|
||||||||||
ජීවන් යළි යළිත් රජ වෙයි
සියවස් ගණාවකට පෙර රජවරුන් විවිධ යුගයන්හිදී රට පාලනය කළ අයුරු ඔබ අසා ඇති. රටේ ශ්‍රී විභූතිය විරාජමාන කරමින් කළ සේවය ඉතිහාසයේ සඳහන් වන්නේ එම දැවැන්ත චරිත කිසිදා කිසිවකුටත් අමතක නොවන අයුරින්. එවැනි වූ ඉතිහාසගත චරිතයක් යළිත් ජීවමාන කරන්නට කෙනෙකුට ලැබේ නම් එය මහත් භාග්‍යයක්. චිත්ත රූපයෙන් පමණක් හැඩතලයන් මවා ගනිමින් එලෙස අමරණීය වූ රාජකීය චරිත රැගත් නිර්මාණ රැසක් පසුගිය කාලයේ නිර්මාණය කෙරුණා. එම නිර්මාණවලදී වගේම ඉදිරියේදී කල එළි බසින්නට නියමිත තවත් නිර්මාණ කීපයකදී ද යළි යළිත් රජ වෙන්නට අපේ කලා තරුවකට වාසනාව ලැබුණා. එවැනි වාසනාවක් ලැබ අද මෙම කතාවට බඳුන්වන තැනැත්තා හෙවත් කතා නායකයා කවුරුන් ද යන වග මේ ඡායාරූප දකින ඔබට හඳුනාගන්න අපහසු වන එකක් නැහැ. කලා ලොවෙත් කිරුළු පැලැඳි ඔහු ජීවන් කුමාරතුංග. ඔහු තරම් මෑතකාලීනව රජ වන්නට ලැබුණු වෙනත් කිසිම කෙනෙක් අපේ කලා ලොවේ නැතුව ඇති. මේ පිටුව දිග හැරෙන්නේ ඒ ඓතිහාසික චරිත වෙනුවෙනි. සනත් අබේසේකරගේ කුලුඳුල් සිනමාපටය ‘මහින්දාගමනය’ ප්‍රේක්ෂක ඔබේ සිත් තුළ අමතක නොවන සිනමාපටයක්. එහි දේවානම්පියතිස්ස රජුගේ චරිතය ජීවන්ගේ රංගන ඉතිහාසය තුළ ද නොමැකෙන රන් සලකුණක්. සනත්ගේ දෙවැනි අධ්‍යක්ෂණය වන ‘සිරි දළදා ගමනයේ’ ද ජීවන් රජ වෙනවා. ඒ බුහසීව රජු ලෙසයි. ඉන්දීය රජ පෙළපතේ අවසන් රජු ලෙස ශ්‍රී දළදා වහන්සේ මෙරටට භාර කරන්නේ බුහසීව රජු විසිනි. මේ විදියට ඔහු යළිත් ප්‍රාන්ත රජ කෙනෙක් ලෙස අභිෂේක ලබන්නේ මොහාන් නියාස්ගේ ‘දෙවැනි මව්’ චිත්‍රපටයේදී. සමන් වීරමන්ගේ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය ලබන ජනවාරි මාසයේදී තිරගත වන්නට නියමිතයි. ජීවන් එහි රජ වෙන්නේ බිම්බිසාර රජු ලෙසයි. ජීවන්ගේ අලුත්ම ඓතිහාසික චරිතය තමයි ‘වීදිය බණ්ඩාර’. පෘතුගීසින්ට විරුද්ධව සිංහල ජාතිය වෙනුවෙන් දිවි පරදුවට තබා කැරැල්ලක් මෙහෙය වූ වීදිය බණ්ඩාරගේ චරිතයට ජීවන් පණ පොවන්නේ අනුර මාධව ජයසේකරගේ වීදිය බණ්ඩාර ටෙලි වෘත්තාන්තයේදී. මෙලෙස රජ වෙන්නට හැමෝටම වාසනාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම ප්රේරෟඩ ඉතිහාසයක නම රැන්දූ මෙවැනි චරිත ජීවමාන කිරීමත් ලෙහෙසි පහසු නම් නොවන බව කාටත් පැහැදිලියි. ඒත් ඉතිං රජ කෙනෙකුවත් නොලද මෙවැනි ලැබීමක් ලබන්න ජීවන් කුමාරතුංග නම් වාසනාවන්ත වෙලා තියෙනවා. ඒකත් රජ වාසනාවක්.
|
||||||||||