|
ඉන්දියානු සිනමා කතාව 08රුපියල් පනහක් ලැබූ ඉන්දියාවේ මුල්ම නිළිය1913 වසරේ මැයි මස තුන් වැනි දින බොම්බායේ කොරනේෂන් සිනමාහලේ රාජා හරිශ්චන්ද්‍ර සිනමා කෘතිය තිර ගත වීම කිසියම් රටක මුල් වරට චිත්‍රපටයක් නිපදවා තිර ගතවීමක් පමණක් ලෙස සැලකිය යුතු නැත.එයට හේතුව ඒ වන විට ඉන්දියාව පුරා ස්වදේශිය ව්‍යාපාරය පැතිරෙමින් තිබීමය. කොහොමටත් දුන්දිරාජ් ගෝවින්ද් පාල්කේ හෙවත් ඩී.ජේ.පාල්කේ මෙකී ස්වදේශීය ව්‍යාපාරයට ගෞරව කළේය.සිනමාහලේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන ලද්දේ නළුවන් සහභාගි වූ ජනප්‍රිය ගී සහ නැටුම් සහිත සජීව රංගනයන් ද සමඟය.මේ සජීවි රංගනයන් පැවැත්වූයේ චිත්‍රපටය තිර ගත කරවීමට මත්තෙන් සහ එයට පසුවය. ඡායාරූප පනස් හත් දහසක්,සැතැපුම් දෙකක රූප එකතුවක්,මේ සියල්ල ඇනා තුනකට යැයි පාල්කේ සිය දැන්වීමක සඳහන් කළේය.ඔහු සැතැපුම් දෙකක් දිග ඡායාරූප එකතුවක්යැයි සදහන් කළ ද චිත්‍රපටයේ පිටපත දික් වූයේ අඩි තුන් දහස් හත් සියයකි. වෙනත් නළු නිළියන් ගේ සජීවි ගීත යොදා අමුතු ආකර්ෂණයක් ගෙන එන්නට තැත් කළ ද එය අත්‍යවශ්‍ය නොවීය.ඒ තමන්ගේ රටේ මුල් වරට තැනුණ චිත්‍රපටය නරඹන්නට ඉන්දියානුවන් පුළ පුළා බලා සිටි බව පෙනුණ හෙයිනි.චිත්‍රපටය නිස්ශබ්ද නිසා එයට ගීත එක් කළ නොහැක. එහෙත් ඉන් වසර ගණනක් ගිය කළ ඉන්දියානුවෝ සිය සම්ප්‍රදායන් අනුව යමින් සිය චිත්‍රපටයන්ට ගීතය නැතුවම බැරි අංගයක් බව කියා සිටියහ.මේ යුගයේ සාමාන්‍යයෙන් චිත්‍රපටයක් සිනමාහලක ප්‍රදර්ශනය කරන ලද්දේ සතියක් නැත්නම් දෙකක් පමණී. එහෙත් රාජා හරිශ්චන්ද්‍ර කිසි කරදරයකින් තොරවම පුරා මාසයක්ම කොරනේෂන් සිනමාහලේ ප්‍රදර්ශණය විය.අනතුරුව එය බොම්බායේම ඇලෙක්සැන්ඩ්‍රා සිනමාහලේ තිර ගතවීම ඇරඹිණ.එය අනතුරුව බොම්බාය සහ අවට මහා රාෂ්ට්‍රයේ නගර කිහිපයක ප්‍රදර්ශනය විය. රාජා හරිශ්චන්ද්‍ර චිත්‍රපටයට පසුබිම්වූයේ හරිශ්චන්ද්‍ර නම් මහා බල සම්පන්න රජකු පිළිබඳ කතාවයි. ඔහුට සිය බිරිඳ දරුවන් සමග දැහැමෙන් සෙමෙන් රජ කරන සමයේ තම වචනයක් ඉෂ්ට කිරිම වෙනුවෙන් සිය පවුල ද රජකම ද කැප කරන්නට වෙයි. ඒ විශ්වමිත්‍ර නම් සෘෂිවරයා කරන ශාපයකිනි.අවසානයේ මහා දෙවිඳු ශිව හරිශ්චන්ද්‍ර රජුගේ පිහිටට එයි. රාජා හරිශ්චන්ද්‍ර කතා පුවත එයට පෙර එනම් 1884 වසරේ දි පාර්සි වේදිකා නාටයයකට නැගී තිබිණ. එය බලිවාලා පාර්සි තියටර් ගෲෆ් සමාගම වෙනුවෙන් රචනා කරන ලද්දේ විනයක් ප්‍රසාද් විසිනි. පාර්සි නාට්‍ය සම්ප්‍රදාය ඉන්දියාවේ මෙන්ම සිංහල සිනමාවට මෙන්ම නාට්‍යයයට ද විශාල බලපෑමක් කළ බව නොරහසකි.පසුකලක ඉන්දියානු කතානාද සිනමාවේ හැඩතල බිහිවූයේ මෙම පාර්සි නාට්‍යය සම්ප්‍රදාය අනුව යමිනි.මේ ලිපි මාලාවේ දි පාර්සි වරුන් පිළිබඳ කෙටියෙන් හෝ සඳහන් කළ යුතුවෙයි.බටහිර ආසියාවේ සිට බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉන්දියානු බටහිර වෙරළ ආශ්‍රික ප්‍රදේශයන්ගේ බහුලව පදිංචි වන පාර්සිවරු බහුල වශයෙන් ව්‍යාපාරිකයන් වූහ.ඔවුන් බහුතරය මුල් යුගයේ යෙදුණේ නාවික ව්‍යාපාරයේය. යුරෝපා ආක්‍රමණ සමග ඔවුහු රටරටවල පදිංචි ව සිය ව්‍යාපාර ඒවායේ ස්ථාපිත කළහ.සංඛ්‍යාවෙන් ගතහොත් ඉතා සුළු ජන කොට්ඨාශයක් වූයේ නමුදු බොහෝ රටවල ආර්ථිකයට බලපෑම් කළ හැකි තරම් තත්වයක් ඔවුනට විය.චිනයේ සෙවනැලි කලාව යුරෝපයට ගෙන ගොස් පසුකලක සිනමාව නමැති කර්මාන්තයට කතා කලාව ලොවට හඳුන්වා දුන්නාසේම එතෙක් එකිනෙකා තමතම විනෝදය සදහා හෝ රාජ ගෞරවය සඳහා හෝ ගොඩ නැංවූ නාට්‍ය කලාව ඔවුන් අති දැවැන්ත ව්‍යාපාරයන් බවට පත් කළහ.19 වැනි සියවසේ මැද භාගය වන විට පාර්සිවරු ඉන්දියාවේ සිටි ධනවත්ම ජන කොටස විය.ඔවුන් ඉන්දියාවේ මුල්ම මූල්‍ය ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ 1836 වසරේ දිය. ඒ බොම්බේ චේම්බර් ඔෆ් කොමර්ස් නමිනි.එමෙන්ම ආසියාව පුරා ජන විඥානයට ඉමහත් බලපෑමක් ඇති කළබොම්බායේ නාට්‍යය ව්‍යාපාරයට ද මුල පිරුවේ ඔවුන්ය. 1776 වැනි ඈතක තැනුණු ද බොම්බේ තියටර් ආයතනය එහි මූලාරම්භය ලෙස සැලකේ.ශ්‍රීමත් ජාම්ශෙඩ්ජි ජිජීබෝයි,ජගන්නාත් ශංකර්ශේට්, මේ ව්‍යාපාරයේ පුරෝගාමින් වූහ.පසු කලක ඉන්දියානු කලා ලෝකයට මහත් විසල් මෙහෙයක් කළ ශ්‍රීමත් ජේ.ජේ ස්කූල් ඔෆ් ආටි ජීජීබෝයි නමින් ඇති කරන ලද්දකි.එමෙන්ම දාදාබායි නයිරෝජි විසින් පාර්සි ස්ටේජ් ප්ලෙයර්ස් ආරම්භ කරන ලද්දේ 1853 වසෙර්ය.වික්ටෝරියා තියටර්ස්,එම්ප්‍රස් වික්ටෝරියා නාටක් ක්ලබ්,එල්ෆින්ස්ටන් ඩ්‍රැමටික් ක්ලබ්, එකල පැවැති සුපතල පාර්සි නාට්‍යය සමාගම් විය. එමෙන්ම පාර්සි නාට්‍ය සමාගම් වර්තමාන පාකිස්ථානය ඇතුළු මුළු මහත් ඉන්දියාව පුරා විසිර සිටියහ. මුල් යුගයේ සිනමාශාලා බවට පරිවර්තනය වූ ශාලා බහුතරයක හිමිකරුවන් වූයේ පාර්සි වරුන්ය.සිනමාව කතා කියද්දී තව දුරටක් නාට්‍ය ව්‍යාපාරය පවත්වා ගත නොහැකි බැව් පාර්සිවරු ව්‍යාපාරික ඥාණයෙන් වහා වටහා ගත්හ.මදාන් තියටර්ස්,මිනර්වා ටෝකිස් වැනි සුපතල ඉන්දියානු සිනමා සමාගම් බිහිවූයේ පාර්සිවරුන්ගේ ධනයෙනි. පාර්සිවරු සතුව මාසික වැටුප් ලබන නළුවන් කතා රචකයන් සංගීතඥයන් ආදි ශිල්පින් බහුතරයක් සිටියහ. කෙසේ හෝ වේවා කඩවුණ පොරොන්දුව නමැති ජනප්‍රිය නාට්‍යය මුල්ම සිංහල කතානාද චිත්‍රපටය වූයේ කෙලෙස ද එපරිද්දෙන්ම පාර්සි නාට්‍යයක් වූ රාජා හරිශ්චන්ද්‍ර ඇසුරුකොට මුල්ම ඉන්දියානු චිත්‍රපටය බිහි විය.වෙනසකට වූයේ රාජා හරිශ්චන්ද්‍ර සම්පූර්ණයෙන් නිහඬ චිත්‍රපටයක් වීමය.එමෙන්ම රාජා හරිශ්චන්ද්‍ර චිත්‍රපටය නාට්‍ය තරම් දීර්ඝ නොවීය. චිත්‍රපටය තේරුම් ගැනිම සඳහා හින්දි බසින් උප ශීර්ෂ යෙදින.චිත්‍රපටය රචනා කරන ලද්දේ පාල්කේමය.එමෙන්ම චිත්‍රපටයේ දෙවියන් අහසින් යන දර්ශණය ද වන ලැහැබ ගිනි ගනිද්දී දරුවා බේරා ගැනීම වැනි දෘෂ්ටි ප්‍රයෝග ඒ අවදියේ බෙහෙවින් අගය කෙරිණ. පාල්කේ සිය චිත්‍රපටය නිර්මාණය කරන්නේ බොහෝ අගහිඟකම් මැදය. ඩී.ඩී.දාබ්කේ ,පී.ජී.සානේ,අන්නා සලුන්කේ,බාලචන්ද්‍ර පාල්කේ, ආදින් චිත්‍රපටයේ චරිත නිරූපණය කළහ. මේ අතරින් බාලචන්ද්‍ර යනු පාල්කේ ගේ පුතනුවන්ය. මේ චිත්‍රපටය නිපදවීම ස දහා පාල්කේ විසින් පාල්කේ ෆිල්ම් කම්පැනි නමින් ආයතනයක් අරඹන ලදී. චිත්‍රපටය අති විශාල ලෙස සාර්ථක වූයේය.එපමනක් නොව පාල්කේ විසින්ම රාජා හරිශ්චන්ද්‍ර නමින් 1917 වසරේ දී එම කතාවම වැඩි වියදමකින් යුත්ව යළි නිෂ්පාදනය කරන ලදී.එම පුවතම මදාන් සමාගම විසින් සත්‍යවාදි රාජා හරිශ්චන්දු නමින් ද නිර්මාණය කිරිමට තරම් එය ජනප්‍රිය විය.මදාන් සමාගම සත්‍යවාදි රාජා හරිශ්චන්ද්‍ර නිර්මාණය කළේ කල්කටාවේ දීය.පාල්කේ ගේ රාජා හරිශ්චන්ද්‍ර නැකහොත් ඉන්දියාවේ මුල්ම චිත්‍රපටය පිළිබ ද 1913 වසරේ මැයි පස් වැනි දින එනම් චිත්‍රපටය වානිජ වශයෙන් මුදා හැර දෙදිනකට පසු ද බොම්බේ ක්‍රෝනිකල් පුවත්පත කොලමක් පුරා ඒ පිලිබද විචාරයක යෙදිණ. එහි ඔවුන් දෘෂ්ටි පුයෝගයන්ගේ අගය සහ නාටකීය ගුණාංගයන් ගෙන් චිත්‍රපටයට අමුතු ආලෝකයක් ගෙන ඒම පිළිබඳ පාල්කේට පැසසුම් කරයි.මේ වන විට ඉන්දියාව පුරා අරක් ගෙන සිටි විදේශ චිත්‍රපට අතර පාල්කේ සිටියේ පහලබැව් අමුතුවෙන් කියවිය යුත් නැත.එහෙත් එය ඉන්දියානුවන් පුළපුළා බලා සිටි අවස්ථාවක් විය.එහි කතාව බහුතරයක් ඉන්දියානුවන් දන්නා කතාවක් විය.කොටින්ම සිය මුල්ම චිත්‍රපටයෙන් පාල්කේ ඉන්දියානුවන්ගේ නාඩි බොහෝ දුරට හඳුනා ගත්තේය.කෙසේ වෙතත් මේ ඉන්දියානු සිනමා කතාව වුව නගරයෙන් බැහැර ගම්මාන වල පෙන්වන්නට නම් පාල්කේට තරමක යුද්ධයක් කරන්න්ට සිදුවූයේය.ඒ පිට පලාත් අරක් ගත් සිනමා කළමනාකරුවන් සමගය. මේ කළමනාකරුවන්ගේ තර්කය වූයේ මෙබඳු ඉන්දියානු කතාවක් සහිත නාටකයක් පැය හයක් වත් දිග බවය. එමෙන්ම ඒවා සදහා ප්‍රේක්ෂකයන් ගෙවන්නේ ඇනා දෙකක් බවය. කතාව ඇත්ත වුවත් ප්‍රේක්ෂකයන් පාල්කේ ගේ චිත්‍රපටය නරඹන්නට දිග මදිකම හේතුවක් කර ගත්තේ නැත. චිත්‍රපටය බෙදා හැරීමේ කටයුත්ත ද පාල්කේ ම බාර ගෙන තිබිණ.එක් අතකින් ඉන්දියානු දේව කතාන්තර මිසර හෝ ග්‍රීසියේ කතාන්තර වලින් වෙනස්වන ලකුණු තිබිණ. අරුම බල ඇති දෙවියන් ගේ මතිමතාන්තර ඉන්දියානුවන් තුළ සදාකල් ජීවත්වන ඒවා විය.මේ වෘතාන්ත මහා කාව්‍යය සම්ප්‍රදායෙන් බැහැරව ගත් කළ කඩේ පිලේ පමනක් නොව ගෙදරයන එන ගමන් ඉන්දියානුවන්ගේ කතාබහට ලක් වන ජාතියේ කතාන්දර ඒවා විය. එම කතාන්තරවලින් තොර ජීවිතයක් බහුතර ඉන්දියානුවනුට තිබුණේ නැත. එහි දේව හාස්කම් මෙන්ම වීර චාරිකාවන්ට අමතරව සාමාන්‍ය ආදර අන්දරද ගැබ්ව තිබිණ. එයින් ම ඉන්දියානු දෙවියන් වෙනත් රටවල දෙවියන්ට වඩා සාමාන්‍ය මිනිසුන්ට කරන බලපෑම් වැඩි විය.රාජා හරිශ්චන්ද්‍ර සාර්ථක වීමත් සමග පාල්කේ වඩා හොද පරිසරයකින් යුතු නාසික් වෙත ගියේය. ඔහු ඊළඟ තුන් මස ඇතුළත සිය දෙවැනි චිත්‍රපටය වූ මෝහිනි බසුමසූර් නිර්මාණයකිරීමට සැලසුම් කළේය.මේ චිත්‍රපටය නිර්මාණයේ දී ද ඔහුසිය බිරින්දෑ සමග අලුත් නිළියක සොයා බලන්නට පටන් ගත්තාය.අවසානයේ ඉන්දියාවේ දෙවැනි චිත්‍රපටය වු මෝහිනි බසුමසූර් මුල්ම ඉන්දියානු නිළිය බිහි කිරීමට සමත් වූවාය.ඇය කමලාබායි ගෝකලේය. ඒ වන විට කමලාබායි පහලොස් හැවිරිදි වියට පිය මැන්නා පමණය. මේ චිත්‍රපටයේ කමලාබායිගේ මව දුර්ගාබායි කමත් ද රඟපෑවාය. එය එක් අතකින් ඒ වන විට ඉන්දියානු ජන සමාජය ඇතුළත මහත් පිපිරිමක් ඇති කරවන සුලු කතා බහකට හේතු විය. ඒ වන විට දුර්ගාබායි සිය සැමියා වූ ආනන්ද නනොස්කාර්ගෙන් වෙන්ව සිටියාය. ඔහු ජේ.ජේ.ස්කූල් ඔෆ් ආර්ට් හි ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා විය.සැමියාගෙන් වෙන්වීමෙන් පසු ජීවන ගැටළු හමුවේ සිය මවට තිබුණේ විකල්ප තුනකැයි කමලාබායි පසුකලක හෙළිදරව් කළාය.එයින් මුල්ම සහ දෙවැනි තේරිමට තිබුණේ ගෘහ මෙහෙකාරියකවීම හෝ ගණිකාවක වීමය. එහෙත් මේ අවස්ථාවේ ලැබුණු තෙවැනි විකල්පය උරගා බලන්නට දුර්ගාබායි කමත් එකඟවූවාය.ඒ අනුව ඇය ඉන්දියාවේ සංචාරක නාට්‍ය කන්ඩායමකට දායක වූවාය.දුර්ගාබායි වාදනයෙහි හා නර්තනයෙහි මනා පුහුණුවක් ඇත්තියක වූවාය.එහෙත් සිය සැමියා හැර යෑමෙන් පසු කෙතරම් අසරණ වීද යත් සිය දියනියගේ අධ්‍යාපන කටයුතු පවා අතර මග නතර කර දමන්නට සිදු විය.එහෙයින් කමලාබායි කිසි කලක පාසල් අධ්‍යාපනයක් ලබන්නට වරම් නොලද්දාය.ඇය ජීවන අරගලය උදෙසා වේදිකා රංගනයට පිවිසෙනුයේ සිව් හැවිරිදි වියේදීය.ජීවිතාව උදෙසා රංගනය තෝරා ගැනීම සමග ඇගේ මව සිය පවුලෙන් ද කුලයෙන් ද පිටමං කෙරිණ. එහෙත් දුර්ගාබායි සිය පැවැත්ම උදෙසා කිසි විටෙක දණින් නොවැටුණාය.ඉන්දියාවේ මුල්ම සිනමා නිළිය ලෙස තම එකම දියනිය හඳුන්වා දීමට කරම් නිර්භීත වූ ඇය ද දියනිය සමග එම චිත්‍රපටයේ රඟපෑවාය.දියණිය මෝහිණී ලෙස රඟපාද්දී දුර්ගාබායි රඟපෑවේ පාර්වතී චරිතයයි.දුර්ගාබායි සිය දියනිය සිනමාවට හඳුන්වා දීමෙන් අනාගත පරම්පරාවකට මග පෑදුවාය. මෝහිනි බසමසූර් පිළිබද අතිතාවර්ජනයක යෙදෙන කමලාබායි සිය මව සමග පාන්දර හතරට අවදිව දිනපතා පුහුණුවට එක් වු අයුරු සිහිපත් කළාය. එහෙත් මේ මව සහ දුව සමග වඩාත්ම උරණ වූයේ ඒ වන විට කාන්තාවන් ලෙස රඟපෑ නළුවන්ය.මෝහිනී බස්මසූර් රූ ගත කරවන ලද්දේ ට්‍රිම්බකේශ්වර් ගම්මානයේය. එය නාසික් නගරයට නුදුරින් වූවක් වන අතර පාල්කේගේ උපන් ගමය.එහි රු ගැන්වීමට භාවිත කරන ලද්දේ ස්වාභාවික ආලෝකය පමණී.කරත්ත වල නැගී සැතැපුම් ගණනක දුර ගෙවා උදෑසනින් ට්‍රිම්බකේශ්වරයට පැමිණෙන පාල්කේ ඇතුළු පිරිස එක පවුලක සාමාජිකයන් මෙන් කටයුතු කළ අයුරු කමලාබායි හෙළි කර සිටියේ ඇයට 91 විය සපිරෙද්දීය.රූ ගත කිරීමකට පෙරාතුවම සෑම අවස්ථාවක්ම පාල්කේ විසින් මනාලෙස කියා දෙන ලදී.රූ ගත කිරීම් අරඹන්නේ ඔහු සම්පූර්ණයෙන් තෘප්තිමක් වු පසුය. එකල දෙබස් නොතිබුණ ද තොල් සෙලවීම් සිදුවූයේය ය. ඒ දෙබස් ප්‍රේක්ෂකයන්ට අසන්නට නොලැබිණ.චිත්‍රපටයේ ඉහලම ගෙවීම වූයේ රුපියල් පනහකි. කෙසේ වෙතත් කමලාබායි ඊළග වසරේ විවාහ දිවියට ඇතුළත්වූයේ කිර්ලොස්කාර් නාට්‍ය කණ්ඩායමේ හිමිකරු වූ රඝුනාත්රාඕ ගොක්ලේ සමගය. ඔහු සිය නාට්‍යය කණ්ඩායමේ රඟපෑවේ ගැහැණු චරිතයන් වීම විශේෂයකි.මේ විවාහයෙන් තුන් වන දරුවා ලැබෙන්නට සිටියදී එනම් ඇයට විසි පස් වසර පිරෙද්දි රඝුනාත් හදිසියේ මිය ගියේය.පසු කලක කතානාද චිත්‍රපට තිරයට පිවිසීමත් සමග ඔවුන්ගේ නාට්‍ය කණ්ඩායම විසුරුවා හැරීමට සිදුවිය. යළි සිනමාවට අවතීරනයවූ කමලාබායි චිත්‍රපට තිස් පහක පමණ රඟපෑවාය. 1991 වසරේ මිය යන විට 93 හැවිරිදි වියේ පසුවූ ඇගේ මුණුබුරන් වූ වික්රම් ගොක්ලේ සහ මොහාන් ගොක්ලේ ඉන්දියානු සිනමාවේ කැපී පෙනෙන නළුවන් ය. කෙසේ වෙතත් ඉන්දියානු සිනමාවේ මුල්ම නිළිය ලෙස වාර්තා තබමින් සම්ප්‍රදායන් බිඳ අලුත් පරම්පරාවකට මුල පිරූ ඇය මිය ගිය පසු එවකට පළ වූ ස්ක්‍රීන් සිනමා පුවත්පත පමනක් කුඩා ප්‍රවෘත්තියක් මගින් ඇය මිය ගිය බව ලොවට කියා සිටියේය.ඒ හැරෙන්නට ඇය ගැන දීර්ඝ ලිපි හෝ වෙනත් විස්තර කිසිවක් හෝ නොවීය. මතු සම්බන්ධයි
|