වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




තාත්තාගේ උරුමය සොයා සරසවියට ආ දියණිය

තාත්තාගේ උරුමය සොයා සරසවියට ආ දියණිය

දස වසරක් සරසවිය සමඟ මතක සටහන් තැබූ ප්‍රවීණ මාධ්‍යවේදිනී ලතා බොතේජු

පත්තර මහ ගෙදරට මම සමු දුන්නේ එහි වසර තිස් දෙකක් වාසය කිරීමෙන් පසුවය. එයින් වසර දහයක්ම මා ගත කරනු ලැබුවේ සරසවිය පුවත්පතේය. අනෙක් වසර විසිතුනම මම ගත කරනු ලැබුවේ මිහිර, තරුණී, දිනමිණ පුවත්පත්වලය. මුල් වරට මා ලේක්හවුස් ආයතනයට පැමිණි දවස අද වගේ මතකය.

එවක මට වයස අවුරුදු හතරක් පමණ වන්නට ඇත. ඒ මගේ පියාණන් වූ ධර්මදාස බොතේජු මහතාගේ අතේ එල්ලීය. පියා ලේක්හවුස් ආයතනයේ ඒ වන විට පුවත්පත් කලාවේදියෙක් ලෙස රැකියාව කළේය. තාත්තාගේ සුරතල් කෙළි පොඩිත්තිය වූ මම සමහර දිනවලට බලෙන්ම තාත්තාගේ අතේ එල්ලී ආයතනයට පැමිණියෙමි. ඒ ලේක්හවුස් පැමිණෙන සැම දිනකම බඩකට පුරා මා කැමැති කෑමක් ලැබීම මුල් කාලයේ එයට මා පෙළඹ වූ හොඳ උත්තේජනයක් විය.

සුදට සුදේ බෝල ගෙඩියක් වගේ සිටි කෙලි පොඩිත්තියක වූ මා ලේක්හවුස් පිය ගැට පෙළ නැග්ගේ තාත්තාගේ අතැඟිලිවල එල්ලීගෙනය. ගෙදරත් ලේක්හවුස් එකත් මට වෙනසක් නොදැනුණේ තාත්තා සිටි බැවිනුත් එහි වැඩ කළ පියාගේ යහළුවන් කොයි කවුරුත් මට දැක් වූ ආදරයත් නිසාවෙනි. ලේක්හවුස් පියගැට පෙළ පඩියෙන් පඩිය උඩට නැග්ග මා ආපසු පඩි බැස බැස පහළට එමින් අපූරු සතුටක් වින්දා මතකය. ඒ මා පුංචි සංදියේ එය සෙල්ලමක් ලෙස කළ දෙයක් විය. මා උසස් පෙළ හදාරන අවධියේදී තාත්තාගේ පඩි දවසට අඬා දොඩා හෝ කන්කෙඳිරි ගා තාත්තා සමඟ ලේක්හවුස් ආවේ මට ලැබෙන වාසි නිසාවෙනි. එදින තාත්තා මා රැගෙන එවක තිබූ චීන අවන්හලකට ගෙන ගොස් ඕනෑම කෑමක් රැගෙන දෙයි. සිරුරෙන් වැඩී ගිය ද බොතේජු මහතාගේ දියණිය නිසා කන්තෝරුවේ කාටත් මා දියණියක් වීමි.

පුවත්පත් කලාවේදිනියක වීමේ සිහිනය මට ඇති කළේ ද තාත්තාය. පත්තර හැදෙන හැටි මා කුඩා කාලයේ පටන් දැක තිබීමත් ආයතනය තුළ සිටි අයගේ කුලුපගභාවයත් නිසාවෙන් මම පත්තර රස්සාවට ආශා කළෙමි. පාසලෙන් පසු මා පියාට මේ බවක් පවසා සිටියේ දැඩි පෙරැත්ත කිරීම් මධ්‍යයේය.

මගේ පියාණන් සරසවිය පත්තරයේ කර්තෘ ධූරයට පත් වූයේ 1977 වසරේදීය. මම ද උසස් පෙළ අවසන්කර සිටියෙමි. මම පත්තරේක කර්තෘ වුණා කියලා දුවව පත්තරකාරයෙක් කරන්න බෑ. ඒකට දක්ෂ වෙන්නත් ඕනේ. මට බෑ ලියන්න දන්නේ නැති කෙනෙක්ව පත්තරේට ගන්න කියලා කියන්න. මේ කරදරයෙන් බේරෙන්න හින්ද මම ඉල්ලුම් පත්‍රයක් දාන්නම්. හැබැයි තියන විභාගයක් පාස් වෙලා තෝර ගත්තොත් මට කමක් නෑ. තාත්තා දැඩිව කියා සිටියේය.

ඒ අනුව අයදුම්පතක් ඉදිරිපත් කළෙමි. කැඳවීමක් ලැබුණේය. විභාගයට විශාල පිරිසක් සමඟ මාත් ලේක්හවුස් කැන්ටිමේ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිව්වෙමි. මගේ සිංහල භාෂා දැනුම හොඳ වූ බැවිනුත් සිංහල ප්‍රශ්න පත්‍රයට ඉහළ ලකුණු ලබා තිබීම නිසාත් මාව රැකියාවට තෝරා ගැනිණි.

පත්තර රස්සාවට මා ආශා කළ ද මාව තෝරා ගෙන තිබුණේ මුල්වරට යතුරු ලියනය කිරීමටය. ඒ අනුව මට මිහිර පුවත්පතට පත්වීමක් ලැබිණි.

මුල්ම පත්වීම ලැබ මිහිරට යන විට එහි කර්තෘවරයා වූයේ අනුල ද සිල්වා මහත්මියයි. එහි කර්තෘතුමිය හැරුණු කොට කර්තෘ මණ්ඩලයේ සිටියේ මුදිත කාරියකරවන පමණි. තාත්තා සරසවියේ කර්තෘ වී සිටීම ද මට හොඳ හයියක් විය. කාටවත් බය නැති, කිසිදු චකිතයක් නැති තැනැත්තියක් ලෙස කාගෙත් සිත් දිනාගෙන මා රාජකාරි කිරීම ඇරැඹුවේ ඒ වන විටත් මට ලේක්හවුස් එක හොඳ හුරු පුරුදු තැනක් වූ නිසාය. මගේ පත්වීම් ලිපියේ හැටියට රාජකාරි කළ ද මා තුළ වඩාත් ආශාවක් ඇති වූයේ පත්තරයේ ලියන කියන වැඩවලටය. අද මෙන් එදා කොම්පියුටර් තිබුණේ නැත. ඒ් වෙනුවට පත්තර හැදුවේ ලයිනෝ මැෂිමේ අකුරු අමුණාය. මේ කාර්ය දකින විට අපහසු කටයුත්තක් ලෙස පෙනුණ ද මා තුළ තිබූ උනන්දුව නිසා එය ඉගෙන ගැනීම මට පහසු විය. රාජකාරි මට්ටමින් මට පත්තර රස්සාව කරන්නට පැවරී නොතිබුණ ද මිහිර පත්තරයේ කර්තෘ මණ්ඩලයේ සිටි මුදිත කාරියකරවන මට අකුරෙන් අකුර හෙඩින් දමන හැටි කියා දුන්නේ ගුරුවරයකු සේය. පත්තරයක් සකසන හැටි, අකුරු අමුණන හැටි, හෙඩින් දමන හැටි, අකුරු ප්‍රමාණ මම ඉගෙන ගත්තේ බොහෝ කැමැත්තෙනි.

මා ලේක්හවුස් පැමිණෙන අවධියේ එහි සභාපතිවරයා වූයේ රණපාල බෝධිනාගොඩ මහතාය. මගේ සේවා කාලය තුළ ආයතනයේ සිටි සභාපතිවරුන් අතරින් කීර්තිමත්ම සභාපතිතුමන් වූයේ බෝධිනාගොඩ මහතාය. එතුමන්ගේ පාලන කාලයේ ආයතනය තුළ ඉහළම මට්ටමේ විනයානුකූල පරිපාලනයක් තිබිණි. සේවක ප්‍රසාදය මධ්‍යයේ ආයතනය විශාල දියුණුවක් කරා රැගෙන යාමට ද ඔහු සමත් විය. බෝධිනාගොඩ මහතා තමන්ගේ නිල කාමරයට සීමා නොවිණි. නිතර ආයතනය පුරා සැරිසරමින් හැම දෙයක්ම සොයා බැලුවේ සේවකයන් අතර ද සුහදත්වය වර්ධනය කර ගනිමිණි. කාර්යාලය තුළ සේවකයන් ද එතුමන්ට දැක්වූයේ පුදුම ආදරයක් මෙන්ම යටහත් පහත්භාවයකි. කොරිඩෝව දිගේ ඇවිද යන බෝධිනාගොඩ මහතා මට කීප අවස්ථාවකදීම හමු විය. ඒ අවධියේ මා ලේක්හවුස් පැමිණියේ කොණ්ඩය වී කරල් දෙකක් සේ දෙපසට ගොතා ගෙනය. එයට හේතුව වූයේ මා පාසල් ගොස් අවසන් වූ මුල්ම කාලය වීම නිසාත් එලෙස කොණ්ඩය දමා තිබීම මගේ මුහුණට ලස්සනක් එක්කර තිබීමක් ලෙස මා සිතා සිටි බැවිණි. මේ ආකාරයට කොණ්ඩ කරල් දෙකක් ගොතා පැමිණෙන කාන්තාවක් ඒ අවදියේ ආයතනයේ නොසිටිය බැවින් මම තවත් තැපී පෙනිණි.

මේ කැපී පෙනීම නිසාමදෝ කොහේදී හෝ බෝධිනාගොඩ මහතා මට හමු වූ අවස්ථාවන්හිදී ගුඩ් මෝනින් මයි ස්මාට් යන්ග් මිස් යනුවෙන් පැවසීය. සභාපතිතුමන් එවැන්නක් කීම ගැන මම සිත තුළින් ආඩම්බරයක් අත් වින්දෙමි. කර්තෘ මණ්ඩල සෑම එකකම අපි වැඩ කරන තැනට විත් පිටුපස සිට බලන් ඉඳීමේ පුරුද්දක් ද එතුමන්ට තිබිණි. ඒ නිසාම ආයතනය තුළ කවුරුත් පාහේ කොයි මොහොතේ සභාපතිතුමා පැමිණේදෝ යන දෙගිඩියාවෙන් තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරනු ලැබිණි.

නිව්ටන් පින්තු මහතා මිහිර ප්‍රධාන කර්තෘ ධූරයට පත්වීමත් සමඟ මට මිහිර පුවත්පතට ලිවීමේ අවස්ථාව උදා විය. පුංචි අපේ පිටුව සඳහා ලිපි ලිවීම සහ එය සෑදීමේ භාරකාරත්වය පින්තු මහතා මට පැවරුවේ මගේ තිබූ ආශාව නිසාමය. ඒ සඳහා සුන්දර ලෝකය නමින් මා ලෝකයේ පුදුම හත පිළිබඳ ලිපියක් මුලින්ම මිහිර පුවත්පතට ලිව්වෙමි.

එවක සරසවිය කර්තෘ මණ්ඩලයත් මිහිර කර්තෘ මණ්ඩලයත් තිබුණේ එක ළඟය. 79’ දී මගේ පියා සරසවිය කර්තෘ ධූරයෙන් මාරුවක් ලැබ සිළුමිණ පුවත්පතට යන අතරේ ග්‍රැන්විල් සිල්වා මහතා සරසවිය කර්තෘ ධූරයට පත් කෙරිණි. 80’ දී මගේ පියාණන් හදිසියේ මිය යාමත් සමඟ මා පිළිබඳ ඇති වූ කතාබහේදී මිහිර කර්තෘවරයා වූ නිව්ටන් පින්තු මහතාගෙන් ග්‍රැන්විල් සිල්වා මහතා මාව සරසවියට ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය.ඒ ඉල්ලීමට පින්තු මහතා එකඟ නොවීය.

මිහිර පත්තරයේ අද මෙන් විශාල කාර්ය මණ්ඩලයක් නොවිණි. ඒ නිසාම කළ යුතු වැඩ බොහොමයක් පැවරී තිබූ හෙයින් මා ද කිසිදු කම්මැලිකමකින් තොරව වැඩ කළේ පිරිමියකු පරිද්දෙනි. සරසවියේ සිටි ග්‍රැන්විල් මහතා මා මිහිරේ වැඩ කරන ආකාරය හොඳින් දැක තිබීම නිසාම ඔහු උත්සාහ කළේ තාත්තා සිටි පත්තරයට මා ඇද ගැනීමටය.

අවසානයේ ග්‍රැන්විල් මහතා දවසක් පින්තු මහතාට කතා කළේය. මචං පින්තු බොතේජුගේ දුව මට දීපන්. හොඳට ලියන්නත් පුළුවන්. තාත්තාගේ ලේනේ. සිනමා පත්තරයට තමයි හොඳ. මම පත්තරකාරියක් කරලා මගේ එකට ගන්නම්. ඔය කෙල්ලටත් හොඳයි. ඒකිගේ ආශාවත් ඒක යැයි පැවසුවේය. ග්‍රැන්විල් ඕන එකක් ඉල්ලපං මට කෙල්ලව දෙන්න බෑ. පින්තු මහතා කතාව නිමා කළේය. එහෙත් ග්‍රැන්විල් සිල්වා උත්සාහය අත නොහැර සභාපතිතුමා හරහා සරසවියට මා එක් කර ගත්තේ 1981 දීය. ඒ. ඩී. රංජිත් කුමාර, කැමිලස් පෙරේරා, දීප්ති ෆොන්සේකා, සුනිල් හොරේෂස්, නෙළුම් විමලරත්න, සුසිල් ගුණරත්න එහි සෙසු සාමාජිකයන් විය.

ග්‍රැන්විල් සිල්වා මට වැඩිමහල් සහෝදරයෙක් හා සමාන විය. ඔහු තුළ කර්තෘවරයෙක් කියන මානය තිබුණේ නැත. සහෝදර සහෝදරියන් සේ අපි සරසවියේ වැඩ කළෙමු. අවුරුද්දකට සැරයක් අපි විනෝද චාරිකාවක් ගියෙමු. ඒ යන හැම ගමනක්ම හරිම සුන්දරය. වරක් අපි සුසිල් ගුණරත්නගේ ගම වූ අනුරාධපුරයට චාරිකාවක් ගියෙමු. වැවෙන් නා, කොරලි මාළු බැඳුම හා පොල් සම්බෝල සමඟ වැව් තාවුල්ලේ සිට බත් රස බැලූ හැටි මට අද මැවී පෙනෙන්නේ හිතට සතුටක් එක් කරමිණි.

සරසවියට පැමිණීමත් සමඟ ග්‍රැන්විල් මහතා මට භාර කරනු ලැබුවේ පත්තරයේ පසු පිට සඳහා ලිපියක් ලිවීමටය. අවසන් පිටුව අන්තිමට මට සින්නක්කර වූයේය. මම එම පිටුවට කතා කරන භාෂාවෙන් ලිපි ලිවීම ඇරැඹුවෙමි. එය නොසිතූ විරූ ලෙස ජනප්‍රිය විය. තිරගතවීමට ඇති චිත්‍රපටයක් කලින් නරඹා එහි එන කතාව මගේ භාෂාවෙන් ඉදිරිපත් කිරීම මම බොහෝ විට කළෙමි. චිත්‍රපට සඳහා ද එවක විශාල ප්‍රේක්ෂක ඉල්ලුමක් තිබූ හෙයින් එම පිටුව වඩාත් පාඨකයන් අතර ද ජනප්‍රිය විය.

මතු සම්බන්ධයි