වර්ෂ 2012 ක්වූ අගෝස්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




එදා මෙවැනිදේ කලේ සිනමාව ගැන තිබූ ඇල්මටද මෝඩකමටද කියා අදටත් දන්නේ නෑ

එදා මෙවැනිදේ කලේ සිනමාව ගැන තිබූ ඇල්මටද මෝඩකමටද කියා අදටත් දන්නේ නෑ

විශිෂ්ට, චරිතාංග නළුවකු හට රිදී තිරය මත මිනිස් ජීවිතයේ සියුම් ඉංගිතයන් ගැඹුරින් විග්‍රහ කළ හැකිවාක් සේම ත්‍රාසය, භීතිය මුසු වූ වීරත්වය ද මැවිය හැකි බව පසක් කළ සමකාලීන සිනමාවේ හොඳම නිදර්ශකයා රවීන්ද්‍ර රන්දෙණිය යැයි මම විශ්වාස කරමි.

ඒ රංගන කාර්යයේදී ඔහු ඕනෑම අභියෝගයක් බාර ගන්නා ජාතියේ නළුවකු නිසාවෙනැයි වැඩිදුරටත් මට සිතේ. සිව් දශකයක් පුරා ඈතට දිවෙන රංගන චාරිකාවේ, දිවි පරදුවට තබමින් ඔහු රඟපෑ සුවිශේෂී චරිත කිහිපයකි. අද දවසේ ඔහු මෙසේ ඒ හැඟුම්බර මතකයන් අප හමුවේ පෙළ ගස්වන්නේ, කිසියම් වූ උද්දාමයකින් යුතුවය.

චිත්‍රපටයක සටන් ජවනිකා, ත්‍රාසජනක අවස්ථා රඟපාන්න විශේෂ පුහුණුවක් හෝ අභ්‍යාසයක් ලබපු නළුවෙක් නෙවෙයි මම. නමුත් ආරම්භක අවධිියේ පටන්ම මට ලැබුණු චරිතවලට අදාල එවැනි දේවල් මටම කරගන්න සිදු වුණා. අද ආපහු හැරිලා බලද්දී ඇත්තටම මටම පුදුමයි මේ දේවල් කළේ මමම ද කියලා.

රවී අයියා එලෙසින් කතාවට මුල පුරයි. ඒ මුහුණෙහි රැඳී ඇත්තේ තෘප්තිමත් සිනහවකි. ඔහුට මතකය හා සැරිසරන්නට ඉඩදී නිහඬවීම වඩාත් සුදුසු යැයි මට සිතේ.

ඉතින් රංගන කාර්යයේදී මට ලැබුණු එවැනි අවස්ථා සාර්ථකව කරගන්න මම උපරිම උත්සාහ කළා. සමහර විට ජීවිත අවදානමත් නොතකා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණා ඒ දේවල් කරන්න. නමුත් ඉතින් ආරම්භක යුගයේ නම් වැඩිපුර ලැබුණේ කටුක අත්දැකීම් තමයි. මට මතකයි මගේ මුල්ම චිත්‍රපටයේදීීම මුහුණ දුන්නේ එවැනි කටුක අත්දැකීමකට. ඒ කාලේ ප්‍රසිද්ධ, දුෂ්ට චරිත රඟපාන නළුවෙක් එක්ක මට සටන් ජවනිකාවක් තිබුණා. ඔහු මට සටන් පුහුණු කරනවා කියලා දවස් දෙකක් හොඳටම ගැහුවා. ඊට කලින් මේ වගේ අත්දැකීමක් නැති නිසා මම හිතුවා ගුටි කන්න, කන්න තමයි වැඩේ සාර්ථක වෙන්නේ කියලා. ඔහු ඉතාම රිදුම් දෙන තැන්වලට පවා පහර දුන්නා. අන්තිමට අත පය ඉදිමිලා. බෙහෙත් කොල වර්ග තම්බලා, තවලා ඒවාට ප්‍රතිකාර කරන්නත් වුණා. පස්සේ කාලෙක තමයි මුල්ම චිත්‍රපටයෙන්ම මට සිනමාව එපා වෙන්න කරපු කුමන්ත්‍රණයක් කියලා දැනගන්න ලැබුණේ. ඒත් මම කාටවත් දොස් කිව්වේ නැහැ. සටන් කලාව පුරුදු පුහුණු වුණා.

පස්සේ කාලෙක අර වාඩුව ගත්තද?

ඔහුත් සමඟ ඊට පස්සේ චිත්‍රපට කිහිපයකම මම රඟපෑවා. ඔහු පරදින අවස්ථාත් තිබුණා. නමුත් කවදාවත් මම ඔහුට හිතා මතා අර තරහ පිරිමහ ගන්න පහර දුන්නේ නෑ.

සත්‍ය කතාවක් පාදක කර ගනිමින් අමරනාත් ජයතිලක විසින් අධ්‍යක්ෂණය කළ ‘සිරිපාල හා රන් මැණිකා’ චිත්‍රපටයේ ‘සිරිපාල’ ලෙසින් රඟපෑමේ භාග්‍ය උදා වූයේ අප කතානායකයාටය. එහිදී මුහුණ දුන් ත්‍රාසජනක අත්දැකීමක් පිළිබඳ රවී අයියා තම මතකය අවධි කළේ මෙලෙසිනි.

මේ චිත්‍රපටයේ තිබුණු උද්වේගකරම අවස්ථාව තමයි සිරිපාල පොලීසියට හසු වෙන්න යද්දී කෝච්චි පෙට්ටියේ යට තට්ටුවේ උඩුබැලි අතට එල්ලිලා ගිහින් මැදිරි දෙකක් මැද්දෙන් වහල මතට නැඟිලා ධාවනය වෙන දුම්රියෙන් බිමට පනින දර්ශනය. මේ අවස්ථාව සාර්ථකව නිරූපණය කරන්න මට පුළුවන් වුණා. පැයට සැතපුම් තිහක පමණ වේගයෙන් ධාවනය වූ දුම්රියේ වහලය මත සිටයි මම එදා පහලට පැන්නේ.

බියත්, චකිතයක් දැනුණේ නැතිද?

ඉන් පෙර මම කිසි දිනෙක එවැනි ත්‍රාසජනක ක්‍රියාවක් කර තිබුණේ නැහැ. හිතට යම් චකිතයක් ඇති වුණත් එය කළ යුතුව තිබුණා. අමාරුම දේ වුණේ ඇත්තටම කෝච්චිය යට එල්ලිලා යන එක. එල්ලිලා උඩුබැලි අතට එහෙම යනකොට විශාල රෝද මා දෙපසින් කරකැවෙනවා. එතකොට රේල් පීලි දෙක මැද්දෙන් ඉන්න කොට බිමට වැටුණොත් ඊට යාරයක් විතර එහා තිබෙන රෝදයෙන් ජ්‍යාතිමික විදිහටම මාව දෙකඩ වෙනවා. මට මතකයි එක් අවස්ථාවක රෝදයකට මගේ වම් උරහිස යන්තමින් ගෑවුණා. ඒ හැඳගෙන හිටපු කමිසය හරියට පිහියකින් පැලුවා වගේ දෙකඩ වෙලා මගේ හමත් පසාරු කරගෙන ගිහින් තිබුණා. ඊට පස්සේ අර පනින දර්ශනය, ඒකත් කොහොම හරි කළා. මෙතනදි විශේෂයෙන් මතක් කරන්න ඕනෑ කෙනෙක් ඉන්නවා.

කවුද ඒ?

රොබින් ප්‍රනාන්දු. මම ආධුනික වුණාට රොබින් එකකොට සිනමාවේ සෑහෙන දුරක් ගිය නළුවෙක්. ඔහු ගුරුවරයෙක් වගේ ඔහු දන්න ශිල්ප විධි ගුරු මුෂ්ටියකින් තොරව කියලා දීලා ඒ ජවනිකාව සාර්ථක කර ගන්න උදවු වුණා.

ඒ චිත්‍රපටයේම මම සීමන් අප්පුට වෙඩි තියලා වැව් කණ්ඩියක් දිගේ වේගයෙන් ට්‍රැක්ටරයක් පදවාගෙන එන ජවනිකාවක් තියෙනවා. ට්‍රැක්ටරයක් යන්න පුළුවන් වේගයකින් නෙවෙයි ඒ වැව් කණ්ඩිය උඩ මම ආවේ. වතුර බටයක් ගන්න ලොකු අගලක් වගේ කපලා තිබුණා

. එතනට වැටෙනකල් දන්නේ නෑ. වැටුණ ගමන් එක රෝද දෙකක් වැව් කණ්ඩිය උඩ. අනෙක් රෝද දෙක වැව පැත්තට අංශක 90 ට ඇල වෙලා. තව ස්වල්ප වේලාවකින් මේක පෙරළෙනවා. එහෙම වුණොත් ට්‍රැක්ටරය සමඟ මාව චොප්ප වෙනවා. මම ට්‍රැක්ටරය උඩ හිටගෙන ස්ටීරියන් වීල් එක විරුද්ධ දිශාවට කැපුවා. යාර සීයක් විතර ගිහින් තමයි වැව් කණ්ඩිය උඩට ආවේ. ඒක මතක් වෙන කොට තාමත් ඇඟේ මවිල් කෙලින් වෙනවා.

රවි අයියා මොහොතක් කතාව නතර කර මදෙස බලයි. ඔහු වදනින් විස්තර කළ ඒ බිහිසුණු මොහොත මගේ මතකයට ද නැඟේ. ඇත්තටම ට්‍රැක්ටර්, බස්, ලොරි, ට්‍රක් මේ ඕනෑම වාහනයක් හොඳටම එළවන්න මට පුළුවන්. ඒක මම හිතන්නේ සහජයෙන්ම මට උරුම වුණු දෙයක්. මට තාත්තාගෙන් ලැබුණු මුල්ම තෑග්ග රේසිං කාරෙකක්. ඇක්වයිනස් විද්‍යාලයේ උසස් පෙළ හදාරද්දී මම විදුහලට ගියේ ඒ කාරෙකෙන්. මට තාම මතකයි ඒ සන්බීම් ඇල්පයින් 4 ශ්‍රී 58 මෝටර් රථය. ඇත්තටම මෝටර් රථ ධාවනයට මම හරිම කැමැතියි. මගේ හැම චිත්‍රපටයකම මෝටර් රථ ධාවනය කිරීමේ ජවනිකා කළේ මමමයි. කවදාවත් ආදේශකයකු යොදා ගත්තේ නැහැ. කැමරා අධ්‍යක්ෂවරයකු මට පොෂිෂන් එක මාක් කළොත් හරියටම ඒ ඵබධනඪදඨ එකේ දශමයටම නවත්වගන්න මට පුළුවන්කම තිබුණා.

ඔබේ ඒ හැකියාවන් ප්‍රදර්ශනය වූ චිත්‍රපට කිහිපයක් තිබෙනවා. ඒ ගැන කතා කළොත්?

රෝයි ද සිල්වාගේ ‘තාත්ති මං ආදරෙයි’ චිත්‍රපටයේ මම රඟපෑවේ රේසිං ඩ්‍රයිවර් කෙනෙකුගේ චරිතය. කටුකුරුන්දේ රේසිං ට්‍රක් එකක ඉතාම වේගයෙන් මෝටර් රථ ධාවනය කිරීමේ ජවනිකාවක් තිබුණා. එතනදි පැයට සැතපුම් එකසිය පණහක, හැටක වේගයෙන් ඒ රථය පැදෙව්වේ මමමයි. ඒ ගාණට එළවන්න පුළුවන් මට තාමත්.

ඔය සීතාදේවි චිත්‍රපටයේ තිබුණා මාර කාර් චේස් එකක්. රාවණා, සීතා පැහැරගෙන යන දර්ශනයයි රූගත කරන්න තිබුණේ එදා. ඒ චරිත දෙක රඟපෑවේ ගාමිණී ෆොන්සේකා සහ මමිතා ශංකර්. ගාමිණීගේම බෙන්ස් රථය පාවිච්චි කළේ ඒ වෙලාවේ. හොඳටම එළවන්න ඕනෑ නිසා අධ්‍යක්ෂ මණික් සන්ද්‍රසාගරමයි වාහනේ ඩ්‍රයිව් කළේ. දියතලාවේත්, හපුතලේත් අතර අර මහා කඳුවල තමයි මේ කාර් චේස් එක රූගත කළේ. මට තියෙන්නේ බොහොම වේගයෙන් අර ගාමිණීගේ රථය හඹා යන්න. අජන්තා විජේසේනගේ අලුත් ෆෝඩ් කැප්රි රථය මට දීලා තිබුණේ . ඒක ඒ කාලේ නිකං සෙල්ලං දාන්න පුළුවන් වාහනයක්. දැන් මම ඒ කාරෙකෙන් ගාමිණීගේ බෙන්ස් රථය ලුුහුබැඳගෙන යනවා. දියතලාවේ කන්ද මුදුනට ගියාම අර ආමි ග්‍රවුන්ඩ් එක එහෙම ඔක්කොම තියෙන මහා ප්‍රපාතය. අංශක 90 ක කෝණයකින් ඒ වංගුව හැරෙන්න තියෙන්නේ. මණිකුත් බලාපොරොත්තු වුණේ නෑ ඒක මෙච්චර ලොකුª වංගුවක් කියලා. මණික් එළවපු කාරෙක වංගුව ගනිද්දී පිටිපස්ස විසි වෙලා කන්දෙ පහලට පිටිපස්සේ රෝදෙ බාගයක් එන තරමට අයිනට ස්කිඩ් කළා. බෆර් එකට බපර් එක ගෑවෙන දුරින් මම ආවේ. මම ගියර් මාරු කරලා බ්‍රේක් ගහලා හරියට අඟල් හතරක් තියලා වාහනය නතර කර ගත්තා. පොඩි තල්ලුවක් එහෙම දැම්මා නම් අර කාරෙක අඩි හාරසීයක් විතර ප්‍රපාතයට වැටෙනවා.

රවීගේ රිය පැදවීමේ සූක්ෂමතාව වඩාත් ගම්‍යමාන වූ චිත්‍රපටය ‘දඩයම’යි. ඔහු ජයනාත් ලෙසින් රඟපෑ එම චිත්‍රපටයේ රත්මලීගේ චරිතය නිරූපණය කළේ ස්වර්ණා මල්ලවාරච්චිය. රවීගේත්, ස්වර්ණාගේත් විශිෂ්ටතම රංග භූමිකාව ලෙස බොහෝ විචාරකයන් හා පේ‍්‍රක්ෂකයන් අදටත් හඳුන්වනු ලබන්නේ දඩයමයි. මේ එහි උද්වේගකර රූගත කිරීමක් පිළිබඳ රවීගේ මතකයයි.

‘දඩයම’ රූගත කළේ දකුණු පළාතේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ. එහි රූගත කිරීම් 30% ක් වගේම සිදු වුණේ වාහනයේමයි. සමීප රූප, රූගත කළේ ඉස්සරහ බොනට් එක ගළවා ලෑල්ලක් උඩ කැමරා විදුලි උපකරණ ආදිය සවි කරලා. ඒ මදිවට පිටි පස්සේ ලොකු ජෙනරේටරයක්. ඒකෙ දුමෙන් මුළු කාරෙකම වැහෙනවා.

මේ ලෝකේ දෙයක් පෙන්නේ නෑ. සමහර අවස්ථාවල දෙබස් කියමින් වමතින් කාරය එළවන ගමන් දකුණු අතින් ඩොනල්ඩ් කරුණාරත්නවත් එල්ලගෙනයි මම යන්නේ. ඔහුගේ බර මගේ දකුණු අතේ. ඩොනල්ඩ් ෂූට් කරගෙන යනවා. නමුත් ඒ බර මගේ මුහුණේ පෙනෙන්න බෑ.

ස්වර්ණා මට පොල්ලකින් ගහන දර්ශනයේ තමයි භයානකම තත්ත්වය තිබුණේ. ඒ සීන් එකට ටිකකට කලින් ස්වර්ණා මගේ මූණ හූරනවා. මම කණ්නාඩියෙන් බලනවා මූණ හීරිලා. මිනිහා යකා මාක් වෙන්නේ එතකොටනේ. ඊට පස්සේ මම පැළඳගෙන හිටපු උපැස් යුවළ පැත්තකට දාලානේ ස්වර්ණා යට කරන්න යන්නේ. එතකොට දැන් මගේ ඇස් දෙක නිරාවරණය වෙලා. වසන්ත හුඟක් බය වුණා මේ සීන් එක ෂූට් කරන්න. මොකද අධ්‍යක්ෂවරයකු වශයෙන් ඔහු සැම විටම නළු, නිළියන්ගේ වටිනාකම අගය වටහාගෙන වැඩ කළ නිසා. ඔහු මට කිව්වා ‘රවී ඕනෑ නම් මම අර කණ්නාඩිය ගළවපු එක ආපහු දාන විදිහට ෂූට් කරන්නම් මචං’ කියලා. තවත් වරුවක්වත් යන වැඩක් නිසා මම ඒකට කැමැති වුණේ නෑ. මොකද අර වේලුණු කලපුවේ ගිනියම් වැලි තලාවේ අව්වට පිච්චි, පිච්චී අපි ඒ රූගත කිරීම් කළේ.

ඒ අවදානම, අභියෝගයක් හැටියට අරගෙන ඔබ ඉතාමත් විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කළා?

පැයට හැතැප්ම හැටක වේගයෙන් මම එන්නේ ස්වර්ණා හප්පන්න. වාහනය ළඟටම එනකොට ස්වර්ණා අර පොල්ලෙන් ගහනවා වීදුරුව කුඩු වෙන්න. විශ්වාස කරන්න ඒ වැදුණු වැදිල්ලට මට මොනවා වුණාද කියලා හිතා ගන්නවත් බෑ. මට මතකයි විදුරු කෑලි අත් දෙක උඩට වැටෙනවා, වැටෙනවා, වැටෙනවා. මට කාරෙක පාලනය කර ගන්නත් බැරි තරම්. කාරෙක නතර වුණ ගමන් හැමෝම දුවලා ආවා මට මොකද වුණේ කියලා බලන්න. මගේ මුළු අත් දෙකම කැපිලා ලේ ගලනවා. ඒත් මගේ මූණට සීනි කැටයක් තරම්වත් වීදුරු කෑල්ලක් වැදුණේ නෑ. හරියට හාස්කමක් වගේ. මේ දර්ශනය ඉදිරිපසින් සහ පිටුපසින් කැමරා දෙකක් යොදාගෙනයි රූගත කළේ. පිටුපස අසුනේ තිබූ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ මි. මී. 16 කැමරාවේ ලෙන්ස් එක අර වීදුරු කෑලි වැදිලා පුපුරලා තිබුණා. ඒ කාලේ හැටියට රුපියල් 85,000 ක මුදලක් ගියා ඒ ලෙන්ස් එක අලුත්වැඩියා කරන්න.

මෝටර් රථ ධාවනයට මෙන්ම රවී අසුන් ධාවනයට ද ශූරයෙකි. සිනමාපට කිහිපයකම ඔහු එකී දක්ෂතාව මැනවින් පෙන්නුම් කළේය. එහි ප්‍රබල මං සළකුණක් වූ ‘ගෝඩ් කිං’ චිත්‍රපටය රූගත කිරීමේදී මුහුණ පෑ අභියෝගයන් පිළිබඳ රවී අපට පැවසුවේ මෙවන් කතාවකි.

‘ගෝඩ් කිං’ චිත්‍රපටයේදී අසුන් පිට යාම පමණක් නොවේ, අසුන් සමඟ යුද්ධයට යාමටත් මට සිදු වුණා. මිගාර ලංකාවෙන් පැනලා යද්දී, ලක්ෂ්මණ තමයි ඔහු පසුපස හඹා යන්නේ. මිගාර ත්‍රිකුණාමලයෙන් මුහුදට පැනලා නොපෙනී යනතුරුම. රජ කාලේ අශ්වයාට සෑදලයක් තිබුණේ නැහැ. ඒ නිසා මට සිදු වුණා පිටට රෙදි කඩක් විතරක් එලපු අශ්වයකු පිටේ නැගලා ඒ දර්ශනය රූගත කරන්න. අශ්වයා වේගයෙන් දුවද්දී අර සෑදලය නැති නිසා උගේ පිට උඩ නැගලා ඉන්න හරිම අමාරුයි. එක තැනක මට මතකයි රබර් අත්තක් දැකලා අශ්වයා ඔළුව පාත්කරලා එක පාරටම ඉස්සුවා. අශ්වයාගේ හිස මගේ නළලේ හැපුණා. මගේ වම් ඇසට උඩින් පුපුරලා ගියා. මේ තියෙන්නේ ඒ කැළල.

‘ගෝඩ් කිං’ රූගත කෙරුණේ 1973 – 74 වගේ කාලේ. දැනට වසර හතළිහකට එහානේ. එතකොට අශ්වාරෝහක පොලීසියේ හිටියේ අශ්වයෝ දොළොස් දෙනයි. ඒ සේරම චිත්‍රපටයට දීලයි තිබුණේ. මේ අශ්වයෝ ව්‍යායාම කරවනවනේ උදේට. මමයි, විජය කුමාරතුංගයි උදේ 5.30 ට විතර එතනට යනවා. සාජන්ට් බුද්ධදාස කියලා බොහොම හොඳ පුහුණුකරුවෙක් තමයි අපට පුහුණුවීම් කළේ. ඔහු රගර් ක්‍රීඩකයෙක්. බොහොම දරුණු මිනිහෙක්. හැබැයි මිනිහා හරි ලස්සනට අපිව පුහුණු කළා. අපි මාස දෙකක් විතර ඒ පුහුණුව ලැබුවා. පසු කාලෙක ඒ පුහුණුව තමයි ‘වීර පුරන් අප්පු’, ‘සූර සරදියෙල්’, ‘හිම කතර’ වගේ චිත්‍රපටවල අසුන් ධාවනය සඳහා මට ඉවහල් වුණේ.

‘බඹර පැටික්කී’ රවිගේ රංගන දිවියේ විශිෂ්ට සටන් කාමිත්වය වඩාත් ඉස්මතු කළ චිත්‍රපටයකි. ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත්ත ද ඔහු එහි රූගත කිරීම්වලදී මුහුණ පෑ අසීරු අභියෝගයන් ඇඟ කිළිපොලා යන සුළුය.

මේ දර්ශනය තිබුණේ කළුතර බෝධිය අසල දුම්රිය පාලම උඩ. මමයි, මර්වින් ජයතුංගයි සටන් කරන දර්ශනයක්. නිකං සටනක් නෙවේ. ඔහු බෝම්බයකින් මට දමලත් ගහනවා. වනාතමුල්ලේ බෝම්බ හදන මිනිහෙක් හදපු ඇත්ත බෝම්බයක් ඒක. දුම් බෝම්බයක් හදන්න කියලා තිබුණේ. මේ යකාත් ශිල්ප පෙන්වන්න පුළුවන් තරම් සැර පුපුරන දේ දාලා මේක හදලා. හොඳ වෙලාවට මේක මගේ දනහිසට පහළින් වැදිලා පිපිරුවේ නෑ. රතු පාට රවුමක් කකුලේ හිටියා. ඊට පස්සේ ඒ බෝම්බෙ අරගෙන සිල්පර කොටයක් උඩ ගැහැව්වා. සිල්පර කොටේ පතුරු පතුරු ගියා. එහෙම තමයි මේ සටන පටන් ගන්නේ. අවසානෙදි ගහගෙන, ගහගෙන ගිහින් මර්වින් පනිනවා ගඟට. මර්වින්ලා පළපුරුදු සටන්කාමියෝනේ. දැන් මම මර්වින්ට ගහන්න දම්වැලක් කරකව, කරකවා එන්නේ. ඒ දම්වැලත් මගේ අතේ ඔතලා. මර්වින් පනින කොට මමත් රේල් පාලමේ ඇන්ද උඩ ඉඳගෙන කළු ගඟ මැදට පනින්න ඕනෑ. මට මතකයි මම කිසිම ගාණක් නැතිව පැන්නා. මට පීනන්න පුළුවන් හොඳින්. ඒ පැනපු පාර ගඟ පතුලටම වගේ ගියා. උඩට එන්න පීනනවා . . . පිනනවා . . . පීනනවා . . . ඒ තරම් ගැඹුරුයි. හරියට ගඟ මැද්දේ. කළු ගඟේ පළල දන්නවනේ. ඒ මැද ඉඳන් ගං ඉවුරට පීනන්නත් ඕනෑ. ඒකත් කොහොම හරි කළා. අද වුණත් කළුතර පාලම පහුකරගෙන යද්දී ‘තමුසේ මේකෙන් පැන්නනේ ඕයි’ කියලා මටම හිතෙනවා. අද බලද්දී ඒ සිදුවීම බිහිසුණුයි.

මේකත් සිදු වුණේ ‘සීතාදේවි’ චිත්‍රපටය රූ ගන්වද්දී. අතීතයයි, වර්තමානයයි අතරේ දෝලනය වන වෙනස්ම විදිහේ කතාවක්නේ මේ චිත්‍රපටයේ දිග හැරෙන්නේ. මේ චිත්‍රපටයේ රාමා - රාවණා යුද්ධය තියෙන්නේ මුහුද යට. කිමිදුම්කරුවන්ගේ යුද්ධයක්. මේ ජවනිකාව ගන්න ඕනෑ මුහුද මැද්දේ. අපි හිටියේ ත්‍රිකුණාමලයේ. ඔය පරෙයි දූපත කියන හරියේ. දිය යට සටනේදී අතක් තුවාල වෙලා මම උඩ මතුවන දර්ශනයක් ඒක. මේක කරන්න හැතැප්ම දහයක් විතර මුහුද මැද්දට ගියානේ. මුහුද පේන්නේ නිලට නෙවෙයි, තනි කළුවට. ඒ තරමට ගැඹුරුයි. කිමිදුම් ඇඳුම් ඇඳගෙන, ටැංකියක් එල්ලගෙන මුහුදට පනින්න ඕනෑ. මාර බයයි. ඒත් පැන්නා. යට ගියා. උඩට ආවා. තනි අතින් පීනාගෙන බෝට්ටුවට ආවා. මෙන්න අධ්‍යක්ෂ මණික් කියනවා යට ගියා මදි කහ පාට පේනවා කියලා. මම ඇඳගෙන හිටියේ කහ පාට ඇඳුමක්.

ඉතින් ආයේ පැන්නා?

ඔව් . . . ආයේ තුන්වැනි පාරත් ෂූට් කරන්න බැරි නිසා මම පුළුවන් තරම් යටට පීනුවා. ඔයා විශ්වාස කරන්න තාර කළුයි. මෙලෝ දෙයක් පේන්නේ නෑ. ඒ මදිවට මුහුදු වතුරේ ප්‍රෙෂර් එකට කන් දෙක තෙරපෙනවා වගේ. ඇත්තටම බය වුණා. මේවා කිමිදුම්කරුවන් දාලාවත් කරගන්න පුළුවන් වැඩ නෙවෙයිනේ. එදා මේ වගේ දේවල් කළේ සිනමාව ගැන තිබුණ ඇල්මට ද, මෝඩකමට ද කියලා අදටත් මට හිතා ගන්න බෑ.