වර්ෂ 2012 ක්වූ අගෝස්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




සඳපතිගෙන් කිරි දෝලා සඳවතියගෙන් මුදවාලා

දේවිකා, වීණා, චරිතා, දීපිකා, රසාදරී, සේමිණි ඇයගේ ගෝලයන්ගෙන් පිරිසක්

සඳපතිගෙන් කිරි දෝලා සඳවතියගෙන් මුදවාලා

දයා නෙල්ලම්පිටිය

‘වන්නම් දෙතුන්වර එක දිගටම නටලා යන්තම් නොවේ හොඳටම මට හති වැටිලා තුන් පැය පුරා නැටු ටීචට නැත රිදිලාවෙන්නැති ඇගේ ඇඟපත යකඩෙන් හැදිලා’ මේ ප්‍රශස්ත කාව්‍යය ලියැවුණේ වයස අසූවකටත් ආසන්න, අපේ ජ්‍යෙෂ්ඨතම නැටුම් ආචාර්යවරියක පිළිබඳවයි. ඒ ලාංකිකයකුගේ පෑන් තුඩින් නම් නොවෙයි. ඇය නවසීලන්තයේ පදිංචිකාරියකි.

හැට පැන්නත් වඳුරන් බිමින් නොයනවාක් මෙන් වයස අවුරුදු අසූවට වසර දෙකක් තිබුණත් අපේ ගුරුතුමිය අදටත් වන්නමකට පා නොතබන දිනයක් නැත.

ඇය තාලයට පාද තබන්නේ ඇයගේම මිහිරි හඬින් ගැයෙන වන්නමකටයි. දයා නෙල්ලම්පිටිය යන නම විරිදු, ජන ගායනා හා නර්තනය සමඟ යුග යුග බැඳී පවතී. අප හමුවන විට ඇයට ඇයගේ ජීවන අත්වැල අහිමි වී ගොසිනි. දයා නම සමඟ ඒකාත්මිකව බැඳුණු සේන ෆොන්සේකා නම අද හිස් තැනකි. ප්‍රවීණ ජන හා විරිදු ගායකයකු වූ සේන ෆොන්සේකා අගෝස්තු දෙවැනිදා ජීවිතයෙන් සමු ගත්තේය. මෙලෙස පාළු වූයේ කලා ලොවේ ආදරණීයම කැදැල්ලකි.

සේන ෆොන්සේකාගේ මිහිරි හඬට උගුරේ සෑදුණු පිළිකාවක් සතුරු වූයේ මීට වසර ගණනකට පෙරදීය. ඔහුගේ ගායන පුරප්පාඩුව චන්දන පුතු සම්පූර්ණ කළේය.

යළිත් ඔහු පිළිකා මාරයාට ගොදුරු වූයේය. සාලයේ හාන්සි පුටුවේ විවේකයෙන් පසුවන අතරේ ඔහු බිරියගේ නර්තන පන්තියට එන සිසුවියන් වරද්දන තැන් පෙන්වා දුන්නේ ගුරුතුමිය දකින්නට පෙරාතුවයි. පාසලේදී නර්තනය හදාරා තිබූ සේනට ද නර්තනය ගැන යම් අවබෝධයක් තිබිණි. දෙදෙනාම කළුබෝවිල බුද්ධඝෝෂයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය.

විදෙස් නර්තන ප්‍රසංගවලදී ලැබුණුු රසබර අත්දැකීම් දයා එකින් එක පෙළගස්වද්දී ‘ඔයා ඇර වෙන කවුද ඔයාගෙම ඔය පුරවරුණෙ කියන්නෙ’ කියා සේන මුසාබස් පවසන්නේ දයා කෝප ගැන්වීමටයි. ඒ බව ඇය ද හොඳින් දන්නීය.

දයා නොමැති ලොවක් සේනට තිබුණේ නැත. සේන නැති ලොවක් දයාට ද නැත. හරියට මේ දෙදෙනාගේ හඬට පෑහෙන අන් හඬවල් නැති සේය. පනස් තුන් වසරක යුග දිවිය ගිනි කිකිළියි ගිනි කුකුළයි සේ අවසන් මොහොත දක්වාම සේන ගෙවා දැමුවේ, පිළිකා මාරයාට ද පැමිණි දුක් පැණි රස බව පෙන්වමිනි.

සේනගේ හැතෑ නව වැනි උපන් දිනය යෙදී තිබුණු ජූලි තිස් වැනිදාත් සිරි කහවල මහතා සුපුරුදු පරිදි සුබ පතන්නට කතා කළේය. දයා ‘දැන් නම් සේනට දුරකතනයට එන්න අමාරු යයි’ පැවසුවාය. ගත වූයේ තෙදිනකි.

දයාට සේන අහිමි විය. විරිදු ලොවේ රැජනට රජු අහිමි වූවාය.

අද ඒ සොඳුරු නිවහනට පා තබන කොයි කාටත් දැනෙන්නේ වේදනාවකි. එහෙත් අපේ නැටුම් ගුරුවරියගේ මුහුණ වෙනදා මෙන්ම කරුණාබර සිනාවකින් සෞම්‍යය වී ඇත.

‘පුතා’ පරපුරවල් හතර පහකටම ගුරුවරියක වූ ඇය ඕනෑම කෙනකු අමතන ආදරණීය ආමන්ත්‍රණයයි. එහෙත් පුතා කියන්නේ කවර නම හිමි තැනැත්තාට, තැනැත්තියටදැයි කියා ගුරුතුමියට අමතක වන්නේ නම් නැත.

මේ ආදරණීය ජ්‍යෙෂ්ඨ නර්තන මාතාව ඇයගේ අතීතය, වර්තමානය හා අනාගතය ගැන කතාබහක යෙදුණේ ඒ සුහදත්වය එක්කර ගනිමිනි.

‘පාසල් වියේ සිටම ගායනයට හා නර්තනයට දක්ෂයි. මේ නිසා මට කරුණාරත්න අබේසේකරගේ ළමා මණ්ඩපයට, පද්‍යාවලිය වැඩසටහනට සම්බන්ධ වෙන්න ලැබුණා. සේනත් ඒ කාලෙ ගායනයට දක්ෂයි. පාසල් කාලෙම කලාව නිසා අපේ දැන හැඳුනුම්කමට මුල පිරුණා.

සමස්ත ලංකා මහා පද්‍ය ගායනා තරගාවලියක් ඒ කාලේ තිබුණා. වයස් භේදයක් නැතිව පැවැත්වුණු මේ තරගයට පාසල් වයසේ සිටි මාත් සේනත් අයදුම්පත් දැම්මා. තරගයෙන් පළමුවැනියා වුණේ මායි. තිලකසිරි ප්‍රනාන්දු දෙවැනියා වුණා. ( ‘එන්න මද නලේ’ ගීතය ගැයූ ගායකයා).

තරගයේදී මගේ හඬ ඇසූ මඩවල එස්. රත්නායක මහතා ඔයා සරල ගී කියන්න එපා. සරල ගී ගයන්න ඕනෑ තරම් අය ඉන්නවා. ඒත් ජන ගී, විරුදු ගීවලට හොඳ හඬවල් හරි විරලයි කියලා, ජන ගී හා විරිදු ගායිකාවන් සඳහා සම්මුඛ පරීක්ෂණයට ඉල්ලුම් පතක් යොමු කරන්න කිව්වා. සම්මුඛ පරීක්ෂණයෙන් ‘සුපර් ග්‍රේඩ්’ (විශිෂ්ට ශ්‍රේණියේ) ශිල්පිනියක් විධියට තේරුණා. ගුවන් විදුලියෙන් කැපුණු පාරෙන් තමයි මේ තරම් දුර ගමනක් ආවේ.

ඒ කාලයේ අපට දවසකට රුපියල් 15 ක් ගෙව්වා. ඒත් මුදලට වඩා අප ආදරය කළේ අප කරන දෙයටයි.

චිත්‍රපට ගීත, වේදිකා ගීත, සරල ගී ගායනයටත් අවස්ථාව ලැබුණා.

‘මා ආලය කළ තරුණිය’ සිනමාපටයට දේවානන්ද වෛද්‍යසේකර සමඟ ‘ආලේ මුසපත් වෙලා’ ගීය ගැයුවා. මිල්ටන් පෙරේරා සමඟත් සිනමා යුග ගීතයක් ගයා තිබෙනවා. අපේ (සේනගේත්, මගේත්) විරිදු නැති තොරණක් ඒ කාලයේ බැඳුණේ නැහැ.

නරි බෑණා වේදිකා නාට්‍යයේ වසර හතළිහක් පසුබිම් ගායනා කළා. දයානන්ද ගුණවර්ධනයන්ගේ ගජමන් පුවත, පද්මාවතී, ලෙංචිනා නාට්‍යවලත් ගී ගැයුවා.

ජී. එස්. බී. රාණි සම්පාදනය කළ සරල ගී වැඩසටහන්වලදී ‘ගිනි කිකිළියි ගිනි කුකුළයි’, ‘හඳට හොරෙන්’ මගේ සරල ගී හයක් පමණ ගායනා කළා.

රංගනයට ඇරැයුම් ලැබුණත් වැඩිහිටියන්ගෙන්වත්, සේනගෙන්වත් ඊට නම් අවසරයක් ලැබුණේ නැහැ.

රජයේ කලායතනයෙන් බිහිවුණු මුල්ම නර්තන ශිල්පිනියන් කණ්ඩායමේ මාත් සිටියා. චිත්‍රා අල්ගම, මාලතී අල්ගම, විමලා අමරදේව (අමරදේව ශූරීන්ගේ බිරිය), සීතා ගමගේ (ධර්මසිරි ගමගේ බිරිය) මා සමඟ ගුරු විද්‍යාලයෙන් පිට වූ අනෙක් නර්තන ශිලිපිනියනුයි. සීතායි මායි රුවින් එක වගෙයි.

ඊට පස්සෙ ගුරු වෘත්තිය මගේ වෘත්තිය වුණා. අනුලා විද්‍යාලයෙන්, මියුසියස් විද්‍යාලයෙන් කලාවට සම්බන්ධ දූවරුන් රැසක් බිහි කළා. වීණා ජයකොඩි, දේවිකා මිහිරාණි, රසාදරී පීරිස්, චරිතා ප්‍රියදර්ශනී, සේමිණි ඉද්දමල්ගොඩ, කෞශල්‍යා ප්‍රනාන්දු, දීපිකා ප්‍රියදර්ශනී වැනි දූවරුන් ඒ අතරින් විශේෂයි.

දක්ෂ දූවරුන් මුතු පොටකට මෙන් එකට එක්කර රට පුරා නර්තන ප්‍රසංග පැවැත්වීමට මුල පිරූවන් අතර දයා නෙල්ලම්පිටිය නම් විරිදු රැජන ද සිටින්නීය. ඒ නර්තන ප්‍රසංග කලාව සමඟ බැඳුණු වේදනාත්මක මතකයක් ද පවතී.

‘පළමුවන නර්තන ප්‍රසංගය පැවැත් වූයේ 1978 ඔක්තෝබර් 29 වැනිදායි. රුක්මණී දේවියගේ පළමු ගී ප්‍රසංගය හා මගේ පළමු නර්තන ප්‍රසංගය ගැන සාකච්ඡාවක් සඳහා ගුවන් විදුලියට අප දෙන්නම කලින් දවසක ආවා.

රුක්මණීගේ සාකච්ඡාවෙන් පස්සෙ මගෙ සාකච්ඡාව තිබුණේ. සාකච්ඡාව නිමාකර ඉදිරියට ආ ඇය මට මගේ ප්‍රසංගයට සුබ පැතුවා ‘මට එදාට එන්න වෙන්නෙ නැහැ’ කියමින්. මාත් ඇයට සුබ පැතුවා රුක්මණීගේ ප්‍රසංගයට එන්න නොවුණත් සාර්ථක වෙන්න කියලා.

රුක්මණී දේවිය ඔක්තෝබර් 28 වැනිදා අකාලයේ අනතුරකින් මිය ගියා.

අද බිහිවන ළමා නර්තන තරු ගැන අපේ ජ්‍යෙෂ්ඨ ශිල්පිනිය මේ මතය දරන්නේ දරුවන්ගේ හිතසුව පිණිසයි.

‘අද ළමයි දක්ෂයි. ඒත් ඒ දක්ෂකම් එළි දැක්වෙන්න ඕන තියුණු තරගයකින් නොවෙයි. එකිනෙකා පරදලා පළමුවැනියා වීමේ සිතිවිල්ලෙන් එන දරුවකු සාර්ථක, සම්පූර්ණ ශිල්පිනියක වන්නේ කොහොමද? තරගකාරීකම, සුපිරි තරු අභියෝගය ළමා මනසට හොඳ නැහැ. ඒ වාගේම සාම්ප්‍රදායික නර්තන කලාව හදාරන්නේ නැතිව නර්තනයෙහි යෙදීමත් අසාර්ථකයි.’

දැනටත් පෞද්ගලික පාසලක නර්තන ඇදුරුතුමියක වන දයා නෙල්ලම්පිටිය නාමය ඉදිරියටත් පවත්වාගෙන යන ඇයගේ පරපුරේ පුරුක් වන්නේ මිනිබිරිය චමත්කා පබසරා සහ මුනුබුරු චමත් හංසකයි.

ඔවුන් දෙදෙනාම නැටුමටත් ගැයුමටත් එකසේ හපන්ය.