|
සැඩ සුළං ප්‍රධාන චරිතය මුලින් ලැබුණේ මටශාන්ති අබේසේකර පවසන අතීතය 1958 තිරගත වූ දස්කම චිත්‍රපටයෙන් ඇසුණු ඩබ්ලිව්. ඩී. අමරදේවගේ ඉපිද මැරේ යළි ඉපිදේ – නොතිර සසර සාගරේ හා මොහිදීන් බෙග්ගේ හොඳ කල ආදා – පයට මිණිමුතු පෑගේ මතකයේ රැඳුණු ගී දෙකකි. එකී ගීතමය ජවනිකා තුළින් දුටු කඩවසම් ගැමි තරුණයා දැන් ඔබට බොහෝ දුරට අමතකව ගොස් තිබෙන්නට පුළුවන. එහෙත් 1966 තිරගත ‘කොළඹ හාදයෝ’ චිත්‍රපටයේ ධර්මදාස වල්පොල පසුබිමෙන් ගැයූ ‘ජීවිතේ ප්‍රීති සංචාරෙකී ලොවේ’ ගීතයට අනුව ගිටාරයක් වයමින් ගැමි තරුණියක සමඟ රැඟූමක් පෑ නාගරික තරුණයා තවමත් ප්‍රේක්ෂක මතකයෙන් ගිලිහී නොමැත. එසේ නම් මොවුන් එකකු මිසක දෙදෙනකු නොවන බව දැන් ඔබට වැටහිය යුතුය. ඔහු අන් කවරකුවත් නොව ශාන්ති අබේසේකර නම් පැරැණි නළුවායි. ඔහුව පසුගිය දිනක මට මුණ ගැසුණේ කලල්ගොඩ ඔහුගේ නිවසේදීය. * ඔබගේ ජීවිත පොතේ මුල් පිටු කිහිපය පෙරළා බලන්න ආසයි. මගේ සම්පූර්ණ නම ශාන්ති මෙන්ඩිස් අබේසේකර. උපන්නේ කුරුණෑගල. උපන් දිනය 1939 මැයි 27 වැනිදා. දැන් මගේ වයස අවුරුදු 74 පිරිලා. ඉගෙන ගත්තේ හලාවත ආනන්ද විදුහලෙන් හා මාදම්පේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන්. ඔය ආනන්ද විදුහල හලාවත ප්‍රදේශයේ පළමු බෞද්ධ පාසලයි. දික්වෙල පියනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛව ආරම්භ කළේ අපි. ශ්‍රී විජයාරාම ධර්ම ශාලාවේ මුලින් පවත්වා ගෙන ගිය එහි පළමු සිසුන් කණ්ඩායම දොළොස් දෙනයි. * ඔබ සිනමාවට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ අහම්බෙන්. මට චිත්‍රපටයක රඟපානවාට වඩා ආශාවක් තිබුණා රූපගත කරන ආකාරය සියැසින් දැකගන්න. මම ගියා කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයට. ඒ වෙන කොට පුදුම ලේලි චිත්‍රපටයේ අවසන් ජවනිකා කැමරාවට නගන්න ලක ලැහැස්ති වෙනවා. එතැනදී මුණ ගැසුණු බෙනඩික්ට් මාස්ටර් මාව චිත්‍රාගාරය තුළට කැටිව ගියා. මා දුටු චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඒ. එස්.නාගරාජන් මට සුළු චරිතයක් රඟපාන්න ආරාධනා කළා. ඒ අනුව පුදුම ලේලි චිත්‍රපටයේ වෛද්‍යවරයකුගේ චරිතය රඟපාන විට මගේ වයස අවුරුදු පහළොවකට වැඩි නැහැ. * ඔබ ඊළඟට 1955 තිරගත සැඩ සුළං චිත්‍රපටයට සම්බන්ධ වෙනවා. ප්ලොරිඩා ජයලත් පදිංචිව සිටියේ හලාවතට නුදුරු කොස්වාඩියේ. මට ඇයව හඳුනාගන්න ලැබුණා. ඇය තමයි මාව ටී. සෝමසේකරන් වෙත යොමු කළේ. ඇත්තම කියනවා නම් මේක ආත්ම වර්ණනාවක් නොවෙයි. සත්‍යයක්. සැඩ සුළං චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරා ගත්තා. ඒත් පසුව මදුරාසියේ වාහිනී චිත්‍රාගාරයේදී කළ කැමරා පරීක්ෂණයේදී මගේ ලාබාල පෙනුම නිසා වෙනත් චරිතයක් දුන්නා. ඒ නැටුම් ගුරුවරයාගේ චරිතය. ප්‍රධාන චරිතයට ප්‍රේම් ජයන්ත් ගෙන්වා ගත්තා. දුෂ්ඨ චරිතය රඟපෑ ඩොමී ජයවර්ධන සමඟ අධ්‍යක්ෂවරයා ඇති කර ගත් මතබේදයක් මත ඔහුත් එම චරිතයෙන් ඉවත් කොට ධර්ම ශ්‍රී රණතුංග යොදා ගත්තා. නොතේරෙන විදියට ඩොමී රඟපෑ කොටස් ද ඇතුළත් කිරීමට තරම් සෝමසේකරන් දක්ෂයෙක්. ඔහු තමයි ප්‍රථම ශ්‍රී ලාංකික දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂවරයා. ඔහුට පෙර සිංහල චිත්‍රපට මෙහෙයවූයේ ඉන්දීය ද්‍රවිඩ අධ්‍යක්ෂවරුන්. සෝමසේකරන් සැඩ සුළං චිත්‍රපටයේ සීතාට බලහත්තාරකම් කිරීමට තැත්කරන සුළු චරිතය රඟපෑ බවත් මතක අපිට විතරයි. * රංගනයෙන් දායක වූ සැඩ සුළං චිත්‍රපටය ගැන ඔබ මීට වඩා යමක් දන්නවා? සැඩ සුලං සිංහල සිනමාවට විශේෂිත චිත්‍රපටයක්. මෙහි නීලා නම් නළඟනගේ චරිතය රගපෑවේ බිමිලා කුමාරි. ඇය සිංහල චිත්‍රපටයක උප ප්‍රධාන චරිතයක් නිරූපණය කළ පළමු හින්දි නිළිය. නොනවතින දිගු ගීත ජවනිකා පෙළත් ඇතුළත්ව තිබීම තවත් විශේෂත්වයක්. මේ ඔක්කොමට වඩා වාර්තාගත වෙන්නේ හින්දි ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් පසුබිම් ගීත ගායනය කිරීම. ඇය සැඩ සුළං චිත්‍රපටයේ තනි හා යුග ගීතයක් ගායනය කළා. ගීතවල තනු නිර්මාණය හා පද රචනය ආනන්ද සමරකෝන්ගෙන්. වාදක මණ්ඩලය මෙහෙයවූයේ එස්. දක්ෂිණමූර්ති. ලතා මංගේෂ්කාර් මුලින්ම ගායනය කළේ ‘ශ්‍රී ලංකා මාතා මා ප්‍රියාදර ජය භූමි’ ගීතයයි. මෙය එක වරින් පටිගත කෙරුණා. ‘ඉදිරියටා යමු සැවොමා’ යුග ගීත ගායනයට පෙර ඇගේ සහාය ගායකයින්ගේ හඬ ඇයට අසන්න සැළැස්සුවා. ලතා මංගේෂ්කාර් තම සහාය ගායකයා හැටියට තෝරා ගත්තේ මොහිදීන් බෙග්. මෙතැනදී සිදුවුණු අමතක නොවන සිද්ධිය මේක නොවෙයි. ගීත ගායනයෙන් අනතුරුව ඊට නියමිත ගාස්තු අධ්‍යක්ෂවරයා ලතා මගේෂ්කාර්ට දුන්නා. ඇය ආනන්ද සමරකෝන් වෙත ගොස් ගුරු ඔබ වගේ දක්ෂයෙක් සමඟ වැඩ කරන්න ලැබීම මගේ වාසනාවක් කියා මුදල් සහිත කවරය ඔහු අත තබා චිත්‍රාගාරයෙක් නික්ම ගියා. * 1957 තිරගත ඔබේ තෙවැනි චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතය රඟපාන්න තරම් වාසනාව පෑදුණා. වික්ටර් හියුගෝගේ ලේ මිසරාබ්ලේ ප්‍රංශ නව කතාව පසුබිම් කොට ගත් සිරකරුවා චිත්‍රපටයේ සිරී නම් විප්ලවකාර තරුණයාගේ චරිතය හිමි වුණේ මට. සහාය නිළිය ලීලා හල්ලෝවිට නම් නවක නිළියක්. සිරිසේන විමලවීර මේ චිත්‍රපටය නිපදවන බව දැන දැනත් සිනමාස් සමාගම ලා මිසරාබ්බල් කතාව යොදා ගෙන නිපද වූ දුප්පතාගේ දුක චිත්‍රපටය අපිට කලින් ප්‍රදර්ශනය කළා. එහි මගේ චරිතය රඟපෑවේ ස්ටැන්ලි පෙරේරා. * ඔබ ප්‍රධාන චරිතයකින් දුටු චිත්‍රපටය 1958 ප්‍රදර්ශනය කළා. විකට නළු බර්ට්‍රම් ප්‍රනාන්දු නිෂ්පාදනය කළ මේ චිත්‍රපටයේ නම දස්කම. සිලෝන් තියටර්ස් සමාගම මූල්‍ය ආධාර සැපයුවා. අධ්‍යක්ෂවරයා ජේ. සිංහ . කඩවුණු පොරොන්දුව චිත්‍රපටය මෙහෙය වූ ඔහු වංග ජාතිකයෙක්. අපි ඔහුව ඇමතුවේ බාබුජි කියලා. මට හිමිව තිබුණු ප්‍රධාන චරිතය සේපාල නමින් හැඳින්වූවා. ප්‍රධාන නිළිය දිෂ්ණා රංජනී. ඇය මුස්ලිම් ජාතිකයකු සමඟ විවාහ වී සිටි සිංහල කාන්තාවක්. ගායන දිවියේ මුල් වතාවට හින්දි අනුකාරක රැල්ලෙන් මිදී වාසනාව පෑදේවි ස්වතනන්ත්‍ර චිත්‍රපට ගීතය ගැයූ එච්. ආර්. ජෝතිපාලගේ රුව රිදී තිරයෙන් දුටුවෙත් දස්කමෙන්. * ඔබ යළිත් චිත්‍රපටයකින් දකින්න ලැබෙන්නේ තවත් වසර අටකින්. ඔව්. නොයෙක් වෙළෙඳ ව්‍යාපාර පවත්වාගෙන ගිය මම 1960 අතුරු මැතිවරණයක් සඳහා වාරියපොල ආසනයෙන් තරග වැදුණා. ඒ කාලේ හැටියට දේශපාලනයට පිවිස සිටි ලාබාලම අපේක්කෂකයා විතරක් නෙවෙයි. ප්‍රථම වරට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වූ සිනමා නළුවාත් මමයි. හැබැයි විජයානන්ද දහනායකගේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරඟ වැදුණු එතුමා ඇතුළු අපි හය දෙනාම පැරදුණා. ඊට පස්සේ දේශපාලනය පැත්තකට දාලා ආයෙත් ව්‍යාපාර කටයුතුවලට බැස්සා. ඔන්න ඔය අතරවාරයේ ‘කොළඹ හාදයෝ’ චිත්‍රපටයේ කපිල නමින් උප ප්‍රධාන චරිතයක් රඟපාන්න රෝලන්ඩ් අමරසිංහ මාව තෝරා ගත්තා. එය සෙවන් සමුරායි කියන ජපන් චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය කළ ‘මැග්නිෂිසන්ට් සෙවන්’ බටහිර චිත්‍රපට කතාව අනුකරණය කිරීමක්. 1975 ප්‍රදර්ශිත රෝලන්ඩ් අමරසිංහගේම ‘ගිජු ළිහිණියෝ’ මම රඟපාන ලද අවසන් චිත්‍රපටය ලෙස සඳහන් කරන්න පුළුවන්. එහි චරිත නාමය ශාන්ත. * ඊට පෙර ඔබ චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කළ නිෂ්පාදකවරයෙක්? සිළුමිණ පුවත්පතේ පළ කෙරුණු කුඩා දූපත්වල කරෝල වාඩි පිළිබඳ ලිපි පෙළක් මගේ සිත් ගත්තා. මේ ආශ්‍රිතව චිත්‍රපටයක් නිර්මාණය කරන්න සිතුව මම තිර නාටකයක් රචනා කොට ගෙන 1968 ‘වහල් දූපත’ තිරයට ගෙනාවා. නවජීවන චිත්‍රාගාරයෙන් කැමරා ආම්පන්න මුදල් පසුව ගෙවීමේ සහන පදනම මත පිටපත් 14 ක් ප්‍රදර්ශනයට මුදාහල මේ චිත්‍රපටය සඳහා වැය වූ නිෂ්පාදන වියදම රුපියල් හැට දාහයි. අද ඉඩම් පර්චසයක්වත් මේ මුදලට ගන්න බැහැ. එම්. එස්. බෙලිඅත්ත නිෂ්පාදනයෙන් හවුල් වූ මෙහි මා සමඟ ප්‍රධාන චරිතය රඟපෑ චන්ද්‍රකලා සය වෙනි සරසවිය සම්මාන උළෙලේදී විශේෂ සරසවි තිළිණයක් හිමි කර ගත්තා. මගේ දෙවැනි නිෂ්පාදන අධ්‍යක්ෂණය ‘සිදාදියෙන් හයක්’. මෙය කලින් නම් කොට තිබුණේ සිදාදියේ මදාවියෝ කියලා. මීට විවිධ බාධක එල්ලවෙද්දී ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය චිත්‍රපටයේ නම වෙනස් කරන ලෙස බල කර සිටියා. සිලෝන් තියටර්ස් සමාගම මූලික උදව් උපකාර කළ සිදාදියෙන් හයක් සහාය නිෂ්පාදකවරයා ගුණදාස රාජපක්ෂ. රුපියල් හැත්තෑ පන්දාහකින් නිම කළ මෙහිත් පිටපත් 14 ප්‍රදර්ශනයට තැබුවා. මෙය ‘කොළඹ හාදයෝ’ චිත්‍රපට ආකෘතියේ නිර්මාණයක්. බටහිර චිත්‍රපටයක මෙන් තරුණයන් පිරිසක් නගරයෙන් ගමට ගොස් කරන ක්‍රියාදාම මෙයින් නිරූපණය වුණා. ප්‍රධාන චරිත රඟපෑ නළු නිළි දෙපළ මායි, පද්මා සිරිවර්ධනයි. * ඔය කිව්ව චිත්‍රපට දෙකට කලින් ඔබ නිර්මාණය කිරීමට ගිය චිත්‍රපට දෙකක් උපන් ගෙයි මිය ගියා? හිටපු කැස්බෑව පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි කලාකාමියෙක්. පිළියන්දල ටවුමේ සීදේවි නමින් සිනමාහලක් පවත්වාගෙන ගියා. එතුමා නිපදවීමට අදහස් කළ ජනශක්ති චිත්‍රපටයේ අධ්‍යක්ෂණය පැවරුණේ මට. මේ සඳහා පිළියන්දල විශ්ව කලායතනයේදී නළු නිළි සම්මුඛ පරීක්ෂණයක්ද පැවැත්වූවා. මන්ත්‍රීතුමාගේ කතාවක් අනුව නිර්මාණය කිරීම පටන් ගත් මෙහි ගීත හයක්ම පටිගත කළා. තිලක් කරුණාතිලක සංගීතවත් කළ එම ගීත වසන්තා, දයා හේමන්තා හා සරත් සන්දනායක ගායනය කෙරුවා. ප්‍රබන්ධය කළේ සිරිල් ඒ. සීලවිමල, සරත් සන්දනායක, සෝමවීර චන්ද්‍රසිරි. හිඟන කෙල්ල නමින් ඇරැඹි චිත්‍රපට කතාව රාජගිරියේ ඉම්පාලා සිනමාහලේ කළමනාකරුව සිටි ජේ. කේ. චාල්ස් පෙරේරාගේ නිබන්ධයක්. මා සමඟ සුමනා අමරසිංහ, ඔස්ටින් අබේසේකර, මාක් සමරනායක ප්‍රධාන නළු නිළි පිරිවර වූ එහිත් ගීත දෙකක් පටියට නැඟුවා. කරුණාරත්න අබේසේකර, සරත් සන්දනායක රචිත එම ගීත සඳහා ආර්. මුත්තුසාමි සංගීතය සම්පාදනය කළා. තවත් එකක් අතරමඟ ඇනහිටි සිරිල් පී. අබේරත්නගේ ජීවන ගීතය මාව ප්‍රධන චරිතයට තෝරා ගත් චිත්‍රපටයක්. * ඔබ සිනමා ශිල්පියකුට අමතරව සඟරා ප්‍රකාශකයෙක්? කලා රැජිනි 1961 නිකුත් කරන ලද මාසික සඟරාවක්. ආරම්භක සංස්කාරක ඩීමන් ආනන්ද. පසුව ඩී. බී. ඒ. සූරසේන එම තනතුර දැරුවා. ඉක්බිති කලා රැජිනි වෙනුවට සීගිරි ලාලනි සඟරාව ආරම්භ කළා. ඒ 1962. එහි සංස්කාරක මාතාභරණ ඩී. මහවල. * වර්තමානයේ දුක්ගැනවිලි නොකියන ජීවිතයක් ගත කරන ඔබේ පවුල් දිවියේ පිටු පෙරළා බලමු. චිත්‍රපට සංස්ථාවෙන් මාසිකව විශ්‍රාම වැටුපක් ලැබෙන බව වසන් කරන්න මම කැමැති නැහැ. මම දයා හේමන්තාව විවාහ කර ගත්තේ 1962. ඇය තම මව වසන්තා සන්දනායක බඳු ප්‍රකට ගායිකාවක්. අපිට සුප්‍රියා, සධානා, ෂර්මිලා, අන්ජානා, සජනි කියා දියණියන් පස් දෙනෙක් හා පුතුන් දෙන්නෙක් සංජය, සුදේවි නමින් සිටිනවා. මෙයින් සුප්‍රියා ප්‍රසිද්ධ ගායිකාවක්. සධානා සංගීත විශාරදවරියක්. ෂර්මිලා දුව විවාහ වෙලා එංගලන්තයේ ස්ථිර පදිංචිය. ලොකුª පුතා විදෙස් සම්මාන දිනූ නර්තන ශිල්පිියෙක්. |