය යනුයේ 1952 වසෙර්ය.ඔහුගේ නල දමයන්ති චිත්‍රපටය පිළිබද 1921 ජනවාරි 19 වැනි දින ටෛම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත කදිම විස්තරයක් ගෙන එයි.මෙතුවක් ඉන්දියාවේ නිෂ්පාදිත චිත්‍රපට කිසි විටකත් බටහිර චිත්‍රපට හා සැසඳීය නොහැකි නමුත් මුල් වරට නල දමයන්ති චිත්‍රපටය එසේ සැසඳීය හැකි මට්ටමින් නිර්මාණය වී ඇත්තේය. එපමණකින් සෑහීමකට පත් නොවන පුවත්පත සිය පාඨකයන්ට හින්දු සාහිත්‍යයේ එන මේ ප්‍රබල කතා පුවත රැගත් චිත්‍රපටය මොහොතක හෝ කම්මැලි කමක් නැතිව නැරඹිය හැකි චිත්‍රපටයක් ලෙස ද අවධාරණය කරමින් කියා සිටියි. එමෙන්ම එය අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් බව ද කියාපායි. නල දමයන්ති රීල් දහයකින් යුක්ත විය. එහි දමයන්ති ලෙස චරිත නිරූපණය කළ පේෂන්ස් කූපර් ඉන්දියාවේ මුල්ම සිනමා තාරකාව වූවාය.1905 වසරේ දි කල්කටාවේ දී උපත ලද ඇය ඇංග්ලෝ ඉන්දියානු (බ්‍රිතාන්‍ය සහ ඉන්දියානු සම්භවයකින්) යුවතියක වූවාය.මේ යුගයේ හින්දු යුවතියන් සිනමාවට අවතීරණය වීම සුලබ කරුණක් නොවූයෙන් පිරිමි දහසක් මැද සිය පිවිතුරු බව ආරක්ෂා කර ගන්නා ඉන්දියානු යුවිතියගේ චරිතය රඟපාන්නට ලැබුනේ සුරූපී පේෂන්ස්ටය. දෘව චාරිත්‍ර,රත්නාවලී.පති භක්ති,රාමායන්, ඇතුළු චිත්‍රපට රැසකටම දායකවූ ඇය ඉන්දියාවේ මුල් වරට ද්විත්ව චරිත නිරූපණය කළ නිළිය ද වූවාය. ඒ පති භක්ති චිත්‍රපටයේ සොහොයුරියන් දෙදෙනකුගේ චරිත රඟපාමිනි.පසුව ඇය කාශ්මිර් සුන්දරි චිත්‍රපටයේ මව සහ දියණිය ලෙස ද ද්විත්ව චරිත නිරූපණය කළාය.පති භක්ති ඇය රඟ පෑ චිත්‍රපට අතර වඩාත්ම සාර්ථක චිත්‍රපටයක් ද විය.1933 වසරේ තිර ගත වූ සෙහාරි සාප් ඇය රඟපෑ අවසන් චිත්‍රපටය විය.තේ වතු හිමියකු වූ ඉස්පහිනි සහබ් සමග මුලින් විවාහ වූ ඇය පසුව ඔහුගෙන් වෙන්ව නිහඩ සිනමා යුගයේ ජනප්‍රිය සිනමා නළුවකු වූ ගුල් හමීඩ් කාන් සමග යළි විවාහ වූවාය. 1947 වසරේ ඉන්දියාව බෙදී යද්දී මේ යුවළ පාකිස්ථානයට ගියහ. ටික කලකින් ගුලාම් මිය ගිය අතර ඇය සිය නම සබ්රා බේගම් ලෙස වෙනස් කොට ඉස්ලාම් දහම වැලඳ ගත්තාය. දරුවන් නොසිටිය ද ඇය හදා ගත් දරුවන් සංඛ්‍යාව 17 දෙනෙකි.මිය යන තුරුම ඇයගේ පළමු සැමියා ඇයට යහපත් මිතුරෙකු ව සිටි වග වාර්තා වෙයි. පේෂන්ස් 1983 වසරේ දී මිය ගිය බැව් ඉන්දියාව දැන ගත්තේ ටික දිනයක් ගිය පසුවය. ඉයුජිනියෝ මෙන්ම ඉන්දියානු සිනමාවට මදාන් සමාගම හරහා දායක වූ විදේශිකයකු වන කැමිල් ලෙග්‍රාන්ඩ් ප්‍රංශ ජාතිකයෙකි.ඔහු මදාන් සමාගමට දායක වනුයේ ප්‍රංශයේ පැතේ ෆෙරර් හරහාය. ඒ වන විටත් කැමිල් චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කොට තිබිණ. කැමිල් අධ්‍යක්ෂණය කළ රත්නාවලී චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑවේ ලිගුවාරෝ වීම විශේෂයකි. රත්නාවලිය සුප්‍රකට සංස්කෘත නාට්‍යයක් වූ ශ්‍රී හර්ෂගේ එනමින්ම යුත් නාට්‍යය පාදක කොට ගත්තකි.මේ අවදියේ දී බෙංගාල සාහිත්‍ය වංශයේ මහා පුරුෂයන් වූ බන්කිම්චන්ද්‍ර චැටර්ජි සහ රබින්ද්‍ර නාත් තාගොර් ගේ නිර්මාණ මුල්වරට සිනමාවට නැගීම සඳහා අයිතිය ලබා ගත්තේ ද මදාන් සමාගමය.මේ චිත්‍රපට නිර්මාණය සඳහා දායක වූ බොහෝ දෙනා බෙංගාලි සිනමාකරුවන් වීම විශේෂයකි.සිසිර කුමාර් බහදූර්,ජ්‍යතිශ් බැනර්ජි,ප්‍රියනාත් ගංගුලි,අම්රිත් බෝස්,මධු බෝස්,නරේශ් මිත්‍ර මේ බෙංගාලි සිනමාකරුවෝ වූහ. මදාන් චිත්‍රාගාරය වසරකට චිත්‍රපට අට සහ දහය අතර චිත්‍රපට සංඛ්‍යාවක් නිර්මාණය කළහ.ඉන්දියානු සහ විදේශීය ශිල්පින්ගෙන් යුත් මදාන් චිත්‍රාගාරය එවකට ඉන්දියාවේ පැවැති වඩාත් හොඳම චිත්‍රාගාරය විය.1923 වසරේ දී සිදු වූ ජේ.එෆ් මදාන්ගේ මරණයෙන් පසු එය අතට ගත්තේ ඔහුගේ පුතුන් පස් දෙනා අතරින් සිව්වැන්නා වු ජේ.(ජාම්ශෙට්ටි) ජේ.(ජීජී බෝයි) මදාන් ය.ඔහු පියාගේ සිහිනය වඩාත් ව්‍යාපාරික මට්ටමින් පුළුල් කළේය.චිත්‍රාගාරය සහ සිනමාහල් සියල්ල නවීකරණය කළ ජේ.ජේ මදාන් මුල් වරට සිය චිත්‍රාගාරය සඳහා රුපියල් 65,000ක් වැය කරමින් පියානෝව ක් ද ගෙනාවේය.පසු කලක ඉන්දියන් රජයට අයත් ෆිල්ම් ඩිවිෂන් ආයතනයේ සභාපති වරයා ලෙස ද කටයුතු කළ එස්රා මීර් කල්කටාවේ දී උපත ලද්දේ එඩ්වින් මේයර්ස් ලෙසය. ජන්මයෙන් පමණක් නොව නාමයෙන් ද ඉන්දියානුවකු වීමේ අභිලාෂයෙන් යුතුව සිය නාමය වෙනස් කොට ගත් හෙතෙම මදාන් සමග එක්ව නූර්ජෙහාන් නමින් චිත්‍රපටයක් 1923 වසරේ දී නිර්මාණය කළේය. මේ චිත්‍රපටයෙන් පසු මීර් අමෙරිකාවට ගොස් එහි දි සිනමාකරණය හදාරා පසුව යුනයිටඩ් ආටිස්ට් සමාගමට බැඳීණ. එයින් පසු යළි මවුරටට පැමිණි හෙතෙම සාගර් ෆිල්ම් කම්පැනි, රංජිත් මුවිටෝන් සමාගම් සමග කටයුතු කළේය.1940 වසරේ දී ඔහු ඉන්දියානු චිත්‍රපට උපදේශක මණ්ඩලයට එක් වු අතර පසු කලක වාර්තා චිත්‍රපට 700 කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කළේය.ඉන්දියානු චිත්‍රපට ඩිවිෂනයේ ස්වර්ණමය යුගය ඔහු සභාපතිධුරය දරණ සමය ලෙස සැලකෙයි.ඔහු මදාන් සමාගම වෙනුවෙන් තැනු නූර්ජෙහාන් චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතය නිරූපණය කළේ පේෂන්ස් කූපර්ය.මදාන් සමාගමේ විවිධ චිත්‍රපට අතර ජේ.ජේ මදාන් විසින් ම අධ්‍යක්ශණය කරන ලද පති භක්ති සහ පත්නි ප්‍රතාප් ද වෙයි. මේ චිත්‍රපට දෙකම අගා හශාර් කාශ්මිර ගේ තිරනාටක ඇසුරෙන් තැනුණ ඒවාය. එමෙන්ම එකී චිත්‍රපට යුගලම සමකාලීන කතා තේමාවන් වීම විශේෂයකි.කාශ්මරි හදුන්වා දෙන ලද්දේ උර්දු ශේක්ෂ්පියර් යනුවෙනි. ඉන්දියාවේ මුල්ම ජාත්‍යන්තර හවුල් නිෂ්පාදනය ද මදාන් සමාගමේ චිත්‍රපටයක් විම සැලකිය යුත් කරුණකි.ඒ ඉන්දියානු දේව කතාවක් අනුව 1924 වසරේ දි තැනුණු සාවිත්‍රි ය.සාවිත්‍රි කතාවට අනුව සාවිත්‍රියගේ සැමියා මරණයේ රජු වූ යම විසින් රැගෙන යෑමට තැත් කරයි.එහෙත් සාවිත්‍රිය උපායශීලිව සිය සැමියා ගලවා ගැනීමට වෙර දරන්නේ යම රජුගෙන් වරමක් ලබා ගන්නටය. ඒ අනුව ඇගේ වරම නම් සැමියාට දාව පුතුන් සියයක් ලබා ගැනීමට ඉඩ ලබා ගැනීමයි. සාවිත්‍රියගේ උපාය හමුවේ යම පළා යයි. මහා භාරත ග්‍රන්ථයේ ඇතුළත් මේ පුවත අලළා තැනුණ චිත්‍රපටය රූ ගැන්වුවේ ඉතාලියේ විම විශේෂයකි. එහි සාවිත්‍රි සහ සත්‍යවන් යන ප්‍රධාන චරිත යුගලම රඟපෑවේ ඉතාලි ජාතික නළු නිළි යුවළක් වූ රීනා ඩි ලිගුවේරා සහ ඇන්ජෙලෝ ෆෙරාරි විම විශේෂයකි. මෙසලිනා චිත්‍රපටයේ ප්‍රධන චරිතය රඟපෑ රීනා ඩි ලිගුවේරා රඟපාන ක්වෝ වාඩිස් චිත්‍රපටය රූ ගැන්වූ රෝමයේ සිනෙ ස්ටුඩියෝවේ තැනුණ යනුවෙන් එහි ප්‍රචාරක කටයුතු වලදී මදාන් උපයෝගී කොට ගෙන තිබිණ. 1925 වසරේ දී කල්කටාවේ මදාන් චිත්‍රාගාරය සහමුලින්ම ගිනි ගෙන දැවිණ.ඒ අවදියේ දළ සේයා පට වහා ගිනි ඇවිලෙන නයිට්‍රේට් භාවිතයෙන් සෑදුණ බැවින් චිත්‍රාගාරය බේරා ගත නොහැකි විය.එහෙත් වසරක් ඇතුළත යළි නැගී සිටින්නට ඔවුනට හැකි විය. 12 වැනි සියවසේ ජීවත් ව ගීත ගෝවින්දය රචනා කළ සංස්කෘත කවියකු වූ ජයදේවයන්ගේ ජීවිත කතාව අලළා තැනුණ මදාන් චිත්‍රපට සමාගමේ ජයදේව් අධ්‍යක්ෂණය කළේ ජෝතිශ් බැනර්ජිය.එහි පේෂන්ස් කූපර් සමග ප්‍රධාන චරිතය රඟපෑවේ තුල්සි චන්ද්‍ර බැනර්ජිය.එය කල්කටාවේ පමණක් නොකඩවා සති 23ක් තිර ගත විය.ස්‍රප්‍රකට බෙංගාලි කිවිවර බංකිම් චන්ද්‍ර චැටර්ජි ගේ කෘතියක් ඇසුරෙන් තැනුණ ප්‍රෆුල්ලා අනතුරුව තිරයට නැගිණ. මේ චිත්‍රපට යුගලම විචාරකයන්ගේත් ප්‍රේක්ෂකයන්ගේත් නොමඳ ආකර්ෂණයට ලක් විය.එමෙන්ම විවිධ අධ්‍යාපනික සහ කාලින වාර්තා චිත්‍රපට රැසක් ද ඔවුන් විසින් නිශ්පාදනය කරන ලදී.වෛද්‍ය සිසුන් වෙනුවෙන් කළ මොළයේ සැත්කමක් පිළිබඳ වාර්තා චිත්‍රපටය ද මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් තැනුණ ද ක්‍රයි ඔෆ් චිල්රන් ද මේ අතර කැපී පෙනෙන නිර්මාණ වෙයි.මුල්ම ඉන්දීය වෘතාන්ත චිත්‍රපටය නිපදවිමෙන් පාල්කේ ඉන්දීය සිනමාවට කළ සමාන මෙහෙයක් සිනමා කර්මාන්තය ගොඩ නැගිමේ දී මදාන් විසින් සිදු කරන ලදී. 1927 වසරේ දී ඉන්දිය සිනමා කොමිසම හමුවේ සාක්ෂි දෙන ජේ.ජේ.මදාන් තම වාර්තා චිත්‍රපට සිය ගණනක් ඉන්දියාව,බුරුමය,ලංකාව ඇතුළු රටවල ගම් නියම් ගම් සැරි සරා තිර ගත වෙමින් මිනිසුන් දැනුවත් කරන අයුරු කදිමට විස්තර කරයි. එහෙත් ජේ.ජේ. ගේ මරණයත් සමග සමාගමට අනාගතයට මුහුණ දී ගත නොහැකි විය. කථානාද චිත්‍රපට වෙනුවෙන් සිනමාශාලා සිය ගණනක් ද චිත්‍රාගාරය ද එකවර නවිකරණය කිරීමේ දී කළ යුතු ආයෝජනය විශාල එකක් විය.දෙවන ලෝක මහා සංග්‍රාමය සමග ව්‍යපාර සම්බන්ධිකරණය කර ගැනීමේ දී ඇති වූ ගැටලු සමග මදාන් සමාගම 1936 වන විට සම්පූර්ණයෙන් වැසී ගියේය. මතු සම්බන්ධයි
|
||||||||||||||||