වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය අකුරු පහ ඇන්දේ මමයි

අකුරු පහ ඇන්දේ මමයි

ප්‍රවීණ චිත්‍ර ශිල්පී

තලcගම ජයසිcහ

රැකියාවක අවශ්‍යතාවය මට තදින් දැනෙන්නට වූයේ නංගිලා දෙදෙනකුත්, අක්කා කෙනකුත්, අයියා කෙනෙකුත් මට සිටි නිසාත්, පියා ජීවතුන් අතර නොසිටි හෙයිනුත් පවුලේ සියලු වගකීම් මා වෙත පැවැරුණු නිසාත්ය. 1956 දී මට හෙන්ලි නම් වූ වෙළෙඳ දැන්වීම් ආයතනයේ රැකියාවක් ලැබුණේ කලා අධ්‍යක්ෂවරයා හැටියටය. ඒ සඳහා මා වෙත රුපියල් තුන්සිය පනහක මාසික වේතනයක් ලැබිණි. පවුලේ තිබූ වගකීම් සපුරාලීමට ඒ මුදල ප්‍රමාණවත් නොවූ හෙයින් මම වෙනත් රැකියාවක් සොයමින් සිටියෙමි.

දිනක් ලේක්හවුස් පුවත්පත් කිහිපයක දැන්වීමක් පළ විය. එහි වුයේ ලේක්හවුස් ආයතනයට චිත්‍ර ශිල්පීන් බඳවා ගන්නා බවකි. මම ද ඒ දැන්වීමට අනුව ඉල්ලුම්පතක් දැම්මෙමි. එවක ලේක්හවුස් ආයතනයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වූයේ එස්මන්ඩ් වික්‍රමසිංහයන්ය. ආයතනය තුළ බොහොමයක් පාලන කටයුතු සිදු වූයේ එතුමන් යටතේය.

1957 මුල් භාගයේ එක්තරා දිනක ලේක්හවුස් ආයතනයෙන් කැඳවීම් ලිපියක් ලැබුණේ චිත්‍ර ශිල්පී තනතුරට මා හට සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන ලෙස දන්වමිණි. මෙම දැන්වීම සඳහා ඉල්ලුම්පත් හයසියයක් ලැබී තිබිණි. එයින් හතළිස් දෙනෙකුට සම්මුඛ පරීක්ෂණයට කැඳවා තිබුණි. එවක ජනතා හා සිළුමිණ පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා වූ ඩෙන්සිල් පීරිස් හා චිත්‍ර ශිල්පී පී. ජී. ඒ. ගෞතමදාසයන් අපගේ පරීක්ෂණ මණ්ඩලයේ වූහ. මා විසින් අඳින ලද චිත්‍ර එදින පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් කළෙමි.

එහිදී මගේ චිත්‍ර බැලූ ඩෙන්සිල් පීරිස් මහතා ඔලුව දෙපසට සෙලෙව්වා මිස කිසිවක් කිව්වේ නැත. දින කිහිපයකට පසු මට යළිත් ලිපියක් ලැබිණි. ඒ අනුව යළිත් ලේක්හවුස් ගියෙමි. මුල් පරීක්ෂණය සඳහා කැඳ වූ අයගෙන් හය දෙනකුට එදින පරීක්ෂණයක් සඳහා කැඳවා තිබිණි. එයින් එක් අයකු වූයේ මමය. මම හැරුණු කොට අනෙක් පස් දෙනාගෙන් හතර දෙනකුගේ මතය වූයේ මේ තනතුරට තෝරා ගන්නට සුදුසු එකම පුද්ගලයා මා බවය. එය එසේ වුව ද එය මට නොලැබෙන බව ඔවුන් පුන පුනා කියනු ලැබිණි. එයට හේතුව ලෙස ඔවුන් පැවසුවේ පරීක්ෂණ මණ්ඩලයේ සිටි එක් සාමාජිකයකුගේ ගෝලයකු ඒ සඳහා තෝරා ගැනීමට නියමිත බවය. ඔහුට හරිහැටි චිත්‍ර කලාව කළ නොහැකි වුවද අදාළ පුද්ගලයාගේ කීමට එය සිද්ධ වන බව මට ද පැහැදිලි විය.

එදින ජනතා පත්තරයේ පළ වූ ලිපියකට ගැළපෙන චිත්‍රයක් නිිර්මාණය කිරීම අප හය දෙනාටම පැවරිණි. ඒ වන විටත් කලකිරුණු සිතින් යුතුව සිටි මම මේසයක් උඩ තිබූ කොලයක ඒ ලිපියේ අදහස අනුව චිත්‍රයක් ඇඳ අන් අයටත් කලින් ඉවර කොට භාර දී පිටව ගියෙමි. බලාපොරොත්තු සහගත රැකියාව නොලැබුණ ද ඒ වන විටත් කරමින් සිටි කලා අධ්‍යක්ෂණ වෘත්තීය මගේ සිතට සතුටක් ගෙන දුන්නක් විය. ඉන් පසු මා කෙලින්ම ගියේ මාගේ සුපුුරුදු රාජකාරි ස්ථානයටය. රෑ බෝ වනතුරු එහි වැඩ කළ මට ගෙදර යන විට ටෙලිග්‍රෑම් එකක් එවකට මා පදිංචිව සිටි මහරගම ගෙදරට ඇවිත් තිබිණි. එහි සඳහන් වූයේ යූ හෑව් බීන් සිලෙක්ටඩ්. කම් ටුමාරෝ කියාය. එය එවා තිබුණේ ලේක්හවුස් ආයතනයෙනි.

පසුදාම උදෑසන මම ලේක්හවුස් පැමිණියේ කීයක් ලැබුණත් රස්සාව භාර ගන්නවා යන අදහසිනි. එයට ද හේතුවක් තිබිණි. අදාළ තරගකාරී අනෙක් තැනැත්තා සම්මුක පරීක්ෂණයට පැමිණි දා මට අමුතුම ආකාරයේ ඉඟියක් කරනු ලැබිණ. ඔහු මට පුන පුනා කීවේ අඩුම පඩියට කැමැති වන තැනැත්තා තෝරා ගන්නා බවය. ඔහු ඒ බවක් මට පුන පුනා ප්‍රකාශ කළේ ඒ හේතුව නිසාම මගේ උත්සාහය අත්හරී යැයි අදහසිනි.

මා ලේක්හවුස් ආයතනයට පැමිණියේ අඩුම පඩියට හෝ රැකියාව භාරගන්නා අදහසිනි. එස්මන්ඩ් වික්‍රමසිංහයන්ගෙන් මට කැඳවීමක් ලැබිණි. මට එතුමන් කතා කළේ ජයසිංහ කියාය. එවක ලේක්හවුස් ආයතනයේ චිත්‍ර ශිල්පියකුගේ මූලික පඩිය පටන් ගැනීම වූයේ රුපියල් සියයකිනි. මා දැන් ලේක්හවුස් ඇවිත් තිබෙනුයේ රුපියල් තුන්සිය පනහක් ගෙවන රැකියාවක් අතහැරය. ඊට වැඩි මුදලක් ලබාගැනීම මගේ අපේක්ෂාව වුව ද ලැබෙන මුදල ගැන කල්තියා දැනගන්නට ද ක්‍රමයක් ද නැත. කෙසේ හෝ පරීක්ෂකගේ සටකපට උත්සාහය නතර කිරීමට මට අවශ්‍ය නිසාම දෙන පඩියක් ගැනීමට කැමැත්තෙන් මම එතුමන් වෙත ගියෙමි.

ජයසිංහ පඩිය කීයක් විතර බලාපොරොත්තු වෙනවාද? සර්ල දෙන පඩියට මම එනවා. මම දැනට වැඩ කරන තැනින් තුන්සිය පනහක් ගෙවනවා යැයි මම පැවසුවෙමි. අපි සිළුමිණ කර්තෘටත් ගෙවන්නේ රුපියල් පන්සීයයි. මම කියන්නද මම රුපියල් දෙසිය පනහක් දෙන්නම්. ජයසිංහ කැමැතිද? වෙන කරන්න දෙයක් ද නැත. දැනට ලැබෙන පඩියෙන් රුපියල් සියයක් මේ රස්සාව නිසා මට නැතිව යයි. වෙන පාඩුව විඳ මාස කීපයක් මේ රස්සාව කර නැවත පරණ තැනට යන්නේ යයි සිතා මම ඒ අදහසට කැමැතිවීමි.

ලේක්හවුස් ආයතනයේ රැකියාවට පැමිණියද ලැබෙන වැටුපේ අඩුකම නිසා මා සේවය කළේ කලකිරීමකිනි. ඒ නිසාම බොහෝ අවස්ථාවලදී මා තියෙන වැඩක් ඉක්මනින් අවසන් කර නියමිත වේලාවට කලින් ආයතනයෙන් පැන ගියෙමි. කිහිප විටකදීම මෙසේ පැන යන විට එස්මන්ඩ් වික්‍රමසිංහයන්ට අසු වූ අවස්ථා ද තිබිණි. ඒ හසුවන හැම අවස්ථාවකදීම වෙලාවේ හැටියට ගුඩ් මෝනින්, ගුඩ් ආෆ්ටනූන් යනුවෙන් එතුමන්ට කිව්වෙමි. ඒ හැරෙන්නට කිසිදු ක්‍රියා මාර්ගයක් නොගත්තේය. එවැනි අවස්ථාවලදී මම ද බියට පත් වී සිටියෙමි.

ඒ වන විට මගේ වයස අවුරුදු දහනමයකි. චිත්‍ර අඳිනවාට අමතරව පුවත්පත් සඳහා ලිපි සම්පාදනය ද, ඡායාරූප ගැනීම ද, කාව්‍ය නිර්මාණ ද මට කළ හැකි විය.

කෙසේ හෝ අස් වී යන අදහසින් මා කටයුතු කළ ද ලැබෙන රාජකාරියට අමතරව මා කිසිවක් නොකෙරුවේ මා තුළ තිබූ සිත් කලකිරීම නිසාමය. මේ වකවානුවේ සිබිල් වෙත්තසිංහ මහත්මිය ද ආයතනයේ සේවය කළේය. ඇයගේ ස්වාමි පුරුෂයා වූ ධර්මපාල වෙත්තසිංහ මහතා ද ආයතනයේ පරිපාලනය භාරව කටයුතු කළේය. ජුන්ඩ බණ්ඩ ගුණ්ඩා නමින් ඇය කතාවක් අඳිනු ලැබිණි. මේ අඳින චිත්‍ර සඳහා වර්ණ ගැන්වීම මට භාර කරන ඇය කලින්ම නිවස බලා යාමට පුරුදුව සිටියේය. වැඩ අධික දිනවල ද මේ කාර්ය කිරීමට මට සිදුවීම නිසා මා ද සිටියේ දැඩි කේන්තියකිනි. දිනක් ඈ මෙසේ මා වෙත චිත්‍රයක් වර්ණ ගැන්වීමට පවරා කලින්ම නිවසට ගියේය.

මා හට ද ආයතනයෙන් පිටතට ගොස් රාජකාරි කටයුත්තක් කිරීමට පැවරී තිබුණි. එදින සිබිල් ඇඳි චිත්‍රය වර්ණ ගැන්වීමට මට නොහැකි විය. මෙයට උරන වූ සිබිල් වෙත්තසිංහත්, ඇගේ ස්වාමියා වූ ධර්මපාල වෙත්තසිංහත් මට බැන වැදුණේය. මේ ප්‍රශ්නය තවත් දුරදිග ගොස් එස්මන්ඩ් වික්‍රමසිංහයන් වෙතට ද ගියේය. මම එතුමන්ට ඇත්ත පැහැදිලි කළෙමි. ඉන්පසු මට වික්‍රමසිංහයන් පොරොන්දුවක් දුන්නේ මාස කීපයකට පසු මගේ පඩිය වැඩි කරන බව සඳහන් කොටය. ඒ අනුව මගේ පඩිය රුපියල් පන්සීයක් දක්වා ඉහළ නැගිණි.

රංජිත් විජයවර්ධන මහතා ලේක්හවුස් ආයතනයේ සභාපතිත්වයට පත්වීමෙන් පසු දිනෙක මට කැඳවීමක් ලැබිණි. අපි අලුතෙන් පත්තරයක් පටන් ගන්න යනවා. හැබැයි කලා පත්තරයක්. අපි ඒකට සරසවිය කියලා නමක් දාන්න තෝරාගෙන තියෙනවා. මට ටයිටල් එක ඇඳලා දෙන්න පුළුවන්ද? පුළුවන් සර් මම ඇඳලා දෙන්නම්. එතුමන් පැවසූ දිනයේ මම සරසවිය අකුරු පහ එකට එකතු කොට හෙඩ් පීස් එක ඇද එතුමන් අතට පත් කළෙමි. මුල්ම සරසවිය පත්තරයේ අකුරු පහ නිර්මාණය වූයේ මා අතිනි. ඒ ගැන අදත් මට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. කාලෙන් කාලෙට එහි අකුරු හැඩය වෙනස් කළ ද එහි ආරම්භක අකුරු පෙළ නිර්මාණයේ නියමුවා වූයේ මාය. වසර පනහකට පසු ඒ මුල් අකුරු පෙළම නවීකරණය කොට භාවිතයට ගැනීම ගැන මට ඇත්තේ අභිමානයකි.

මීමන ප්‍රේමතිලකයන්ගේ කර්තෘත්වයෙන් සරසවිය පුවත්පත මාස කිහිපයක් යනතුරු එළි දැක්විණි. ඉන් පසු එහි භාරකාරත්වය පැවරුණේ විමලසිරි පෙරේරා මහතාටය. එතැන් පටන් විමලසිරි පෙරේරා මහතා සරසවියේ නියමුවා විය.

සරසවියේ මුල් කලාපය පිටවීමෙන් පසු මට නැවත වරක් රංජිත් විජයවර්ධන මහතාගෙන් කැඳවීමක් ලැබිණි. මා අතින් නිර්මාණය වූ හෙඩ්පීස් එක ගැන ප්‍රශංසා කළ එතුමන් ඒ සඳහා මට රුපියල් පනහක චෙක්පතක් ප්‍රදානය කළේය. ආයතනයේ චිත්‍ර ශිල්පීන් ලෙස කටයුතු කළ ගෞතමදාසයන්, මංජු ශ්‍රී, සිබිල් වෙත්තසිංහ සේවයෙන් විශ්‍රාම යාම හා විදේශ ශිෂ්‍යත්වයක් ලැබ ආයතනයෙන් ඉවත්වීමත් සමඟ ආයතනයේ පත්තර සියල්ලේම පාහේ චිත්‍ර ඇඳීම මට භාර විය.

මට ලැබෙන මාසික වේතනයට අමතරව මා එක් එක් පත්තරය සඳහා වෙන වෙනම අඳිනු ලබන හැම චිත්‍රයකටම එදා මට ගෙවීමක් ලැබිණි. ඒ ගෙවීම ලබා ගැනීමට මා රැයක් දවාලක්, විවේකයක් නොලබාම සේවයට කැපවීමි. කෙසේ හෝ පත්තර සියල්ලන්ගෙන්ම වැඩියෙන්ම වැටුප් ගන්නා කෙනා බවට එදා පත් වූයේ මාය.

පණට පණ, තාත්තා, ව්‍යාඝ්‍රයෝ, ඉන්සු සහ සර්ෆා ආදී නම්වලින් මම සරසවියට චිත්‍ර කතා රාශියක් ඇන්දෙමි. සරසවියේ පළ වූ කෙටි කතා, ලිපි, කවි ආදිය සඳහා ද චිත්‍ර නිිර්මාණය කළෙමි. සරසවියට මා විකට කවි පෙළක් ද සෑම සතියකම රචනා කළෙමි. තලංගමගේ විලම්භීත නමින් ද, හතේ හත නමින්ද අපූරු කවි පෙළක් චිත්‍ර සමඟ මම සරසවියට නිර්මාණය කළෙමි.

ලක්ෂ්මන් වික්‍රමසිංහ මහතා සරසවියේ දෙවැනියා ලෙස කටයුතු කරමින් විමලසිරි පෙරේරා මහතාට අනගි සහායක් ලබා දුන්නේය. නිමල් පෙරේරා අබේවර්ධන අතින් සරසවියේ ඡායාරූප හා ලේඅවුට් සැකසීම සිදු විය. සරසවියට ස්ථිර සේවයට එක්ව සිටියේ විමලසිරි පෙරේරා මහතාත් ලක්ෂ්මන් වික්‍රමසිංහ මහතාත් පමණක්වීම විශේෂත්වයක් විය. අනෙක් සියලු දෙනාම පාහේ සරසවියට දායක වූයේ පිටස්තරවය. මා ද සරසවියට දායක වූයේ පිටස්තරව සිටය. සරසවිය සම්මාන උළෙල එවක ලේක්හවුස් ආයතනයේත් මංගල්‍යය විය. සිනමා අඹරේ දිදුලන තරු අතරේ මහා මංගල්‍යය වූයේත් සරසවිය සම්මාන උළෙලයි. එවක සරසවිය සම්මාන උළෙලේ ආරාධනා පත්‍රයේ පටන් සියලු ශීර්ෂ පාඨ සැකසුණේ මා අතිනි. ඒ සියල්ලක් මා අතින් සිදු වුව ද කිසිදු දිනෙක මම සරසවිය සම්මාන උළෙලක සිරි අසිරිය විඳීමට නොගියෙමි. සම්මාන උළෙලක විචිත්‍රත්වය මා සියසින් දැකීමට යාමට තරම් ආශාවක් මට නොතිබීම එක්තරා අන්දමක මගේ දුර්වලතාවයක් විය හැක. අන් සියලු දෙනා එය නැරැඹීිමට පොරකන මොහොතක ආරාධනා ලැබුණ ද මා ඒ සඳහා නොගියේ ඇයිද යන්න මටත් විටෙක සිතෙන වාර කොතෙකුත් ඇත.

ඉන්දියාවේ ෆිල්ම් ෆෙයාර් සඟරාවේ එක් කලාපයක් විකට අතිරේකයක් ලෙස සැකසීම සිදු කරන ලදී. මෙය සිදු කරනු ලැබුවේ චිත්‍රපට අධ්‍යක්ෂ, නිෂ්පාදක, රංගන ශිල්පී අයි. එස්. ජොහාර් විසිනි. ඒ අයුරින් සරසවිය පත්තරය ද එක් වසරකදී ඒ අයුරින් මුද්‍රණය කිරීමට විමලසිරි පෙරේරා මහතාට අවශ්‍ය විය. 1969 ජූලි විසි වැනිදා සරසවිය පත්තරය සිනා අතිරේකය නමින් පළ කෙරිණි. මුළු පත්තරය පුරා තිබුණේ සිනා ගෙන දෙන ලිපිය. මේ මුළු පත්තරයම සැකසීම භාර වූයේ මටය. මා අතින් නිර්මාණය වූ එදින සිනා අතිරේකය පාඨකයන් අතර ද ජනප්‍රිය වූ බව පසුව අප වෙත ලැබුණු ප්‍රතිචාරවලින් දැනගන්නට ලැබිණි. මෙය ඉන් පසු සෑම වසරකම එළිදැක්වීමට අදහසින් මතු සම්බන්ධයි පළ වුණ ද ඉන් පසු එවැන්නක් මුද්‍රණය කරනු නොලැබිණි.

මම පුරා වසර හතළිස් හතරක් ලේක්හවුස් ආයතනයේ සේවය කළෙමි. ඒ කාලය පුරාවට ආයතනයේ විවිධ පුවත්පත් සඳහා චිත්‍ර ඇන්දෙමි. ලිපි ලියනු ලැබිණි. කාව්‍ය නිර්මාණ රචනා කෙරිණි. ඒ අතරේ ඡායාරූප ද ගනු ලැබිණි. 1998 දී මා ලේක්හවුස් ආයතනයෙන් සමුගත්තාට පසුව ද අද දක්වාමත් මා නිර්මාණකරණයේ නියැළෙමි. අද වන විට සරසවිය පුවත්පත වසර පනහට එළඹ තිබේ. මා අතින් මුල් වරට නිර්මාණය වූ සරසවිය අකුරු පහ විවිධ කාලවලදී යම් යම් වෙනස්කම්වලට නතු වුවද, යළිත් පනස් වන වියට එළඹීමත් සමඟ මා මුලින් ඇඳි අකුරු හැඩයම පැමිණ තිබීම ගැන මම හද පත්ලෙන්ම සතුටු වෙමි. කලා ක්ෂේත්‍රයට මිණි පහනක් වූ සරසවිය තවත් චිරාත් කාලයක් වැජඹේවා. කලා ලොවේ මිණි පහන වූ සරසවිය අකුරු පහ මගේ අතින්ම මුල්වරට නිර්මාණය කරන්නට ලැබීම මා ලැබූ වාසනාවක් කොට සලකමි. ඒ අකුරු පහ අදත් කලා ලෝකය දිදුලවන හැටි බලා මම නිහතමානීව සතුටු වෙමි.