|
පුරකලණි වැඩ ඇරැඹෙයි
ශෂී වීරවංශගේ කතා සංකල්පයක් අනුව තැනෙන පුරකලණි මුහුරත් උළෙල පසුගියදා කොළඹ සීනොර් හෝටලයේදී ඇරැඹිණි. ශෂී, අමාත්‍ය විමල් වීරවංශගේ දයාබර බිරියයි.
ජනපති ආර්යාවගේ සහෝදර ශ්‍රීමාල් වික්‍රමසිංහ සහ අගමැති ආර්යාව මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තන් විදිහට සහභාගි වූහ. ජයලත් මනෝරත්න, දුලීකා මාරපන, කාංචනා මෙන්ඩිස්, බිමල් ජයකොඩි, උමයංගනා වික්‍රමසිංහ, උද්දික ප්‍රේමරත්න, සාගරිකා ජයමාන්න, ගිරිරාජ් කෞශල්‍ය, පියුමි බොතේජු, සුජානි මේනකා, මාධනී මල්වත්ත, ධර්මප්‍රිය ඩයස්, ජී. ආර්. පෙරේරා, ලයනල් වික්‍රම, නිල්මිණි බුවනෙක, චාමර ප්‍රියදර්ශන ඇතුළු පිරිස පුරකළණි රැඟුමෙන් ඔපවත් කරති. කතාව මෙන්ම තේමා ගී රචනය ශෂී වීරවංශගෙනි. උපාලි තිලකරත්න සමඟ හිමානි විජේතුංග නිෂ්පාදනය කරන පුරකලණි හි කැමරාකරණය නිශාන්ත ප්‍රදීප්ගෙනි. නදීක ගුරුගේගේ සංගීතයට නන්දා මාලිනී හඬ මුසු වනු ඇත. ලසංක මධුශාන් සහය අධ්‍යක්ෂවරයාය. ගයාන් දේශප්‍රියගේ කලා අධ්‍යක්ෂණයකි. විධායක නිෂ්පාදනයෙන් ප්‍රගීත් ධර්මපාල එක් වෙයි. පුරකලණි ටෙලි සිතුවමේ ප්‍රධාන චරිතයට වයස අවුරුදු 18 – 27 අතර රංගන හැකියාව ඇති නිළියකු අවශ්‍ය බව ශෂී දන්වා සිටියි. මෙම ප්‍රවෘත්තිය කපා අලවා රංගනයට වරම, ශෂී වීරවංශ, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට මෑතකදී ගත් සේයාරුවක් සමඟ අයැදුම් පත්‍රයක් එවීමෙන් මෙයට සම්බන්ධ විය හැකිය. |