|
දුවේ නුඹ මගේ ප්රාණයයිවිජය නන්දසිරි ආදර දෝණි ... මගේ මතකය දිව යන්නේ එක් දහස් නවසිය හැත්තෑ හතර වසරට. ඒ කාලේ මම මනමේ කුමාරයා. මම ශේෂා පළිහක්කාරගේ නැටුම් පංතියක ඉන්න කාලේ දවසක් සයිමන් නවගත්තේගම ආවා මාව හොයාගෙන සුබ සහ යස නාට්‍යයේ දාසියකගේ චරිතයට කෙනෙක් හොයලා දෙන්න කියලා. කලායතනයේදී මම දේවිකා දැකල තිබුණා.
ඔබ මෙලොව එළිය දකින්නට පෙර කවුදැයි හඳුනා නොගත්ත ද ආදරණීය දියණියේ එදත් මා ප්‍රාර්ථනාව වුණේ කුලුඳුලේ දියණියක්. මගේ ඒ සුන්දර පැතුම සැබෑවක් කරමින් මීට විසි තුන් වසරකට පෙර අතීතයට මා දිව යන්නේ, එදා මා දෝතට පැමිණි ඔබ අද මවෙතින් නික්මි අලුත් ලොවක කිරුළු දරන්නට සැරසෙන සුන්දරතම මොහොත උදා වී ඇති හෙයිනි. ආදරණීය දියණියේ, කාලයක් පුරා තිබූ අපේ දරු සිහිනය සැබෑවක් කළේ නුඹයි. එදා ඔබේ සිනාව අදටත් මට ඒ අයුරින්ම සිහියට නැෙඟ්. කලා තරු රැසක් සමඟින් අප සැමරූ ඔබේ පළමු උපන් දිනය අද වගේ මට මතකයි. වරෙක සිනහ සෙමින් තවත් වරෙක හඬමින් ඔබ උන්නේම මගේ දෝතේ. මගේත් නුඹේ ආදරණීය අම්මාගේත් ලෝකයේ කිරුළු පැලැඳි ඔබ තමයි ඒ රාජ කුමාරිකාව. ඔබ තුරුළු කරගෙන ගී කියමින් නළවන විටදී ඔබ සිනාසුන අපූරුව කොහොම නම් විස්තර කරන්නද? මා නිවසේ රැඳෙන හැම මොහොතකම ඔබේ සුරතල් දඟ වැඩ සමඟින් කාලය ගත වුණා. එවිට ඔබ වයස දෙවසරක්වත් සපිරුවේ නොමැති බව නම් මට මතකයි. කාර්යබහුලත්වයෙන් මිදී නිවසට පැමිණ ඔබ මගේ පපුතුරෙහි හොවා ගත්තේ පිය පදවියේ අභිමානය ගෙන දුන් ඔබ මගේ පණ නේදැයි සිතමිනි. ගත වූයේ නිමේෂයක්. මා නෙත් පිය වෙන්නට ඇත්තේ තත්පර ගණකට වන්නට ඇති. ඇසුනේ ඔබ හඬනා හඬයි. මගේ හදවත සුළු මොහොතකට නැවතුණා. ඔබ බිමට වැටිලා. මගේ උණුසුමට සිටි ඔබ ඇසිල්ලකින් බිමට වැටී තිබුණේ ඇඳ අසලම තිබූ ගුවන් විදුලි යන්ත්‍රය මතට ද වැටී දෙවන වරටයි. හනික ඔබ දෝතට ගෙන තුරුළු කරගෙන නැළවීමි. එදා ඔබට සුළු හෝ තුවාලයක් සිදු නොවූයේ මගේත් දෝණියගේ අම්මාගෙත් වාසනාවටයි. මේ සිදුවීම මා ඇයට නොකීවෙමි. මන්ද ඒ ඇය කලබල වන නිසාවෙනි. යළිත් ඔබ හිනැහී මා ළයට තුරුළු විය. රටක් රාජ්‍යයක් ලැබුණා හා සමාන සතුටක් මට දැනිණි. ඔබ පුංචි සන්දිියේදී කෑම කැවීමට ගත් උත්සාහයන් මා සිහියට නැගේ. ඔබ මුවට බත් පිඬක් දැමිය හැකි වන්නේ සතෙකු දුටුවහොත් පමණි. කුරුල්ලන් දෙස බලමින් ඔබ බත් කෑ අයුරු මට අද වගේ මතකයි. ඒ වෙනුවෙන් කිලෝ මිටර් ගණනක් ඈතට ඔබ සමඟින් ඇවිද යන්නට සිදු වූ අවස්ථා ද බොහෝ විය.
ඔබේ ගායන හැකියාව ගැන ලොකු සතුටක් තිබුණත් ඒ පිළිබඳ උනන්දු නැති ඔබ ඒ දෙසට තල්ලු කර හරින්නට මට උවමනා වුණේ නැහැ. ඒ කවදත් ඔබට හිමි නිදහස තිබූ නිසාත් නීති රීති යටතේ ඔබ තබා ගැනීමට මා අකමැති වූත් නිසාවෙනි. ඔබ අප සමඟ කුස පබා, වෘෂභ රාජ වැනි නාට්‍ය සඳහා දායක වෙන විටදී දැනුණ සතුට නම් අප්‍රමාණයි. අපට උවමනා දේ ඔබ තුළ ගොඩ නගන්නට මමත් අම්මාත් කවදාවත් උත්සාහ කළේ නැහැ. නිදහසේ සිතන්නට අවස්ථාව ඔබට හැමදාම තිබුණා. මන්ද ඒ ඔබ නිවැරදි තීරණ ගන්නට සමත් බුද්ධිමත් දියණියක බව මා තරම් දන්නා කෙනෙකු වෙන නොවූ බැවිනි. ආදරණිය දියණියේ, කවදත් කිසිම දෙයකට තහංචි නොදැමූ මා ඔබට යෞවනියක ලෙස ආදරය සම්බන්ධව සිතන්නට ද ඒ නිදහස ඒ අයුරින්ම ලැබුණා. ඔබ මිතුරියක් මෙන් අම්මාට හැම දේම නොසඟවා පවසන බවත් මට රහසක් නම් නොවේ. ඔබ මා දියණිය වීම මට ආඩම්බරයක්. 2002 වසරේදී මා මිතුරු කුමාර තිරිමාදුර හඳුන්වා දුන් ඔහු චමින්ද ගුණරත්න ඔබ වෙනුවෙන් වූ යෝජනාව ගෙන ආ අවස්ථාවේදී මට දැනුණේ මා සුරතල් කළ සිඟිති දියණිය අද පතිකුලයට යන්නට සූදානම් විය යුතු බවය. මට සතුටක් මෙන්ම පුංචි දුකක් ද එක් කරනුයේ එම අවස්ථාව මේ තරම් ඉක්මනට පැමිණි බව දැනුණු නිසාවෙනි. අම්මාත් මමත් ඔබට ඒ යෝජනාව ඉදිරිපත් කළේ ඔබේම යහපත වෙනුවෙන්. එදා මට ඇය හමු වූ සේම, අද ඔහු ඔබ සොයා ගෙනවිත් ඇත. ආදර කතා දෙක වෙනස් වුණත් ඔබ ද ඔහු සමඟින් සුන්දර ජීවිතයක් ගෙවන බව විශ්වාසයි. එදා ඔබ දෝතට ගෙන සිනාසුන, පුංචි අතින් අල්ලාගෙන පාසල් රැගෙන ගිය මේ ආදරණීය තාත්තා අද ඔබ ජීවිතයේ සුන්දරතම කඩඉමට පැමිණි මේ වෙලාවේ ඔය අත ඔහුට බාර දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඔහු ඔබව ආදරයෙන් බලා ගන්නා වග නම් මට විශ්වාසයි. පුංචිම පුංචිම දුකක් තියෙනවා. ඒ ඔබ අපෙන් ඈත රටකට පියඹා යන නිසයි. මන්ද හැමදාම ඔබ මට දකින්නට නොලැබී යන නිසාවෙනි. මේ සියල්ල මා සිහිනයක් ලෙස දුටුවේ මීට විසිතුන් වසරකට පෙරදීයි. නමුත් හෙට මා ඔබ දකින්නේ සැබෑම මනාලියක් ලෙසයි. සැබැවින්ම මම ආඩම්බර වෙමි. තව තවත් ආඩම්බර වෙමි. ඒ ඔබ වැනි දියණියක නිසාවෙන් ඒ උත්තරීතර පිය පදවිය ලැබීම නිසාවෙනි. මා කඳුළු සඟවා සිනාසෙන්නෙමි. ඒ නුඹ මේ පියවර තබන්නේ නැවුම් කැදැල්ලක් තැනීමේ සොඳුරු අරමුණෙන් වන නිසාවෙනි. ආදරණීය දියණියේ ඔබත් චමින්ද පුතාත් ඔස්ට්‍රේලියාව බලා ගොස් තනන ඒ ආදරණීය කැදැල්ල හැමදාම ආදරයෙන් පිරී ඉතිරේවා!
මීට ආදරණීය තාත්තා |