වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




දරුවාගේ නිදහස වෙනුවෙන් මට අරගල කරන්න වුණා

දරුවාගේ නිදහස වෙනුවෙන් මට අරගල කරන්න වුණා

වසන්ත මොරගොඩ මවුස් සමඟින්

2012 වසර ගෙවී යන්නට ඔන්න මෙන්න කියා තිබියදී තවත් නවක අධ්‍යක්ෂවරයකු අපේ සිනමාව එක් විය. ඔහු වසන්ත මොරගොඩය. ‘මවුස් ’ වසන්තගේ කුලුඳුල් සිනමා නිර්මාණය වුව ද හේ අපේ කලා ලොවට ආගන්තුකයකු නොවේ. වේදිකාවෙන් උපන් වසන්ත රූපවාහිනී මාධ්‍යය හරහා ද නළුවකු හා සන්නිවේදකයකු ලෙස අප හඳුනාගෙන ඇත්තෙමු.

දහසකුත් එකක් අභියෝගයන් කරපින්නා ගෙන සිනමාවට සිය නිර්මාණ ශක්‍යතා විදාරණය කළ ඒ අපූර්ව කලාකරුවා සමඟ කළ පිළිසඳරකි මේ.

වේදිකාවෙන් උපන්, පුංචි තිරයෙන් මුළු රටම හඳුනාගත් ඔබ ඇයි චිත්‍රපටයක් නිර්මාණය කරන්න පෙළඹුණේ?

ඇත්තටම මම වේදිකා නාට්‍යය කළේත්, වීදි නාට්‍යය කළේත්, නාට්‍යය කළේත් මගේ ජීවිතය එක්ක බද්ධ වුණ යම් දැක්මක් එක්කයි. ඒ විෂන් එක ඇතුළේ තමයි මම ඒ හැමදේම කළේ. දැන් වේදිකා නාට්‍යය නළුවකු හැටියට හැඳින්වූවාට මම නාට්‍යය එකොළහක පමණයි රඟපාලා තිබෙන්නේ.

නමුත් ඔබ හය වතාවක් හොඳම නළුවා වුණා?

ඔව්. වේදිකාවේ මට රඟපාන්න ලැබුණේ සුවිශේෂීම චරිත ටිකක්. මුලින්ම මම ජනතාව අතර යම් ප්‍රතිරූපයක් හදා ගත්තේ වේදිකාවෙන්. නමුත් මම ටෙලි ඩ්‍රාමාවල රඟපෑවේ හුදෙක්ම මුදල් හම්බ කිරීම සඳහා. ඒක බිස්නස් එකක්. ඒ හොයපු මුදල් තමයි මම මේ සිනමාවට වැය කළේ. සිනමාවට පය ගහන්න ආර්ථික පදනම හදාගන්න තමයි මම රූපවාහිනිය පාවිච්චි කළේ. ඒක තමයි ඇත්ත කතාව. එතකොට මම සිනමාව හරි වේදිකාව හරි පාවිච්චි කරන්නේ වෙන වැඩකට.

ඔබ මේ විදිහට සිනමාවට එකතු වෙන්නේත් වෙනම වැඩක් කරන්න?

මම විවාහ වෙලා, මට දරුවන් දෙන්නෙක් ඉන්නවා. මේ දරුවො දෙන්නත් එක්ක මට ආපු අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදය තමයි මට ඕනෑ වෙනවා ඒ දරුවෝ මම වගේ හදන්න. මම හැදුණේ බොහොම නිදහස් පරිසරයක. වටපිටාවක. මේවා මේ විද්‍යානුකූලව ඉගෙන ගත්ත දේවල් නෙවෙයි කිසිවක් අපි කරන්නේ. රඟපාන්නෙත් ඉවට. අධ්‍යක්ෂණය කරන්නෙත් ඉවට. හැම දේම කරන්නෙත් ඉවටනේ. එතකොට මට ඕනෑ කරනවා මගේ දරුවා එහෙම නිදහසේ හදන්න. හැබැයි ඒ නිදහස දරුවාට ලබා දෙන්න මම නිවස ඇතුළේම මහ අරගලයක් කරන්න වෙනවා මගේ වයිෆ් එක්ක.

ඇයි ඒ . . .?

මේ තරගකාරී සමාජ රටාව ඇතුළේ දරුවන් ඔට්ටු අල්ලන යුගයක් මේක. අපිත් ඒ කුලයේම තමයි. මේ අර්බුදය මම හැම තැනම දැක්කා. මොකද මම තමයි ළමයි පාසල් අරගෙන ගියේ. මම තමයි ඔවුන් එක්ක වැඩිපුර ගැවසුණේ. ඉතින් අම්මලා තාත්තලගේ කතාබහෙත්, ඒගොල්ල හැසිරෙන විදිහෙත් මට මේ අර්බුදයේ භයානකකම තේරෙන්න පටන් ගත්තා. ඒක ප්‍රකාශ කරන්න මට මාධ්‍යයක් ඕනෑ වුණා. වේදිකාවෙත්, ටෙලි නාට්‍යයෙත් ඒක කරන්නට බැරි නිසා මම සිනමාව තෝරා ගත්තා. ඉතින් මේ පිටපත මගේ අතින් ලියැවුණා. නොසිතපු වෙලාවක චිත්‍රපටයක් කරන්න හැකියාව ලැබුණා.

‘මවුස්’ ළමයින් උදෙසාම නිර්මාණය වූ චිත්‍රපටයක්ද?

නෑ . . . මම මේක ළමා චිත්‍රපටයක් හැටියටම හඳුන්වන්නේ නෑ. හැබැයි මම මේක නම් කරනවා 3 ළමා චිත්‍රපටය කියලා. හේතුව තමයි මම මේ චිත්‍රපටයේ කතා කරන්නේ ළමයින් වෙනුවෙන්. ළමයින්ටත් මේක ඇතුළේ ගන්න දෙයක් තියෙනවා. හැබැයි මේක වඩාත් වැදගත් වැඩිහිටියන්ට. මොකද තුන්වැනි ලෝකයේ රටවල දරුවාගේ පැවැත්ම තීරණය කරන්නේ වැඩිහිටියන්. කසාද බැඳලා ගියාට පස්සෙත් ඒ තීන්දු තීරණ ගන්නේ වැඩිහිටියන්. ඒක හරි ඛේදවාචකයක්. මේ ඛේදවාචකය ඇතුළේ මම කැමැතියි වැඩිහිටියොත් දරුවො එක්ක ඇවිත් එකට ඉඳගෙන මේ චිත්‍රපටය බලනවා නම්.

ළමයින්ට නිදහස අවශ්‍යයි. ඒ නිදහස ලබා දෙන්න කියල ද ඔබ මේ චිත්‍රපටය හරහා වැඩිහිටියන්ට ඉඟි කරන්නේ?

ළමයින්ට හරි නිදහස ලබා දෙන්න. ඒ වගේම දරුවන්ගේ සහජයට මතු වෙන්න ඉඩ හරින්න. අපි හැමෝම උත්සාහ කරන්නේ දරුවන් දොස්තරවරු, ඉංජිනේරුවරු කරන්න. එහෙම නෙවෙයි, මේ රටට හොඳ ගල් වඩුවොත් ඕනෑ. දැන් මම දකින දෙයක් තමයි මේ රටේ මිනිස්සු තමන් කරන වෘත්තිය ගැන ගරුත්වයකුත් නැහැ. ඒ ගැන සතුටකුත් නැහැ. මොකද හේතුව මූලික ඉලක්කය වෙලා තියෙන්නේ වෙන එකක්. ජීවිතය විඳීමින් බ්ධඡ එක ඡ්දණධර කරන්නේ නැහැ. දොස්තර කෙනෙක් වෙන්න ගිහින් දත් දොස්තර කෙනෙක් වුණා වගේ වැඩක් තමයි මේ වෙලා තියෙන්නේ.

ඔබ වෙන විදියකින් අවධාරණය කරන්නේ තමන්ගේ ඉලක්කය හඹා යන්න දරුවාටත් අයිතියක් තියෙනවා කියලයි?

ඔව්, දැන් මගේ දරුවා ඔයාලගෙම පත්තරේට කියලා තිබුණා ඉංජිනේරුවරයෙක් වෙන්න ආසයි කියලා. ඒ එයාගේ සිතුවිල්ල. අපි ඒකට ඉඩ දෙන්න ඕනෑ. උගේ ඇඟෙන් ඒක එයි. දැන් මම කිසි දවසක කලාකාරයෙක් වෙන්නවත්, චිත්‍රපට හදන්නවත් බලාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. මම මේසන් බාස් කෙනෙකුගේ පුතෙක්. නමුත් මම මෙතනට ආවේ සහජයෙන්. මම ඒකයි අර මුලිනුත් කිව්වේ මේව මේ විද්‍යානුකූලව හදාරපු දේවල් නෙවෙයි කියලා. එහෙම සිස්ටම් එකක් නැහැනේ ලංකාව ඇතුළේ. අපේ ඇඟේ අමාරුවට කරන වැඩ මේවා. මම කියන්නේ දරුවන්ට තමාගේ සහජය තුළ ජීවත් වෙන්න ඉඩ දෙන්න. ඒකට මඟ පෙන්වන්න. ඕක තමයි මම මගේ චිත්‍රපටය ඇතුළේ යෝජනා කරන්නේ.

අධ්‍යාපන සහතික මත රැකියාව තීරණය කරන ක්‍රමවේදයක්නේ අපේ රටේ තිබෙන්නේ. නමුත් මේ වෘත්තීය නිපුණතාවය කියන කාරණය ඉතාම වැදගත්. ඔබ මේ ගැනත් කතා කරනවා?

මගේ චිත්‍රපටය ඇතුළේ ඩයලොග්ස්වලින් පවා මම මේ කාරණය ඉස්මතු කරනවා. ඇත්තටම අධ්‍යාපනය කියන්නේ අකුරු ඉගෙන ගන්න එකම නෙවෙයි. ජීවත් වෙන්න ඉගෙන ගන්න එක. ඒක සමාජීයයි. දේශපාලනීයයි. ඒ සියලුම කාරණාවන් මේ පොඩි කාලය ඇතුළේ අපි ළමයට දෙන්න ඕනෑ. ළමයාට ඒවා විඳින්න, දැනෙන්න දෙන්න ඕනෑ, හරි. මම කියන්නේ අන්න ඒ දැනුවත්භාවය තමයි ළමයාට දෙන්න ඕනෑ. එහෙම නැතිව උදේ හයට නැගිට්ටවලා රෑ අට වෙනකල් ළමයව මේ පිම්මේ දුවවලා වැඩක් නැහැ. ඒ නිසා මම කියන්නේ දරුවන්ට, දරුවෝ වෙන්න ඉඩ දෙන්න. ළමයි කියන්නේ ළමයි.

ඇයි මේ චිත්‍රපටයේ ප්‍රධාන ළමා නළු චරිතයට ඔබේම දරුවා තෝරා ගත්තේ?

මගේ දරුවා ඉදිරියට එනව නම් තාත්තෙක් හැටියට මම කැමැතියි. අහිංසක සතුටක් මගේ හිතේ තියෙනවා. මට ඒ වුවමනාවත් තියෙනවා. හැබැයි මම දරුවා බලහහත්කාරයෙන් රඟපෑමට යොමු කළේ නෑ. ‘ඔයා රඟපාන්න කැමැති නම් ඉන්ටර්වීව් එකට එන්න’ කියලයි මම පුතාට කිව්වේ. හොඳ දක්ෂතා තියෙන ළමයි ගොඩක් ආවා. හැබැයි මම මෙතනදි මගේ පුතා ගැන විශේෂත්වයක් දැක්වූවා. මොකද මට ලේසියි. මගෙත් පළමුවැනි චිත්‍රපටයනේ. ඉතින් එහෙම විශේෂත්වයක් දක්වන්නත් උගේ දක්ෂතාවයක් තිබ්බා. මේ චිත්‍රපටයේ දී ඌ ඒක ඔප්පු කරලා තියෙනවා.

ඇත්තටම තිසල්, ප්‍රවීණ නළු, නිළියන් එක්ක හරි හරියට රඟපානවා. අපි කොතැනකවත් ඔහුගේ ආධුනිකත්වයක් දකින්නේ නැහැ. මේකත් ඔබ අර කිව්ව සහජය ද?

මේක සහජය. මම කවදාවත් ගෙදරදි චිත්‍රපටය ගැන මෙයත් එක්ක කතා කරලා නැහැ. ඒක මම කියන්නේ දැඩි වගකීමෙන්. එයාට හැම දේම මම කිව්වේ සෙට් එකේදී. මම හිතන්නේ ෆිල්ම් එක ෂූට් කරන කොට පුතාට ‘වීස්’ එක තිබුණා. නැතිනම් එයා මීට වඩා සාර්ථක වෙනවා. ඔය සහජය. මම පොඩි ගයිඩි ලයින් එකක් දුන්නා විතරයි. ඒකට සාක්ෂි දරයි කෞෂල්‍යා පවා. ඇය පුදුම වුණා මේ ළමයගේ රංගන හැකියාව දැකලා. මම මගේ පුතාට අවස්ථාව දුන්නට වඩා ඇත්තටම සතුටු වෙනවා මේ ක්ෂේත්‍රයට තවත් හොඳ ළමා නළුවෙක් හඳුන්වා දීම ගැන.

අද සිනමාව ඇතුළේ තිබෙන්නේ ලොකු ‘මාෆියාවක්’ කියා ඔබ එක්තරා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණා. දැවැන්ත අරගලයකින් පස්සේ තමයි ඔබ ඔබේ චිත්‍රපටය පෙන්වන්නේ. මේ ගැන යමක් කතා කළොත්?

කසාද බඳීන්න යනකොට සේරම සම්පූර්ණ කරගෙන ඒක කරන්න බෑනේ. ගෙවල් දොරවල් හදාගෙන, සල්ලිත් බැංකුවේ දාගෙන ඔක්කොමත් කරගෙන විවාහ වෙන්න ගියොත් ජීවිතේට ගෑනියෙක් හම්බ වෙන්නේ නෑ. ඒ වගේ ලංකාවේ කලාව කරද්දී මේ ඔක්කෝම අංග සම්පූර්ණ කරගෙන කලාව කරන්නත් බෑ. මේ කතා කරන මොහොතේ තියෙන ප්‍රශ්න ඔයා දන්නවා නම් අසංක, බෙල්ලෙ වැල දාගන්නවා. වෙලාවකට මට හිතෙනවා ‘යකෝ මේ මම බලෙන් දාගත්ත ප්‍රශ්නනේ’ කියලත්. වෙන ණධඡ එකක් කරගෙන ඉන්න පුළුවන්නේ. හැබැයි මේකේ පොඩි තෘප්තියක්, ආතල් එකක් තියෙනවා. චිත්‍රපටයක් කරන්න පුළුවන්, හැබැයි ඒක පෙන්නන එක හරි අර්බුදයක්.

පැහැදිලි කළොත් . . .?

සිනමාව කර්මාන්තයක් වගේම කලාවක්නේ. මේක අපි හැමෝගේම ඔළුවල තියෙන්න ඕනෑ. ප්‍රදර්ශකයා එක පැත්තකට අදිනවා නම් ශාලා හිමියා තව පැත්තකට අදිනවා නම් මේක කරන්න බෑ. ප්‍රදර්ශන මණ්ඩල එක මතයක ඉන්නේ. සංස්ථාව තව මතයක. අධ්‍යක්ෂවරයා එක පැත්තක. නිෂ්පාදකවරයා තවත් පැත්තක. මේ විදහට මේක කරන්න බෑ. තමන්ගේ පෞද්ගලික අභිමාර්ත ඉෂ්ට කර ගන්න හදනවා මේක ඇතුළේ. අනෙකට මොනවා වුණත් කමක් නෑ කියන අදහසින් වැඩ කරන්න යන්නේ. ඒක වැරදියි.

‘මාෆියාව’ කියා ඔබ හැඳින්වූයේ ඔවැනි කාරණාද?

ඒක විතරක්මත් නෙවෙයි. මම මේ රජයට බරක් නැති මිනිහෙක්. මේ රජයෙන් මම රස්සාවක් ඉල්ලා නෑ. මම චිත්‍රපටයක් කරලා තියෙනවා. ඒත් මා වෙනුවෙන් මොකක්ද තියෙන රාජ්‍ය මැදිහත්වීම. මම අහන්නේ එච්චරයි. එහෙම එකක් දැක්විය යුතු නැති ද මම වගේ මිනිහකුට. මොකක් හරි ජාතික මට්ටමේ වැඩ පිළිවෙලක් තිබුණා නම් මමත් ඒ කෝවෙන් රිංගලා යනවානේ. මමත් ඒකට වැටුණාම මට පාත් එකක් තියෙනවානේ යන්න. දැන් මම මොනවා හරි පාත් එකක් හදා ගන්නම ඕනෑ. ඒක හරි වෙන්න පුළුවන්, වරදින්න පුළුවන්.

මේ චිත්‍රපටයේ පිටපත් කීයක් ඔබ මුද්‍රණය කළාද?

පිටපත් තිහයි.

‘කුස - පබා’ චිත්‍රපටය සිය පළමු ප්‍රදර්ශන වාරයේදීම පිටපත් පනහක් මුදා හැරියා. එකවර එවැනි පිටපත් සංඛ්‍යාවක් බෙදා හැරීම පිළිබඳ ඔබේ මතය?

ලංකාව වගේ රටක නිෂ්පාදකයකුට එකවර එවැනි විශාල මුදලක් වැය කිරිමට අපහසුයි. අනෙක එතකොට කෝ ඊළඟට තිබෙන චිත්‍රපටයට අවස්ථාවක්. මේ ළඟදී මගේ චිත්‍රපටය හෝල් දෙකකින් ගැළවෙනවා. ඒ වෙන චිත්‍රපටයක් වටෙන් ගිහින් ටැකල් කරනවා. ඒකට මාෆියාව කියන්නේ නැතිව වෙන මොකක්ද කියන්නේ. ඒක අපිව නැති කරන්න ආපු මාෆියා එකක්.

ඔය මාෆියාවේ තරම මම කියන්නම්. මගේ චිත්‍රපටය සම්පූර්ණයෙන් රූගත කළාට පසුවයි ‘කුස - පබා’ ෂූටිං පටන් ගත්තේ. එතකොට ඒ චිත්‍රපටය දැන් ප්‍රදර්ශනය කරලත් සෑහෙන කල්. මගේ චිත්‍රපටය පෙන්වන්නේ දැන්. මාෆියා එක තේරුම් ගන්නකෝ.

නිෂ්පාදකයකු සොයා ගැනීමට පවා ඔබ විශාල පරිශ්‍රමයක් දැරුවා?

මුලින්ම එක්තරා කිරිපිටි සමාගමක් එක්කයි මම මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න සිිටියේ. නමුත් යම් යම් හේතූන් මත එය ව්‍යර්ථ වුණා. මම මේ කුලී වැඩ කරන්න කොළඹට ආපු මිනිහෙක්. එහෙම මිනිහෙක් චිත්‍රපටයකට සල්ලි යට කරලා අවුරුදු එක හමාරක් බලා ඉන්නවා කියන්නේ කොයි තරම් ඛේදවාචකයක්ද? හොඳ වෙලාවට මගේ බැංකු ණය නැහැ. නැත්නම් බෙල්ලෙ වැල දාගන්නයි වෙන්නේ. පිටරට මගේ මිත්‍රයෝ දෙන්නෙක් ගොඩක් උදවු කළා. අන්තිමට කොමර්ෂල් ක්‍රෙඩිට් ආයතනයේ ළමා ගිණුම තමයි මට ප්‍රචාරක අනුග්‍රහය ලබා දෙන්න ඉදිරිපත් වුණේ. ඒක මට ලොකු හයියක් වුණා. ඒ වගේම චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමා සහ බෙදා හැරීමේ කළමනාකාරතුමා මේ චිත්‍රපටය යුහුසුළුව ප්‍රදර්ශනය කළ යුතුයි කියන තැන ඉඳන් කටයුතු කළා.

ඔබ මේ කතාබහ ආරම්භයේදීම ප්‍රකාශ කළා ඔබ කිසියම් ‘විෂන්’ එකකට අනුව කටයුතු කරන කෙනෙක් කියා. මොකක් ද මේ ‘විෂන්’ එක?

මට මම වෙන්න ඕනෑ. කිසිම හේතුවක් නිසාවත් වෙනස් නොවුණ කෙනෙක් මම. පීතර බාසුන්නැහෙගේ පුතාමයි තවම මම. විවිධ බලපෑම් එනවා වෙනස් වෙන්න. ඒත් මම වෙනස් වෙන්නේ නැහැ. මම කොළඹට ආවේ අත් උදවු කාරයෙක් හැටියට. ඒක මට තවම අමතක නැහැ.

ලංකාවේ කලාව ඇතුළේ තිබෙන මේ අර්බුදය හා ඔබ ඔය කියූ මාෆියාවත් එක්ක කලාකරුවෙකු නොවී දිගටම මේසන් වැඩේ කරගෙන හිටියා නම් හොඳයි කියලා අද ඔබට හිතෙන්නේ නැතිද?

එහෙම හිතෙන්නේ නැහැ අසංක. නමුත් මට හිතෙනවා කොළඹට නාවා නම් හොඳයි කියලා. මම ගමේ හිටියා නම් හොඳයි කියලා මට අදටත් හිතෙනවා. මට දැනෙනවා.

හැබැයි ඔබ කොළඹ නාවා නම් කලාවේ මේ තරම් දිගු ගමනක් යන්න ලැබෙන එකකුත් නැහැ?

සමහර විට මේ කිසි දෙයක් නොකරන්න පුළුවන්. හැබැයි මීට වඩා මානසික සුවයකින් මම ජීවත්වෙන්න ඉඩ තිබුණා. මට මගේ වෙලා ඉන්න තිබුණා. අන්තිමට බලපුවාම මම මගේ නෙවෙයි. හැබැයි මම මගේ වෙලා ජීවත්වෙන්න ලොකු උත්සාහයක් දරනවා. මගේ ජීවිතයේ විෂන් එකත් මම මගේ වීම.