|
50 ස්වර්ණ ජයන්තිය අබිමුවජෝ ගෙන් අහන්න උත්තර මගෙන්විශිෂ්ට ගණයේ ටෙලි නාට්‍ය රචකයකු, සාහිත්‍යධරයකු, පුවත්පත් කලාවේදියකු වන සෝමවීර සේනානායකයන්ට සිය ජීවන ගමනේ සරසවිය පුවත්පත පහන් ටැඹක් වූ අයුරු දිග හැරෙන්නේ මෙපරිද්දෙනි.
පසුගිය සතියේ ඉතිරි කොටස
ඔය අතරේ සිරි කහවල, විමල් තිලකරත්න, සිරි කුලරත්න, චන්ද්‍රසිරි සෙනෙවිරත්න, රොහාන් පෙරේරා, විජේසිරි විද්‍යාරත්න ආදී බොහෝ දෙනෙක් බාහිර ලෙස සරසවියට ලිපි ලියූහ. සරසවියට පත්වීම් ලැබ මා පැමිණි පසු මට වැඩි වශයෙන් ලැබුණේ ලිපි සංස්කරණය කිරීමටය. මුලින්ම මට ලැබුණේ කොළඹ යුගයේ කවීන් ගැන ලියූ ලිපියකි. එය මා කියවා භාගයකට වඩා කපා දැමීය. ඒ සඳහා ගැළපෙන හැඳින්වීමක් ද ලිව්වෙමි. අක්ෂර වින්‍යාසයද හැදුවෙමි. හොඳ ගැළපෙන හෙඩිමක් ද යෙදුවෙමි. ලිපිය විමලසිරි මහතා අතට පත් කෙරිණ. මේ ලිපියට මා කර තිබෙන දෙය ගැන විමලසිරි මහතා අසතුටු බව පෙන්වමින් මා කැඳවීය. මා කර තිබෙන හැම දෙයක් පිළිබඳව ඔහු මගෙන් ප්‍රශ්න වැලක් අසන්නට විය. ඒ හැම ප්‍රශ්නයක් සඳහාම මට පිළිතුරක් තිබිණි. ඒ ලිපිය ඒ ආකාරයෙන් සංස්කරණය කිරීමට හේතු වූ කාරණා විමලසිරි මහතාට මම එකක් නෑර පැහැදිලි කර දුන්නෙමි. අවසානයේදී විමලසිරි මහතා මා ගැන වැටහීමක් ලබා ගන්නට ඇත. මට ඒ පිළිබඳ නොඅඟවා ඔය විශ්ව විද්‍යාලවල කරන දේවල් මෙහෙ එහෙම කරන්න එන්න එපා යැයි පැවසීය. ඒ ලිපිය කිසිම දවසක පත්තරයේ පළ නොකිරිණි. වැඩි වශයෙන් සරසවියේ ලිපි මා අතින් සංස්කරණය වුව ද සිළුමිණට හා නවයුගයට මම නොකඩවා ලිපි ලිව්වෙමි. සරසවියට ගිය පසු ඒ සඳහා ලිපි ලිව්වේ ඉඳහිටය. එවක ලේක්හවුස් ආයතනය නිවැරැදිව භාෂාව භාවිත කරනවාය යන්න රට තුළම ප්‍රසිද්ධියක් ලබා තිබිණි. ආයතනය තුළ කා අතරත් මා ප්‍රසිද්ධ වී තිබුණේ හොඳ උප කතුවරයකු හැටියටය. අනුන්ගේ සමහර ලිපි මම නැවත ලියා පළ කළෙමි. එකල සරසවියේ සතිපතා ජ්‍යෝතිෂ ලිපියක් පළ විය. කාන්තාවන් සඳහා පිටු දෙකක් වෙන්කර තිබිණි. ළමයින් සඳහා ළමා පිටුවක් වෙන්කර තිබිණි. පොත් විචාර, කවි සංවාද ඇතුළුව වේදිකාව, සිනමාව පිළිබඳ තොරතුරු, සාහිත්‍ය ලිපි ආදිය සරසවිය පිටු පුරා විහිදී තිබුණි. හොරණ වජිරඥාණ හිමියන් සාහිත්‍ය රස වින්දනය පිළිබඳ රසවත් ලිපි මාලාවක් එවක සරසවියට ලිව්වා මට මතකය. ගිහි අය පමණක්ම නොව පූජක පක්ෂය ද එවක නිතර සරසවියට ලිපි ලියනු ලැබීය. කවි සංවාද සඳහා ද වෙන් වී තිබුණි. පොත් ගුල නමින් මා එවක එළිදකිනා පොත් ගැන විචාරයක් ලියා පළ කළෙමි. ඔය වකවානුවේ ජෝ අබේවික්‍රම හාස්‍ය උපදන රංග ශිල්පියෙක් ලෙස ප්‍රේක්ෂකයන් අතර ප්‍රසිද්ධියක් ලබමින් සිටි අවදියයි. ඒ ජනප්‍රියත්වය විමලසිරි මහතා සරසවියට උපයෝගී කර ගත්තේ ජෝට කියන්න කියා පාඨක පිටුවක් වෙන් කිරිමෙනි. සරසවිය පාඨකයන් ජෝ අබේවික්‍රමගේ රසිකයන් මේ පිටුව සඳහා ජෝගෙන් අහන්න වෙත විවිධ ප්‍රශ්න අසා එවන්නට විය. සරසවියේ මේ පිටුව එන්න එන්නම ජනප්‍රිය විය. තැපැල්පත් දහස් ගණනින් සරසවියේ ගොඩ ගැසිණි. ගෝනි ගණන් තැපැල්පත් ජෝගෙන් අහන්න වෙත ලැබිණි. ජෝගෙන් අහන්න උත්තර නිර්මාණය කළේ මමය. සමහරු ජෝගෙන් කවියෙන් අහන ප්‍රශ්නයට මම කවියෙන් පිළිතුරු දුන්නෙමි. මේ පිටුව නිසා ජෝ අබේවික්‍රමට ද තව තවත් ජනප්‍රියත්වය ගලා එන්නට විය. සරසවිය බලන පාඨකයන් හිතන්නේ ජෝ අබේවික්‍රම මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙනවාය කියාය. ඒ පිටුවට මා අතින් නිර්මාණය වන පිළිතුරු බලා ජෝ අබේවික්‍රමයන්ද හිනා වන්නට පටන් ගත්තේය. අද මෙන් නොව එදා ජෝ, ගාමිණී ආදී නළු නිළියෝ නිතර සරසවියට පැමිණියහ. සරසවිය නළු නිළියන්ගේ රජ දහනක් විය. ජෝ ද මෙලෙස පැමිණ මා හමු වනුයේ, සෝමේ මටත් ඔය එන ප්‍රශ්න කීපයක් කියවන්න දීපං. බැරි වෙලාවත් කොහෙදි හරි මාව රසිකයො වට කරගෙන ඇහුවොත් මගේ සායමත් යයි කීය. කැන්ටිමට ගොස් තේ කෝප්පයක් බොමින් පාඨක ප්‍රශ්න ගැන කතා කළ අවස්ථා ද තිබිණි. ජෝ වෙනුවෙන් මම පිළිතුරු නිර්මාණය කරන අතරේ ඒ සඳහා තලංගම ජයසිංහ ඇඳි චිත්‍රයක් එක් කිරීමට ද අපි කටයුතුª කළෙමු. ඔය අතරේ ලේක්හවුස් ආයතනය සුබසෙත නමින් ඡ්‍යෝතිෂ පුවත්පතක් ආරම්භ කිරීමත් සමඟ සරසවියේ තිබූ එම ලිපිය නවතා දැමිණි. තරුණී නමින් සතිපතා පුවත්පතක් ඇරැඹීමත් සමඟ කාන්තාවන් සඳහා වෙන්ව තිබූ පිටු කීපය ද නතර කෙරිණි. මිහිර නමින් ළමා පුවත්පතක් ඇරැඹීමත් සමඟ ළමයින් සඳහා වෙන් වූ පිටු කීපය ද නතර කොට සරසවිය සිනමාව ප්‍රමුඛ කලා පත්තරයක් පමණක් බවට පත් විය. සරසවියේ එකල ජ්‍යේතිෂ ලිපිය ලිව්වේ ප්‍රවීණම ජ්‍යේතිෂවේදියෙකි. මෙය විමලසිරි මහතා මා අතට පත් කරනුයේ නිසි ලෙස සංස්කරණ කටයුතු කිරීම සඳහාය. එක්තරා සතියක ජ්‍යේතිෂ ලිපිය නිසි වේලාවට ලැබුණේ නෑ. අද මෙන් පරිගණක තාක්ෂණ නොවේ, එකල මුද්‍රණය සඳහා අකුරු ඇමුණුවේ ලයිනෝ යන්ත්‍ර ආධාරයෙනි. එය ඉතා අපහසු කටයුත්තක් මෙන්ම කාලයක් වැය වන ක්‍රියාවලියක් ද විය. කෙසේ හෝ මෙම ලිපිය පත්තරයේ පළ කළ යුතු විය. අද මෙන් එදා දුරකථන පහසුකම් ද තිබුණේ නැත. ලේඛකයා ද බාහිර ලේඛකයකු වූ බැවින් ඔහු සම්බන්ධ කරගැනීම පහසු නොවීය. අවසානයේ පත්තරයේ අවශ්‍යතාව සඳහාම මා ඔහු ලියන ආකාරයටම එම ජ්‍යෝතිෂ ලිපිය ලියා පත්‍රයේ පළ කළෙමි. එවැන්නක් මා කළ ද ඒ වනතුරු මා දන්නා ජ්‍යෝතිෂයක් නොවීය. පත්‍රයේ මෙය පළ වූයේ අදාල ලේඛකයාගේ නමිනි. එහෙත් අදාළ ලේඛකයා නිහඬව සිටියේය. දින කිහිපයකට පසු විමලසිරි මහතා මේ පිළිබඳව මගෙන් විමසීය. මම එය මගේ ලිපියක් යැයි පැවසීමි. මහ හඬින් සිනාසුණු කර්තෘතුමා, මමත් දන්න ජ්‍යෝතිෂයක් නෑ, ඔන්න ඔය ලිපිය හැම සතියකම උඹම ලියපන් . . . යැයි පැවසුවේය. එහෙත් ඉන් පසුව එම ලිපිය නැවතත් එම ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයා අතින්ම ලියැවිණි. මා සරසවියේ වැඩ කළේ බොහොම කැමැත්තකිනි. එහි වැඩ කිරීම නිසාම මට විශාල කලාකරුවන් පිරිසක් දැන හඳුනා ගැනීමට ලැබිණි. එයින් මා විශාල සතුටක් අත් වින්දේය. මා අතින් පොත් විචාර ලියවීමත් සමඟ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් මට හඳුනා ගන්නට ලැබිණි. ඒ අතර මහගමසේකරයන් ද විය. ඒ සමයේ නවක පිරිස් වෙත අතහිත දීමට හැකි වූයේ විමලසිරි මහතාගේ මග පෙන්වීම මධ්‍යයේය. පත්තරයේ ඔවුන් ගැන යම් දෙයක් පළවීමත් සමඟ එය ඔවුන් සිහිපත් කළේ් මහත් වූ භක්තියකිනි. විමල් තිලකරත්නයන් ඉතා සරලව රසවත්ව ලිපි ලියන්න දක්ෂයෙක් විය. ඔහුගේ එම හැකියාව විමලසිරි මහතා සරසවියට උපයෝගි කර ගත්තේ විවිධ අයුරිනි. විමල්ගේ තිබූ සරල සිත්ගන්නා සුළු භාෂා ශෛලිය නිසා ඔහු ලියන ලිපි පාඨකයන් අතර වඩාත් ජනප්‍රිය විය. ඒ කාලයේ සන්ධ්‍යා කුමාරි ජනප්‍රියත්වයේ ඉහළින් වැජඹුණු යුගයක් විය. ඒ අවධියේ ඇය ගෙදරට හොරා උපාලි පෙරේරා සමඟ විවාහ විය. ඇගේ ජනප්‍රියත්වය නිසාම එය ආන්දෝලනාත්මක සිද්ධියක් විය. මෙම සිද්ධිය අනෙත් පත්තරවල ද පළ විය. විමලසිරි මහතා සන්ධ්‍යා කුමාරි – උපාලි පෙම් කතාව කොටස් වශයෙන් සරසවියේ පළ කරන්නට යෝජනා කළේය. එය ලිවීම සඳහා භාර කරනු ලැබුවේ විමල් තිලකරත්නයන්ටය. සන්ධ්‍යා මේ සඳහා කැමැති කරගෙන සන්ධ්‍යා - උපාලි පෙම් කතාව විමල් හරි අපූරුවට කාගේත් සිත් ඇදී යන භාෂා ශෛලියෙන් සතිපතා කොටස් වශයෙන් සරසවියට ලිව්වේය. මේ පෙම් කතාව නිසාම සරසවියේ අලෙවිය ද දිනෙන් දින වැඩි වන්නට පටන් ගත්තේය. සරසවියේදී පසු කලෙක මාත් සමඟ බොහෝ සමීප වූ පුද්ගලයකු වූයේ ඒ. ඩී. රංජිත් කුමාරය. අදත් ඒ මිතු දම එසේමය. මම සරසවියේ සිටින විට රංජිත් කුමාර එවක ආනන්දයේ පාසල් ශිෂ්‍යයෙකි. විමලසිරිගේ අවසරය පරිදි රංජිත් සහ පසුකලක ප්‍රවීණ ගීත රචකයකු වූ කුලරත්න ආරියවංශ කොට කලිසම් ඇඳ නිතර සරසවියට, නවයුගයට පැමිණියහ. එසේ පැමිණෙන ඔවුන් සරසවිය, නවයුගය පුවත්පත් සංස්කරණය කරන අයුරු පසෙකට වී බලා සිටියහ. රංජිත් සරසවියට ලිපි ලියන්නට විමලසිරි මහතාගේ අවසරය ද ලබා ගත්තේය. බිනරමලී චිත්‍රපටය තිරගත වීම ඇරැඹියේ මේ දිනවලය. එම චිත්‍රපටයේ තිර රචනය ලියා තිබුණේ තිස්ස අබේසේකරයන්ය. චිත්‍රපටය හා එහි තිර රචනය සම්බන්ධයෙන් තිස්ස අබේසේකර හා සාකච්ඡා කොට ලිපියක් ලිවීම රංජිත්ට භාර විය. රංජිත් එය කරගෙන විත් විමලසිරි මහතා අතට පත් කිරීමෙන් පසු මා අතට එම ලිපිය ලැබුණේ සංස්කරණය කිරීමටය. මේ කාලයේ සරසවියේ කා අතරත් මා ඉතා තදින් ලිපි සංස්කරණය කරන්නෙක් ලෙසින් ප්‍රසිද්ධ වී තිබුණි. මේ නිසාම රංජිත්ගේ මෙම ලිපිය මා අතට පැමිණීම ගැන ඔහු පසු වූයේ කනස්සලු භාවයෙනි. මා එය කපා කොටා සංස්කරණය කරන විට ඔහු පසෙකට වී දෑස් අයාගෙන මා දෙස බලා උන්නා මට මතකය. එම ලිපියේ භාෂා රටාවේ ගලා යාම ඇතුළු බොහෝ දේ නිවැරැදිව තිබූ හෙයින් එතරම් කපා කොටා සකස් කිරීමක් අවශ්‍ය නොවිණි. පසු කලෙක රංජිත් සරසවිය කර්තෘ මණ්ඩලයේම සාමාජිකයෙක් වූ පසු මගේ ඉතාම සමීපතමයෙක් බවට පත් විය. අදත් ඒ මිත්‍රකම එසේමය. සරසවියට එදා පාසල් ශිෂ්‍යයකුව හිඳීමින් ගොඩ වූ රංජිත් වසර ගණනාවකට පසු සරසවියේ ප්‍රබල චරිතයක් වී සරසවිය කර්තෘ පදවියට ද පත්විය.
ලබන සතියට
|