|
||||||
වැලිකතරේ හමන සිහිල් මන්ද මාරුතය
විදෙස් රටවල සේවය කරන ශ්‍රී ලාංකික සොයුරු, සොයුරියන්ගේ නර්තන - ගායන හැකියාවන් ලොව හමුවට .
රියැලිටි වැඩ සටහන් දැන් අපට කොහෙත්ම ආගන්තුක නැත. රූපවාහිනී නාළිකා මෙබඳු වැඩ සටහන් ඉදිරිපත් කරන්නේ තරගයට මෙනි. විවිධ ස්වරූපයන්ගෙන් කරළියට පැමිණියත් ඒවායෙහි අරමුණු බොහෝ විට එකකි.
එහෙත් දැන් සෑම ඉරිදාවකම රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන ‘රටවිරු ටැලන්ට් ස්ටාර්’ තවත් එක් රියැලිටි තරගාවලියක් පමණක්ම නොවේ. එය විදෙස් රැකියාවන්හි නියුතු අපේ රටේ සොයුරු, සොයුරියන්ගේ ගායන හා නර්තන කුසලතා ලොවට හඳුන්වා දෙන අලුත්ම ආරක වැඩ සටහනකි. ‘රටවිරු’ ටැලන්ට් ස්ටාර්’ බිහි වූයේ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ගරු ඩිලාන් පෙරේරා මැතිඳුන්ගේ සංකල්පයකට අනුවය. මෙහි විශේෂත්වය අපේ ජනප්‍රිය කලා ශිල්පීන්, ශිල්පිනියන් කිහිප දෙනෙකුම මීට සිය දායකත්වය ලබා දීමයි. හෙළ නිළි රැජන මාලිනී ෆොන්සේකා හා ජනප්‍රිය ගායන ශිල්පී ඉෂාක් බෙග් ‘රටවිරු ටැලන්ට් ස්ටාර්’ විනිශ්චයට ලක්කරන අතර එම වැඩ සටහන මෙහෙයවන්නේ ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලිය. අමාත්‍ය ඩිලාන් පෙරේරා හා නිළි රැජන මාලිනී ෆොන්සේකා මේ කතාබහට එක් වූයේ ඒ පිළිබඳ අප දැනුම්වත් කිරීමේ අරමුණෙනි. මුලින්ම සිය හඬ අවදි කරමින් අප සමඟ එක් වූයේ අමාත්‍ය ඩිලාන්ය. විදෙස් රටවල සේවය කරන අපේ ආදරණීය සහෝදර, සහෝදරියන් තමයි ලංකාවට වැඩියෙන්ම විදේශ විනිමය ගේන්නේ. දැන් ඉස්සර තිබුණේ තේ, පොල්, රබර්. ඊට පස්සේ ඇඟලුම්. නමුත් දැන් මේ ශ්‍රමිකයන් තමයි අපට වැඩිම විදේශ විනිමයක් ලබා දෙන්නේ. හැබැයි ඔවුන් ගැන අපේ තිබෙන ආකල්පය වෙනස් එකක්. අපි චිත්‍රපටයක් බලන්න ගියා කියමුකෝ. නහයට ටිකක් සැර සෙන්ට් සුවඳක් එහෙම ආවොත් වටපිට බලලා කියනවා මේ ඩුබායි ගිය කෙනෙක් ඇවිල්ලද කොහෙද කියලා. කවුරු හරි තද පාට ඇඳුමක් ඇඳගෙන හිටියොත් ඩුබායි ගියාද කියලා අපි අහනවා. ඔවුන් ගැන ඒ වගේ අවඥා සහගත හැඟීමක් තිබුණේ. මුලින්ම අපට අවශ්‍ය වුණේ ඔවුන් කෙරෙහි අපේ ජනතාව තුළ යහපත් ආකල්පමය වෙනසක් ඇති කරන්නයි. ‘රටවිරු’ ටැලන්ට් ස්ටාර් පසුබිම් කථනය එයයි? අපේ රණවිරුවන් දිවි හිමියෙන් සටන්කොට බේරා ගත් මව්බිමට දැන් ආර්ථික ශක්තිය ගේන්නේ මේ අය. ඉතින් අපි ඔවුන් රට විරුවෝ හැටියට හඳුන්වලා මෙවැනි කාර්යයකට මුල පිරුවා. අපි මේ වෙනස කරද්දී සමහර විරුද්ධ පාක්ෂිකයන් අපට සමච්චල් කළා. නමුත් අද මේ සමාජයේ ‘රට විරුවන්’ ගැන අවධානයක් ඇති වෙලා තියෙනවා. අනෙක් අයට වගේම ඔවුන්ටත් තමන්ගේ සැඟවුන කලා කුසලතාවන් රටට පෙන්වන්න අප මැදිහත් වුණේ ඒ ගෞරවය ඒ අයට ලබා දෙන්නයි. විශේෂයෙන්ම නර්තන හා ගායන හැකියාවන්? ඔව්. මේ වෙලාවේ අපි කරන්නේ ඔවුන්ගේ නර්තන හා ගායන හැකියාවන් එළියට ගන්න එක. අපි රටවල් නවයක මේ තරගාවලිය පවත්වලා ඒවා පටිගත කරලා ස්වර්ණවාහිනිය මඟින් මුළු රටටම පෙන්වනවා. අපි මෙතනදි බැලුවා ඔවුන්ගේ හැකියාවන් තක්සේරු කරලා නිවැරැදි විනිශ්චයක් දෙන්න පුළුවන් අය කවුද කියලා. මාලිනී ෆොන්සේකා මැතිණිය. ඇය කලාකාරියක් හැටියට අපට ගොඩක් සමීපයි. ඇය තමන්ගේ රංගන ජීවිතය, පෞද්ගලික ජීවිතයෙන් එහා තබපු නිළියක්. ඇය ජීවිතයම කැප කළේ සිනමාව වෙනුවෙන්. තමන්ගේ නිවසක් හදන්න ඇය පටන් අරගෙන තියෙන්නේ දැන්. එතුමියට අවුරුදු විසි පහකට, තිහකට පස්සේ ක්ෂේත්‍රයට ආපු උදවියත් දැන් තට්ටු ගණන් හදලා ඉවරයි. ඒක වෙනම කතාවක්. නමුත් අපි කල්පනා කළා ඇය මේ වැඩ සටහනේ අවශ්‍යයෙන්ම සිටිය යුතු කලාකාරිනියක් බව. ඇයි ඒ . . .? මාලිනී ෆොන්සේකා කියන්නේ අපේ සිනමාවේ නිළි රැජන. මම හිතන්නේ ඒ ක්ෂේත්‍රයේ ඇගේ අත්දැකීම් පිළිබඳ අප කිසිවකුටත් තර්කයක් නැහැ. අනෙක ඇය අපේ කාන්තාවන් වෙනුවෙන් යමක් කළ යුතුයි කියා නිතරම පාර්ලිමේන්තුවේ හඬ නඟන තැනැත්තියක්. මන්ත්‍රීවරියක්. ඊළඟට උපේක්ෂා ස්වර්ණමාලි. ඇයත් කලාකාරිනියකට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්නේ. ඇයි එයාව තෝරා ගත්තේ කියලත් බොහෝ දෙනා අහනවා. උපේක්ෂා රටවිරු පවුලක කෙනෙක්. ඇය උපන්නේ කුවේට්වල. ඉගෙන ගත්තෙත් කුවේට්වල. රටවිරු පවුලක කෙනෙක් හැටියට උපේක්ෂා තමන්ගේ කලා හැකියාවන් පෙන්නලා, ඒ හැකියාවන් හරහාම පාර්ලිමේන්තුවටත් ආපු කෙනෙක්. ඒ නිසා ඇය අපි මේ වැඩ සටහන ඉදිරිපත් කරන්න තෝරා ගත්තා. ඉෂාක් බෙග් ගායන ශිල්පියාත් විනිශ්චය මණ්ඩලයේ ඉන්නවා? ඔව්. ඇයි අපි ඉෂාක් තෝරා ගත්තේ. ඉෂාක් බෙග් කියන්නේ ලංකාවේ ඉන්න සුවිශේෂ ගණයේ කලාකරුවෙක්. ඉෂාක්ගේ තාත්තා මොහිදීන් බෙග් කියලා කියන්නේ ඉන්දියාවේ ඉපදුන මුස්ලිම් ජාතික මනුස්සයෙක්. ඔහු ලංකාවට ඇවිත් රොක්සාමි කියන දෙමළ මනුස්සයාගේ සංගීතයට කරුණාරත්න අබේසේකර කියන සිංහල මනුස්සයා ලියපු ගීත ගායනා කළා. ඒ සිංදුවලින් කියවුණෙත් වැඩිපුරම ‘බුද්ධාගම’ ගැනයි. සිංහලයා ගැනයි. ඉතින් එවැනි කලාකරුවන් ලෝකයේ ඉන්නවාද තව? ආගම ඉස්ලාම්. නමුත් ගී ගැයුවේ තමන්ගේ ආගම, ජාතිය ගැන නෙවෙයි, අපි ගැන. අපේ රට ගැන. එතුමාට ගරු කිරීමක් වශයෙන් හා මේ වැඩ සටහන සඳහා ඉදිරිපත් වෙන සිංහල, දෙමළ, මුස්ලම් සියලුම ජාතිකයන් සඳහා සාධාරණ විනිශ්චයක් ලබාදීමේ අරමුණිනුයි අපි ඉෂාක් තෝරා ගත්තේ. රටවල් නවයක ‘රටවිරු’ ටැලන්ට් ස්ටාර් පැවැත්වෙන බව ඔබ පැවසුවා. මොනවාද ඒ රටවල්? එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, ලෙබනන්, සයිප්‍රස්, ඕමාන්, බහරේන්, ජෝර්දාන් සහ දකුණු කොරියාව. එයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පටිගත කළ වැඩ සටහන් හතරම අප විකාශනය කළා. කුවේට් රාජ්‍යයේ පටිගත කිරීම් මාර්තු 03 වැනි ඉරිදා පටන් මසක කාලයක් විකාශය වෙනවා. ඉදිරියේදී ඊශ්‍රායලය වැනි රටකත් අපි මේ තරගාවලිය පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. මොකද මේ වෙන කොට එහි විශාල ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් සිටින නිසා. සමස්තයක් හැටියට මේ අයගේ දක්ෂතාවන් පිළිබඳ කතා කළොත්? පුදුම සහගතයි. අපේ තානාපති කාර්යාල මඟින් මේ තරගකරුවන් දෙසීයක් පමණ අපට තෝරා දුන්නාම ඒ අය අතරින් මාලිනී, ඉෂාක් සහ ඒ රටවල වෙසෙන ශ්‍රී ලාංකික කලා හැකියාවන් තියෙන කෙනකු සම්බන්ධ කරගෙන තමයි දක්ෂයන් තෝරාගෙන තරගාවලියට අපි යොමු කරන්නේ. සමහර ශ්‍රමිකයෝ අපට කිව්වේ ඔවුන්ගේ කලා කුසලතාවන් පැත්තකට දාලා මේ රටට ආවේ ඔවුන්ගේ පවුල ගොඩ ගන්න, නැතිනම් ගෙයක් හදාගන්න වගේ විවිධ කාරණා. අපි මේ වැඩ සටහනට ලංකාවේ වෙසෙන ඔවුන්ගේ මව, පියා, සොයුරු, සොයුරියන් නැතිනම් ළඟම ඥාතීන් සම්බන්ධ කර ගන්නවා. ඇත්තටම ඒ සමහර හැකියාවන් අද්විතීයයි. පුදුම සහගතයි. සමහර අය නර්තනයේ යෙදෙන කොට විනිශ්චය මණ්ඩලය අහනවා ‘කොහෙන්ද නර්තනය පුරුදු, පුහුණු වුණේ’ කියලා. ‘මෙහෙ ඇවිත් පුරුදු වෙන්න මට වෙලාවක් තිබුණේ නැහැ. මේ ලංකාවේදී පුරුදු, පුහුණු වුණ ටික තමයි’ කියලා ඔවුන් පිළිතුරු දෙනවා. ඇත්තෙන්ම ලංකාවේ අපි සමහර රියැලිටි ඵඩධඹ වල දකින්නේ බොරු මෙගා ස්ටාර්ස්ලා. ඇත්තම දක්ෂයෝ ඉන්නේ එහේ. ඇයි සැබෑ දක්ෂයෝ මෙහේ නැද්ද? ඉන්නවා. මම කිව්වේ සමහර වැඩ සටහන්වල අපි දකින්නේ බොරු ස්ටාර්ස්ලා. පුම්බපු, හුළං ගහපු ස්ටාර්ස්ලා. මම දැක්කා සමහර මෙගා ස්ටාර්ලා මේ වැඩ සටහනට පුවත්පත් මඟින් පවා අවලාද නගා තිබුණා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. මාලිනී අක්කා එක වෙලාවක කියනවා ‘අනේ අපි මේ සේරමලා අරගෙන ආපහු ලංකාවට යං. මේ අය අයිති අපේ රටට’ කියලා. ඉෂාක් අයියා කියනවා ‘ලංකාවට ආපුවාම කොහොම හරි මගෙත් එක්ක සිංදුවක් කියමු’ කියලා. හරිම ආදරණීය සහ සංවේදී අත්දැකීම් ඒ. ඇත්තටම ඒ හැකියාවන් ගැන ඔබට සිතුණේ, දැනුණේ මොනවාද? නිළි රැජන මාලිනියගෙන් මම එසේ විමසුවෙමි. පුදුම ටැලන්ට් එකක්. ඇත්තටම ඔවුන්ගේ නර්තන හා ගායන හැකියාවන් ගැන වෙලාවකටට පුදුමත් හිතෙනවා. මේ අය අරං ලංකාවට යමු කියලා මම කිව්වෙත් ඒ ලෝබකම හින්දා. අපේ රණවිරුවන්ගේ සහජ හැකියාවන් ඉස්මතු කරන්නයි මේ වැඩ සටහන දියත් කළේ. අපි ඔවුන්ට නිතර උපදෙස් දෙනවා හොඳින් පුහුණු වෙන්න කියලා. එක අනුවේදනීය සිද්ධියක් මට මේ වෙලාවේ මතක් වෙනවා. ඒ මොකක්ද? මම එක දැරිවියකට කිව්වා හයියෙන් කට ඇරලා ගීත ගායනා කරලා හොඳට පුහුණු වෙන්න කියලා. ඒ ළමයා මට කිව්වේ තමන් ඉන්න කාමරේ එහෙම කෑගහනවා තියා හයියෙන් කතා කරන්නවත් බැහැ කියලයි. මම එතකොට ඇයට කිව්වා ඔයා යන්න කාන්තාරයට. ගිහින් හයියෙන් කෑගහලා ගීතය ගායනා කරන්න කියලා. වැලිකතෙරේ දුක්විඳලා ගන්න සොච්චමට තමන්ගේ ජීවිතයේ බොහෝ දේවල් කැප කළ අපේම සොයුරු, සොයුරියන් ගැන එදා මගේ සිතට දැනුණේ පුදුමාකාර දුකක්. කනගාටුවක්. ඒත් ඔවුන් ශක්තිමත්ව නැගී සිටින්නට වෙර දරන අය. මම හිතන්නේ ඔවුන්ගේ හැකියාවන් උරගා බලන්න වගේම පාළුව, කාන්සිය මකා ගන්නත් මේක හොඳ අවස්ථාවක්? ඇත්තෙන්ම යම් මානසික සුවයක්, ප්‍රබෝධයක් ඔවුනට ලැබෙනවා. ලංකාවේ රූපවාහිනී නාළිකාවලින් තමන්ගේ දක්ෂතා රටට පෙන්වන අය දැක්කම ඔවුන්ට කොච්චර දුකක් දැනෙන්න ඇතිද? මව් රටේ ඉන්නවා වගේ නෙවේනේ. ඒ වගේ අසරණ දුක්බර සිතිවිලි නිසා ඒ අයගේ හදවත හඩා වැටෙන්නට ඇති. නමුත් ‘රටවිරු ටැලන්ට් ස්ටාර්’ හරහා මානසික සුවය වගේම අලුත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඔවුන්ගේ සිත් තුළට එක් කරන්නට ලැබීමම මම හිතන්නේ ලොකු පුණ්‍ය කර්මයක්. එහෙම ඔවුන්ගේ හැකියාවන්ට රතු පලස් එළීමට ඔබ එක්කාසු වී සිටින්නේ දැඩි කැපකිරීම් මැද්දේ? 70 දසකයේ නෙවේ, දැනුයි මම කාර්යබහුල කියලා හිතෙනවා. මම මේකට සම්බන්ධ වුණේ ගරු ඩිලාන් පෙරේරා අමාත්‍යතුමාගේ ආරාධනාව පිට. මොකද මේක හොඳ වැඩක් නිසා. ‘සිරස’ ඩාන්සින් ස්ටාර් තරගාවලියේ විනිශ්චය මණ්ඩලයේ කටයුතු කළාට පස්සේ මට තවත් රියැලිටි වැඩ සටහන්වලට ඇරැයුම් ලැබුණා. ඉහළ මුදලක් ගෙවන්න පොරොන්දු වුණත් ඒවාට මම කැමැත්ත ප්‍රකාශ කළේ නෑ. ඒත් මට හිතුණා ‘රටවිරු ටැලන්ට් ස්ටාර්’ වැඩ සටහනට සම්බන්ධ වෙන්න ඕනෑ කියලා. ඔබ කිව්වා වගේම මේ වෙනුවෙන් හුඟාක් කැප වෙනවා. ඒ අත්දැකීම් බිඳක් විස්තර කරන්නකෝ? අපි වැඩිම වුණොත් දින තුන හතරයි එක රටක ඉන්නේ. ඒ කාලය ඇතුළත ප්‍රෝග්‍රෑම්ස් හතරක් කරන්න ඕනෑ. අපේ රටේ රියැලිටි ප්‍රෝගෑම් එකක් ෂූට් කරන්න කොච්චර කාලයක් මිඩංගු වෙනවද කියලා ඔයත් දන්නවනේ. අපි උදේ 10.00 ට පටන් ගත්තම පහුවදා 6.00, 7.00 වෙනකල් එක දිගට පටිගත කිරීම්වලට සහභාගි වෙනවා. සමහර වෙලාවට ප්‍රෝග්‍රෑම් එක අතරතුරේ නිදි කිරා වැටෙනවා. උපේක්ෂා හිටගෙන නිදි. මගේ ජීවිතේට ෂූටිංවලට ගිහින් මෙච්චර නිදි මරලා නෑ. උදේ වෙනකොට මූණු ඉදිමිලා. අරහෙ උපේක්ෂා අඬනවා. අපි මේ තරම් කැපවීමක් කරන්නේ අවම මුදලකින් මේ කාර්යය නිම කරන්නයි. නමුත් මේක සැප ගන්න යන ගමනක් කියා සමහරු චෝදනා කරනවා එළිපිටම? ඇත්තටම කවුරු හරි එහෙම කියනවා නම් ඒක හරිම ද්වේෂ සහගත ප්‍රකාශයක්. මේකේ යථාර්ථය ඒ බොරු බේගල්වලින් හුඟක් ඈතයි. අපි හැමෝම යන්නේ පළමු පංතියේ ගුවන් ටිකට් පත්වලට නෙවෙයි. ඉකනොමික් ටිකට්ස්වලට. අපටත් ඩිමාන්ඩ් කරන්න තිබුණා. ඒත් අපේම දුක් විඳීන සහෝදර, සහෝදරියන් වෙනුවෙන් අපෙන් මෙවැනි යුතුකමක් සිදු වෙන්න ඕනෑ කියලා හැමෝම හිතපු නිසයි එකා වගේ මේ උතුම් කටයුත්තට අපි සම්මාදම් වුණේ. ඩිලාන් පෙරේරා අමාත්‍යතුමන් ද ඒ පිළිබඳ අප වෙත මේ අදහස් පළ කළේ උපහාසාත්මක සිනහවක් මුවඟ රඳවා ගනිමිනි. මාලිනී ෆොන්සේකා මහත්මියට ෆස්ට්ක්ලාස් ටිකට් එකක් දුන්නත් මොකෝ. උපේක්ෂාත් එහෙමයි. ඉෂාක් බෙග් පවා වටිනා කලාකරුවෙක්. ඒත් මේ හැමෝම යන්නේ ඉකනොමික් ටිකට්ස්වලින්. ඊළඟට අපි මුදල් ඉතිරි කරගන්න ඕන නිසා එක දවසේ රෙකෝඩින් හතරක් කරනවා. පහුවෙනිදා උදේ 6.00 යි සමහර ප්‍රෝග්‍රෑම්ස් ඉවර වෙන කොට. එහෙම ලොකු කට්ටක් කාලා, මහන්සියක් වෙලා, නිදි මරාගෙන කරන වැඩක් මේක. ඉතිං එහෙම වැඩකට තමයි මේ චෝදනා, අපවාද නගන්නේ. මේක පටන් ගන්න කොට මගේ සිතෙත් යම්, යම් ප්‍රශ්න පැන නැගුණා. කොහොම ප්‍රතිචාර ලැබෙයිද, දේශපාලන වශයෙන් මට කොයි තරම් මඩ ව්‍යාපාර එල්ල වෙයිද කියලා. මම හිතන්නේ ජනාධිපතිතුමන්ගේ ආශිර්වාදයත් මේ සඳහා ලැබී තිබෙනවා? පැහැදිලිවම. ජනාධිපතිතුමා අපට හැමදාමත් කියන්නේ මේ පිටරට ගිහිල්ලා ඉන්න අපේ ආදරණීය සහෝදර සහෝදරියන් නිරන්තරයෙන් අගැයීමට ලක් කරන්න, ඒ අය වෙනුවෙන් සුබසාධන වැඩ පිළිවෙළවල් දියත් කරන්න කියලා. මෙයත් එක්කරා සුබ සාධනයක් තමයි. මේ දරුවන්ව මෙහෙම දැක්කේ නැතිනම් ඔවුන්ගේ ගායන, නර්තන හැකියාවන් කොහොමද දකින්නේ. ඒවා එහෙමම මැරිලා යනවා. ඒ අය පිටරට ගියා. වැඩ කළා. සල්ලි හම්බ කරගෙන මෙහෙ ආවා. එච්චරයි. දැන් අපේ රටේ මිනිස්සුන්ට මේවා පේනවා. තමන්ගේ දූ දරුවන්ගේ, සහෝදර, සහෝදරියන්ගේ, ඥාතින්ගේ කලා හැකියාවන් මේ රට රැකියාවල්වලට ගිහින් එළි දක්වන්නට, සමාජගත කරන්නට බැරි වුණා කියා කනස්සල්ලෙන් හිටපු අයට ලොකු අස්වැසිල්ලක් එනවා දැන්වත් චාන්ස් එකක් හම්බ වුණා කියලා. රටවිරු ටැලන්ටි ස්ටාර් ජයග්‍රාහකයන් තෝරා ගන්නා ක්‍රමවේදය මොකක්ද? විනිශ්චය මණ්ඩලය විසින් 60% ක ලකුණු ප්‍රතිශතයක් ලබා දෙනවා. 40% ක් ඉ. ර්. ඉ වලින්. උදාහරණයක් හැටියට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අපි මේ ක්‍රමයට තරගකරුවන් විසි හතර දෙනකු තෝරා ගත්තා. ඒ අයගෙන් තුන් දෙනෙක් අපි ඊළඟ ඉරිදා ජයග්‍රාහකයන් විදිහට නම් කරනවා. කුවේට් රටේත් ඒ වගේ විසි හතර දෙනෙක් අපි තෝරනවා. රටවල් නවයකින් අපි අවසානයේ එක් රටකින් තුන්දෙනා බැගින් විසි හත්දෙනෙක් තෝරා ගන්නවා. ඊට අමතරව ඒ රටවල් නවයෙන් හතර වැනි ස්ථානය දිනා ගන්නා තරගකරුවන් නව දෙනා අතරිනුත් තුන් දෙනෙක් තෝරා ගන්නවා. එතකොට අවසන් පූර්ව වටයට එනවා තිස් දෙනෙක්. ඒ තිස් දෙනාගෙන් අවසානයේ හය දෙනෙක් තෝරා ගෙන තමයි අපි අවසන් මහා තරගය තියන්නට බලාපොරොත්තු වෙන්නේ. කවදාද? කොහෙදිද? දෙසැම්බර් මාසයේදී එය පවත්වන්නට අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් තවම නිශ්චිත දිනයක් අපි තීරණය කර නැහැ. අවසන් පූර්ව වටයත්, අවසන් මහා තරගයත් අපි පවත්වන්නේ කොළඹ. අපේ වියදමෙන් අපි ඒ අය ලංකාවට ගෙන්වනවා. ඔවුන්ට ප්‍රවීණ ශිල්පීන් වෙතින් මනා පුහුණුවක් ලබා දී, ඒ සහජ හැකියාවන් වඩාත් ඔප මට්ටම් කරලයි අපි ඒ අවස්ථාවන්ට එළඹෙන්නේ. මේ සඳහා ඉදිරියේදී අප සමඟ අත්වැල් බැඳගන්නට තවත් කලාකරුවන් රැසක්ම කැමැත්ත පළ කර තිබෙනවා දැනටමත්. තෑගි බෝග එහෙමත් විශාල ඇති? අපි දැනට සැලසුම් කරගෙන යනවා පළමුවැනි ස්ථානයට කාමර තුනක් සහිත සුඛෝපභෝගීී නිවසක්, දෙවැනි තැනට කාමර දෙකක නිවසක්, තුන්වැනි තැනට මරුටි කාර් රථයක් යනාදී වශයෙන් තෑගි 06 ක් ඒ අනු පිළිවෙළට දෙන්න. ඒ වගේම තමයි අපි ඊට සමගාමීව අපේ ශ්‍රමිකයන්ගේ දූ, දරවන්ගේ කලා කුසලතාවන් සොයා ගෙන ඒවා එළිදක්වන්න වේදිකාවක් සකසා දෙනවා ‘රටවිරු ලිට්ල් ස්ටාර්’ නමින්. දැන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය තමයි මේ ‘රටවිරු ටැලන්ට් ස්ටාර්’ වැඩ සටහනට පෞද්ගලික අනුග්‍රාහකයොත් හොයාගෙන මේ සම්බන්ධීකරණ කටයුතුª කරන්නේ. අපේ තියෙනවා විදෙස් රැකියාවන්ට ශ්‍රමිකයන් යවන එකම ඒජන්සියක්. ඒ අයත් එක්ක මම සාකච්ඡා කරලා අපේ විදෙස් රටවල වෙසෙන සොයුරු, සොයුරියන්ගේ දූ දරුවන්ගේ හැකියාවන් අපි ‘ශ්‍රී’ ටී. වී. හරහා ලෝකයටම පෙන්වන්න කටයුතු කරනවා. දවසේ පැය විසි හතර පුරාම, සතියේ දින හත පුරාම, වසරේ දින තුන්සිය හැටපහ පුරාම රටවිරුවන් සමරනවා වගේම ඔවුන්ගේ සහ දූ දරුවන්ගේ කලා කුසලතා රටට, ලෝකෙට පෙන්වනවා කියන පණිවිඩයයි අපි මේ මඟින් දෙන්නට උත්සාහ කරන්නේ. මාලිනී අක්කා ඔබට මොනවද මේ වැඩ සටහන පිළිබඳ අවසන් වශයෙන් කියන්න තිබෙන්නේ? සමහර උදවිය ඉන්නවා කරදරයට පත් වෙලා. ඔවුන් ඉන්නේ ඒ තානාපති කාර්යාල බාරේ. ඔවුන් අපට දුක කිය, කියා හඬනවා. අපි ඔවුන්ට ඇඳුම්, පැලඳුම් පවා හොයා දීලා මේ වැඩ සටහනට සම්බන්ධ කරගත් අවස්ථා තියෙනවා. කොහොම වුණත් මේ සඳහා ඉදිරිපත් විය හැකි වෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියා පදිංචි වූ අයට පමණයි. ඇත්තටම මානසික පීඩනයෙන් ඉන්න අය වැරැදි පැත්තට යොමු නොවී ඔවුන් කිසියම් විනයකින්, ශික්ෂණයකින් යුතුව විවෘත මනසකින් ලෝකය දිහා බලන්න මේ වැඩ සටහන ඉවහල් වුණා කිව්වොත් නිවැරැදියි. අපි කලාකරුවෝ හැටියට තවත් කලාකරුවකු අනාගතයේදී මේ රටට බිහි වෙනවා නම් ඒ ගැන ආඩම්බර විය යුතුයි. ඒ තව පැත්තක්. කොහොම කොයි විදිහට බැලුවත් රටවිරු ටැලන්ට් ස්ටාර් හරහා සිදුවන සමාජ මෙහෙවර අපට අවතක්සේරුවට ලක් කරන්න බෑ. |
||||||