වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපෑම මගෙ ජීවිතයයි

රඟපෑම මගෙ ජීවිතයයි

රංගන විජිතයේ කිරුළු පළන් ආදරණීය මිත්තණිය අයිරාංගනී සේරසිංහ කියයි

අදටත් මම කැමැති වේදිකාවට

අපි පිං කරන්න ඕනෑ අවංක චේතනාවෙන්

ඒ කුළුණුබර දෑසත්, පිංබර මුව මඬලත් දෙස මම මොහොතක් නිසොල්මනේ බලා හිඳිමි. සිතට නැෙඟන්නේ පහන් සිතිවිල්ලකි. මා මෙන්ම ඔබ ද ඒ සෙනෙහෙබර බැල්මට, සිනහවට එකසේ ඇළුම් කරනා වග මම දනිමි.

ඕ අපේ රංගන විජිතයේ කිරුළු පළන් දයාබර මිත්තනියයි. එමෙන්ම තවමත් රංගනයේ නිරතව හිඳිනා අපේ ජ්‍යෙෂ්ඨතම රංගවේදිනියයි.

1927 ජූනි 09 වැනි දින මුදුගොමුව ගම්මානයේ, මීදෙනිය වළව්වේ, මීදෙනිය රටේ මහත්තයාගේ දෙවැනි දියණිය ලෙස උපන් අයිරාංගනී රොක්සානා මීදෙනිය පසු කලෙක මුළු රටම හඳුනා ගන්නේ අයිරාංගනී සේරසිංහ නම් විශිෂ්ට රංගන ශිල්පිනිය ලෙසිනි.

තව නොබෝ දිනකින් ඈ සිය දිවි මගේ 87 වැනි වියට පා ඔසවයි. ඉන් පුරා පනස් පස් වසක් ඈ කැප කළේ රංගනය වෙනුවෙනි. මේ මොහොතේ මෙවන් සුවිශේෂී කතාබහකට අප සැරසෙන්නේ ඇයිදැයි ඔබට කිව යුතුව තිබේ. ඇගේ ජීවන තොරතුරු ඇතුළත් ‘අයිරාංගනී’ කෘතිය දොරට වැඩීම එහි පසුබිම් කතාවයි. මේ කෘතියේ කර්තෘවරයා කුමාර් ද සිල්වාය. ‘අයිරංගනී’ පාඨක දෝතට පිරිනැමෙන්නේ ඉංග්‍රිසි බසින් වීම තවත් විශේෂත්වයකි.

මා දැන් ඈ අභියසය.

කොහොමද, මොනවද අලුත් තොරතුරු?

පසුගිය කාලේ මට අසනීප වුණානේ. ඒ නිසා රඟපෑම් කටයුතුවලට වැඩිපුර ගියේ නෑ. දැන්නම් සනීපයි. ටික ටික වැඩ කරන්න කියලා වෛද්‍යවරු උපදෙස් දීලා තියෙනවා. ඉතින් මම මේ දවස්වල රොජර් සෙනෙවිරත්නගේ ‘රජවත්ත’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලයි ඉන්නේ.

සුමිත්‍රා පීරිස් මහත්මිය සමඟත් ඔබ පසුගිය කාලේ වැඩ කළා?

ඔව්. ‘වෛෂ්ණාවී’ චිත්‍රපටයේ මම රඟපෑවා. මිත්තණියගේ චරිතයක්. තාම ඩබින් ඉවර නෑ. ඒක හරි අපූරු චරිතයක් කියලා මට හිතෙනවා.

රඟපාන්න පටන් අරන් දැන් අවුරුදු පනස් පහක් විතර නේද?

ඊටත් වැඩියි මගේ හිතේ. 1947 දීනේ මම ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණේ. ඒ කාලේ ඉංග්‍රීසි නාට්‍ය සංගමයෙන් ගොඩක් නාට්‍ය නිර්මාණය වුණා. හැබැයි සේරම ඉංග්‍රීසි නාට්‍යය.

මතකද රඟපාපු මුලම ඉංග්‍රීසි නාට්‍යය?

‘ද සෙකන්ඩ් මයිස් ටැන්කරේ’ කියන නාට්‍යයේ මිසිස් ටැන්කරේ විදිහටයි මම මුලින්ම රඟපෑවේ. ඒක නිෂ්පාදනය කළේ කත්බර්ට් අමරසිංහ. ඊට පස්සේ ඇන්ටිගනී, බ්ලැක් චිෆන්, ද ගවර්මන්ට් ඉන්ස්පෙක්ටර්, ද හවුස් ඔෆ් බර්නාඩා ඇල්බා, මැක්බ(ර්)ත්, ඔතෙලෝ වගේ ඉංග්‍රීසි නාට්‍යය රාශියක ප්‍රධාන චරිතය රඟපෑවේ මම. ප්‍රොෆෙසර් ඊ. එන්. සී. ලුඩොවයික්ගෙන් මට රංගනය ගැන ගොඩක් උපදෙස් ලැබුණා. ඔහුගේ මග පෙන්වීම හින්දා තමයි මම එංගලන්තයට ගිහින් වැඩිදුරටත් රංගනය ඉගෙන ගත්තේ.

1953 වසරේ ‘ලයනල් වෙන්ට්ඩ්’ නෘත්‍යාගාරය විවෘත කරමින් රඟදැක් වූ මැක්සිම් ගෝර්කිගේ ‘ද ලෝවර් ඩෙප්ත්ස්’ වේදිකා නාට්‍යයේ නාස්ට්‍යාගේ ප්‍රධාන භූමිකාව රඟ දැක්වූයේ අයිරාංගනී සේරසිංහය. එය ඇගේ ජ්‍යෙෂ්ඨත්වයට කදිම නිදසුනකි.

එදා ලයනල් වෙන්ටඩ් එකේ අපට ඩ්‍රෙසින් රූම් එකක් තිබුණේ නෑ. හරියට වැසිකිලි පහසුකම් තිබුණේ නෑ. නමුත් අපි පුදුම කැපවීමකින් සියල්ලෝම එකා වගේ වැඩ කළා.

ඇය ඒ අතීතයට එබිකම් කරන්නේ කිසියම් ආනන්දජනක හැඟීමකින් යුතුව යැයි මට සිතේ. මා මතකයට නැගෙන්නේ ‘රේඛාව’ චිත්‍රපටයේ ‘කරලිනා හාමි’ ලෙස ඈ රඟපෑ භූමිකාවයි. හෙළයේ මහා සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ මෙන්ම අයිරාංගනී සේරසිංහ ගේ ද සිනමා ප්‍රවේශය සිදු වූයේ ‘රේඛාවෙනි’.

‘රේඛාව’ කරන්න කලින් මම ලෙස්ටර් දැනගෙන හිටියා. ඔහු එතකොට රජයේ චිත්‍රපට අංශයේ. නිවැරැදිව වාහන පදවන්නේ කොහොමද කියන තේමාව යටතේ ඔහු වාර්තාමය චිත්‍රපටයක් කළා. එදා තමයි මම මුලින්ම කැමරාවක් ඉදිරියට ආවේ. ඊට පස්සේ එයා මට කතා කළා ‘රේඛාව’ට. වේදිකාවට වඩා වෙනස්නේ සිනමා රංගනය. කැමරාවට මුහුණ දෙන විදිහ, ඒ ඔක්කොම මට කියලා දුන්නේ ලෙස්ටර්.

ඊට පස්සේ ලෙස්ටර් මහත්තයාගේ චිත්‍රපටවල ඔබ දිගටම රඟපානවා?

ඔව්. ‘දෙෙලොවක් අතර’, ‘සංදේශය’ වගේ චිත්‍රපටවල රඟපෑවා. පස්සේ කාලෙක ‘අවරගිර’, ‘වෑකන්ද වලව්ව’ වැනි චිත්‍රපටවලටත් සම්බන්ධ වුණා. මගේ සිනමාවේ ගුරුවරයා ලෙස්ටර් කිව්වොත් හරි.

සිනමාවට එද්දී ඔබේ වයස කීයද?

මම හිතන්නේ අවුරුදු විසි හතක්, විසි අටක් විතර ඇති.

ප්‍රේමවන්තියගේ චරිතයට කවුරුත් කතා කළේ නෑ?

නෑ . . . නෑ . . . එහෙම කවුරුවත් කතා කළේ නම් නෑ.

ඒ කාලේ ඔබත් සුරූපී යුවතියක් නිසා හිතට දුකක් දැනුණේ නැද්ද ඒ අවස්ථාව නොලැබුණ එක ගැන?

ඒක නේන්නම්. හැබැයි මට එහෙම දුකක් නම් හිතුණේ නෑ කවදාවත්ම. අනෙක මම මේක වෘත්තියක් හැටියටම නෙවේනේ කළේ. ඒ නිසා ඒ වගේ චරිතවලට ලොකු උනන්දුවක් තිබුණේත් නෑ.

දයානන්ද ගුණවර්ධනගේ ‘බක්මහ දීගේ’ චිත්‍රපටයේ ‘ළමාතැනී’ ගේ චරිතය ඇගේ රංගන දිවියේ සුවිශේෂ කඩඉමකැයි බොහෝ දෙනකු විශ්වාස කරති. ඒ ඈ සිනමා නිළියක ලෙස විශිෂ්ටත්වයට හා ජනප්‍රියත්වයට පත්කළ අපූර්ව චරිතයකි.

ලෙස්ටර් ගේ චිත්‍රපට දෙක, තුනකට පස්සේ මම මුලින්ම ප්‍රධාන චරිතය රඟපෑවේ ‘බක්මහ දීගේ’ චිත්‍රපටයේ. ඒක හරිම සුන්දර, සංගීතාත්මක චිත්‍රපටයක්. මාත් එක්ක ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ඩැනියෙල් මුතුමාල තාම ජීවතුන් අතර ඉන්නවා. ඔහු පදිංචිව සිටින්නේ නවසීලන්තයේයි.

ඒ පැරැණි හිතවත්කම් තාම තියෙනවාද?

අපොයි ඔව්. දැන් අවුරුදු දෙක තුනකට කලින් ඔහු ලංකාවට ආ වෙලාවේ මාව බලන්නත් ආවා.

ඔබට බොහෝ විට රඟපාන්න ලැබුණේ මවගේ නැතිනම් මිත්තනියගේ චරිතය. එක තැනක කොටු වුණා කියලා හිතෙන්නේ නැතිද?

වැඩිපුරම ලැබුණේ ඒ විදිහේ චරිත තමයි. තරුණ කාලේ විවිධ චරිත ලැබුණා නම් මීට වඩා වෙනස් විදිහට මිනිස්සු මා ගැන කතා කරයි. කවුරුත් මාව තෝරා ගත්තේ ඒ වගේ චරිතවලට. හැබැයි ‘රුපියල් සත’ ටෙලි නාට්‍යයේත් ‘කිනිහිරියා මල්’ චිත්‍රපටයේත් මට රඟපාන්න ලැබුණේ වෙනස්ම විදිහේ චරිත. විශේෂයෙන්ම ‘කිනිහිරියා මල්’ චිත්‍රපටයේ මම රඟපෑවේ ගණිකා නිවාස පාලිකාවකගේ චරිතය.

වෙනස්ම විදිහේ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙන්න ඇති?

ඒ දවස්වල ගොඩක් අය මට දොස් කිව්වා, ඇයි මේ වගේ ජරා චරිතයක් රඟපෑවේ කියලා. දුරකතන ඇමතුම් පවා ලැබුණා. ‘අයියෝ ඇයි මේ වගේ චරිතයක් කළේ. අපි ඔයාව පිළිඅරන් තිබුණේ අම්මා කෙනෙක් විදිහටනේ’ කියලත් සමහරු කිව්වා. එතකොට ඒ අයට මම පැහැදිලි කරලා දුන්නා ඒක රංගනයක් විතරක් බව. මම හිතන්නේ නළුවෙක්, නිළියක් වුණාම අපි එහෙම විවිධ චරිත රඟපාන්න ඕනෑ. එතකොටයි දක්ෂතා මතු වෙලා පේන්නේ.

‘සරසවිය’ සම්මාන උළෙල කිහිපයකදීම ඔබේ රඟපෑම් ඇගයුමට ලක්වුණා?

‘ඔබ දුටු දා’, ‘අවරගිර’ චිත්‍රපටවලට මට හොඳම නිළිය සම්මානය ලැබුණා. හොඳම සහාය නිළියට සම්මාන ලැබුණා ‘සාගරයක් මැද’ සහ ‘සුදු සෙවනැලි’ චිත්‍රපටවලට. ඒ ගැන සතුටුයි.

ඔබ වේදිකාවෙන් සිනමාවට එනවා, එතනින් ටෙලි නාට්‍යය රංගනයට. මේ අතරින් වඩාත් කැමැති මාධ්‍යය?

කැමැත්ත නම් වේදිකාවට තමයි, අදටත්. එතන ඇත්ත වශයෙන් සජීවී ගතියෙන් රඟපාන්න පුළුවන්. චිත්‍රපටවල, ටෙලි නාට්‍යවල රඟපාන කොට අපිට වැරදි හදාගෙන ඕනෑ නම් ආයේ ටේක් එකකට යන්න පුළුවනි. ඒත් වේදිකාවේ එහෙම බෑ. දර්ශනයක් රූගත කරනවා. ආයේ නවත්වනවා. අපි චරිතයක් රඟපාන කොට ඒකට බහින්න එපායැ. වේදිකාවේ එක දිගට චරිතයක් රඟපාන කොට අර වගේ බාධාවක් මතු වෙන්නේ නෑ.

මානසික ඒකග්‍රතාවය රැකගෙන රඟපෑ හැකියි?

ඔව්. ඊටමත් ඇත්තම ප්‍රේක්ෂකයෝ ඉදිරියේනේ අපි රඟපාන්නේ. එතකොට ඒ අයත්, අපිත් එකට එකතු වෙනවා. මං දන්නේ නෑ කොහොමද ඒක කියන්නේ කියලා.

දෙගොල්ල අතරේ සංවාදයක් නේද?

අන්න හරි. එහෙම සංවාදයක්.

ආපහු හැරිලා බලද්දී වේදිකාවේ, සිනමාවේ හෝ පුංචි තිරයේ වේවා වඩාත් ප්‍රිය කරපු චරිතයක් තියෙනවාද?

වේදිකාවේ නම ‘ඇන්ටිගනී’, ‘ලේඩි මැක්බර්ත්’. ඒවා හරි රසවත් චරිත. සිනමාවේ නම් ‘බක්මහ දීගේ’ චරිතය. ඒක ටිකක් වෙනස්. අම්මා කෙනෙකුගේ චරිතය නෙවේනේ ඒක. එතකොට ‘රේඛාව’ටත් මම ආසයි. මොකද මගේ පළමුවැනි චිත්‍රපටයනේ. ‘දෙලොවක් අතර’ වගේම මෑතකදී මම රඟපෑ ‘සුදු සෙවනැලි’ චරිතවලටත් මම කැමැතියි. අන්තිමට රඟපෑවේ සුමිත්‍රා ගේ චිත්‍රපටයේ. ඒකත් හොඳ කතාවක්.

ටෙලි නාට්‍යය පැත්තෙන් ගත්තොත් ‘යශෝරාවය’, ‘දූ දරුවෝ’ චරිත තවමත් අපේ මතකයේ තියෙනවා?

මතකයිනේ. යශෝරාවය ‘සුදු හාමිනේ’, දූ දරුවෝ ‘ඩල්සි’ වගේ චරිත නිසා මාව ගොඩක් ප්‍රේක්ෂකයෝ අතර ජනප්‍රිය වුණා. සමහරු තවමත් ඒ ගැන කතා කරනවා.

මම හිතන්නේ ඔබ අපේ ජ්‍යෙෂ්ඨතම සහ ප්‍රවීණතම රංගන ශිල්පිනිය?

එහෙම වෙන්නැති.

ඔබේ මුල්ම චිත්‍රපටය ‘රේඛාව’ට සම්බන්ධ වූ අයගෙන් කවුද අද ජීවත්ව ඉන්නේ?

මුල්ම චිත්‍රපටයට සම්බන්ධ වුණ අයගෙන් ලෙස්ටර්. සුමිත්‍රා, සිසිර, ඉන්ද්‍රාණි වගේ අය තමයි අද ඉතිරි වෙලා ඉන්නේ. ගොඩක් අය ජීවතුන් අතර නෑ. මගේ දරුවා හැටියට ‘රේඛාවේ’ රඟපෑ සෝමපාල ධර්මප්‍රිය පවා මිය ගියානේ. ගාමිණී ෆොන්සේකාත් මුලින්ම ආවේ ‘රේඛාව’ චිත්‍රපටයෙන්නේ.

එදා ගාමිණීගේ හැකියාවන් දැකලා ඔබ අනාගත වාක්‍යයක් පැවසුවාලු නේද?

ඔව්. මම කිව්වා, ගාමිණී කවදා හරි රටේ දක්ෂතම නළුවෙක් වෙන බව. වැඩිකල් යන්න කලින් ඒක තහවුරු වුණා. ගාමිණීගේ හිතෙත් තිබුණා එදා මම ඔහු ගැන කියපු දේ. ඒ නිසාත් වෙන්නැති හැමදාම ඔහු මට දැක්වූයේ හරිම ළෙන්ගතුකමක්. ගෞරවයක්.

එදා වගේ ඔබ අදටත් නව පරපුර අගය කරන කෙනෙක්. ඒත් ප්‍රවීනයන් සහ නවකයන් අතර රොස් පරොස් බවක්, නුරුස්නා ගතියක් තිබෙන බවයි වැඩි දෙනෙකු ගේ අදහස?

එහෙම අතරින් පතර ගැටුම්, ආරවුල් ඇති. ඒත් හැමෝම නෙවෙයි. ඒ වුණත් මට නම් ඒ අය හොඳ ළමයි. එදාට වඩා අද සමාජේ හුඟක් වෙනස්. අපි ඒකත් කල්පනා කරන්න ඕනෑ. මොන සමාජ පරිසරයක ද ඒ අය ඉන්නේ කියලා අපි තේරුම් ගන්න ඕනෑ. මොනවද ඒ අයට තියෙන අභියෝග. එතකොට හැමෝම එක්ක සුහදව ඉන්න පුළුවන්. එහෙමත් කෙනෙක් තමයි නරක මනුස්සයෙක් කියලා ඉන්නේ.

හැමෝම ඔබට ආදරෙයි. ?

අපි අනෙක් මිනිස්සුන්ට ආදරෙයි නම් ඒ අයත් අපට ආදරය වෙනවානේ. මම හැම වෙලේම කෙනෙකුගේ වැරදි නෙවේ බලන්නේ, හොඳ පැත්ත. ඊටමත් අපි මිනිස්සු තේරුම් ගන්න බලන්න ඕනෑ. එතකොට තමයි අපි නියම මනුෂ්‍යයෝ වෙන්නේ. මට නම් අද ඉන්න තරුණ ළමයි හැමෝම මගේ දුවලා, පුතාලා වගෙයි.

විශේෂයෙන්ම නව පරපුරේ දක්ෂතා ගැන අද තියෙන්නේ අඩු තක්සේරුවක්. පරම්පරා කිහිපයක් සමඟ වැඩ කළ ප්‍රවීණ නිළියක් හැටියට ඔබ කොහොමද ඔවුන්ගේ හැකියාවන් දකින්නේ?

ගොඩක් දක්ෂතා තියෙන අය අද ඉන්නවා. නළුවොත් එහෙමයි, නිළියොත් එහෙමයි. ඒත් ඒවා වැඩි දියුණු කර ගන්න, හදාරන්න රංග පාසලක් අපේ රටේ නැතිකම නම් ලොකු අඩුවක්. සහජ හැකියාව විතරක් තිබුණට බෑ. හැදෑරීමකුත් අවශ්‍යයිනේ.

ඉංග්‍රීසි කතා කරන ප්‍රභූ පවුලක උපන් අයිරාංගනී සේරසිංහ අධ්‍යාපනය ලැබුවේ ද ඉංග්‍රිසි මාධ්‍යයෙනි. එහෙත් රංගන කාර්යයේදී ඇය මේ මහ පොළොවේ පය ගසා ජීවත් වන ගැමි කාන්තාවගේ සහ දිරිය මවගේ භූමිකාව මැනවින් නිරූපණය කළාය.

මම හැදුණේ වැඩුණේ ගමක. ඒක මුදුගොමුව කියලා රුවන්වැල්ල පැත්තේ ගමක්. අපේ මුල් ගම නම් කෑගල්ලේ. අපේ සීයා මුදුගමුවේ ගෙවල් හදාගෙන පදිංචියට ඇවිත් තියෙනවා. මගේ තාත්තා ඉපදිලා තියෙන්නෙත් එහේ. මමත් හැදුණේ, වැඩුණේ ඒ පරිසරයේ. නිතරම අපි ආශ්‍රය කළේ ගැමියෝ. ගැමි ජීවන රටාව, ඔවුන්ගේ හද ගැස්ම මට අමුතු දෙයක් නොවේ. අපේ හදවතේ භාෂාව ඒකයි. ඒ නිසා ගැමි චරිත රඟපාන එක මට අපහසුවක් වුණේ නෑ. මට අමාරු වුණේ මධ්‍යම පාන්තික පවුල්වල කාන්තා චරිතය සිංහලෙන් කරන්නයි.

ඒ කියන්නේ නාගරික ජීවිතයට හුරුවක් තිබුණේ නැද්ද?

මම පාසල් ගියේ කොළඹ. එතකොට නගරයේ අපේ නෑදෑයෝ හිටියා. ඒ අය කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. කන්නේ බොන්නේ හැඳි ගෑරුප්පුවලින්. එත් මම හැම නිවාඩුවකටම ගමට එනවා. ගමේ මිනිස්සු ඇසුරු කරනවා. මේ සංස්කෘතීන් දෙකම මට මිශ්‍ර වුණා කියලා හිතෙනවා.

ඔබ රංගනයට පිවිසෙන්නේ දැන උගත් යුවතියක විදිහට. මීදෙණියේ රටේ මහත්තයා ඔබේ පියා. කොයි වගේ වාතාවරනයක්ද ඒ කාලේ නිවස තුළ ගොඩ නැගී තිබුණේ?

අප්පච්චි නම් එච්චර කැමැති වුණේ නෑ, මම රඟපාන්න යනවට. මොකද ඒ කාලේ තරුණියක් රඟපාන්න යනවා කියන එක සමාජය පිළිගත්තේ නැහැනේ. ඉතින් කෙනෙක්, දෙන්නක් කිව්වා කලාව පැත්තෙන් ඉදිරියට යන්න තරුණියන්ට හොඳ අවස්ථාවක් තියෙනවයි කියලා. අම්මත් මට සහය දුන්නා. අරකද, මේකද කියලා කොහොම හරි සටන ජය ගත්තා. හැබැයි ඒ අප්පච්චිගේ හිත රිදවලා නෙවෙයි, බොහොම යාප්පුවෙන්. සාමකාමීව.

ඔබේ සැමියා වින්සන්ට් සේරසිංහත් නළුවෙක් නිසා විවාහයෙන් පසුව රඟපාන්න තහනමක් පැනවෙන්න නැතිව ඇති?

අපි දෙන්නම ‘රේඛාවේ’ රඟපෑවනේ. ඊට පස්සේ චිත්‍රපට කිහිපයකම රඟපෑවා. දෙන්නම එකට රඟපෑව නිසා අපි අතරේ ගැටුම් ඇති වුණේ නෑ. එයා නම් හැදුණේ සම්පූර්ණයෙන් නාගරික පරිසරයක. අපි හඳුනා ගත්තේ වේදිකාවෙන්. එයා මීට වසර දහතුනකට කලින් අපිව දාලා ගියා. ඒ විවාහයෙන් මට පුත්තු දෙන්නෙක් ලැබුණා. ලොකු පුතත් රිය අනතුරකින් මිය ගියා.

දුක, සතුට පිරි ඔබේ ඒ ජීවිත අත්දැකීම් එක්තැන් වූ කෘතියක් එළි දැක්වීමට නියමිතයි. ඒ ගැන කතා කළොත්?

මේ පොත ලිව්වේ කුමාර් ද සිල්වා. ඔහු ඉතා උනන්දුවෙන්. වෙහෙස මහන්සියෙන් මේ කටයුත්ත කළා. ඒත් මම කුමාර්ට කිව්වා මොකටද මගේ ජීවිත කතාව ලියන්නෙත් කියලා. ඒ ගැන පත්තරවල කොයි තරම් ගිහින් තියෙනවද? මිනිසුන්ට මගේ කතන්දරේ අහලා එපා වෙලා ඇති කියලා මම කිව්වා. මටත් තිත්ත වෙලා තියෙන්නේ කියලම. ඊටත් මම කිව්වා ජීවිත කතාවක් කියන්න ඕනෑ ලෝකෙට මොනවා හරි වැදගත් දෙයක් කරපු මිනිස්සු ගැන කියලා. කවුද ගාන්ධි වගේ, එහෙමනම් ජවහර්ලාල් නේරු, එහෙම නම් මදර් තෙරේසා, එහෙමත් නැතිනම් නරක මිනිස්සු හිට්ලර්, පොල්පොට් අන්න ඒ වගේ අය. ඉතින් මගේ කතාව ලියලා වැඩක් නෑනේ. මගේ එච්චර ලොකු දෙයක් නෑ.

නමුත් ප්‍රේක්ෂකයන්ට, ඔබේ ආදරණීය රසිකයන්ට මේ කෘතිය වටිනවා?

අනේ මන්දා . . .

ඇය පවසන්නේ ඉතාමත් නිහතමානීවය. එය බොරු සාටෝපයක් නොවනා වග ඉඳුරා පැහැදිලිය. එනමුදු ඇගේ ජීවන චරිතය අලලා කුමාර් ද සිල්වා ලියූ මේ අගනා කෘතිය අයිරාංගනියගේ ආදරණීය රසික කැළට පිදෙන වටිනා තිළිණයක්ම වනු නියතය. එවන් සප්‍රයෝජනවත් කාර්යයකට මැදිහත්වීම පිළිබඳ මෙහි රචකයාට අපේ ප්‍රසාද පූර්වක ප්‍රණාමය හිමි විය යුතුම යැයි මම සිතමි.

පරිසරය කියන්නේ ඔබේ ජීවිතයට ඉතාම සම්බන්ධ දෙයක්. ඔබ පරිසරයට ආදරය කරන, එය රැක ගැනීමට වෙර දරන පරිසරවේදිනියක්. මේ මොහොතේ ඒ ගැනත් කෙටියෙන් හෝ කතා කරමුද?

මම වැඩියෙන්ම කැමැති ඒ ගැන කතා කරන්න. අපේ පරිසරය අපි විනාශ කළොත් අපිත් විනාශයි. ඒක හුඟ දෙනෙක් හිතන්නේ නෑ. අපි පරිසර හානියක් කළොත් ඒක පාරටම ඒකේ ප්‍රතිඵල අපට ලැබෙන්නේ නැහැ. පාරේ හරහා යන කොට කවුරුහරි වාහනයක හැප්පුණොත් එවලෙම අපට ඒක පෙනෙනවා. ප්‍රතිඵලය දකිනවා. නමුත් අපි පරිසරයට යම් හානියක් සිදු කළොත් සමහර විට ඒකේ ප්‍රතිඵලය භුක්ති විඳින්න වෙන්නේ අපේ අනාගත පරපුරට. අපේ දරුවන්ට. සමහරු මේ ගැන හිතන්නේ නෑ. පොදුවේ රජයත්, ජනතාවත් මේ ගැන උනන්දු වෙන්න ඕනෑ. කවුරුත් ඒ ගැන වැඩ කරන්න උනන්දුවක් නෑ. අද ඉපදෙන දරුවාට පවා අපි උගන්වන්න ඕනෑ පරිසරය රැකුණොත් තමයි අපිත් රැකෙන්නේ කියන දේ.

වසර පනස් පහක රංගන ජීවිතය දෙස නැවත හැරී බලන කොට ඔබ සතුටු වෙනවද රංගන ශිල්පිනියක් වීම ගැන?

ඔව්. ඉතින් මම ආසයිනේ රඟපාන්න. මගේ පරිසරය සම්බන්ධ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී මේ නිළිකම මට විශාල ප්‍රයෝජනයකුත් වුණා. මොකද මිනිස්සු මාව දන්නවනේ. ඒකත් ලොකු දෙයක්. එහෙම බැලුවත් රංගනය ගැන මට තියෙන්නේ ලොකු ආශ්වාදයක්. මෙච්චර වයසට ගිහිනුත් මම තවම රඟපාන්නේ ඒ ආත්ම තෘප්තිය නිසා.

වයසට යනකොට හුඟක් උදවිය නතර වෙන්නේ පන්සලේ. හතර පෝයටම සිල් ගන්නවා. බණ භාවනා කරනවා. ඒත් ඔබතුමිය තාම රඟපානවා. එතකොට ලෝකෝත්තර ජීවිතය ගැන ඔබේ අවධානයක් නැද්ද?

වයසට ගියාම හුඟ දෙනෙක් හිතන්නේ ආ . . . දැන් පිං දහම් කරන කාලය කියලා. මම නම් කියන්නේ පිං දහම් කරන්න ඕනෑ උපන් දා ඉඳන්නේ. තේරෙන දා ඉඳන් අපි පිං කරන්න ඕනෑ. ඇයි මේ මැරෙන්න යන කොට විතරක් පිං කරන්නේ. ඒ කියන්නේ බයටනේ. ඊටමත් පිං කරනවා කියන එක පන්සලට ගිහින් මල් පූජා කරන එක හෝ පහන් පත්තු කරන එකම නෙවෙයිනේ. අපි අනිත් මිනිසුන්ට, අනෙක් ජීවීන්ට සලකන හැටියි පව්, පිං කියන්නේ. අපි පහන් පත්තු කරලා, හඳුන්කූරු දල්වලා පන්සලේ ඉඳලා ගිහින් අනෙක් අය ගැන නරක කතා කියනවා නම්, අපහාස කරනවා නම් ඒක වැරැදියි. තමන් එක්ක ජීවත්වන අයට හොඳීන් සැළකීමත් පිනක්. අපි බුදුන්ට මල් පහන් පුූජා කරන්නෙත්, දාන දෙන්නෙත් නිවන් දකියිනේ කියලා හිතාගෙන. හරියට ස්වීප් ටිකට් එකක් ගන්නවා වගේ. අපි හුඟ දෙනෙක් කරන්නේ රුපියල් පහක් පිනට දීලා වෙන කොහෙන් හරි රුපියල් දහයක් බලාපොරොත්තු වෙන එක. නෑ අපි පිං කරන්න ඕනෑ යමක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. යහපත්, අවංක චේතනාවෙන්.