|
INSIDE - OUT SIDE ඇතුළත – පිටතඅනෝමා රාජකරුණා
* මුලින්ම දැනගන්න කැමැතියි මේ සුවිශේෂී කටයුත්ත මොකක්ද කියලා?ලබන මාර්තු 9 වැනිදා කොළඹ 07 ග්‍රෙගරි පාරේ පිහිටි ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ‘ඉන්සයිඩ් අවුට් සයිඩ්’ නමින් කෙටි හා වාර්තා චිත්‍රපට උළෙලක් පැවැත්වීමට කටයුතු සංවිධානය කරලා තියෙනවා. එදින පස්වරු 2.00 සිට රාත්‍රී 8.00 දක්වා වාර්තා චිත්‍රපට පහක්, කෙටි චිත්‍රපටයක්, ඒකාංගික ටෙලි නාට්‍ය දෙකක් සහ ටෙලි චිත්‍රපට දෙකක් තිරගත කිරීමට කටයුතු යොදලා තියෙනවා.එහිදී පස්වරු 4.30 සිට 5.30 දක්වා ‘කාන්තාව සහ ජනප්‍රිය මාධ්‍ය’ යන මැයෙන් පැවැත්වෙන සංවාදයේ ආරාධිත දේශනය වෙනුවෙන් සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් මහත්මිය සහභාගි වීමට නියමිතයි.
* ඔබ මෙවැනි කටයුත්තකට මුල පුරන්න හේතු වුණේ?ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් තමයි මෙය සංවිධානය කෙරෙන්නේ. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ ගිය අවස්ථාවක ඒ පිළිබඳ අවධානය යෙමු කිරීම තමයි මෙහි අරමුණ. ඇත්තෙනන්ම මෙය චිත්‍රපට ප්‍රදර්ශනයකට වඩා කාන්තාවන්ට සමාජය තුළ ඇතිවන අපහසුතා පිළිබඳ සාකච්ඡාවට මූලාරම්භයක් ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. * ඔබ සිතනවාද ලංකාවේ කාන්තාවන්ට අසාධාරණයක් වෙනවා කියලා?ඇත්තටම ලංකාවේ කාන්තාවන්ට අසාධාරණකම් සිදු වෙනවා. පවුල ඇතුළේ විතරක් නෙවෙයි පිටතත් ඒ දේ සිදුවන අවස්ථා අද සමාජය තුළ බහුලයි. ඒවා එක් එක් පුද්ගලයාගේ නැණ පමණින් වටහා ගැනීම තමයි වැදගත්. අද ලංකාවේ කාන්තාව මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් වෙලා තියෙනවා. විදේශ විනිමයෙන් විශාල කොටසක් රැඳිලා තියෙන්නේ ඔවුන් අතේ. නමුත් බොහෝ වෙලාවට ඔවුන්ට විවිධාකාර කරදරවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඉස්සර වගේ නෙවෙයි අද මෙරට සමාජයේ කාන්තාවන් පිරිමින් සමඟ හරි හරියට වැඩ කරනවා. දේශපාලන ක්ෂේත්‍රයට පිවිසිලා ඉන්නවා. නමුත් බොහෝ අවස්ථාවලදී ප්‍රාදේශීය මට්ටමේදී විවිධ ගැටලුවලට මුහුණ දෙන අවස්ථා තියෙනවා. මේවා ගැන අපි කතා කළ යුතුයි. ඒ වගේ ග්‍රාමීය සමාජයේ නිිවසේ බොහෝ කාර්යයන් කරට ගෙන සිදු කරන්නේ කාන්තාව. ඇය උයනවා පිහනවා, දරුවන් හදා වඩා ගන්නවා වගේම, වගා කටයුතු, දර, වතුර ගෙන ඒම වැනි සියලු දේ සිදු කරනවා. සමහර ගම්වල වතුර ගෙන එන්නට ඇයට සැතපුම් ගණන් දුර යන්න සිදු වෙනවා. ඒ වගේමයි සමහර ප්‍රදේශවල ගර්භණී මාතාවන්ට නිසි පහසුකම් නොලැබෙන අවස්ථා තියෙනවා. බස් එකක වුණත් කාන්තාවකට නිදහසේ යන්න බැරිවන සිදුවීම් නම් කොතෙකුත් සිදුවන අවස්ථා තියෙනවා. සුදුසුකම් හා හැකියාව මත කාන්තාව සමාජයේ ඉදිරියට ආවත් ගැටලුවල නම් අඩුවක් නැහැ. * ඔබ විසින් මේ සඳහා සංවිධානය කළ චිත්‍රපට උළෙලට අන්තර්ගත වන නිර්මාණ ගැනත් සඳහන් කළොත්?ගැහැනු දරුවන් පසුබිම් කරගත් නිර්මාණ, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, විවාහය, දේපළ සහ දෑවැදි පිළිබඳ ප්‍රශ්න, විශේෂයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තාවගේ ගැටලු, ලිංගික අධ්‍යාපනය, වැනි විවිධ මාතෘකා ගැන කතා කරන නිර්මාණ දහයක් තමයි මෙහි ඇතුළත්කර තිබෙන්නේ. ඒ සඳහා දශක දෙකක් පුරා වරින්වර මම නිර්මාණය කළ වෘත්තාන්ත හා වර්තා චිත්‍රපට අතුරෙන් දහයක් තමයි මම තෝරා ගත්තේ. කාන්තාවන් හා කාන්තාවන් මුහුණ දෙන විවිධ ගැටළු තේමා කරගත් නිර්මාණ තමයි මා අතින් වැඩි වශයෙන් නිර්මාණය වුණේ. පේ‍්‍රක්ෂක ඔබට මෙහි කැමැති නිර්මාණ තෝරා ගෙන නැරැඹීමට අවස්ථාව තියෙනවා. * අපි දැන් මේ මාතෘකාවෙන් බැහැරව කෙටි චිත්‍රපට දෙසට හැරෙමු. ඔබ හිතන පරිදි ලංකාවේ කෙටි චිත්‍රපට සඳහා තැනක් තියෙනවාද?පසුගිය අවුරුදු 10 තුළ කාලය ගත්තොත් 2000 වසරේ සිට මේ දක්වා කෙටි චිත්‍රපට පිළිබඳ නැති වෙලා තිබූ උනන්දුව ඇති වූ කාලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙතෙක් කල් ලංකාවේ අහෝසි වෙමින් පැවැති මාධ්‍යයක් බවට කෙටි චිත්‍රපට පත්ව තිබූ කාලයකුත් තිබුණා. නමුත් දැන් මිල අඩු, සැහැල්ලු කැමරා උපකරණ, ඉලෙක්ට්‍රොනික් හා ඩිජිටල් උපකරණ බහුල වීම නිසා නැති වෙලා තිබූ උනන්දුව දැන් ඇති වෙලා තියෙනවා. එයට උදාහරණයක් ලෙස කියන්න පුළුවන්, මම කෙටි චිත්‍රපට උළෙල සංවිධානය කරන අවස්ථාවලදී ඒ සඳහා චිත්‍රපට සියයක් විතර ලැබෙනවා. මෙසේ ලැබෙන්නේ වසරක් පාසා නිර්මාණය කෙරෙන අලුත් නිර්මාණ. නමුත් මාධ්‍යයක් ලෙස කෙටි චිත්‍රපට සඳහා තියෙන ඉඩකඩ නම් කලාපයේ අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී අඩුයි. තවත් හේතුවක් තියෙනවා. අද වන විට ලංකාවේ මෙගා, රියැලටි වැඩසටහන් තමයි කාලය අල්ලාගෙන ඉන්නේ. බොහෝ වෙලාවට රූපවාහිනී මාධ්‍ය ඔස්සේ කෙටි චිත්‍රපට සමාජගත කරන්න අවස්ථා ලැබෙනවා අඩුයි. නමුත් බොහෝ තරුණ පිරිස් තම නිර්මාණ අන්තර් ජාලය හරහා එම උත්සාහය ගනිමින් සිටිනවා දකින්න පුළුවන්. * ක්ෂේත්‍රයේ කැප වෙලා කටයුතු කරන කෙනෙක් ලෙස ඔබ මෙහි ඉදිරිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?මේ වන විටත් තරුණ තරුණියන් වෙනුවෙන් වැඩමුළු කීපයක්ම සංවිධානය කළා. විමුක්ති ජයසුන්දර, අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ එක්ක අපි එකතු වෙලා මේ වැඩමුළු දියත් කළා. මීළඟ වැඩසටහන එම්. ඩී. මහින්දපාල සමඟ අප්‍රේල් 07 වැනිදා පවත්වන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා. බොන්ෂූවා සිනමා උළෙලට සමගාමීව තමයි එය සිදු කෙරෙන්නේ. ඊට අමතරව තරුණ ප්‍රජාව චිත්‍රපට විචාරයට උනන්දු කරවන්න වැඩ පිළිවෙළක් යොදන්න බලාපොරොත්තුª වෙනවා. ඒ නිසා මේ අවුරුද්දේ ජාත්‍යන්තර විචාරකයන් දෙදෙනකුගේ ප්‍රධානත්වයෙන් තරුණ අයට වැඩමුළුවක් කරන්න කටයුතු සූදානම් කරමින් ඉන්නවා.
|